කලා ඉතිහාසයට දොරටු විවර කරන ලූවර් කෞතුකාගාරය

ලෝක ඉතිහාසයේ රන් අකුරින් නාමය සටහන් වූ විශිෂ්ටතම කලා කෘතීන් රැසකට සෙවණ දෙන ලූවර් කෞතුකාගාරය, ලොව විශාලතම කලා කෞතුකාගාරය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. 17 – 18 වැනි සියවසේ දී යුරෝපා මහද්වීපයේ ජනප්‍රිය වූ බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනංවන ලද සොඳුරු මන්දිරයක පවත්වාගෙන යන එය පිහිටා ඇත්තේ පැරිසීයේ සෙන් ගං ඉවුරේ යි. පැරිසීය සතු සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන අතර ඉහළින් ම වැජඹෙන ලූවර් කෞතුකාගාරය නැරඹීම සඳහා 2017 වර්ෂයේ දී පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන 8ක් ඉක්මවූ බව යි වාර්තා වන්නේ.

© Jon Herbert

කෞතුකාගාරයක් බවට පත් වූ පුරාණ බලකොටුව

2 වැනි ෆිලිෆ් රජු විසින් 1190 දී බලකොටුවක් ලෙස භාවිතා කිරීමේ අරමුණෙන් ගොඩනංවන ලද ලූවර් මාළිගය, 16 වැනි සියවසේ දී රාජකීය මාළිගාවක් ලෙස නැවත ගොඩනංවා ඇත්තේ 1 වැනි ෆ්‍රාන්සිස් රජු විසින්. සොඳුරු කලා කෘතීන් එකතු කිරීම කෙරෙහි මහත් ඇල්මක් දැක් වූ ඔහු මාළිගාව සැරසීම සඳහා ඔහු සතු කලා කෘතීන් යොදාගෙන ඇති අතර, 1 වැනි ෆ්‍රාන්සිස් රජුගෙන් පසු ව ප්‍රංශ කිරුළ දැරූ සියලුම රජවරුන් ලූවර් මාළිගාව සඳහා අලුතෙන් කොටස් එක් කරමින් එය වඩාත් පුළුල් කිරීම සඳහා දායක වී තිබෙනවා. බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ලූවර් මාළිගය අලුත්වැඩියා කිරීම සඳහා මූලිකත්වය රැගෙන කටයුතු කර ඇත්තේ 13 වැනි ලුවී සහ 14 වැනි ලුවී යන රජවරුන් වන අතර, ඉංග්‍රීසි සිවිල් යුද්ධයේ අවසන් ප්‍රතිඵලය ලෙස එංගලන්තයේ 1 වැනි චාල්ස් රජුගේ හිස ගසා දැමීමෙන් පසු ව ඔහුගේ කලා කෘති එකතුව අත්පත් කරගෙන එය ලූවර් මාළිගාව කරා රැගෙන ඒම සඳහා කටයුතු කර ඇත්තේ ද 14 වැනි ලුවී රජු යි.

(© Louis-Pierre Baltard) ලූවර් බලකොටුව

1682 දී 14 වැනි ලුවී රජු විසින් නිල රාජකීය වාසස්ථානය ලෙස වර්සායි මන්දිරය තෝරාගැනීමෙන් අනතුරු ව කලා විද්‍යායතනයක් ලෙස භාවිතා වූ ලූවර් මාළිගය, නිරන්තරයෙන් ම කලා ප්‍රදර්ශන පැවැත්වීම සඳහා භාවිතා කර තිබෙනවා. 1793 අගෝස්තු මාසයේ දී ප්‍රංශයේ ජාතික මන්ත්‍රණ සභාව විසින් ලූවර් මාලිගය කෞතුකාගාරයක් ලෙස විවෘත කර ඇත්තේ සිතුවම් 537ක එකතුවක් ද සමග යි. නමුත් ගොඩනැගිලි ව්‍යුහයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් 1796 දී ලූවර් කෞතුකාගාරය වසා දමන ලද අතර, 19 වැනි සියවස ආරම්භයේ දී නැපෝලියන් බොනපාට් ආධිරාජ්‍යයා විසින් වඩාත් විස්තීර්ණ කලා කෘති එකතුවක් සහිත ව ‘නැපෝලියන් කෞතුකාගාරය’ යන නාමය යටතේ එය යළිත් මහජන ප්‍රදර්ශනය සඳහා විවර කර තිබෙනවා.

එහෙත් 1815 දී ෆොන්ටන්බ්ලා ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන් නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයාට රාජ්‍යත්වය අහිමි වන අතර ඔහු විසින් බෙල්ජියම, ඉතාලිය, ඔස්ට්‍රියාව, සහ ප්‍රශියාව වැනි රාජ්‍යයන්ගෙන් නැපෝලියන් කෞතුකාගාරය වෙත රැගෙන එන ලද කලා කෘතීන් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත අදාළ රාජ්‍යයන් වෙත යවන ලද බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. නැපෝලියන් කෞතුකාගාරයේ නාමය නැවතත් ලූවර් කෞතුකාගාරය ලෙස වෙනස් කර ඇත්තේ ද ඒ කාල සීමාවේ දී වන අතර, දිගින් දිගට ම පුළුල් කරන ලද ගොඩනැගිලි කිහිපයකින් යුතු ලූවර් කෞතුකාගාරයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර ඇත්තේ 19 වැනි සියවසේ මැද භාගයේ දී 3 වැනි නැපෝලියන් රජුගේ පාලන සමයේ දී යි.

