සත්ත්ව ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්

මධ්‍යසාර කියන්නේ බොහොම සරල අණුක සැකැස්මක් සහිත, කාබනික රසායනික විද්‍යාවේ එන ක්‍රියාකාරී කාණ්ඩයක්. රසායන විද්‍යාවේ දී එහෙම වුණත්, මධ්‍යසාර සමාජයට එද්දී කතාව ටිකක් වෙනස් වෙනවා. ගොඩක් වේලාවට “මධ්‍යසාර” කිව්වම අපට මතක් වෙන්නේ මිනිසුන් මත්වීමට භාවිතා කරන පානයක්. නමුත් හැම මධ්‍යසාර වර්ගයක්ම පානයට සුදුසු නැහැ. පරිභෝජනයට සුදුසු මධ්‍යසාර වර්ගය ලෙසට පුළුල් ලෙස භාවිතයට ගැනෙන්නේ එතනෝල් නම් මධ්‍යසාර වර්ගය යි. නමුත් මධ්‍යසාර පමණක් නොව, මත්වීමට භාවිතා කරන ද්‍රව්‍ය රාශියක් අද ලෝකය පුරා මිනිසුන් අතර පැතිර පවතිනවා. මේ සියලු මත්ද්‍රව්‍යවලින් ඉතා දරුණු ගණයේ ශාරීරික සහ මානසික සංකූලතා ඇති කරන්නට ඉඩකඩ තිබෙනවා. ඇත්තටම ඇයි මිනිස්සු මත්වෙන්න කැමති? අපි පොඩි විද්‍යාත්මක විග්‍රහයකට යමු.

මත්වීම මඟින් තාවකාලිකව මානසික ආතතිය අඩුකරන බව බොහෝදුරට පිළිගැනෙන කරුණක්. මොළයේ ප්‍රාථමික නිශේධනීය අණුව වන “GABA” නම් ස්නායු සම්ප්‍රේක්ෂකය වැඩි කිරීම මඟින් මේ ආතති ස්වභාවය අඩු කරන අතර, “GABA” නම් ස්නායු සම්ප්‍රේෂකය වැඩි වැඩියෙන් මොළයේ සෛල තුළට යැවීමෙන් මධ්‍යසාර මනස සන්සුන් කරන ඇතැම් ඖෂධ හා සමාන ක්‍රියාකාරීත්වයක් දක්වන බව සොයාගෙන තිබෙනවා. නමුත් දිගින් දිගටම මෙලෙස ස්නායු උත්තේජනය කිරීම අහිතකර වෙනවා මෙන්ම අතුරු ආබාධ රැසකට මඟ පාදනවා.

ඉතින් ඇත්තටම මෙහෙම මත්වෙන්න කැමති මිනිස්සු විතර ද? මිනිසා හැරුණුකොට මත්ද්‍රව්‍ය භාවිතය සිදුකරන සාමාජිකයින් සත්ත්ව ලෝකයේ බොහෝමයක් සිටිනවා. ඔවුන් අතරින් අලියා, ඩොල්ෆින්, වඳුරු විශේෂ ප්‍රමුඛ යි. සුවිශේෂිතම කාරණය වන්නේ මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන සතුන් බොහෝමයක් සාපේක්ෂව බුද්ධි මට්ටමෙන් ඉහළ ජීවින් ලෙස හඳුනාගෙන තිබීම යි. ඉතින් මත්වීමට කැමති එවැනි සතුන් හා ඔවුන් භාවිතා කරන මත්ද්‍රව්‍ය ලැයිස්තුවක් ගෙන ඒමට යි මේ සූදානම.

මරුලා ගසට පෙම් බඳින අලීන්

මරුලා ගසක් යටට ඇදෙන අලියෙක්/earthtouchnews.com

අලින් ඉතා බුද්ධිමත් හා සමාජීය වශයෙන් සංකීර්ණ හැසිරීම් රටා දක්වන සතුන් විශේෂයක්. ඔවුනුත් මිනිසුන් වගේම ප්‍රියයන්ගේ වියෝව හමුවේ දුක්වෙන, ප්‍රීතිය හා මානසික අවපීඩනයට ලක්වෙන සතුන් බව මේ වන විට අපි දන්නවා. ඒ වගේම පරම්පරාව තුළින් ලැබුණු දැනුම තම දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවකුත් ඔවුන් සතු යි. ඒ අනුව, වනාන්තරය තුළ ඔවුන්ට සතුටු විය හැකි ආකාර සොයාගෙන ඒවා අනුගමනය කිරීම මෙන්ම, ඒවා ඊළඟ පරම්පරාවට ඉගැන්වීමටත් අලින් දක්ෂයන්.

