පෘථිවියෙහි වසර මිලියන ගණනාවකට පෙර විසූ යෝධ උරගයන් සහ සමුද්‍රජීවී සත්ත්ව විශේෂ මහා වඳවීමේ කාලපරිච්ඡේයකට මුහුණ දුන් බව අපි අසා ඇති කරුණකි. ඒ කිසියම් බිහිසුණු පාරිසරික ව්‍යසනයක ප්‍රතිඵලයක් වශයෙන් බව විද්වත් මතය යි. එවකට මහා සමුද්‍රයේ වාසය කළ කොයිලකාන්ත්ස් Coelacanths හෙවත් සීලාකාන්ත්ස් නම් මත්ස්‍යායා ගැන ද පසුකාලීන ව දැන සිටියේ පොසිලවලින් පමණකි. ඩයිනෝසෝරයන් අතුරුදහන් වූ මහා වඳවීමේ කාලය තුළ ඔවුන්ද වඳ වී ගොස් ඇතැයි නිගමනය කෙරිණි. එම මෑත කාලීන පොසිල වාර්තා වසර මිලියන 80 සිට පැවත එන නමුත් පැරණිත ම වාර්තා දල වශයෙන් වසර මිලියන 360 තරම් ඈතට දිව යයි.
කොයිලකාන්ත් හෙවත් සීලාකාන්ත්ස් යනු ඉතා විශාල, ගැඹුරු මුහුදු පතුලේ වාසය කරන මත්ස්‍යයෙකි. ඔවුන් අයත් වන්නේ වසර මිලියන 360 කට වැඩි කාලයක් පුරා පැවත එන පුරාණ පරම්පරාවකට ය. සීලාකාන්ත්ස් අඩි හයකට වඩා දිග විය හැකි අතර රාත්තල් 200ක් පමණ බරින් යුක්ත ය. ඝන කොරපොතු සන්නාහයකින් සිරුර ආවරණය වී ඇත. ඔවුන් අවුරුදු 60 ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බවට ගණන් බලා ඇත.
ඩයිනෝසර් වැනි යෝධ උරගයන් වාසය කළ කාලයේ මුහුද ආශ්‍රිත ව සිටි ජලජ ජීවීන් ද මෑත කාලයේ ජීවත්වන මත්ස්‍යයන්ගෙන් ඉඳුරාම වෙනස් වූ බවට නිදසුන් දැන් සපයා ඇත. සමහර මත්ස්‍යයන්ට පාද වැනි වරල් ද විය. උන්ගේ සිරුරු බොහෝ විට ඝන කොරපොතුවලින් යුක්ත විය. ඒ යුගයේ සිටි අපූර්ව සමුද්‍ර ජීවියකු වූ සීලකාන්ත්ස් මත්ස්‍යයා පිළිබඳ විද්‍යාඥයන් සැක පහළ කළේ මේ අපූර්ව මත්සය්‍යා වසර මිලියන හැටපහකට පෙරාතුව ක්‍රිටේසියස් යුගයේ අගභාගයේ දී මිහිතලයෙන් තුරන් වූ බවට ය.
සියලු කාල්පනික මත සුනුවිසුණු කරමින්
සියලු කාල්පනික මත සුනුවිසුණු කරමින් ජීවමාන සීලකාන්ත්ස් සත්ත්වයෙක් හදිසියේ ම 1938 දී සොයා ගැනිණි. එම සත්ත්වයා Latimeria chalumnae ලෙස මහාචාර්ය ජේ.එල්.බී.ස්මිත් 1939 දී නම් කළේ එම සොයා ගැනීමට හිමිකාරිය වූ Marjorie Courtenay-Latimer මෙනෙවියගේ නමේ කොටසක්ද එකතු කරමින්ය. Latimeria යනු සෙසු පොසිල ආකාරවලින් වෙනස් වූ කුලයක් වුව ද, සියලුම සීලකාන්ත්ස් මත්ස්‍යයන් බොහෝ පොදු ලක්ෂණ විය.
ඒවා අතර සුවිශේෂී හැඩය සහ මාංශපූර්ණ වරල් පහසුවෙන් හඳුනාගත හැකි විය. ඉන්පසුව වසර ගණනාවක් තිස්සේ සජීවී සීලකාන්ත්ස්වරුන් ගැන දැන සිටියේ බටහිර ඉන්දියන් සාගරයෙන් ද, මූලික වශයෙන් කොමරෝස් දූපත්වලින් ද වශයෙනි. 1997 සැප්තැම්බර් සහ 1998 ජූලි මාසයේ දී, ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි ප්‍රදේශයේ, කොමරෝස් සිට සැතපුම් 6,000 ක් පමණ නැගෙනහිර මුහුදේ දී සීලකාන්ත්ස් මසකු අල්ලා ගැනිණි.
