මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සදහට ම වියැකේවි ද?

2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහ කළ මියන්මාරයේ සිවිල් නායිකා අවුන් සාන් සුචී, අවම වශයෙන් චෝදනා තුනකට වැරදිකරු බව මියන්මාරයේ හමුදා අධිකරණය මඟින් තීන්දු කොට තිබෙනවා. අදාළ නඩු තීන්දුව පසුගිය සඳුදා ප්‍රකාශයට ලක් කෙරුණු අතර, ඇයට වසර හතරක සිර දඬුවමක් නියම වී තිබෙනවා. වෝකි-ටෝකි යන්ත්‍ර අනවසරයෙන් ළඟ තබා ගැනීම, කොවිඩ්-19 රෙගුලාසි උල්ලංඝණය කිරීම, යන චෝදනා ඒ අතරින් කිහිපයක්. හමුදා පාලනය නැවත ස්ථාපිත වීමත් සමඟ අවුන් සාන් සුචී දේශපාලනික වශයෙන් අභිප්‍රේරිතයැ යි පවසමින් ඇය රඳවා තබා ගැනීමට මියන්මාර හමුදා පාලනය මුල සිට ම ක්‍රියා කළා.

කෙසේ නමුත්, තමාට එල්ල වන සියලු චෝදනා අවුන් සාන් සුචී ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ චෝදනා හැරුණු කොට තවත් චෝදනා රාශියක් සම්බන්ධයෙන් සංවෘත අධිකරණයක නඩු විභාගය පැවැත්වෙන අතර, සියලු චෝදනාවලට වැරදිකරු වුවහොත්, අවුන් සාන් සුචීට නියම වන සිර දඬුවම වසර සියයක් ඉක්මවා වර්ධනය විය හැකි යි. පසුගිය ඔක්තෝබරයේ දී නඩුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා නොකරන ලෙස ඇයගේ නීතිඥයන්ට නියෝග ලැබුණ හෙයින්, නඩු විභාගය ගැන කරුණු හෙළි වන්නේ අල්ප වශයෙන්.

අවුන් සාන් සුචීට ජාත්‍යන්තර වශයෙන් මනා පිළිගැනීමක් තිබූ නමුත්, රෝහින්ග්‍යා අර්බුදයේ දී ඇයගේ ප්‍රතිරූපය පළුදු වුණා – www.bbc.com 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා වන නෙඩ් ප්‍රයිස්, අවුන් සාන් සුචීට එරෙහි නඩු තීන්දුව හෙළා දැක තිබූ අතර, එය යුක්තියට සහ නීතියේ ආධිපත්‍යයට සිදු කළ අවමානයක් ලෙස ඔහු සලකා තිබෙනවා. අවුන් සාන් සුචී යනු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙහි ලා මියන්මාර වැසියන්ට තිබූ එකම සුබ ලකුණ යි. නමුත්, දැන් එය යථාර්තයෙන් වඩාත් ඈත් වෙමින් පවතිනවා.

සුචී ගේ ගමන් මඟ

අවුන් සාන් සුචී යනු මියන්මාරයේ (අතීත බුරුමය) නිදහසේ වීරයා ලෙස සලකන ජනරාල් අවුන් සාන්ගේ දියණිය යි. බ්‍රිතාන්‍ය පාලනයෙන් මියන්මාරය 1948 දී නිදහස ලැබීමට සුළු කලකට පෙර ඔහු ඝාතනය කෙරුණා. ඒ වනවිට අවුන් සාන් සුචී යනු අවුරුදු දෙකක් වයසැති කුඩා දැරිවියක්. 1960 දී ඇයගේ මව ඉන්දියාවේ මියන්මාර තානාපතිනිය ලෙස පත් වූ හෙයින්, මවත් සමඟ දිල්ලියට සංක්‍රමණය වීමට සුචීට සිදු වුණා. පසු කලෙක අවුන් සාන් සුචී උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇය දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව හැදෑරුවා. සිය අනාගත සැමියා වූ මයිකල් ඒරිස් ඇයට මුණ ගැසෙන්නේත් එක්සත් රාජධානියේ දී යි.