මරුලා කියන්නේ අප්‍රිකාවේ වනාන්තරබදව වැඩෙන පළතුරු විශේෂයක්. එය මිනිසුන්ට ආර්ථික වැදගත්කමක් ඇති ශාකයක් වෙනවා මෙන්ම, අප්‍රිකානු අලින්ට හොඳ මත්ද්‍රව්‍යක් ලෙසත් වැදගත් වෙනවා. මරුලා ගස් ඵල දරන කාලයට ඒ ගස් වටා රංචු පිටින් රැස්වෙන අලි, හොඳට ඉදී ගහෙන් ගිලිහුණු මරුලා ගෙඩි තොග පිටින් ගිල දමනවා. මේ ඉදුණු ගෙඩිවල ඇති මධ්‍යසාර සංයුතියෙන් අලි මත්වෙලා විකාර වැඩ කරන්න පටන් ගන්නවා! අලින් පමණක් නොව, මේ මරුලා ගස් ආශ්‍රිතව ජීවත්වන බොහෝ සතුන් මේ ගෙඩි ආහාරයට ගැනීමෙන් මත්වෙනවා

නමුත් අලීන්ගේ මේ හැසිරීම් රටාවේ අහිතකර පැතිකඩකුත් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ඇතැම් අප්‍රිකානු රටවල මේ “අලි බේබදුකම” සමාජ ගැටළුවක් තරමටම උග්‍රවෙලා. ඉහත සඳහන් කෙරූ ආකාරයෙන් අලි කියන්නේ ඉතා බුද්ධිමත් සතුන් කොටසක් නිසා, ඔවුන් සහ මිනිසුන් අතර තිබෙන අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි යි. මේ නිසා මිනිසා යනු මත්ද්‍රව්‍ය භාවිතා කරන තවත් කොට්ඨාශයක් කියලා ඇතැම් අලි තේරුම් අරගෙන තිබෙනවා. ඉතින් මත්පැන් සොයාගෙන මිනිස් වාසස්ථානවලට කඩන්වැදුණු “බේබදු අලින්”ගෙන් සිදුවුණ අලාභහානී ගැන ඉන්දියාවේ සහ ඇතැම් අප්‍රිකානු රටවලින් වාර්තා වෙලා තිබෙනවා. ලංකාවෙත් එවැන්නන් නැත්තේ නැහැ!

මරුලා ගෙඩි අනුභවකොට මත්වූ වන ජීවින්ගේ වීඩියෝවක් ඔබට මෙතනින් නැරඹිය හැකියි.

ඔපියම් වගාබිම්වලට කඩා වදින වොලබී

තස්මේනියාවේ ඕපියම් වගාව දැඩි රැකවල් මැද කළත්, වොලබිලාට එය අදාළ වන්නේ නැහැ/abc.net.au

 

මෝෆීන් සහ වෙනත් වේදනා නාශක ඖෂධ නිපදවීම සඳහා ඕපියම් නොහොත් අබිං වගාකිරීම නිත්‍යානුකූලව සිදුවන ප්‍රදේශයක් තමයි ඕස්ට්‍රේලියාවේ තස්මේනියා දූපත. ඖෂධ සඳහා වූ ඕපියම් අවශ්‍යතාවයෙන් 50%ක කොටසක වගකීමක් දැරීමට ඕස්ට්‍රේලියාව ඒ අනුව සමත්වී තිබෙනවා. මේ වගාබිම් මිනිසාට ළඟාවීමට නොහැකි වන සේ දැඩි රැකවල් මැද කරගෙන යන වගාවන් වුවත්, එක්තරා සුරතල් පෙනුමැති සතෙක්ට නම් ඒ තහනම අදාල වෙන්නේ නැහැ. වොලබි කියන්නේ කැන්ගරු පවුලට අයත්, එහෙත් කැන්ගරුවාට සාපේක්ෂව කුඩා ශරීරයකට උරුමකම් කියන්නෙක්. මේ වොලබිලා ඕපියම් වගාවන්ට හානි පමුණුවන්නෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ආහාර හිඟ කාලෙට වොලබිලා ඕපියම් වගාවලට කඩා පැන, ඒවායේ මල් ආහාරයට ගන්නවා. මොහොතකින් මේ ඕපියම්වල මත්කාරක නිසා මත්වෙන වොලබි සතුන්, උමතුවෙන් මෙන් ඕපියම් වගා බිම් පුරා දුවන්න පටන් ගන්න නිසා වගාවට ප්‍රබල හානි සිදුවෙනවා.

