මිනිසුන්ගේ හොඳ නරක මනින චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය

මූල්‍ය ආයතනයකින් ණයක් අයදුම් කිරීමේදී අපේ අතීත මූල්‍ය තොරතුරු පරීක්ෂා කිරීම සාමාන්‍ය කරුණක්. මූල්‍ය ඉතිහාසයේ ගැටලු සහගත ස්වාභවයක් නැත්නම්, ණය ලබාදීම සහ ඒ ණය නැවත ගෙවීම සම්බන්ධයෙන් අප ගැන මූල්‍ය ආයතනයට විශ්වාසයක් ගොඩ නැඟෙනවා. ණය ගෙවීම් පැහැර හැරීමක් හෝ ඇපකර ගැටලුවක් ඇත්නම් අනාගතයේදී ණයක් ලබා ගැනීම සඳහා එය බාධාවක් වීමේ ඉඩකඩ වැඩි යි. මෙය එක්තරා අන්දමක “සමාජ ලකුණු ක්‍රමවේදයක්” ලෙස හඳුන්වන්න පුළුවන්. යහපත් මූල්‍ය ඉතිහාසයක් ඇති පුරවැසියෙක් කියන්නේ මූල්‍ය ආයතනයකට යහපත් ලකුණු ලබාගත් පුද්ගලයකු වාගේ යි.

 සංකල්පයක් ලෙස මූල්‍ය කටයුතුවලදී පමණක් නොව, ඕනෑම පුරවැසි අවශ්‍යතාවක් සඳහා සමාජ ලකුණු ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එයට හොඳ ම උදාහරණය වන්නේ චීනය යි. මූල්‍ය ආයතනයක අප දකින ඉහත සරල සංකල්පය පියවර කිහිපයකින් ඉදිරියට ගෙනයෑමේ පසුබිමක් චීනය සකසමින් සිටිනවා. පුරවැසියකුගේ විශ්වාසනීයභාවය තක්සේරු කිරීමේ අරමුණින් පුරවැසියකුගේ හැසිරීම් රටා බොහෝමයක් ආවරණය වන පරිදි මෙම සමාජ ලකුණු ක්‍රමවේදය සකසන බවක් පෙනී යනවා.

නීති ගරුක ලෙස රිය නොපැදවීම ඇතුළු කාරණා බොහෝමයක් නිසා ලකුණු මට්ටම අඩු වෙනවා – mwg.aaa.com 

හොඳ නරක මැන බැලීම

 සදාචාරය පදනම් කර ගත් ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් චීන පරිපාලනය ගොඩනඟමින් සිටින්නේ වසර ගණනාවක සිට යි. ඉන්පසු පුරවැසියන් සමාජ ගෞරවය මත ශ්‍රේණිගත කිරීමක් සිදු කරනවා.  පුරවැසියකුගේ යහපත් හෝ අයහපත් කල් ක්‍රියාව මඟින් ඔවුන් සමාජ ගෞරවය කොතෙක් දුරට හිමි කර ගන්නවාද යන්න මැන බැලීම මෙහි අරමුණ යි. ඒ අනුව පුරවැසියාට යම් යම් ප්‍රතිලාභ මෙන් ම පාඩුත් සිදු වෙනවා. චීනයේ සුවිශාල ජනගහනයේ හැසිරීම මේ හරහා නිරීක්ෂණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2014 දී මුලින් ම ප්‍රකාශයට පත් කළ මෙම සමාජ ලකුණු ක්‍රමවේදය, සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ සහ සමාජ පාලන ක්‍රමයේ වැදගත් අංගයක් බවට පත් කිරීම චීන පරිපාලනයේ අපේක්ෂාව යි.

