පසුගිය මහ මැතිවරණ සමයේ, කැළණි විහාරය අසල කැළණි ගංගාවෙන් නාග ලෝකයේ සිට මතුවූ නාග රාජයෙක් කැලණි විහාරයට පැමිණි බවට මතයක් සමාජය පුරා පතුරුවා හැරියා. එයට මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ද ලබා දුන්නා. පසුගිය දා බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයාට හාදුදීමට ගිය අවස්ථාවේ දී නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පුරාණයේ පටන්ම දේවත්වයෙන් සැලකූ උරග කොට්ඨාසයක් ලෙස නාගයා සැලකිය හැකියි. අහිකුණ්ඨික ගෝත්‍රිකයන් අතර නයි නැටවීමේ සිරිත අද දක්වාත් දකින්න ලැබෙනවා.
අප රටේ සර්ප විශේෂ
ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 108ක් හඳුනාගෙන ඇතැ යි උරග හා උභයජීවී විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කරනවා. ඒ අතරින් මාරක විෂ සහිත විශේෂ විසිතුනක් හඳුනාගනු ලැබ තියෙනවා. එයින් වර්ග පහළොවක් ජීවත්වන්නේ මුහුදේ. ගොඩබිම දී උග්‍ර විෂ, සහ උග්‍ර විෂ විය හැකි සර්ප විශේෂ අටක් හමුවෙනවා. නාගයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා, පොළොන් තෙලිස්සා, වැනි ජීවීන් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් උග්‍ර විෂ සහිත සර්පයන්. දෙපත් කළුවා මිනිසාට විෂ ද නැද්ද යන්න සැක සහිත යි. වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූ දහසක් පමණ වාර්තා වෙතත්, එමඟින් සිදුවෙන මරණ සංඛ්‍යාව හාරසියයක් තරම් වෙනවා.
ගතිගුණ හා හැසිරීම
අපි ජීවත් වෙන පරිසරයේ ඉන්නේ Naja Naja යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ඉන්දියානු නාගයා යි. පූර්ණ මාංශ භක්ෂකයෙකු වන ඌ අප රටේ සීතලෙන් වැඩි නුවරඑළිය දිස්ත්‍රික්කයේ උස් කඳුකරයේ හැර සෑම තැනකම දැකිය හැකියි. දිවාචර මෙම සර්පයා රත්‍රී කලයේ දී ද ක්‍රියාශීලී යි. නාගයාගේ ගර්භනී කාලය දින 62ක් පමණ වෙනවා. වරකට බිත්තර 5 – 45ක් අතර සංඛ්‍යාවක් දමනවා. හැපින්න මාස දෙකක් පමණ කාලයක් ඒවා ආරක්ෂා කරනවා. මෘදු පිටකටුවක් සහිත බිත්තර ඕවාලාකාර හැඩයෙන් යුක්ත යි. මීයන්, ගෙම්බන්, කටුස්සන්, බිත්තර මෙන්ම අනෙකුත් සර්පයන් ද නාගයා ආහාර ලෙස ගන්නවා. ඌ ගොදුරු යටත්කර ගැනීමේ දී කිසිදු ශබ්දයක් පිටකරන්නේ නැහැ.
කළු, දුඹුරු, සහ සුදු නාගයන්
අළු මිශ්‍ර කළු පැහැය දක්වා නයාගේ හමේ වර්ණය වෙනස් වෙනවා. ලා දුඹුරු සහිත කහ පාටින් ද, කලාතුරකින් සුදු පාටින් ද යුක්ත නාගයන් ද දක්නට ලැබෙනවා. අඩි 6ක් පමණ දිගැතිව පුෂ්ටිමත්ව සිරුර වර්ධනය වෙනවා. වෙන්ව හොඳින් හඳුනාගත හැකි ගෙලක් සහිත පැතලි හිසක් සහ ගෙල ප්‍රදේශයේ පෙණයක් දකින්න ලැබීම නිසා මේ සර්පයා පහසුවෙන් හඳුනාගත හැකියි. පෙණය හකුලාගෙන සිටින විට ගෙල ප්‍රදේශය පැතලිව දැකගත හැකියි. පෙණයේ ඇතුළු පැත්තේ සුදු පළල් දාරයකින් වටවූ කළු පුල්ලි දෙකක් ද, පිට පැත්තේ කළු දාරයකින් වටවූ සුදු පැහැති ප අක්ෂර සලකුණ ද කැපී පෙනෙන ලක්ෂණ යි. නමුත් නාගයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක පෙණයේ ප සලකුණ පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. ක්ෂණිකව ප්‍රතිචාර දක්වන නාගයා ඉතා ඉක්මනින් පලායාමට සමත්කම් දක්වනවා.