පෆර් මත්ස්‍යයින් සහ ඩොල්ෆින්

පෆර් මත්ස්‍යයින් මුහුදේ ජීවත් වන විෂ සහිත මාළු විශේෂයක් (ලංකාවේ පේත්තයින් වැනි). මොවුන් කලබලයට හෝ අනතුරක සේයාවක් දැනුණ විට තම ශරීරය බැලුමක් ආකාරයෙන් පුම්බා ගන්නවා. එවිට ඔවුන්ගේ ශරීරයේ තිබෙන කටු වැනි ව්‍යුහයන් ඉදිරියට නෙරන්නේ කටු පිරුණු බෝලයක් සිහියට නංවමින්. මේ කටු මිනිසුන්ට පවා ඉතා විෂ සහිත වන අතර, කටු ඇනුණු විට නිසි ප්‍රතිකාරවලට යොමු නොවුණහොත් මරණය පවා ඇතිවිය හැකියි. පෆර් මත්ස්‍යයින්ගේ මේ අපූරු සන්නාහය නිසා විලෝපිකයන් ලෙහෙසියෙන් මේ මාළුන් වෙත ළඟාවෙන්නේ නැහැ. නමුත් ඩොල්ෆින් ඉදිරියේ පෆර් මත්ස්‍යයින් ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්වෙනවා!

සත්ත්ව විද්‍යාඥයින් පෆර් මත්ස්‍යයින් හමුවේ ඩොල්ෆින් රංචු දක්වන අපූරු හැසිරීම් රටාවක් නිරීක්ෂණයකොට තිබෙනවා. ඒ අනුව තම විෂ කටු විදහාගත් පෆර් මත්ස්‍යයෙක් හමුවූ විට ඩොල්ෆින්ලා ඔවුන්ව මෘදු ලෙස සපාකෑමකට ලක්කරනවා. අනතුරුව තම රංචුවේ අනිත් සාමාජිකයන් අතර මේ පෆර් මත්ස්‍යාව හුවමාරු කරගන්නවා. ඩොල්ෆින් කියන්නේ සහජයෙන්ම බොහොම බුද්ධිමත් සතුන් කොට්ඨාශයක්. ඔවුන්ටත් මේ පෆර් මත්ස්‍යයන්ගේ විෂ මාරාන්තික විය හැකි නමුත්, සුළු ප්‍රමාණවලින් එම විෂ තම ශරීරයට ඇතුළත් කර ගැනීමෙන් මත්විය හැකි බව ඔවුන් දන්නවා. ඒ නිසා කුඩා මාත්‍රා ලෙස එම විෂ තම ශරීරයට ඇතුළත්කර ගැනීමට තරම් ඔවුන් බුද්ධිමත් වන බව නිරීක්ෂණයකොට තිබෙනවා.

පෆර් මත්ස්‍යයින් කොතරම් විෂ වුණත්, ඩොල්ෆින්ලාට එය හොඳ මත්ද්‍රව්‍යයක්

පෆර් මත්ස්‍යයින්ගේ අඩංගු මෙම විෂ හඳුන්වන්නේ “ටෙට්‍රොඩොටොක්සින්” යනුවෙනු යි. නමුත් අනෙකුත් මත්ද්‍රව්‍ය මෙන් ටෙට්‍රොඩොටොක්සින්වලට මනස වෙනස්කිරීම හෝ සංවේදනය වැඩිකිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ විෂ සුළු ප්‍රමාණවලින් ශරීරගත වුවහොත්, හිරී වැටීමක් සමග එන පොපියන ගතියක් ශරීරයට දැනෙන බව කියවෙනවා. කෙසේ නමුත් මේ සාමූහික මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු ඩොල්ෆින්ලා ටිකක් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඔවුන් ජලය මතුපිටට පිහිනා ගොස් ජල පෘෂ්ඨය ආසන්නයේ පාවෙමින් සිටින අතර, ඔවුන්ගේම පරාවර්තනයෙන් ඔවුන් විශ්මයට පත්වෙන බවත් විද්‍යාඥයින් නිරීක්ෂණයකොට තිබෙනවා.

