සත්ත්ව සහ ශාක ජීවිත ගැන අපූරු උදාහරණ ලෝකයට ගෙන හැර දක්වන ගැලැපගෝස් දූපත්, ආකර්ෂණීය භූගෝලීය ඉතිහාසයක් සහිත සංකීර්ණ පරිසර පද්ධතියකට සෙවණ සපයන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ඉක්වදෝර ජනරජයට යාබද ව ශාන්තිකර සාගරයේ පිහිටා ඇති ඉක්වදෝරයටම අයත් ගැලැපගෝස් දූපත් ලෝක වාසීන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ප්‍රකට ස්වභාව විද්‍යාඥයෙකු වූ චාල්ස් ඩාවින්, ජීවීන්ගේ පරිණාමය පිළිබඳ ව ඔහු දැරූ න්‍යාය ගොඩ නැංවීම සඳහා එහි වාසය කළ සත්ත්ව සහ ශාක විශේෂ උපකාර කර ගැනීම හේතුවෙන්.
එසේ පරිමාණයේ විද්‍යාගාරය බවට පත් වූ ගැලැපගෝස් දූපත් වර්තමානයේ දී ස්වභාව විද්‍යාව හදාරන දහස් ගණනක් වන විද්‍යාඥයින් අතර පමණක් නොව සොබාදහමට ඇලුම් කරන සංචාරකයින් අතර ද ජනප්‍රිය යි. මේ සත්ත්ව ලෝකයට අලුත් මංපෙත් විවර කළ ගැලැපගෝස් දූපත් ගැන තොරතුරු බිඳක්.
ශාන්තිකර සාගරය මැද දූපත් දම්වැලක්
ඉක්වදෝර ජනරජයේ සිට කිලෝ මීටර් 1,000 (සැතපුම් 600) ක් පමණ දුරින් ශාන්තිකර සාගරය මධ්‍යයේ පිහිටා ඇති ගැලැපගෝස් දූපත් සමන්විත වන්නේ විශාල දූපත් 13 කින්, කුඩා දූපත් 7 කින් සහ ගණනින් 125 ක් පමණ වන කොදෙව් රාශියකින්. සමකය මැදි කර ගනිමින් උතුරු අර්ධ ගෝලය මෙන් ම දක්ෂිණ අර්ධ ගෝලය ද ආවරණය වන ලෙස ගැලැපගෝස් දූපත්, දම්වැලක් මෙන් එක පෙළට පිහිටා තිබෙනවා. ‘ඉසබෙලා’ ලෙස හඳුන්වනු ලබන ගැලැපගෝස් දූපත් සතු විශාලත ම දූපත වර්ග කිලෝ මීටර් 4,670 (වර්ග සැතපුම් 1,803) ක භූමි ප්‍රදේශයක් ආවරණය කරනවා.
අදින වසර මිලියන 3 – 4 කට පමණ පෙර ගැලැපගෝස් දූපත් නිර්මාණය වී ඇත්තේ යමහල් පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස යි. නමුත් පසු කාලීන ව නිර්මාණය වූ දූපත් ද ගැලැපගෝස් දූපත් සමූහය සතු වෙනවා. භූ විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට ඩාවින්, ෆර්නැන්ඩිනා, ජීනෝවෙසා, ඉසබෙලා, සන්ටියාගෝ සහ මාචෙනා යන දූපත් නිර්මාණය වී ඇත්තේ අදින් වසර 700,000 ක පමණ පෙර යි. එසේ ම ගැලැපගෝස් දූපත් නිර්මාණය වීමට හේතු වූ යමහල් බොහෝමයක් අදටත් ක්‍රියාකාරී ව පවතින අතර 1990 වර්ෂයේ සිට අද දක්වා එවැනි යමහල් 6 ක් පුපුරා ගොස් තිබෙනවා.