චීන ආර්ථික විද්‍යා සැලසුම් කණ්ඩායම, ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම, චීන මහජන බැංකුව සහ චීන අධිකරණ පද්ධතිය මෙහි ශ්‍රේණිගත කිරීම් තීරණය කරන පාර්ශව ලෙස ක්‍රියා කරනවා. මෙම ක්‍රමවේදය අදාළ වන්නේ තනි පුද්ගලයන් සඳහා පමණක් නොවේ. සමාගම් සහ රාජ්‍ය ආයතනත් එහිදී ආවරණය වෙනවා. චීනය තුළ දැනටමත් පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම්වල තමන්ට ආවේණික වූ සමාජ ලකුණු ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. කෙසේ නමුත්, මුළු ජනගහනය ම සහ සියලු සංවිධාන ආවරණය වන පරිදි ඒවායේ කල්ක්‍රියාව පිළිබඳ තොරතුරු එකතු කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්.

ක්‍රියාත්මක වන හැටි

 දත්ත පදනම් කරගත් ඩිජිටල් නිරීක්ෂණ පද්ධතියක් ලෙස සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව පැවසෙනවා. විවිධ ප්‍රභවයන්ගෙන් දත්ත රැස් කිරීමෙන් පසු ඒවා සමූහනය කිරීම හා විශ්ලේෂණය කිරීමෙන් පුද්ගලයන් සහ සමාගම් යන ආකාර දෙකට ම ලකුණු සම්පාදනය කෙරෙනවා. උදාහරණයක් ලෙස සමාගමක් ගනිමු. සමාගමක මෙහෙයුම් කටයුතුවලට අමතරව ඔවුන්ගේ හවුල්කරුවන් සහ සැපයුම්කරුවන්ගේ විස්තර ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ බලධාරීන් හරහා එකතු කිරීම සිදු කරනවා.

එහිදී සැපයුම්කරුවන්ගේ විශ්වාසනීයත්වය සහ පාරිභෝගිකයන් සමාගම ගැන තබා ඇති විශ්වාසය අවම වුණොත්, සමාගමේ ලකුණු තත්ත්වයට එය බලපානවා. සමාජ ලකුණු ක්‍රමවේදයෙන් හොඳ ඇගයීමක් ලැබේ නම් සමාගමට වාසි ලැබෙන අතර, තත්ත්වය අයහපත් නම් දඬුවම් විඳීමට සිදු වෙනවා. සංවිධාන මට්ටමෙන් මෙම කටයුත්ත සිදු කිරීම පහසු වුණත්, පුද්ගල මට්ටමින් සිදු කිරීමට යන නිසා යම් විවාදාත්මක ස්වභාවයක් ක්‍රමවේදය හමුවේ පැන නැඟී තිබෙනවා. 

ක්‍රමවේදය ක්‍රියාත්මක වන අන්දම රූපීයව – twitter.com 

 පසුගිය වසර කිහිපය තුළ මෙම වැඩසටහන රට පුරා මිලියන ගණනක් ආවරණය කිරීමට සමත් වූ අතර, 2020 වනවිට එය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට චීනය අපේක්ෂා කළා. මේ වනවිට සමාජ ලකුණු ක්‍රමවේදය කොටස් වශයෙන් සිදුවන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. නුදුරු අනාගතයේදී මුළු චීනයේ ම සංවිධාන සහ පුද්ගලයන් ඇතුළත් වන පරිදි මෙම ක්‍රමවේදය අනිවාර්ය අංගයක් ලෙස එක්සත් වී ක්‍රියාත්මක වනු ඇති.

එහිදී සෑම පුරවැසියකුට ම තමාට ම සුවිශේෂී වූ කේතයක් ලැබෙන අතර, එමඟින් පුරවැසියාගේ කල් ක්‍රියාව අනුව එකතු කර ගත් ලකුණු දැනගත හැකි යි. චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන අන්දම බොහෝ දුරට රහසිගත බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

චීනය තම සමාජ ලකුණු ක්‍රමය මත පදනම්ව ගමනාගමන තහනම් පැනවීම දැනටමත් සිදු කරනවා.
 thailand-business-news.com 

