බොහෝ ගෙවතුවල කුමක් හෝ වර්ගයක පළතුරු ගසක් වගාකර තිබෙනවා. ඒ, සිය ගෙවත්තෙන් නෙළාගත් නැවුම් පළතුරු අනුභව කිරීමට ඇතැම් උදවිය පුරුදුව සිටින නිසා යි. නමුත් එලෙස පළතුරු වගා කරන සෑම ගෙවත්තකින්ම හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකිවන්නේ නැහැ. ඒ පළතුරු ගස් නිසි අයුරින් කප්පාදු නොවීම, නිසි පරිදි හිරු එළිය, නිසි පරිදි පොහොර නොලැබීම වැනි බොහෝ හේතූන් නිසා යි. එහි දී පළතුරු ගසකින් හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා එය නිසි පරිදි කප්පාදු කළ යුතු යි.
පළතුරු ගස් කප්පාදු කිරීමේ අවශ්‍යතාවය
ගසක ව්‍යුහය සැලකූ විට පත්‍රවල බර සහ අනිකුත් කොටස්වල බර අතර අනුපාතය ඵල දැරීම කෙරෙහි බලපෑමක් ඇති කරයි. යම් ශාකයක පත්‍රවල නිපදවන ආහාරවලින් එහි අතු සහ කඳ වැනි දැවමය කොටස් නඩත්තු කරයි. ශාකයේ කඳ සහ අතු පමණට වඩා වර්ධනය වුණු විට පත්‍රවල නිපදවන ආහාර සියල්ල ඒවා නඩත්තු කිරීමට වැයවෙයි. එවිට මල් පිපීමට සහ ඵල දැරීමට අමතර ආහාර ප්‍රමාණයක් ඉතිරි වන්නේ නැහැ. යම් ශාකයක් කප්පාදු කරන්නේ එහි පත්‍රවල බර සහ දැවමය කොටස්වල බර යන අනුපාතය අඩු කිරීම සඳහා යි. එලෙස ශාකය කප්පාදු කළ විට පත්‍රවල නිපදවන ආහාරවලින් කොටසක් මල් පිපීම සහ ඵල හටගැනීම සඳහා ඉතිරි කර ගත හැකියි.
සුලභවම කප්පාදුවට ලක් කරන බහු වාර්ෂික පළතුරු බෝග
වසරකට වැඩි කාලයක් ජීවත් වන ශාක බහු වාර්ෂික ශාක ලෙසින් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පළතුරු වර්ග අතුරින් 90%ක් පමණ බහු වාර්ෂික පළතුරු ගණයට අයත් වෙයි. එවැනි ශාක වසර පුරාම සීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා විශාල ගස් බවට පත්වෙයි. එවිට ශාකය විසින් නිපදවන ආහාරවලින් වැඩි කොටසක් වැයවන්නේ එහි නඩත්තුව සඳහා යි. එලෙස ශාකය විසින් නිපදවන ආහාර නඩත්තුව සඳහා වැය කළ විට අස්වැන්න අඩු වී යයි. එම නිසා බහු වාර්ෂික පළතුරු බෝගවලින් සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා ඒවා කප්පාදු කළ යුතු යි.
වැඩි වශයෙන් කප්පාදුවට ලක් කරන පළතුරු බෝග වර්ග කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
1) අඹ 2) රඹුටන්
3) නාරං 4) දොඩම්
5) දූරියන් 6) පේර
7) අලිපේර
කප්පාදු කිරීම සඳහා භාවිතා කරන උපරණය
පළතුරු ගස් කප්පාදු කිරීම සඳහා විශේෂයෙන්ම භාවිතා කරන උපකරණ කිහිපයක් තිබෙනවා. කප්පාදුව සිදුකරන ආකාරය සහ ශාකයේ ස්වභාවය මත භාවිතා කරන උපකරණ වෙනස් විය හැකියි. පහත දක්වා තිබෙන්නේ කප්පාදු කිරීම සඳහා භාවිතා කරන උපකරණ යි.
1) සෙකටියරය- කුඩා අතු රිකිලි කප්පාදු කිරීම සඳහා
2) Bow Saw- විශාල ශාකවල ළඟාවිය නොහැකි අතු කැපීම සඳහා
3) කප්පාදු කියත- විශාල අතු කප්පාදු කිරීම සඳහා
ඊට අමතරව Long Handle Pruner, Hedge Shears, Lopping Shears, Pruning Saw With D Grip, Folding Saw, ChainSaw වැනි උපකරණ පළතුරු බෝග කප්පාදු කිරීම සඳහා භාවිතා කළ හැකියි.