සෞම්‍ය දේශගුණයක් සහිත නිවර්තන දූපත්
සමකය ආසන්න පිහිටා තිබුණ ද ගැලැපගෝස් දූපත් හි දී හරිත පැහැ නිවර්තන වැසි වනාන්තර දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. ප්‍රධාන සාගර ධාරාවන් (ocean currents) ත්‍රිත්වයක් මතින් වැටී ඇති බැවින් වර්ෂය පුරා ම ගැලැපගෝස් දූපත් සතු වන්නේ සෞම්‍ය එහෙත් තරමක් වියළි දේශගුණික තත්ත්වයක්. සමකය ආසන්නයේ පිහිටා ඇති ගැලැපගෝස් දූපත් අනෙක් සමකාසන්න රාජ්‍යයන් මෙන් ම නිවර්තන ඍතු ද්විත්වයකට මුහුණ දෙනවා. ඒ අනුව ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වියළි සමය බල පැවැත්වෙන අතර එම කාල සීමාව තුළ දී පවතින සාමාන්‍ය උෂ්ණත්වය 20°C – 30°C අගයක් ගන්නවා. ගැලැපගෝස් දූපත් මුහුණ දෙන වැඩි ම වර්ෂාවක් හිමි කාලය වන්නේ මාර්තු – අප්‍රේල් දක්වා වන කාලය යි.
එසේ ම සෑම 2 – 8 වර්ෂයකට ම වරක් ‘එල් නිනෝ’ සංසිද්ධියට (එනම් වසර කිහිපයකට වරක් පේරු සහ ඉක්වදෝර් රාජ්‍යයන්ට මුහුණ දීමට සිදු වන අධික උෂ්ණත්වයක් සහිත දුර්භික්ෂමය කාල සීමාව) මුහුණ දීමට ද ගැලැපගෝස් දූපත් සමූහයට සිදු වෙනවා. 1982 – 1983 සහ 1997 – 1998 කාල සීමාවන් හි දී ‘එල් නිනෝ’ සංසිද්ධිය හේතුවෙන් ගැලැපගෝස් දූපත් හි සාගර ඉගුවානා ගහනය 90% කින්, පෙන්ගුයින් ගහනය 75% කින් සහ මුහුණ සිංහ ගහනය 50% කින් පහළ වැටුණු බව යි සඳහන් වන්නේ.
දුර්ලභ සත්ත්ව සහ ශාක විශේෂ රැසකට සෙවණක්
ගැලැපගෝස් දූපත් සතු ස්වදේශික ශාක විශේෂ ගණන 600 ක් පමණ වෙනවා. එයින් 30% කට අධික ප්‍රමාණයක් ඒකදේශික ශාක බව යි ගැලැපගෝස් සංරක්ෂණ සේවය වාර්තා කරන්නේ. එසේ ම ගැලැපගෝස් දූපත් හි දී හඳුන්වාදෙන ලද ශාක විශේෂ 800 ක් පමණ දැක ගත හැකි අතර එයින් සමහරක් ක්විනීන්, පේර සහ බ්ලැක්බෙරි වැනි ආක්රමණික ශාක යි.
එසේ ම ගැලැපගෝස් දූපත් හි දී වෙරළබඩ, ශුෂ්ක සහ තෙත් කඳුකරය ලෙස ප්‍රධාන වැවිලි ප්‍රදේශ (vegetation zone) ත්‍රිත්වයක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. වෙරළබඩ ප්‍රදේශයේ දී වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන්නේ කඩොලාන ශාක සහ ඉගුවානා, මුහුදු සිංහයා, මුහුදු කැස්බෑවා වැනි සත්ත්ව විශේෂ යි. ශුෂ්ක ප්‍රදේශයේ දී පතොක් සහ පත්‍ර රහිත මාංසල ශාක වැනි කාන්තාර ප්‍රදේශ ආශ්රිත ව දැක ගැනීමට ලැබෙන ශාක වර්ග දැක ගැනීමට ලැබෙනවා. සාරවත් බිම් පෙදෙසක් හිමි ගැලැපගොස් දූපත් හි තෙත් කඳුකරය ආරම්භ වන්නේ වෙරළේ සිට මීටර් 300 (අඩි 1,000) ක් පමණ දුරකින්.