නරකට හිටියොත් වෙන දේ

 පුද්ගල මට්ටමින් සැලකීමේ දී අයහපත් ලෙස හැසිරෙන පුද්ගලයන්ගේ ලකුණු මට්ටම පහළ යෑමක් සිදු වෙනවා. අයහපත් හැසිරීම් අතරට නීතිගරුක ලෙස රිය නොපැදවීම, දුම්පානය තහනම් කළ ස්ථානවල දුම්බීම, පමණට වඩා පරිගණක ක්‍රීඩා මිලට ගැනීම හා ඒවා ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ගත කිරීම, ව්‍යාජ ප්‍රවෘත්ති අන්තර්ජාලයට ඇතුළත් කිරීම (විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර සහ ගුවන් තොටුපළ ආරක්ෂාව සම්බන්ධ පුවත්), නිරර්ථක දේවල් මිලට ගැනීම සඳහා මුදල් නාස්ති කිරීම හා ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම, ණය සහ බිල්පත් ගෙවීම ප්‍රමාද කිරීම, වැනි දේ ඇතුළත් වන බව සඳහන් වෙනවා. ගැටලුව වන්නේ ඉහත සඳහන් ඇතැම් දේවල් පුද්ගල මට්ටමින් නීරික්ෂණය කරන්නේ කෙලෙසද යන්න යි. සමාජ ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක වන අන්දම සම්පූර්ණයෙන් නිරාවරණය වී නොමැති බව ඇතැම් මාධ්‍ය පවසන්නේ ඒ නිසා වෙන්නට පුළුවන්.

‍යම් නිර්ණායක් හෝ නිර්ණායක කිහිපයක් ඔස්සේ පුද්ගලයකුගේ ලකුණු මට්ටම පහළ ගියොත්, ඔහුට හෝ ඇයට යම් අවාසි සහගත ප්‍රතිඵල අත් වෙනවා. කෙසේ නමුත්, ප්‍රතිවිපාක සියල්ල ම වර්තමානයේ දී අපේක්ෂා කළ නොහැකි යි. තවමත් සමාජ ලකුණු ක්‍රමවේදය ගොඩනැඟෙමින් පවතින කටයුත්තක් වීම ඊට හේතුව යි. අයහපත් හැසිරීම හමුවේ බොහෝවිට අත්වෙන ප්‍රතිඵල කිහිපයක් පහත දැක්වෙනවා. 

අයහපත් හැසිරීම හමුවේ අත්වෙන ප්‍රතිඵල

 බලපත්‍ර සහ අනුමත කිරීම් ප්‍රතික්ෂේප වීම (සමාගම් ඇතුළුව), සමහර වෙළඳපොළ අංශවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කිරීම, ණය හා සුබසාධනය සඳහා ප්‍රවේශය වඩාත් දුෂ්කර කිරීම, ව්‍යාපාරික පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම හා හොඳ ම හෝටල් පහසුකම් ලබා ගැනීම වැනි සුඛෝපභෝගී තේරීම් සීමා කිරීම, ගුවන් ගමන් තහනම් කිරීම, අන්තර්ජාල වේගය අඩු කිරීම, අධ්‍යාපනය ලැබීමේදී හොඳ ම ආයතන වෙත ප්‍රවේශ වීමේ ගැටලු. 

  චීනය දැනටමත් ඔවුන්ගේ නිර්ණායක අනුව නොහැසිරුණු මිනිසුන්ට ගුවන් ගමන් තහනම් කිරීම ඇතුළු ගමනාගමන සීමා කිරීම් සිදු කරන බව වාර්තා වෙනවා. “ද ගාඩියන්” පුවත්පතේ වාර්තාවකට අනුව 2018 අවසානය වනවිට ගුවන් ගමන් වාර මිලියන 17.5 ක් මිනිසුන්ට තහනම් කොට තිබෙනවා.