ඉන්දුනීසියානු සොයා ගැනීම සිදු කළේ එවකට ඉන්දුනීසියාවේ කොරල්පර පරිසර විද්‍යාව හදාරමින් සිටි ආචාර්ය උපාධිධාරියකු වූ Mark V.Erdmann ය. ඉන්දුනීසියානු නිදර්ශක බටහිර ඉන්දියන් සාගරයේ නිදර්ශකවලට මතුපිටින් සමාන වුව ද, ලබා ගත් ඉන්දුනීසියානු පටක සාම්පලවල DNA විශ්ලේෂණය කිරීමෙන් ඉන්දියානු සාගර සීලකාන්ත්ස් ජනගහනයෙන් සැලකිය යුතු ජානමය වෙනසක් අනාවරණය විය.
අධ්‍යයන දෙකක කතුවරුන් යෝජනා කර ඇත්තේ මත්ගස්‍ය ගහන දෙක අවම වශයෙන් වසර මිලියන කිහිපයක් තිස්සේ වෙන් වී පැමිණ ඇති බව යි.
සීලකාන්ත්ස් යනු දුර්ලභ ගණයේ සාගර මත්ස්‍යයකු වන අතර උන් කලින් සුලබ ව සිටි සීලකාන්ත්ස් මත්ස්‍යයන්ගේ පැරණි පරම්පරාවක නූතන ජීවමාන නියෝජනයකි. මෙම පරම්පරාව සහ සමීපව සම්බන්ධ වූ ඉන්දුනීසියානු සීලකාන්ත්ස් විශේෂවලට අනන්‍ය භෞතික ලක්‍ෂණ කිහිපයක් ඇත. ඒවායින් ස්වල්පයක් හෝ වෙනත් ජීවි විශේෂවලට පිහිටා නැත.
කැපී පෙනෙන ලොබඩ් වරල්
සීලකාන්ත්ස් ගේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ලොබඩ් වරල් වන අතර එය කකුල් හතරේ මුල් ගොඩබිම විසූ සතුන්ගේ කකුල්වලට සමාන වේ. බොහෝ නවීන මත්ස්‍යයන්ගේ දෙබලක වලිග වරල මෙන් නොව මත්ස්‍යයාට පෙති තුනකින් යුත් වලිග වරලක් ඇත. සීලකාන්ත්ස්ට හිස්, තරල පිරුණු කොඳු ඇට පෙළක්, කැල්සිෆික් කොරපොතු, සැබෑ එනමල් දත් සහ මුඛය පුළුල් ලෙස විවර කිරීමට ඉඩ සලසන හිස් කබලක් ඇත. වර්ණය ගැඹුරු ලෝහමය නිල් (සමහර විට දුඹුරු) ය. අක්‍රමවත් සුදු ලප සිරුර මත ඇත. වැඩිහිටි සීලකාන්ත්ස්ගේ උපරිම දිග ප්‍රමාණය මීටර 1.8 (අඩි 6) ට වඩා තරමක් වැඩි වේ. ගැහැනු සීලකාන්ත්ස් වරකට බිත්තර 20 ත් 65 ත් අතර ප්‍රමාණයක් දමයි.
සජීවී මත්ස්‍යයන් අතර සීලකාන්ත්ස්ට අනන්‍ය වූ ලක්ෂණ රාශියකි.
ඒවා අතර විද්‍යුත් සංවේදක පද්ධතියේ කොටසක් වන නාසයේ “රෝස්ට්‍රල් ඉන්ද්‍රිය” පැවතීම සහ හිස් කබලේ අභ්‍යන්තර සන්ධියක් හෝ සරනේරු වැනි උපක්‍රමයක් මගින් හිස් කබලේ ඉදිරිපස කොටස ඉහළට පැද්දීමට ඉඩ සලසන පහසුව ද වේ. අනෙකුත් සුවිශේෂී ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ අතරට සුෂුම්නාවට යටින් ඇති හිස් තරල පිරවූ “නෝටෝකෝඩ්” (පෘෂ්ඨවංශීන්ගේ ප්‍රාථමික ලක්ෂණයක්) සහ සිරුර දිගු කිරීම, අසම්පූර්ණ ව පිහිටා ඇති හෝ අස්ථි කේන්ද්‍රය සම්පූර්ණයෙන් ම නොමැති කශේරුකා, තෙල් පිරවූ වායු මුත්‍රාශයක්, මාංසමය “ලොබ්ඩ්” හෝ අස්ථිවලින් අභ්‍යන්තර ව ආධාරක වන අත් පා වැනි වරල් සහ සමමුහුර්ත වූ ටෙට්‍රාපොඩ් වැනි රටාවකින් චලනය වන යුගළ වරල් ඒ අතර ඇත.