ගැලැපගෝස් දූපතේ දී දැක ගැනීමට ලැබෙන පක්ෂි විශේෂ අතරින් 80% ක්, උරග සහ සිවුපා සත්ත්ව විශේෂ අතරින් 97% ක් සහ සාගර ජීවීන් අතරින් 20% ක් පමණ ඒකදේශික බව යි සඳහන් වන්නේ. එසේ ම ප්‍රමාණයෙන් අඩි 6 කට ආසන්න ලොව විශාලත ම ඉබ්බන් වාසය කරන්නේ ද ගැලැපගෝස් දූපතේ යි. මෙවැනි යෝධ ඉබ්බන් 20,000 – 25,000 අතර ප්‍රමාණයකට ගැලැපගෝස් දූපත නවාතැන් සපයන බව යි සොබාදහම සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල ප්‍රකාශ කරන්නේ.
පෘථිවිය සතු වන එක ම සාගර ඉගුවානා විශේෂය දැක ගැනීමට ලැබෙන්නේ ද ගැලැපගෝස් දූපත් හි දී පමණ යි. එහි දී දැක ගැනීමට ලැබෙන වඩාත් ජනප්‍රිය පක්ෂි විශේෂය වන්නේ ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින්ට පරිමාණවාදය ගොඩ නැංවීම සඳහා උපකාර කළ ෆින්ච් කුරුල්ලන්. එසේ ම සමකය ආශ්රිත ව පෙන්ගුයින් පක්ෂීන් දැක ගැනීමට ලැබෙන්නේ ද ගැලැපගෝස් දූපත් හි දී පමණ යි.
සියවස් ගණනක් ලෝකයෙන් වසන් වී සිටි ගැලැපගෝස් දූපත්
1950 දශකයේ දී ගවේෂක තෝර් හයිඩාල් විසින් ගැලැපගෝස් දූපත්වලින් පැරණි මැටි භාණ්ඩ සොයාගෙන ඇති අතර ක්‍රිස්ටෝපර් කොළොම්බස් පැමිණීමට පෙර දකුණු ඇමෙරිකානුවන් ගැලැපගෝස් දූපත් හි පදිංචි වී සිටින්නට ඇති බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. මුල් වරට යුරෝපා ජාතිකයෙක් ගැලැපගෝස් දූපතට ගොඩ බැස ඇත්තේ 1535 මාර්තු මාසයේ දී යි. පසු ව 1570 වර්ෂයේ දී ජෙරාඩස් මර්කේටර් සහ ඒබ්‍රහම් ඕටේලියස් ඔවුන් විසින් සකස් කරන ලද ලෝක සිතියමට ගැලැපගෝස් දූපත් ඇතුළත් කර තිබෙනවා.
16 වැනි සියවසේ දී මුහුදු කොල්ලකරුවන්ගේ තිත්පොළක් වූ ගැලැපගෝස් දූපත් 18 වැනි සියවසේ දී භාවිතා කර ඇත්තේ තල්මස් දඩයම්කරුවන් විසින්. පසු කාලීන ව යුරෝපා රාජ්‍යයන් කිහිපයක ම යටත් විජිතයක් ලෙස පැවති ගැලැපගෝස් දූපත් සමූහයට ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින් ගොඩ බැස ඇත්තේ 1835 වර්ෂයේ දී යි. පරිමාණවාදය ඉදිරිපත් කිරීමෙන් පසු ව ලෝක වාසීන් අතර අතිශය ජනප්‍රිය වූ ගැලැපගෝස් දූපත් සමූහය 1978 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. ඒ ‘ජීවමාන කෞතුකාගාරයක් සහ පරිමාණයේ ප්රදර්ශනාගාරයක්’ ලෙස එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන යි.
කවරයේ පින්තූරය : © Fox World Travel