අවුන් සාන් සුචී සිය සැමියා වූ මයිකල් ඒරිස් සමඟ – www.theguardian.com 

අධ්‍යන කටයුතුවලින් පසු සුචී රටවල් කිහිපයක සේවය කළා. නමුත්, සිය දරුවන්ගේ වගකීම් සලකා ඇයඑක්සත් රාජධානිය වෙත නැවතත්  පැමිණියා. වසර කිහිපයක් ඇය සිය මව් රට වූ මියන්මාර‍යෙන් ඈත් ව සිටියත්, පියා ගෙන් උරුම වූ දේශපාලන පසුබිම සහ මවගේ රාජ්‍යතාන්ත්‍රික දක්ෂතාවලින් ලත් ආභාසය ඇයට අමතක කිරීමට හැකි වුණේ නැහැ.

1988 දී ඇය බුරුමය වෙත නැවත පැමිණියා. ඒ වනවිට ඇය උපන් දේශය විශාල දේශපාලන පෙරළියකට නතු වෙමින් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා දහස් ගණන් ශිෂ්‍යයන්, වෘත්තිකයන් සහ භික්ෂුන් වහන්සේලා වීදි බැස තිබූ අතර, එකල බුරුමය වෙළා ගෙන තිබූ ඒකාධිපති පාලනයට එරෙහි කැරැල්ලට සහාය දීමට අවුන් සාන් සුචී තීරණය කළා.

අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්

1988 දී හමුදා පාලන තන්ත්‍රයට එරෙහි වූ මිනිසුන් කුරිරු ලෙස මර්දනය කිරීම ඇරඹුණා. මර්දනයේ ම ප්‍රතිඵලයක් වශයෙන් අවුන් සාන් සුචී නිවාස අඩස්සියේ තැබීමටත් හමුදා පාලනය කටයුතු කළා. 1990 වසරේ මැද භාගයේ දී බුරුම හමුදා පාලනය ජාතික මැතිවරණයක් කැඳවූ අතර, සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජාතික ලීගය මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. නමුත්, මිලිටරි ජුන්ටාව සුචීගේ පක්ෂයට පාලනය භාර දීමට සූදානම් වුණේ නැහැ. 1995 ජූලි මාසයේ නිදහස ලබන තෙක් ම අවුන් සාන් සුචී නිවාස අඩස්සියේ තැබීමට මිලිටරි පාලනය කටයුතු කළා.

නිවාස අඩස්සියෙන් 2010 දී නිදහස් වූ අවුන් සාන් සුචී හට විශාල ජනකායක් සුබ පැතුවා – www.bbc.com 

නිවාස අඩස්සියෙන් නිදහස ලැබුවත්, ඇයට යැංගොන් නගරයෙන් පිටත සංචාරය කිරීමේ සීමා පැනවුණා. මේ අතර ඇයගේ ස්වාමි පුරුෂයා වූ මයිකල් ඒරිස්, රෝගී තත්ත්වයක් හේතුවෙන් 1999 වර්ෂයේ දී අභාවප්‍රාප්ත වුණා. ඔහු ඒ වනවිට සිටියේ ලන්ඩන් නුවර යි. අසනීප ව සිටි කාලයේ දී බුරුමයට පැමිණ අවුන් සාන් සුචී මුණ ගැසීමට මයිකල් ඒරිස් උත්සහ කළත්, බුරුමයේ මිලිටරි පාලනය ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට ලන්ඩන් නුවරට ගොස් සිය සැමියා මුණ ගැසීම සම්බන්ධයෙන් සුචී උනන්දු කිරීමට මිලිටරි ජුන්ටාව උත්සහ කළා. ලන්ඩනයට ගොස් නැවත පැමිණීමේ දී අවුන් සාන් සුචී හට බුරුමයට ඇතුළු වීමට ඉඩ නොදීමේ හැකියාවක් ඇති නිසා බුරුමය තුළ දිගට ම රැඳී සිටීමට ඇය තීරණය කළා.