හැකරැල්ලන් ඇඟ උලාගන්නා වඳුරෝ!

වඳුරන් කියන්නෙත් සමාජශීලි ලෙස ජීවත්වීමට කැමති තවත් සත්ත්ව කොට්ඨාශයක්. ඔවුන් අතරත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුදු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දකුණු ඇමරිකාව තම වාසස්ථානය කරගත් කැපුචින් වඳුරන් හැකරැලි විශේෂයක් භාවිතාකොට මත්වීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. ඇතැම් හැකරැල්ලන් විශේෂ විෂ සහිත සංයෝගයන් නිකුත් කරන අතර, ඒ විෂ හේතුවෙන් භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති වෙනවා. කැපුචින් වඳුරන් සමූහ වශයෙන් එක්වී හැකරැල්ලන් තම ශරීර මත උලා ගැනීමෙන් මේ විෂ තම ශරීරය මත තවරා ගන්නා අතර, රංචුවේ එකිනෙකා අතර හැකරැල්ලන් හුවමාරු කරගැනීමකුත් සිදුවෙනවා. මූලිකවම කරදරකාරී කෘමීන්ගෙන් ගැලවීමට ඔවුන් මේ පිළිවෙත අනුගමනය කළත්, ඒ හරහා ඔවුන් අතුරු වාසියක් ලෙස මත්වීමත් බලාපොරොත්තු වෙනවා. මේ හැකරැල්ලන්ගේ විෂ තුළ සයනයිඩ් අඩංගු වෙන අතර, ඒවා වඳුරන්ටත් මාරාන්තික යි. නමුත් ඔවුන් අවදානම නොතකමින්, සාමූහික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා වෙන සාදයක් ආකාරයෙන් මේ විෂ ඇඟ ගල්වා ගැනීම සිදුකරනු ලබනවා.

මෙම හැසිරීම් රටාව ලීමරයා නමැති සත්ත්ව විශේෂය තුළිනුත් දැකිය හැකියි. ලීමරයන් මේ හැකරැල්ලන් භාවිතා කරන අන්දම ඔබට මෙතනින් නැරඹිය හැකියි.

ලොකෝවීඩ් හමුවේ ජීවිතය පරදුවට තබන අශ්වයෝ

ලොකෝවීඩ්වලට අශ්වයන් දක්වන ඇබ්බැහිය එක්සත් ජනපදයේ ගොවීන්ට ගැටලුවක් වෙලා/csuvth.colostate.edu/

 

එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ සුලබව දක්නට ලැබෙන පශු සම්පත් හානියක් ගැන යි මේ කියන්න යන්නේ. ලොකෝවීඩ් කියන්නේ ආසන්න වශයෙන් විශේෂ 300ක පමණ විවිධත්වයක් දක්නට ලැබෙන සුලබ පැලෑටි විශේෂයක්. අශ්වයන් මේ ලොකෝවීඩ් අනුභව කරන්න මහත් වූ ප්‍රියතාවයක් දක්වනවා. ගොවීන්ගේ අත්දැකීම්වලට අනුව මේ ශාකය අනුභව කිරීමෙන් පසු අශ්වයන් උමතුවූ හෝ මත්වූ ආකාරයෙන් අධි ක්‍රියාකාරීත්වයක් දක්වන අතර, තවත් විටෙක ඔවුන් ලැජ්ජාශීලි හැසිරීමක් දක්වනවා. පසුපසට ඇවිදීම, ඇවිදීමේ දී කකුල් පැටලීම වැනි ලක්ෂණ බොහෝමයක් ලොකෝවිඩ් නිසා මත්වූ අශ්වයන්ගෙන් දක්නට ලැබෙනවා.