සමාගම්, පුද්ගලයන් සියල්ලන්ම මෙහිදී ආවරණය කිරීමට අපේක්ෂිත යි – youtube.com

හොඳින් සිටියොත් ප්‍රතිලාභ

 පාලන තන්ත්‍රය පැනවූ නීති අනුගමනය කිරීමෙන් ලකුණු මට්ටම ඉහළ දමාගත් පුද්ගලයන්ට ප්‍රතිලාභ ලැබීමකුත් මේ ක්‍රමවේදය හරහා සිදු වෙනවා. හොඳ ලකුණු ප්‍රමාණයක් ඇති පුද්ගලයකුට යුරෝපය වැනි පෙදෙස් වලට සංචාරය කිරීමේ පහසුකම් වේගවත් කිරීම දැනටමත් සිදුවන බව සඳහන්. හොඳ ලකුණු ප්‍රමාණයක් තිබූ හෙයින්, මුදල් තැන්පතුවක් නොගෙවා ම හෝටලයක වෙන් කරවා ගැනීමේ පහසුකම් ලැබුණු බව කාන්තාවක් BBC ආයතනයට පවසා තිබුණා.

 සබඳතා ඇතිකර ගැනීම වෙනුවන් ඇති සමහර වෙබ් අඩවි (Dating Web Sites)  මගින් යහපත් පුරවැසියන්යැ යි සලකන අයගේ ගිණුම් වල තත්ත්වය ඉහළ දැමීමේ ක්‍රියාවකුත් සිදු වෙනවා. මීට අමතර ව බලශක්ති බිල්පත් සඳහා වට්ටම් ලබාදීම, තැන්පතු නොමැතිව යම් යම් දේ කුලියට ගත හැකි වීම, බැංකුවලින් වඩා හොඳ පොලී අනුපාත ලැබීම වැනි ප්‍රතිලාභ චීනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලැබෙන බව පැවසෙනවා. ගමනාගමනය, අධ්‍යාපනය, වෘත්තීය ජීවිතයේ කඩඉම් සම්බන්ධයෙනුත් යම් යම් ප්‍රතිලාභ හොඳ ලකුණු ප්‍රමාණයක් ඇති පුද්ගලයන්ට හිමි වීමේ හැකියාවක් තිබෙනවා.

ක්‍රමවේදය විවාදාත්මක යි!

 පුද්ගලයන් සඳහා වූ සමාජ ලකුණු ක්‍රමවේදය හරහා පැන නැගුණු වඩාත් විවාදාත්මක කරුණු වන්නේ, දත්තවල විශ්වාසනීයත්වය, හැසිරීම් නිරීක්ෂණය කිරීම සහ ශ්‍රේණිගත කිරීම් සඳහා සලකන නිර්ණායකවල ඇති ගැටලු සහගත බව යි. චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය විවේචනය කරන්නන්ට අනුව මේ හරහා මිනිසුන්ගේ ජීවිතයේ සෑම කොටසක් ම රජය මගින් පාලනය කිරීමක් සිදු වෙනවා.

 දුර්වල රෙගුලාසි සහ නීතිය ක්‍රියාත්මක කිරීම් හමුවේ දත්තවල විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව, පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම, වැනි කාරණා කෙරෙහිත් සැලකිලිමත් විය යුතු බව කියවෙනවා. අවම ලකුණු හමුවේ පුද්ගල හා සංවිධාන මට්ටමෙන් සම්බාධක පැනවීමෙන් සමාජය තුළ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සහ ණය අවම කිරීම සාධනීය මට්ටමෙන් කිරීමට හැකිවේද යන්න ගැටලු සහගත යි. දිගු කාලීන මූල්‍ය ගැටලු ඇති පුද්ගල‍යන් සහ සංවිධාන මෙහි දී වඩාත් අවදානමට ලක් වෙනවා.

 ෂිංහුවා විශ්වවිද්‍යාලයේ මූල්‍ය විෂයයන් සම්බන්ධ මහාචාර්ය ලියෝ ලීගේ ඇස්තමේන්තුවකට අනුව ක්‍රමවේදයේ දත්ත ගබඩාවට ඇතුළත් කර ඇති පුද්ගලයන් අතුරින් පැහැදිලි ණය ඉතිහාසයක් තිබුණේ අඩකට ආසන්න ප්‍රමාණයකට පමණ යි. දත්ත නිසියාකාරයෙන් නිරීක්ෂණය නොකිරීම හෝ ඔවුන්ගේ වාර්තා ආයතන කිහිපයක් අතර ව්‍යාප්ත ව පැවතීම සහ ඒවා ඒකාබද්ධ නොවීම, මෙම ගැටලු සඳහා හේතුවිය හැකි බව අනුමාන කරනවා.