© Benh Lieu Song

ලොව විශිෂ්ටතම කලා කෘතීන්ට සෙවණ දෙන කෞතුකාගාරය

ඊජිප්තු පුරාවස්තු, පැරණි ග්‍රීක සහ රෝම ප්‍රතිමා, පුරාණ කලාකරුවන්ගේ (19 වැනි සියවසට ‍පෙර යුරෝපයේ වාසය කළ විශිෂ්ට සිතුවම් ශිල්පීන්) සිතුවම්, ප්‍රංශ රජ පෙළපතට අයත් ඔටුන්න සහ අනෙක් රාජකීය ආභරණ වැනි කලා කෘතීන් රැසක් ලූවර් කෞතුකාගාරය සතු වෙනවා. ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිට 19 වැනි සියවස අතර කාලයට අයත් ගණනින් 35,000 ඉක්ම වන ලූවර් එකතුව ප්‍රදර්ශනය කරන්නේ (1) පෙරදිග පුරාවස්තු, (2) ඊජිප්තු පුරාවස්තු, (3) ග්‍රීක, එට්‍රස්කන් සහ රෝම පුරාවස්තු, (4) ඉස්ලාමීය කලා කෘතීන්, (5) ප්‍රතිමා, (6) සැරසිලි කලා කෘතීන්, (7) සිතුවම් සහ (8) මුද්‍රිත සහ රූප සටහන් යන අංශයන් ඔස්සේ යි.

© Eibner Europa

ලූවර් කෞතුකාගාරය සතු ජනප්‍රිය ම කලා කෘතිය, ලියනාඩෝ ඩා වින්චි විසින් සිතුවමට නඟන ලද ‘මෝනලීසා’ බවට සැකයක් නැහැ. පළලින් අඟල් 21ක් සහ උස අඟල් 30ක් වන එය තැන්පත් කර ඇත්තේ වෙඩි නොවදින වීදුරුවක් තුළ යි. එයට අමතර ව ‘Venus de Milo’ සහ ‘Winged Victory of Samothrace’ වැනි පුරාණ ග්‍රීක ප්‍රතිමා, අඩි 7ක් පමණ උසින් යුතු ශෛලමය පුවරුවක් මත කොටන ලද හමුරාබි නීති සංග්‍රහය, ඉතාලි ජාතික මයිකල් ඇන්ජලෝ විසින් නිර්මාණය කරන ලද ‘The Dying Slave’ ප්‍රතිමාව, මෙසපොටේමියානු ශිෂ්ටාචාරයට අයත් මිනිස් හිසක් සහිත වෘෂභ ප්‍රතිමාව, සහ ලියනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද ‘ශාන්ත ඈන් සමග කන්‍යාව සහ දරුවා’ වැනි කලා ඉතිහාසයේ අපූර්වත්වය විදහා දක්වන සොඳුරු කලා කෘතීන් රැසක් ලූවර් කෞතුකාගාරය සතු වෙනවා.

කෞතුකාගාරයට නූතනත්වය එක් කළ ලූවර් පිරමීඩ

© Seryani / Flickr

යුගයන් එකට එක් කළ සොඳුරු නිර්මාණයක් ලෙස ලූවර් කෞතුකාගාරය හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. බැරොක් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනංවන ලද ප්‍රධාන ගොඩනැගිලිවලට යටින් පුරාණ බලකොටුවට අයත් නටඹුන් වර්තමානයේ දී පවා දැකගැනීමට ලැබෙන අතර, 1983 දී ක්‍රියාත්මක කරන ලද ‘The Grand Louvre’ නම් අලුත්වැඩියා කිරීමේ සැලසුමට අනුව කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව නව ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම අනුව අලුතෙන් නිර්මාණය කර තිබෙනවා. අයි. එම්. පේ විසින් සැලසුම් කරන ලද ‘ලූවර් පිරමීඩ’ සහ බිම් මහල් ප්‍රවේශ ශාලාව, ලූවර් කෞතුකාගාරයට එක් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

1988 දී විවෘත කරන ලද ප්‍රධාන ලූවර් පිරමීඩය සම්පූර්ණයෙන් ම වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. එයට නුදුරෙන් පිහිටි බිම් මහල් ප්‍රවේශ ශාලාවේ වහල කවුළුව යටිකුරු කරන ලද පිරමීඩයක හැඩයෙන් යුක්ත වන අතර, එය විවෘත කර ඇත්තේ 1993 දී යි.

කවරයේ පින්තූරය: © Naibank / Getty Images

 

Related Articles

Exit mobile version