තෙල් කරවලා, මුදු කරවලා හා නාගයා යන සර්ප විශේෂ ඉලාපිඩේ කුලයට අයත්. මෙම සර්පයින් සතු විෂ තුළ අඩංගු විෂ අණු සාපේක්ෂව ඉතා කුඩා යි. එබැවින් එම විෂ රුධිර ප්‍රවාහයට එක්වූ විට ඉතා ඉක්මනින් රුධිර ධාරාව හරහා ශරීරය පුරා ඉන්ද්‍රිය සහ පද්ධති දක්වා පැතිරීම සිදුවෙනවා. මේ මාරාන්තික විෂ නිසා නයා දුටුතැන මාරාදැමීමට සමහරු පෙළඹී සිටිනවා. මේ නිසාත්, වාසස්ථාන අහිමිවීම නිසාත් මේ වනවිට උන් වඳවී යාමට භාජනය වී සිටිනවා.
මාරාන්තික නාග විෂ
ක්ෂණිකව කිපෙන නාගයා එවිට තම පෙන ගොබය විහිදුවයි. වේගයෙන් හුස්ම ගනිමින් ශබ්දයක් නිකුත් කරයි. මෙම කරුණු දෙකම අනතුරු හැගවීමේ සංඥා වෙනවා. තමන්ට අනතුරුදායකයැ යි හැඟීගිය විට ඌ පිඹිමින් දෂ්ට කිරීමට පෙළඹෙනවා. ඉතා රළු පිඹින ශබ්දයක් පිට කරමින් සතුරා බියපත් කිරීමට උත්සාහ දරනවා.
නාගයා දෂ්ට කිරීමට ප්‍රධාන හේතුව නොසැලකිලිමත් ලෙස රාත්‍රියේ ගමන් කිරීම යි. අනෙකුත් සර්පයනට සාපේක්ෂව නාග දෂ්ටන අඩු මට්ටමක යි පවතින්නේ. නාගයාට ප්‍රෝටිරොග්ලයිෆස් වර්ගයේ විෂ දළ පිහිටනවා. එම විෂ ඇලෙනසුළු යි. ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය හා රුධිර පද්ධතියට එක්වී ක්‍රියාකරනවා. දෂ්ට කළ ස්ථානය අවට අධික වේදනාවක් දැනෙන අතර ඉදිමීමත් සිදුවෙනවා. නාගයාගේ විෂ ප්‍රතිවිෂ එන්නත් සහ වෙනත් ඖෂධ වර්ග නිපදවීමට යොදාගන්නවා.
මෙම සර්පයින් දෂ්ඨ කළ විට දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් මෙසේ සඳහන් කළ හැකියි:
- ඇස් අඩවන්වීම
- ගිලීම සහ කතා කිරීම දුර්වල තත්ත්වයට පත්වීම
- ක්ලාන්තය ඇතිවීම
- ශ්වසනය කිරීමේ දුෂ්කරතාවය
- හෘද ස්පන්දනය අක්‍රමවත් වීම
- දිව එළියට දැමීමට අපහසු වීම
- අධික බඩේ වේදනාව
- තුවාලය අවට අධික වේදනාව සහ දැවිල්ල
දෂ්ට කළ විට
මුලින්ම කළ යුත්තේ රෝගියාගේ බිය පහකිරීම යි. දෂ්ට කළ ස්ථානය නොසොල්වා තබාගත යුත්තේ විෂ පැතිරීම වැළැක්වීමට යි. වෙලුම් පටි දැමීම, තුවාලය සේදීම නොකර හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත ගෙන යා යුතු යි.
නාග ගෝත්‍රිකයන්
ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද පුරාණයේ නාග නමින් මිනිසුන් කොටසක් සිටි බවට සාධක පවතිනවා. මහාවංශයේ දක්වන්නේ මහෝදර නා රජු මුහුදේ යොදුන් පන්සියයක් දුර නාග භවනක සිටි බව යි. මහෝදර නා රජු සහ බෑණා වූ චූලෝදර අතර මැණික් පුටුවක් අරඹයා හටගත් ගැටුම විසඳීමට මැදිහත් වූයේ බුදුන්වහන්සේ බවත්, ඒ සඳහා නාගදීපයට වැඩි බවත් මහාවංශයේ දක්වනවා. කැලණියේ එවකට සිටියේ මණිඅක්ඛික නම් නාරජු බවත් මහාවංශය සඳහන් කරනවා. නාග නමින් හැඳින්වූ ජනතාව නාගයන් හා සම්බන්ධව ඇති සබැඳියාව සිංහල ජාතිය සිංහයන් සමග පවත්නා සබැඳියාවට සමානවූවක් බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඉතිහාස සහ පුරාවිද්‍යා මහාචාර්ය ටී. ජී. කුලතුංග පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහාචාර්ය කුලතුංග මෙසේ සඳහන් කරනවා:
‘‘දැන් අපි සිංහලයෝ හැටියට සිංහයකුගෙන් පැවැත එන බවක් කිව්වට ඒක ඇත්තක් නෙවෙයිනේ. ලෝකේ ජන කොටස්වල තියෙන විශ්වාසවලට ගෝත්‍ර විහ්නවාදය කියලයි කියන්නේ. ඉන්දියාවේ මෞර්ය වංශය ගත්තොත් මොණරු සමගත්, ලම්බකර්ණ වංශය එළුවෝ සමගත් සම්බන්ධ බවට පුරාණෝක්ති තියෙනවා. ඔය නාගයන්ගේ කතාවත් ඒ වගේ තමයි. එහෙම නැතුව ඒ අය යි ඇත්ත නාගයොයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.”
