අප ජීවත්වන පරිසරයේ නිතර ම දක්නට ලැබෙන පක්ෂීන් අතරට කපුටා ද අයත්. අවලස්සන පෙනුමකින් සහ අසුන්දර කටහඬකින් යුත් පක්ෂියකු වන කපුටාගේ හැසිරීම ද එතරම් යහපත් නැහැ.
තරමක් කලබලකාරී පක්ෂියකු වන කපුටා මිනිසුන් වාසය කරන ප්‍රදේශවල සැරිසරමින් විවිධ ආහාර වර්ග සොරා ගැනීමට උත්සාහ කරනවා. අතීතයේ සිට කපුටන් එවැනි ක්‍රියාවල නිරත වුණු නිසා කපුටා සහ කේජු කෑල්ල වැනි කතාන්දර නිර්මාණය වී තිබෙනවා.
කපුටා සහ කේජු කතාන්දරයේ දී කපුටා මෝඩ පක්ෂියකු බවට මතයක් ගොඩ නඟා තිබෙනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නැහැ. ඒ කපුටා ලොව සිටින බුද්ධිමත් පක්ෂීන් කිහිප දෙනා අතරට අයත් වන නිසා යි. කපුටාගේ එම බුද්ධිමත් බව නිසා රහස් පරීක්ෂක කටයුතු සඳහා පවා බහුල ව යොදා ගන්නවා. එසේ බුද්ධිමත් පක්ෂියකු ලෙසින් නමක් දිනා ගෙන සිටින කපුටාගේ බුද්ධිමත් බව පෙන්වීම සඳහා හොඳ ම උදාහරණ 5ක් මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.
1). කපුටන් මිනිසුන්ගේ මුහුණු මතක තබා ගනියි
අපගේ ගෙවත්තට සෑම දිනක ම වාගේ කපුටන් පැමිණෙනවා. එක් දිනක දී දකින කපුටෙක් තවත් දිනක දී දුටුවොත් ඌ හඳුනාගැනීමේ හැකියාව අපට නැහැ. නමුත් කපුටන්ට මිනිසුන්ගේ මුහුණු වෙන් කර හඳුනාගැනීමේ හැකියාව තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!. එම සුවිශේෂී කරුණ අනාවරණය වුණේ කැලිෆෝනියාවේ හැම්බෝල්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයක් හරහා යි.
එම පරීක්ෂණය සඳහා සහභාගි වුණු කණ්ඩායම කොටස් දෙකකට බෙදුණා. ඉන් අනතුරුව එම කණ්ඩායම් දෙක වෙස් මුහුණු වර්ග 2ක් පැළඳ ගත්තා. එලෙස වෙස් මුහුණු පැළඳ ගත් පර්යේෂක කණ්ඩායම් දෙක කපුටන් රැසක් සිටින ප්‍රදේශයක් වෙත ගියා. එයින් එක් කණ්ඩායමක් කපුටන් අල්ලා ගෙන උන්ට හිරිහැර කිරීමට උත්සාහ කළා. අනිත් කණ්ඩායම කපුටන්ට කිසිදු හානියන් සිදු නොකර උන් මඟ හරිමින් ගමන් කළා. එහි දී කපුටන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ඔවුන් සටහන් කර ගත්තා.
නැවත සති කිහිපයකින් පර්යේෂක කණ්ඩායම් දෙක එම ප්‍රදේශයට ගියා. එවිට හරි අපූරු දෙයක් දැකගන්නට ලැබුණා. ඒ ඊට සති කිහිපයකට පෙර කපුටන් ඇල්ලීම සඳහා ගිය පර්යේෂක පිරිස දුටු විට කපුටන් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීම යි. ඒ වාගේ ම තවත් සමහර කපුටන් ඔවුන්ගෙන් බේරී පලා යාමට උත්සාහ කළා.
නමුත් අනිකුත් වෙස් මුහුණ පැළඳ සිටි කණ්ඩායමේ පර්යේෂකයන් දුටු විට කපුටන් සාමාන්‍ය අයුරින් හැසිරුණා. එම නිරීක්ෂණය මඟින් පර්යේෂක කණ්ඩායම නිගමනය කළේ කපුටන්ට මිනිසුන්ගේ මුහුණු මතක තබා ගැනීමේ හැකියාව පවතින බව යි. කපුටන් උන්ට හිරිහැර කරන මිනිසුන්ගේ මුහුණු හොඳින් මතක තබා ගෙන සිටින බව එම පර්යේෂක පිරිස වැඩි දුරටත් පවසනවා.
2). කපුටා ආහාර සඟවා තැබීමට දක්ෂයෙක්
කපුටෙක් යම් කිසි ආහාරයක් අනුභව කරන විට කලබලයෙන් මෙන් වටපිට බලන ආකාරය ඔබ හොඳින් ම දැක ඇති. කපුටා එසේ වටපිට බලන්නේ ඌ ආහාර ගන්නා ආකාරය වෙනත් කපුටකු හෝ සතුරු පක්ෂියකු බලා ගෙන සිටිනවා ද යන්න සැක හැර දැන ගැනීම සඳහා යි. එහි දී වෙනත් පක්ෂියකුගෙන් තර්ජනයක් එල්ල වෙනවා නම් කපුටා ආහාර තම පිහාටු තුළ සූක්ෂම අයුරින් සඟවා ගන්නවා.