අතු කැපීමේ පියවර
අතු කැපීමේ දී සෙකටියරයක් හෝ කියතක් මඟින් ප්‍රධාන ශාඛාවට ආසන්නව කපා ඉවත් කළ යුතු යි. තරමක් විශාල අතු එකවර කැපීමේ දී අත්ත පුපුරායාමෙන් ගසට සහ අත්තට සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා පහත දැක්වෙන සම්මත අතු කැපීමේ පියවර තුන අනුගමනය කළ යුතු යි.
පළමු කැපුම
ප්‍රධාන කදේ සිට සෙ.මී. 30-40ක් පමණ දුරින් අතේ යට පැත්තේ සිට ඉහළට අතේ අඩක් පමණ ගැඹුරට කැපුමක් යෙදිය යුතු යි.
දෙවන වන කැපුම
පළමු කැපුමට සෙ.මී. 07-10ක් ඉදිරියෙන් අතේ උඩ පැත්තේ සිට පහළට අතෙන් අඩක් පමණ ගැඹුරට කැපිය යුතු යි. එවිට අත්ත කැපී ඉවත් වෙයි.
තෙවන වන කැපුම (ඉතිරිවන අතු කැබැල්ල ඉවත්කිරීම)
අත්තේ උඩ පැත්තෙන් ප්‍රධාන කඳට සමීපයෙන් ආරම්භ කර පහළ කෙළවර දී සෙ.මී.2-5ක පමණ අතු කොටසක් ඉතිරි වන ලෙස ආනතව කැපීම සිදු කළ යුතු යි.
එලෙස කප්පාදු කළ පෘෂ්ඨවලට හානි සිදුවීම වලක්වා ගැනීම සඳහා දිලීරනාශක අඩංගු ආලේපයක් හෝ 2% හුණු ද්‍රාවණයක් කැපුම් පෘෂ්ඨය මත ආලේප කළ යුතු යි.
මූලික කප්පාදුව සහ වාර්ෂික කප්පාදුව
පරිණත වුණු පළතුරු ගසක් සඳහා මුලින්ම කළ යුත්තේ මූලික කප්පාදුව යි. ඉන් පසුව එම ශාකය සඳහා වාර්ෂික කප්පාදුව සිදුකළ යුතු යි. එම කප්පාදු සිදුකරන ආකාරය සහ එහි දී සැලකිලිමත් විය යුතු කරුණු පහත පරිදි යි.
මූලික කප්පාදුව
ස්වභාවිකව වැඩී පරිණත තත්ත්වයට පත්වුණු පළතුරු ගස් සඳහා මූලික කප්පාදුව සිදුකිරීමේ දී, ගස වටා ඇවිද පළමුව කප්පාදුව කළ යුතු ආකාරය සැලසුම් කර ගත යුතුයි. ඉන් පසුව ඉහළට වැඩුණු ප්‍රධාන ශාඛා මුලින්ම කපා ඉවත්කර ශාකයේ මැද කොටස හිරු එළියට නිරාවරණය කළ යුතුයි. එසේම ඉතිරි අතුවල ඇති පිළිල ආදියත් කපා ඉවත් කළ යුතු යි. ඊට අමතරව ලෙඩ රෝග සෑදුණු අතු, දිරාපත් වුණු අතු සහ සෙවණ සහිත අතු කපා දැමිය යුතු යි.
වාර්ෂික කප්පාදුව
මූලික කප්පාදුවෙන් පසු මාස 6කට වරක්වත් වාර්ෂික කප්පාදුව සිදුකළ යුතු යි. එහි දී ඊට පෙර පළතුරු වාරයේ ඵල හටගත් රිකිලි කෙළවරවල්, රෝගී අතු, දුර්වල අතු, ගස මැදට වැඩෙන අතු, මැදින් ඉහළට වැඩෙන දිය රිකිලි ආදිය කප්පාදු කළ යුතු යි. මෙම කප්පාදුව අස්වනු නෙලීමෙන් පසුව එළඹෙන වියළි කාලයේ අවසාන සති කිහිපය තුළ සිදුකිරීම වඩාත් යෝග්‍ය යි. ඒ අධික වියළි ස්වභාවය සහ අධික වර්ෂා සහිත ස්වභාවය වාර්ෂික කප්පාදුව සඳහා යෝග්‍ය නොවන නිසා යි.