චීනය සමාජ ලකුණු ක්‍රමය ඩිස්ටෝපියානු සමාජයකට අර ඇඳීමක්යැ යි ඇතමුන් පවසනවා.
 harvardmagazine.com/2014/07/chorus-of-soloists

ඩිස්ටෝපියානු සමාජයකට පෙරහුරුවක් ද?

 ලෙඩ රෝග, වේදනා, දුප්පත්කම, පංති භේද වැනි විෂමතා නොපවතින එහෙත්, සෑම දෙනාම පරිපූර්ණ එකඟතාවකින් සහ සාමකාමීත්වයෙන් වෙසෙන සමාජයක් යුටෝපියානු සමාජයක් ලෙස අර්ථ දැක්වෙනවා. බයිබලයේ එන ඒදන් උයන එවැනි යුටෝපියාවකට උදාහරණයක් ලෙස දැක්විය හැකි යි. යථාර්තයත් සමඟ සැසඳීමේදී එවැනි සමාජයක් මනෝරාජික ලොවකට සමාන යි. “ඩිස්ටෝපියාව” කියන්නේත් එවැනි පරිපූර්ණ සමාජයක් විස්තර කිරීම සඳහා භාවිත කරන යෙදුමක්. එහෙත්, ඩිස්ටෝපියානු සමාජයකදී මතුපිටින් ඇති පරිපූර්ණත්වය ඇතුළත පවතින්නේ නැහැ. ඩිස්ටෝපියානු සමාජයක අපේක්ෂිත පරිපූර්ණත්වය පවත්වා ගෙන යෑමේ දී ජනතාව බලවත් අසාධාරණයකට ලක්වන අතර, පුද්ගල නිදහසත් බරපතල අභියෝගයකට ලක් වෙනවා. මුල දී පුරවැසියාට එවැනි සමාජ ක්‍රමයක් තමා වටා ගොඩනැඟෙනවාද යන්න නොදැනෙන්න පුළුවන්. 

 චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය තුළට යම් සදාචාරත්මක දර්ශනයක් ඇතුළත් කර ඇති බව එය විවේචනය කරන්නන් පවසනවා. ඒ හරහා චීන පරිපාලනය යම් ආකාරයක ඩිස්ටෝපියානු පාලනයකට අර අදිමින් සිටින බව ඔවුන්ගේ අදහස යි. චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය, ජෝර්ජ් ඕ(ර්)වල් විසින් රචිත “1984” නමැති සමාජ විද්‍යා ප්‍රබන්ධය සමඟ සංසන්දනය කිරීමට පවා ඔවුන් පෙලැඹී තිබෙනවා. පුරවැසියෙකුගේ ජීවිතයේ සෑම අංශයක්ම දැඩි ලෙස පාලනය කරන ඩිස්ටෝපියානු පාලන තන්ත්‍රයක් පසුබිම් කරගනිමින් “1984” කෘතිය රචනා වී තිබෙනවා.

 කරුණු කාරණා අනුමාන කරන පරිද්දෙන් ම සිදු වුණොත්, චීනය අනාගතයේදී රටකටත් වඩා විකල්ප ලෝකයක් ලෙස හැඳින්වීම වඩාත් උචිත යි. එහෙත්, ලෝක දේශපාලනය හා බල අරගලය තුළ පැහැදිලි ප්‍රතිවිරුද්ධ කඳවුරක් චීනය ඉදිරියේ තිබෙන නිසා, ඔවුන් චීනය ගැන පවසන දේවල් ප්‍රවේශමෙන් තේරුම් බේරුම් කරගත යුතු යි.

කවරයේ ඡායාරූපය: චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය රූපීයව දැක්වීමේ උත්සාහයක් - mercatornet.com

මූලාශ්‍ර:

www.scmp.com

www.wired.co.uk

www.ionos.com

www.businessinsider.com

study.com

www.theguardian.com 

Related Articles

Exit mobile version