පෙනහළු ඇති මත්ස්‍යයා
සීලකාන්ත්ස් මත්ස්‍යයාගේ විශේෂත ම තවත් කරුණක් වන්නේ ඌට පෙනහළු තිබීම ය. යම් සත්ත්වයකුට පෙනහළු අවශ්‍ය වන්නේ ඍජුව ම හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් උරා ගැනීමට ය. සීලකාන්ත්ස් අතීත පරම්පරාවේ සත්ත්වයන්ට සක්‍රිය පෙනහළු තිබී ඇති අතර වර්තමාන සීලකාන්ත්ස් පරම්පරාවේ සතුන්ට පෙනහළු තිබුණත් ඒවා භාවිතයට නොගන්නා අක්‍රිය තත්ත්වයෙන් පවතී. ඒ පරිනාමීය ස්වභාවය අනුව ඔවුන් ගැඹුරු මුහුදු පත්ලට ම තල්ලු කළ නිසා විය හැකි ය.
වාසස්ථාන
සීලකාන්ත්ස් ජීවත් වන්නේ ගැඹුරු මුහුදේ ය. ඔවුන් නිශාචර විලෝපිකයන් වේ. ඔවුන් දිවා කාලයේ ගුහාවල සහ වෙනත් අඳුරු අවකාශයන්හි සැඟවී සිටියි. මෙම විශේෂය එහි පාද වැනි වරල් නිසා කැපී පෙනේ. සීලකාන්ත්ස්, ඉන්දුනීසියානු සීලකාන්ත්ස් සහ පෙනහළු සහිත තවත් මසුන් ලොබ් වරල් සහිත යැයි (lobe-finned fish) හඳුන්වන කණ්ඩායමට අයත් වේ. ඔවුන්ගේ වරල් බොහෝ විශේෂවල මෙන් ශරීරයට සෘජුව නොව කෙටි අත් පා අයුරින් සම්බන්ධ වේ. මෙම විශේෂයන් tetrapods (උභයජීවීන්, උරගයින්, ක්ෂීරපායින් සහ පක්ෂීන්) වෙත සමීප මත්ස්‍ය ඥාතීන් පිරිසක් වේ.
ලොබ් වරල් සහිත යැයි (lobe-finned fish) හඳුන්වන මසුන් අනෙකුත් මසුන්ට වඩා උභයජීවීන්, උරගයන් (tetrapods) සමඟ ඇති සබඳතාව සමීප ය. සජීවී සීලකාන්ත්ස් මත්ස්‍යයන් ජල තීරුව හරහා ඇවිදිනවාක් මෙන් පැඩලයක් වැනි ආකාරයෙන් ඔවුන්ගේ ලොබ් වරල් භාවිත කිරීම විද්‍යාඥයන් සමීප ව නිරීක්ෂණය කර ඇත. සීලකාන්ත් ජීවත් වන්නේ මීටර් 180-200 (අඩි 600-650) පමණ ගැඹුරේ සහ 35 ppt ලවණතාවයේ ගැඹුරු ජල ප්‍රජාවක ය. මෙම ගැඹුරේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 18-20°C (~68°F) පමණ වේ, එය සීලකාන්ත්ගේ රුධිරය මගින් ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමට ප්‍රශස්ත උෂ්ණත්වය වේ.
ආහාර සහ පෝෂණ ක්‍රමය
සීලකාන්ත්ස් යනු මත්ස්‍ය භක්ෂක (මසුන් අනුභව කරන), නිශාචර සතෙකි. ඔවුන් දිවා කාලයේ ගුහා තුළ වාසය කරයි. සමහර විට ඒ කොල්ලකාරී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට සහ රාත්‍රී ආහාර සොයා යාම සඳහා ශක්තිය ඉතිරි කර ගැනීමට ද විය හැකි ය. සීලකාන්ත්ස් රාත්‍රියේදී කුඩා මසුන්, දැල්ලන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් දඩයම් කරයි. සීලකාන්ත්ස් ගේ ස්වභාවික වාසභූමිය නිරීක්‍ෂණය කළ පළමු විද්‍යාඥයා වන හාන්ස් ෆ්‍රික්, මත්ස්‍යයා “ප්ලාවිත දඩයම්කරුවකු” ලෙස හඳුන්වයි. සීලකාන්ත්ස් ගොදුරක් හමු වූ විට උඩින් ගසාගෙන අල්ලා ගන්නා ජීවියෙකි.