හොඳින් මේරූ ශාක කප්පාදු කිරීම
යම් කිසි ශාකයක් සිටුවා වසර ගණනාවක් ගතවන විට හොඳින් මේරීම සිදුවනවා. එවිට ශාක අතු පතර විහි දී වඩාත් උසට වර්ධනය වන ආකාරය දැකිය හැකියි. විශේෂයෙන්ම අඹ වැනි ශාක ඉතාමත් ඉක්මනින් මෙවැනි තත්ත්වයට පත්වනවා. එවැනි අවස්ථාවන්වල දී ශාකය සඳහා සැහැල්ලු හෝ දැඩි කප්පාදුව සිදුකළ යුතු යි. පහත දක්වා ඇත්තේ අඹ ශාකය සඳහා එම කප්පාදු ක්‍රම දෙක සිදුකරන ආකාරය යි.
සැහැල්ලු කප්පාදුව
1) අනවශ්‍ය අතු සහ සෙවණ ඇති කරන ප්‍රධාන පාර්ශවීය අතු මෙහි දී ඉවත් කරනු ලබයි. එලෙස අතු ඉවත් කිරීමේ දී ශාකයේ උසෙහි වෙනසක් ඇති නොකර යි.
2) කප්පාදුවෙන් පසුව ඉතිරි වන අතුවලට හොඳින් හිරු එළිය වැටෙන පරිදි ශාකය ශුද්ධ කළ යුතු යි.
3) එසේම කප්පාදුවේ දී අනිකුත් අතුවලින් සෙවණ ලැබෙන අතු, එකිනෙක හරහා ගිය අතු, දිය රිකිලි, රෝගී සහ මැරුණු අතු අග්‍රස්ථ අංකුර, පිටත අවකාශයට නිරාවරණය නොවී පවතින අතු, සහ ශාකයේ ඉහළ උසකට වැඩී ඇති අතු ද සැහැල්ලු කප්පාදුව මඟින් ඉවත් කරයි.
4) ශාකයේ ප්‍රධාන අතු ඉවත් කිරීමේ දී කඳට ඉතාමත් ආසන්නයෙන් තනි කැපුමක් ලෙස කපා ඉවත් කළ යුතු යි. එලෙස සිදුකරන කැපුම් ආසාදනය වීම හෝ දිරායාම වැලැක්වීම සඳහා කුන්ඩසාන් වැනි නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කළ යුතුයි.
දැඩි කප්පාදුව
1) දැඩි කප්පාදුව සිදු කිරීම සඳහා වඩාත් සුදුසුම කාල සමය වන්නේ අස්වැන්න නෙලීමෙන් පසුව ගෙවෙන කාල සමය යි. වර්ෂාව සහිත කාලවල දී ගස කප්පාදු කිරීම සිදු නොකර යි.
2) පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ප්‍රධාන අතු කිහිපයක් ඉතිරි කර අනිකුත් සියළුම අතු ඉවත් කළ යුතු යි. ඒ අනුව දැඩි කප්පාදුවේ දී ශාකයේ උස වෙනස්වන ආකාරය දැකිය හැකියි.
3) ප්‍රධාන අතු බිම් මට්ටමේ සිට මීටර් 4-5 පමණ ඉතිරි වන පරිදි කපා ඉවත් කළ යුතුයි. එම කැපුමෙහි කුන්ඩසාන් නම් දිලීර නාශකය ආලේප කළ යුතු යි.
4) කප්පාදු කිරීමෙන් මාස කිහිපයකට පසුව ප්‍රධාන අතුවල කැපුම් ස්ථානවලින් රිකිලි විශාල ගණනක් සෑදෙයි. ඉන් රිකිලි කිහිපයක් ඉතිරි කර සියළුම අනවශ්‍ය රිකිලි ඉවත් කළ යුතු යි.
5) එලෙස ඉතිරි කරන ලද රිකිලි වැඩෙන විට කලින් නොකපා තැබූ ප්‍රධාන අතුවලින් මීටර් 4-5 පමණ ප්‍රමාණයක් ඉවත් කර දිලීර නාශක ආලේප කළ යුතුයි.
6) දැඩි කප්පාදුවෙන් වසර දෙකකට පමණ පසුව අඹ ගස යථා තත්ත්වයට පත් වී පුෂ්ප පිපීම ආරම්භ වෙයි.