නාග මත
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ බුදු හිමියන් පස්වන සතියෙහි මුචලින්ද විල අසල සමාධිගතව වැඩ සිටින විට වට මහා වැස්‌සෙන් උන්වහන්සේ රැකගැනීම පිණිස, විලෙන් මතු වූ මුචලින්ද නාගයා උන්වහන්සේ වටා දරණ ලා තම සුවිසල් පෙන ගොබය විදහා බුදු සිරස ආවරණය කර සිටි බව යි.
පැරණි බෞද්ධ සිද්ධස්ථාන, බෝධි වෘක්ෂ ආදිය ආශ්‍රිතව වැඩිපුර නාගයන් ගැවසෙන කතාවේ යම්කිසි ඇත්තක් පවතිනවා. ඒ වගේ තැන්වල දිගු කාලයක් තිස්සේ සිදුවෙන පූජා චාරිත්‍ර නිසා නාගයන්ට හිතකර දිලීර බැක්ටීරියා වගේ දේවල් පදනම් කරගත් ජෛවමය පාරිසරික තත්ත්වයක් නිර්මාණය විය හැකියි.
බෝධි වෘක්ෂ වැනි පූජනීය ශාක අවට කෘමි සතුන් බහුලවීම නිසා, උන් ආහාරයට ගන්නා කටුස්සන්, මැඬියන් වගේ විලෝපික ගහණයන් බහුල වෙන්නත් පුළුවන්. මේ වගේ සාධක මුල්කරගෙන නාගයන් වගේ සර්ප විශේෂවලට එවැනි ස්ථාන හොඳ වාසස්ථානයක්. එමෙන්ම උන්ට එවැනි පූජනීය ස්ථානවල සතුරන් හමුවන්නෙත් නැහැ. මෙවැනි ස්ථානවල නිරත නාගයන් දර්ශනය වන විට ඒ සතුන්ට දේවත්වයක් ආරෝපණය කිරීම නිතැනින්ම සිදුවෙනවා.
සමාජයේ තවත් සමහරු විශ්වාස කරන්නේ නයින්ට හිරිහැර කළ විට උන් වෛර බැඳගන්නවා කියා යි. මේ විශ්වාසය ගොවිතැන පදනම් කරගත් වියළි කලාපයේ සමාජවල බහුලව දැකගත හැකියි. නයා පසු අවස්ථාවක දී අදාළ පුද්ගලයාට දෂ්ට කරන බව ඔවුන් විශ්වාස කරනවා. විද්‍යාත්මකව හෙළිවී ඇත්තේ මතක තබාගැනීමේ හැකියාවක් කිසිදු සර්පයකුට නැති බව යි. නාගයාට තම පෙණය පොළොවේ ගසා සාප කළ හැකි බව තවත් එවැනි මිත්‍යා මතයක්.
නාගයන් ගැවසෙන සිද්ධස්ථානවලට යන බොහෝ දෙනෙක් ඒ පරිසරයට පිවිසෙන්නේත් එහිදී කටයුතු කරන්නේත් නාගයෙක් ඇතැ යි යන පූර්ව වැටහීමකින් යුතුව. ඒ හින්දා ඒ නාගයන්ගෙන් අනතුරක් සිද්ධවෙන්න තියෙන ඉඩකඩ බොහෝම සීමිත බව පෙනී යනවා.
ඉන්දියාවේ නම් නාගයන්ට කැපවූ දේවාල පවා තිබෙනවා. අප රටේත් සමහර පළාත්වල නාග දිෂ්ටියෙන් ශාන්තිකර්ම කරන පෞද්ගලික දේවාල ගැන සමහර අවස්ථාවල දී වාර්තා වෙනවා. මෙය මිත්‍යා මතයක් වුවත් නූතන සමාජයේ වුවත් එවැනි විශ්වාස පසුපස යන බොහෝ පිරිසක් අපට හමුවෙනවා.