සීලකාන්ත්ස්ගේ චලනය අද්විතීය ය. වරෙක මෙම සත්වයා සාගර පතුල දිගේ ලොබ් වරල් සමඟ ඇවිදීමේ ආකාරයෙන් චලනය වන අතර ම ජල තීරය හරහා පිහිනමින් සහ කකුල් හතරේ සතකුට සමාන ප්‍රත්‍යවර්ත රටාවකින් උගේ වරල් චලනය කරයි.
සීලකාන්ත්ස් ජනගහන පරාසය
කලක් පුළුල් ව හා විවිධාකාර වූ කණ්ඩායමක එක ම ජීවමාන නියෝජිතයා ලෙස සීලකාන්ත්ස්, විද්‍යාඥයන්ට විශාල තොරතුරු ප්‍රමාණයක් සපයා ඇත. ඉතිරි ව ඇති අවසාන සීලකාන්ත්ස් පරපුර මන්දගාමී වර්ධනයක්, අඩු උපත් අනුපාතයක් සහ සීමිත වාසස්ථානවල රඳා පැවැත්මක් ප්‍රකට කරමින් සිටින බව නිරීක්ෂණය ව ඇත. සීලකාන්ත්ස් වඳවී යාමේ තර්ජනයට තදින් ම මුහුණ දෙන සත්ත්ව විශේෂයකි.
අප්‍රිකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ ග්‍රෑන්ඩ් කොමොරෝ සහ ඇන්ජුවන් දූපත්වලට ඔබ්බෙන් එක් සීලකාන්ත්ස් ජනගහනයක් සිටින බව විද්‍යාඥයන් දන්නා කරුණකි. 1998 දී ඉන්දුනීසියාව අසල දිවි ගෙවූ තවත් සීලකාන්ත්ස් මත්ස්‍ය ගහනයක් සොයා ගැනිණි. මෙම ගහනය අප්‍රිකානු සීලකාන්ත්ස් වර්ගවලින් රූප විද්‍යාත්මකව සහ ජානමය වශයෙන් වෙනස් ය. 1999 දී දෙවන විශේෂය ලෙස Latimeria menadoensis ලෙස නම් කෙරිණි. මෙම විශේෂ දෙක දිවි ගෙවන ස්ථාන දෙක එකිනෙකට කිලෝමීටර් 10,000කට වඩා දුරින් පිහිටා ඇත.
දැනට ජීවත් වන සීලකාන්ත්ස් විශේෂ දෙකක්
දැනට සීලකාන්ත්ස් විශේෂ දෙකක් ජීවත් වන අතර ඒ විශේෂ දෙක ම දුර්ලභ ය. බටහිර ඉන්දීය සාගර සීලකාන්ත්ස් (Latimeria chalumnae) අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ජීවත් වන අතර ඉන්දුනීසියානු සීලකාන්ත්ස් (Latimeria menadoensis) ඉන්දුනීසියාවේ සුලවෙසි මුහුදේ දක්නට ලැබේ. වරල් සහිත මත්ස්‍ය පවුලක ශේෂ ව සිටින එකම නියෝජිතයන් වන්නේ ඔවුන් ය. සත්ත්ව විශේෂ ජලයෙන් ගොඩබිමට සංක්‍රමණය වීම අවබෝධ කර ගැනීම සඳහා උපකාර වන සීලකාන්ත්ස් පාද හතරේ, ගොඩබිම ජීවත් වන සතුන්ගේ මුතුන් මිත්තන් ලෙස සැලකේ.
ජෛවමය සාධක
සීලකාන්ත්ස් සම්බන්ධ ජෛවමය සාධක පිළිබඳ මෑත විශ්ලේෂණයකින් පෙනී යන්නේ පෙනහළු සහිත මසුන්, ගොඩබිම ජීවත් වන පාද හතරේ සතුන්ට වැඩි සමීප සම්බන්ධයක් දක්වන බව ය. සීලකාන්ත්ස් පෙනහළු සහිත මසුන් සහ උභයජීවීන්, උරගයන්ගේ අපසරණය මීට වසර මිලියන 390 කට පමණ පෙර සිදු වූ බව සැලකේ. සීලකාන්ත් පෘෂ්ඨවංශික පරම්පරාවේ එක් ශාඛාවක් වීමට ඉඩ ඇති අතර , එය උභයජීවීන්, උරගයන්ගේ මුතුන්මිත්තන්ට සමීප ව සම්බන්ධ වන නමුත් වඩා වෙනස් ද වේ.