සුචීටනිදහසේ සිටීමට මිලිටරි පාලනය  දිගින් දිගට ම ඉඩ දුන්නේ නැහැ. ඇය කිහිප වතාවක් නිවාස අඩස්සියෙන් නිදහස් කළත්, ඉතා ඉක්මනින් නිවාස අඩස්සියට නැවත යටත් කිරීමට මිලිටරි ජුන්ටාව ක්‍රියා කළා. සුචී නිදහස් වූ සෑම විටක ම පාහේ හමුදා පාලනයට එරෙහිව පවත්නා ජනතා විරෝධය යළි ඉස්මතු වීම ඊට හේතුව යි. මියන්මාරය වෙත ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණැල්ල ගෙන ආ හැකි නායිකාව වශයෙන් ඇයට විශාල ජනතා සහායක් තිබුණා. විටින් විට පාලකයන්ගේ ආධාරකරුවන් සහ සුචීගේ ආධාරකරුවන් අතර ගැටුම් හටගන්නා පසුබිම මත ඇය නිදැල්ලේ සිටීම මිලිටරි පාලනයට කිසි සේත් ම යෝග්‍ය වුණේ නැහැ.

හමුදා මර්දනය හමුවේ රෝහින්ග්‍යා සරණාගතයන් දහස් ගණනක් පලා ගියා – www.trtworld.com 

ක්‍රියාකාරී දේශපාලනයට නැවතත්

2010 නොවැම්බර් හත් වැනිදා, එනම්, දශක දෙකකට පසු මියන්මාරයේ පැවැත්වූ පළමු මැතිවරණයට අවුන් සාන් සුචී සම්බන්ධ වුණේ නැහැ. කෙසේ නමුත්, මැතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර නිවාස අඩස්සියෙන් ඇය මුදා හැරීමට පාලනාධිකාරිය ක්‍රියා කළා. 2012 අප්‍රියෙල් මස පැවති අතුරු මැතිවරණයේ දී ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජාතික ලීගය තරග කළ අතර, එයින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වුණා. මැතිවරණ ජයෙන් පසු ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ විපක්ෂ නායිකාව ලෙස ක්‍රියාකාරී දේශපාලනය ඇරඹුවා.

2015 පැවති මහ මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ පක්ෂය අති විශිෂ්ට ජයක් ලැබුවත්, විදේශීය දරුවන් සිටින අයට ජනපති ධූරය දැරීමට නොහැකි පසුබිමක් මියන්මාරය තුළ තිබුණා. ඒ අනුව ඇයට ජනපති ධූරයට හිමිකම් කීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහෙත්, මියන්මාරයේ නිල නොලත් හෝ තත්ත්වාකාර නායිකාව ලෙස ඇයට පුළුල් පිළි ගැනීමක් ලැබුණා.

රඛයින් ප්‍රාන්තයේ විනාශ වූ රෝහින්ග්‍යා ගම්වල පිහිටීම් – www.bbc.com 

රෝහින්ග්‍යා අර්බුදය

මියන්මාරයේ රාජ්‍ය උපදේශකවරිය ලෙස පත් වූ පසු අවුන් සාන් සුචීගේ දේශපාලනය අපේක්ෂිත මට්ටමින් ප්‍රශංසනීය වුණේ නැහැ. බලයේ සිටි කාලය තුළ යටත් විජිත යුගයේ සිට පැවත ගෙන එන යාවත්කාලීන නොවූ නීති භාවිත කරමින් මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ට නඩු පැවරීමට ඇයගේ පක්ෂය කටයුතු කළා. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණ ලෙස සුචී ට යම් ගෞරවයක් හිමි ව තිබුණත්, ක්‍රියාත්මක වීමේ දී ඇයගේ යම් යම් අඩුපාඩුකම් ප්‍රදර්ශනය වුණා.

විශ්ලේෂකයන්ට අනුව අවුන් සාන් සුචී හමුවේ පවා මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය ඇණ හිට තිබුණා. එමෙන්ම, හමුදාවේ දේශපාලන අත පෙවීම්වලින් මියන්මාරය සම්පූර්ණයෙන් ගලවා ගැනීමට සුචී අපොහොසත් වුණා. උදාහරණයක් ලෙස ඇයගේ පාලනය මැද පවා ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ දේශසීමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ පැවතියේ හමුදා පාලනය යටතේ යි.

