සත්ත්ව ලෝකයේ අපූරු මව්වරුන් 5 දෙනෙක්

මවු සෙනෙහස මිනිස් වර්ගයාට පමණක් සීමා වෙන්නේ නැහැ. එය සත්ත්ව ලෝකයේ බොහෝ සත්ත්වයින්ට පොදුයි. ලෝකයේ සමහර සත්ත්ව විශේෂ ඉතා යුහුසුළුව සිය පැටවුන් රැකබලා ගන්නා අතර ඔවුන්ට ජීවත් වෙන අයුරු ද කියා දෙනවා. මේ එවැනි සත්ත්ව විශේෂ 5ක් ගැන යි.

ඔරංඋටං

Scott Olson/Getty Images

ඔරංඋටං පැටවෙකු හා ඔහුගේ මව අතර බැඳීම ඉතා දැඩි එකක්. මේ වර්ගයේ පැටවෙකුගේ ජීවිතයේ පළමු වසර දෙක තුළ එම පැටවා ආහාර හා සංචරණය යන කාරණාවල දී සම්පූර්ණයෙන්ම සිය මව මත යැපෙනවා. ඔරංඋටං මවක් සිය පැටවා සමග වසර හයක් හතක් පමණ ජීවත් වෙනවා. මේ කාලය තුළ දී ඇය සිය පැටවාට ආහාර සොයාගැනීම, ඒවා ආහාරයට ගැනීම, නිදාගන්නා ස්ථානය සකසාගැනීම වැනි දේ උගනවනවා. ඔරංඋටං ගැහැණු සතුන් තමන්ට 15 වැනි විය පමණ එළඹෙන තුරු විටින් විට සිය මව බැහැදකිනවා.

හිම වලසුන්

Youtube

හිම වලස් මවක් බොහෝ විට එක් වරකට පැටවුන් දෙදෙනෙකු බිහිකරනවා. මොවුන් සිය මව සමග වසර දෙකක පමණ කාලයක් ගත කරන අතර, මේ කාලය තුළ ඔවුන් ඇගෙන් ආහාර සොයාගැනීම හා ශීතල කාලගුණයෙන් බේරී සිටීම වැනි දේ ඉගෙනගන්නවා. හිම වලසුන් සාමන්‍යයෙන් පැටවුන් බිහිකරන්නේ නොවැම්බර් මස සිට ජනවාරි මස අතර කාලයේ යි. මේ කාලයේ දී හිම වලස් මව සිය ශරීර උණුසුම හා ක්ෂීරය යොදාගෙන සිය පැටවුන් උණුසුම් කරනවා. පැටවුන් උණුසුම් කාලගුණයක් සහිත මාර්තු අප්‍රේල් මාසවල ඔබමොබ සැරිසරා අවට පරිසරයට හුරු වන්නේ අනාගතයේ දඩයම් කිරීමට පෙරහුරුවක් ලෙස යි.

අප්‍රිකානු අලියා

Martin Harvey / WWF-Canon

අප්‍රිකානු අලින් නිතරම ජීවත් වන්නේ රංචු ලෙස යි. අප්‍රිකානු කෙනරකට පැටවෙක් ලැබුණු විට රංචුවේ වන අනෙකුත් කෙනර ද එම පැටවා ඇති දැඩි කරන්නට උදව් වෙනවා. වැඩිහිටි අලින් කුඩා පැටවාට නිදහසේ ඇවිදීම සඳහා රංචුව තුළ අවකාශ සලසා දෙනවා. කෙනෙර විසින් පැටවාට ආහාර ගැනීම, ආහාරවලට ළඟාවන ආකාරය වැනි දේ උගන්වනවා.

චීටා

kids.nationalgeographic.com

චීටා මව තනිවම සිය පැටවුන් රැකබලාගෙන ඇතිදැඩි කරනවා. සාමාන්‍යයෙන් එක මුරයකට චීටා මවක් පැටවුන් දෙකත් හයත් අතර ගණනක් බිහිකරනවා. සෑම දින 4කටම වතාවක් පැටවුන් සිටින ස්ථානවල වැටී ඇති වසුරු චීටා මව විසින් පිරිසිදු කරන්නේ සතුරන්ට ඒවා ඉව වැටීම වැළැක්වීම සඳහා යි.

චීටා මව යටතේ පැටවුන් මාස 18ක කාලයක් දඩයම සඳහා පුහුණු වෙනවා. අනතුරුව ඔවුන් මවගෙන් දුරස් වන අතර පැටවුන් කිහිපදෙනා තවත් මාස 6ක් පමණ එකට සිටිනවා.

එම්පරර් පෙන්ගුයින්

edition.cnn.com

එම්පරර් පෙන්ගුයින් ගැහැණු සතෙකු බිජුවක් ලූ පසු එය පිරිමි සත්ත්වයා ළඟ තබා ඉවත යනවා. පිරිමි සත්ත්වයා එය ඉතා ප්‍රවේශමෙන් රැකීම සිදුකරනවා. මේ අතර ගැහැණු සත්ත්වයා සැතපුම් 50ක් පමණ තරණය කොට මුහුද කරා යන්නේ ආහාර සොයාගන්නට යි. ආහාර ලෙස මත්ස්‍යයින් අල්ලාගත් පසු ඇය ඒවා රැගෙන පිරිමි සත්ත්වයා සොයා පැමිණෙනවා. මේ කාලය තුළ බිත්තරයෙන් පැටවා බිහිවී තිබෙන අතර, ඇය ඔවුන් හට තමන් ගෙනා ආහාර ලබා දෙනවා. අනතුරුව පැටවුන්ගේ භාරකාරීත්වය තමන්ට ලබාගෙන සිය පැසෙහි බහා ඇති දැඩි කරනවා. මේ අනුව එම්පරර් පෙන්ගුයින් සතුන්ගේ මවවරු හා පියවරු යන දෙකොට්ඨාසයම අපූර්ව දෙමව්පියන් වෙනවා.

කවරයේ පින්තූරය- kids.nationalgeographic.com

Related Articles

Exit mobile version