සීලකාන්ත්ස්ගේ හකු පුළුල් ලෙස විවෘත වන පරිදි පිහිටා ඇත. සීලකාන්ත්ස්ට අභ්‍යන්තර සන්ධියක් ඇති අතර, විශාල ගොදුරක් පරිභෝජනය කිරීම සඳහා මුඛය අතිශයින් පුළුල් ලෙස විවෘත කිරීමට ඉඩ සලසන උගේ හිස් කබලේ අස්ථි සන්ධියක් ද ඇත. පිටකොන්දක් වෙනුවට ඔවුන්ට ඇත්තේ නොටෝකෝඩ් ය. එය තෙල් පිරවූ, හිස්, පීඩන නළයකි. එය සීලකාන්ත්ස්ට කොඳු නාරටිය ලෙස සේවය කරයි. අනෙකුත් බොහෝ පෘෂ්ඨවංශීන් තුළ, කලලරූපය වර්ධනය වන විට නොටෝකෝඩ් පෘෂ්ඨවංශික තීරුව මගින් ප්‍රතිස්ථාපනය වේ.
විද්‍යුත් සංවේදක පද්ධතිය
සීලකාන්ත්ට විද්‍යුත් සංවේදීතාවක් ඇත. ඔහුගේ නාසයෙහි විද්‍යුත් සංවේදක පද්ධතියක කොටසක් වන රෝස්ට්‍රල් අවයවයක් ඇත. ඔවුන් බාධක වලක්වා ගැනීමට සහ ගොදුර හඳුනා ගැනීමට විද්‍යුත් ප්‍රතිග්‍රහණය භාවිත කරයි. සීලකාන්ත්ස්ට කුඩා මොළයක් ඇත. සීලකාන්ත්ගේ මොළය එහි හිස් කබලේ කුහරයෙන් සියයට 1.5ක් පමණක් භාවිත කරයි. මොළයේ ඉතිරි කොටසේ මේදය පිරී ඇත.
ගැහැනු සීලකාන්ත්ස් සත්ත්වයන් අතිශය දිගු ගැබ්ගැනීම් කාලයකට පසු, සමහරවිට අවුරුදු තුනක් දක්වා, සජීවී දරුවන් බිහි කරයි. ඔවුන් අභ්‍යන්තර සංසේචනය හරහා ප්‍රජනනය කරන අතර සාපේක්ෂ ව හොඳින් වර්ධනය වූ සජීවී පැටවුන් බිහි කරයි. ඉපදුණු විගස, බාල වයස්කාර සීලකාන්ත්ස් වරුන්ට තවදුරටත් මාපිය රැකවරණයක් නොලැබෙන අතර කොල්ලකාරී ජීවන රටාවක් ආරම්භ කිරීමට ඔවුන් සූදානම් වේ.
වරෙක සීලකාන්ත්ස් යනු කරදිය සහ මිරිදිය යන දෙඅංශයේ ම ලොව පුරා ව්‍යාප්ත වූ වලංගු විශේෂ 90කින් පමණ සමන්විත විශාල කණ්ඩායමක් විය. අද වන විට ඔවුන් ජීවී විශේෂ දෙකක් වශයෙන් ඉතිරි වී ඇත. සීලකාන්ත්ස්ගේ පරිණාමීය සබඳතා තව ම මතභේදයට තුඩු දී ඇත. ඔවුන් සම්බන්ධ තරගකාරී උපකල්පන කිහිපයක් සහ නොවිසඳුණු ප්‍රශ්න රාශියක් ඉතිරි ව ඇත.
සීලකාන්ත්ස් පිළිබඳ දක්නට ලැබෙන අසාමාන්‍ය චරිත ලක්ෂණ හේතුවෙන් විශ්ලේෂකයන් බොහෝ දුරට එකඟ වන්නේ සීලකාන්ත්ස් යනු ප්‍රාථමික ඔස්ටියික්තියන් හෝ අස්ථි මත්ස්‍යයන් (මෝරුන් සහ කිරණ වැනි කාටිලේජිනස් මත්ස්‍යයන්ට ප්‍රතිවිරුද්ධ) සහ ඔවුන්ගේ සමීපත ම ජීවමාන ඥාතීන් ප්‍රාථමික පෙනහළු සහිත මසුන් බව ය. පෘෂ්ඨවංශීන්ගේ පරිණාමීය ඉතිහාසය තුළ සීලකාන්ත්ස් නිශ්චිත ව ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් තවමත් එකඟතාවකට පැමිණ නැත.