මෙම ශාකයට අශ්වයන් අධික ලෙස ඇබ්බැහිවන අතර, දිගුකාලීනව පරිභෝජනය කිරීමෙන් ඔවුන්ට දැඩි හානි සිදුවන්නට පුළුවන්. ලොකෝවීඩ් නිසා අශ්වයන්ට වන බලපෑම, නිකොටීන් නිසා මිනිසුන්ට ඇතිවන බලපෑම හා සමාන වෙන බව සඳහන් වෙනවා. ශීත ඍතුවල  දී ඇතැම් විට තණබිම්වල ඉතිරිවන එකම ළෑටියත් ලොකෝවීඩ් නිසා තත්ත්වය තවත් බරපතළ වෙනවා. මත්වීමට කැමති සතුන් අතර අශ්වයා සත්ත්ව ලෝකයේ ඉදිරියෙන්ම සිටින සාමාජිකයෙක්.

මත් වෙන්න හතු සොයන පිනිමුවා

නැගෙනහිර යුරෝපයේ ජීවත්වන පිනිමුවන් විශේෂයක් අතරේ එක්තරා හතු විශේෂයක් ප්‍රචලිත වෙලා තිබෙනවා. ඇමනීටා මුස්කරියා ලෙසින් හඳුන්වන මේ හතු විශේෂය, දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. මිනිසුන්ට මාරාන්තික වන මේ හතු විශේෂය අනුභව කිරීමෙන් කරකැවිල්ල සහ මනෝ භ්‍රාන්තිමය තත්ත්වයක් හරහා ගොස් මරණීය ප්‍රතිඵල අත්කර දෙනවා. මිනිසුන්ට මේ හතු කොතෙක් විෂ සහිත වුණත්, පිනිමුවන්හට මේ හතු පහසුවෙන් හා අනතුරකින් තොරව ජීර්ණය කිරීමේ හැකියාවක් තිබෙනවා. හිම තට්ටුවලට යටවුණු මේ හතු විශේෂය ඔවුන් පාදවලින් හාරා මතු කරගෙන ගිජු ලෙස අනුභව කරන්නේ, මෙම ඇමනීටා විෂ පිනිමුවන්ට මහත් ප්‍රමෝදයක් අත්කර දෙන මත්කාරකයක් ලෙස ක්‍රියා කරන නිසා යි. 

ඇමනීටා හතු සහ පිනිමුවන් අතර තිබෙන සබැඳියාව ගැන වීඩියෝව මෙතනින් නරඹන්න.

මිනිසාට ඇමනීටා හතු විෂ සහිත වුණත්, පිනිමුවන්ට එය හොඳ මත්කාරකයක්/123rf.com

කැට්මින්ට් හමුවේ පිස්සු වැටෙන බළලුන්

ගෘහාශ්‍රිතව වෙසෙන අපගේ ආදරණීය සාමාජිකයෙකුගෙන් මේ ලැයිස්තුව අවසාන කිරීමට තමයි දැන් සූදානම් වෙන්නේ. යුරෝපය නිජබිම් කරගත් කැට්මින්ට් ශාකය ඉදිරියේ බළලුන් විකාරරූපී හැසිරීම් දක්වනවා. කැට්මින්ට් ශාක දුටු වහාම ඔවුන් ඒ පැළෑටි අතරට පැමිණ, ඒවා මත පෙරළී තම මුහුණ ඒ ශාක කොටස්වල ඇතිල්ලීමට පටන් ගන්නවා. කැට්මින්ට්වලින් වහනය වන ගන්ධයට ඔවුන් ඉතා ප්‍රිය කරන අතර, එයින් ඔවුන්ට ඇතිවන බලපෑමෙන් ඔවුන් ක්‍රීඩාශීලි වෙනවා. ඇතැම් විට මේ කැට්මින්ට්වලින් මත්වෙන ඔවුන්, සිතින් මවාගත් වස්තූන් පසුපස හඹාගෙන යෑම් වැනි හැසිරීම් දක්වනවා. කැට්මින්ට්වලින් වහනය වන වාෂ්පශීලි රසායනික සංයෝග, බළල් මුත්‍රාවල අඩංගු රසායනික සංයෝගවලට සමානකම් දක්වන නිසා බළලුන් තුළ මෙවැනි හැසිරීම් රටා ඇතිවන බව විශ්වාස කරනවා.

මෙවැනි තවත් සතුන් ගැන ඔබ දන්නවා ද?

Cover photo: forums.sherdog.com/

මූලාශ්‍රයයන්: theguardian.com/

zamnesia.com/

businessinsider.com/

internationalhighlife.com/

Related Articles

Exit mobile version