ඉන් පසුව සතුරා මුළා කිරීමට එම ආහාර වෙනත් ස්ථානයක සඟවන අයුරින් ව්‍යාජ රඟපෑමක් කරනවා. සතුරා රැවටුණු බව තහවුරු කර ගැනීමෙන් පසුව එම ස්ථානයෙන් පලා ගොස් ආරක්ෂිත ස්ථානයක ආහාර සඟවා තබනවා. ඒ පසුව එම ආහාර පරිභෝජනය කිරීමේ අරමුණ ඇතිව යි. එය කපුටා සතු ව තිබෙන අපූරු ලක්ෂණයක් බව පක්ෂි විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
3). කපුටන්ට මෙවලම් සෑදීමේ හැකියාව තිබෙනවා
මෙවලමක් නිර්මාණය කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතුයි. නව කැලිඩෝනියානු කපුටු විශේෂයට එම හැකියාව තිබෙන බව සත්ත්ව විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබෙනවා. එහි දී උන් කුඩා කම්බිවල අග නමා කොකු මෙන් සාදාගෙන විවිධ දේවල් එහා මෙහා ගෙන යන අයුරු නිරීක්ෂණය කරන්නට පුළුවන්.
එක් අවස්ථාවක ස්වීඩනයේ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමකට දැක ගැනීමට ලැබුණේ කපුටන් දෙදෙනකු කම්බි කොකු භාවිත කරමින් තරමක් විශාල ලී කැබැල්ලක් වෙනත් තැනකට ගෙන යාමට උත්සාහ දරන ආකාරය යි.
ඒ වාගේ ම කපුටන් කුඩා ලී කැබලි ගෙන ඒවායේ පොතු ඉවත් කර අග තියුණු ලෙස උල් කර ගන්නවා. උන් එවැනි මෙවලම් භාවිත කරන්නේ ලී සිදුරුවල ඇතුළත සිටින කුඩා සතුන් ඉවත් කිරීම සඳහා යි. කපුටන් නිවාස සෑදීම සඳහා හොඳින් වැඩුණු ගසක ඉහළ අත්තක් තෝරා ගැනීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයක්. එහි දී නිවස සෑදීමට අවශ්‍ය කුඩා ලී කැබලි, වැල්, නූල් ආදිය ගෙන යන්නේ එවැනි මෙවලම්වල ආධාරයෙන් වීම විශේෂත්වයක්.
4). පණිවිඩ හුවමාරු කරගැනීමට විශේෂ සංඥා ක්‍රම භාවිත කරනවා
මිනිසුන් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා විවිධ සන්නිවේදන ක්‍රම භාවිත කරනවා. ඒ වාගේම කපුටන් ද උන්ගේ සමීපතමයන් සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමට විවිධ සංඥා ක්‍රම භාවිත කරන බව අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ වියනා විශ්ව විද්‍යාලයේ තෝමස් බග්නයර් නම් ජීව විද්‍යාඥයා යි. ඔහු පවසන්නේ කපුටන් එම සංඥා ලබාදීමට සිය හොටය භාවිත කරන බව යි. එවැනි සංඥා ක්‍රම 38ක් පමණ පවතින බවට බග්නයර් අනුමාන කරනවා.
ඒ අතුරින් සංඥා වැඩි ප්‍රමාණයක් විරුද්ධ ලිංගිකයන් අතර සන්නිවේදන කටයුතු සඳහා භාවිත වන බව බග්නයර් පවසා සිටිනවා. එක් කපුටකුට අනතුරක් සිදුවුණු විට අනිත් කපුටන් ඉතාමත් ඉක්මනින් එම ස්ථානය වෙත ළඟා වෙන්නේ එම සංඥා ක්‍රමය නිසා යි. ඒ වාගේ ම කපුටන් සිය විරුද්ධ ලිංගිකයන්ට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමට පවා විශේෂ සංඥා ක්‍රම තිබෙන බව ඔහු පවසනවා. එයින් පැහැදිලි වන්නේ කපුටන්ට සංඥා හඳුනා ගැනීමට ඉහළ හැකියාවක් තිබෙන බව යි.
5). කපුටන් තම ආත්මාර්ථකාමී මිතුරන් කොන් කරයි
වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් 2015 වසරේ දී කපුටන් යොදා ගෙන අපූරු පර්යේෂණයක් සිදු කළා. එම පර්යේෂණය ආරම්භයේ දී කපුටන් සියලුදෙනා හොඳින් ඉඩ තිබෙන බිම් ප්‍රදේශයක රැඳවූවා. ඉන් පසුව සෑම කපුටකුට ම චීස් කැබැල්ල බැගින් ලබා දුන්නා.
එම චීස් කැබලි සියල්ල ප්‍රමාණයෙන් එක සමාන වුණා. එලෙස ලබා දුන් චීස් කැබලි කපුටන් ආහාරයට ගැනීමට පටන් ගැනීමත් සමඟ ම අපූරු දෙයක් දැක ගන්නට ලැබුණා.
ඒ සමහර කපුටන් ඉක්මනින් සිය චීස් කැබැල්ල කා අවසන් කොට අනිකුත් කපුටන්ගේ චීස් කැබලිවලින් කොටසක් ද කෑමට මාන බලන ආකාරය යි. එසේ හැසිරුණු කපුටන් දෙදෙනකු පමණ එම කාණ්ඩයේ සිටින බව දැක ගන්නට ලැබුණා. ඉන් අනතුරු ව එහි සිටි කපුටන් චීස් හොරෙන් කෑමට උත්සාහ කළ කපුටන් දෙදෙනා සමඟ කිසිදු සන්නිවේදනයක් නොකරන ආකාරය නිරීක්ෂණය කරන්නට ලැබුණා. එම නිරීක්ෂණය මඟින් පර්යේෂක කණ්ඩායම එළඹුණු නිගමනය වුණේ කපුටන් ඔවුන් වටා සිටින ආත්මාර්ථකාමී මිතුරන් සමඟින් කිසිදු ගනුදෙනුවක් නො කරන බව යි.