අවුන් සාන් සුචී සිය දරුවන් සමඟ – abtc.ng 

රෝහින්ග්‍යා අර්බුදයේ දී අවුන් සාන් සුචී කටයුතු කළ ආකාරය නිසා ඇයගේ ප්‍රතිරූපය ලෝක ප්‍රජාව ඉදිරියේ දරුණු පරිහානියකට පැමිණුනා. 2017 දී රඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට රෝහින්ග්‍යා කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වර්ධනය වුණු හමුදා මර්දනය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් අසල්වැසි බංග්ලාදේශයට හා තවත් රටවලට පලා ගියා.

රෝහින්ග්‍යා අර්බුදයත් සමඟ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු වූ නඩුවකට මියන්මාරය මැදි වුණා.  ජාත්‍යන්තර අධිකරණය සිදු කරන විමර්ශනයකටත් මියන්මාරය මුහුණ දෙමින් සිටිනවා. මියන්මාර හමුදාව රෝහින්ග්‍යා ජනතාවට සිදු කළ අකටයුතුකම් හෙළා දැකීම හෝ ඔවුන්ට සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ සිදුවීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හෙයින්, අවුන් සාන් සුචීගේ හිටපු ජාත්‍යන්තර ආධාරකරුවන් ඇය විවේචනය කර තිබුණා.

2021 පෙබරාරියේ දී මියැන්මාරය නැවතත් හමුදා පාලනයට නතු වූ අතර, රට පුරා විරෝධතා සංවිධානය වුණා – www.bbc.com 

වර්තමාන මියන්මාරය හමුදා ග්‍රහණයට නැවතත් නතු වී තිබෙනවා. අවුන් සාන් සුචීගේ ඉදිරි දේශපාලන දිවිය පමණක් නොව පෞද්ගලික ජීවිතය පවා දැන් තිබෙන්නේ අවදානමක යි. පසුගිය වර්ෂයේ පෙබරවාරි මස සිදු වූ බල පෙරළියත් සමඟ අවුන් සාන් සුචී සහ ඇයගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රඳවා තබා ගැනීමට හමුදාව ක්‍රියා කළා.

අවුන් සාන් සුචීගේ පාලනය පෙරළා දැමීමත් සමඟ උරණ වූ මියැන්මාර වැසියන් රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් සංවිධානය කළා. තවමත් අවුන් සාන් සුචීගේ ජනප්‍රියත්වය මියන්මාරය තුළින් වියැකී ගොස් නැහැ. ඇය නැවත වතාවක් බලයට ගෙන ඒම සඳහා ජනතාව අරගල කරමින් සිටිනවා. මියන්මාරය යනු ලෝකයේ අද තිබෙන අනාරක්ෂිත ම රාජ්‍යයක්.

රෝහින්ග්‍යා අර්බුදයේ භූ ගෝලීය නිරූපණයක් – www.aljazeera.com 

නඩු විභාග මාලාවක නවත ම නඩුව හරහා, බලයෙන් පහ කළ නායිකා අවුං සාන් සූ චීට තවත් වසර හතරක සිරදඬුවමක් නියම කරන්නට මියන්මාර අධිකරණයක් පසුගිය දා කටයුතු කළා. ජංගම සන්නිවේදන උපකරණ (වෝකි ටෝකි) නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ ආනයනය කිරීමත්, කොවිඩ්-19 නීති කඩ කිරීම ඇතුළු චෝදනා 11 ක් ඇයට එල්ල වී තිබුණා. ඇයට එරෙහි ව තවත් නඩු තීන්දු කිහිපයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත යි. පසුගිය පෙබරවාරි මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයත් සමඟ සුචී නිවාස අඩස්සියට පත් කළා. සූ චී ප්‍රථම වරට වරදකාරිය කළේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි. එහිදී ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම වූවා.

අවුන්සාන් සුචීට සියලු නඩු තීන්දු සමඟ වසර 104 ක සිර දඩුවම් නියම කිරීමට හමුදා පාලකයන් සැලසුම් කරමින් සිටින බවටයි ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පවසා සිටින්නේ.

කවරයේ ඡායාරූපය- අවුන් සාන් සුචී - diplomacybeyond.com

මූලාශ්‍ර: 

 www.jurist.org

www.bbc.com

www.aljazeera.com

www.britannica.com 

Related Articles

Exit mobile version