ලොව වැඩි ම ජනගහණයක් සහිත රට වන චීනය වසර දහස් ගණනක් පැරැණි සංස්කෘතියකට ද හිමිකම් කියයි. නැඟෙනහිර ආසියාවේ විවිධ රටවලට අයත් ලක්ෂණවලින් චීන සංස්කෘතිය සමන්විත වේ. ඒ නිසාම ඒ ඒ නගරවල සහ පළාත්වල දැකිය හැකි සංස්කෘතික අංග එකිනෙකට වෙනස් වේ. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ගත් කල මල්වලට චීන සංස්කෘතිය තුළ හිමි වන්නේ සුවිශේෂී සහ ගෞරවනීය ස්ථානයකි. චීන ජනතාවගේ එදිනෙදා ජීවිතයට මල් බොහෝ සෙයින් සමීප වේ. කලා නිර්මාණ සහ කාව්‍යකරණයේ දී විවිධ මල් වර්ග තේමාවන් බවට පත්ව තිබේ. මෙම ලිපිය චීන සංස්කෘතිය තුළ අතිශයින් ම ජනප්‍රිය එවැනි මල් වර්ග කිහිපයක් පිළිබඳව යි.
01). කපුරු
ටාඕ යු’ඇන්මින් නම් චීන කවියාගේ කාව්‍ය නිර්මාණවල කපුරු මල් පිළිබඳ වැඩි වශයෙන් සඳහන් වේ. ඔහු කපුරු මල හඳුන්වා දී ඇත්තේ නිහතමානී බවේ සංකේතයක් වශයෙනි. ඔහුගේ එක කවියක මෙසේ සඳහන් වේ:
“නැගෙනහිරට වන්නට පිහිටි වැට අසල කපුරු මල් කඩමින් සිටි මගේ බැල්ම දකුණු දෙසට වන්නට පිහිටි කඳුවැටි දෙසට යොමු වී තිබිණි.”
ඕනෑම පුද්ගලයකු බලාපොරොත්තු වන නිදහස් සහ සාමකාමී ජීවිතයක් පිළිබඳ ව මෙම කවියෙන් කියැවෙන බව චීන ජනතාවගේ මතය යි.
දීර්ඝකාලින පැවැත්මේ සංකේතයක් ලෙස ද කපුරු මල හැඳින්වේ. චීනයේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කපුරු මල්වලින් සකසා ගත් තේ පානය කිරීම මගින් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය සහ උණ රෝගය සුව වේ. විශේෂයෙන් ම කුළුබඩු සහ චීස් වැනි දේ බහුල ආහාර ගැනීමෙන් පසු කපුරු මල්වලින් පිළියෙළ කරගත් තේ කෝප්පයක් පානය කිරීමට චීන ජනතාව අමතක නොකරයි. ඊට අමතර ව චීන ජනතාව කොට්ට සකස් කිරීම සඳහා කපුරු මල් පෙති භාවිත කරයි.
02). චීන රෝස
පැරැණි මූලාශ්රවල සඳහන් වන්නේ චීනයේ රෝස වගාව අවම වශයෙන් මීට වසර 5,000කට පෙර ආරම්භ වී වෙනත් රටවලට ව්‍යාප්ත වූ බවයි. චීන රෝස නිරිතදිග චීනයේ ගුයිෂෝ, හුබෙයි සහ සිචුවාන් යන පළාත්වලට ආවේණික මල් වර්ගයකි. චීන ජනතාව තේ සහ සුප් වර්ග පිළියෙළ කිරීම සඳහා චීන රෝස මල් පොහොට්ටු භාවිත කරයි.
ඊට අමතර ව ආහාර පිසීමේ දී භාවත කරන කුළුබඩු වර්ග අතර ද චීන රෝසවලට හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙම රෝස වර්ගයේ ඇට කුඩුකර ආහාර පිසීම සඳහා භාවිතා කරන අතර එහි විටමින් ‘ඊ’ බහුල බව කියැවේ. ආහාර පිළියෙළ කිරීමට අමතර ව සුවඳ විලවුන් සහ රුපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තය සඳහා ද චීන රෝස ශාකයේ විවිධ කොටස් යොදා ගනී.
03). පියෝනි
ශ්‍රේෂ්ඨ චීන කවියකු වන ලි බායි ඔහුගේ අනියම් බිරිය වූ යැන් යුහු’යැන්ගේ රුව පියෝනි මලකට සමාන කර තිබේ. ඔහුගේ එක කවියක සඳහන් වන්නේ:
“පාවෙන වලාකුළු මට ඇගේ ඇඳුම් සිහිගන්වයි, පියෝනි මල් ඇගේ මුහුණ සිහිගන්වයි.” යනුවෙනි.
නව වසර උදාවීම සැමරීම සඳහා චීන ජනතාව සිදු කරන බොහෝ සැරසිලි සඳහා පියෝනි මල් යොදා ගනී. නව වසර සඳහා ඔවුන් සතු අපේක්ෂා දරා සිටින්නේ පියෝනි මල් බව චීන ජනතාව විශ්වාස කරයි. වසන්ත සමයේ දී පිපෙන මෙම මල් විශේෂය කීර්තිය, සමෘද්ධිය සහ ධනය සංකේතවත් කරන බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ.
04). නෙලුම්
චීන සංස්කෘතිය තුළ නෙලුම් මල සැලකෙන්නේ කාන්තාවකගේ උතුම් සහ පිරිසුදු පෞරුෂයේ සංකේතයක් ලෙස යි. චීන ජනතාව වසර දහස් ගණනක් තිස්සේ නෙලුම් මල්, නෙලුම් ඇට සහ නෙලුම් අල, ඖෂධ වර්ග සහ විවිධ ආහාර වර්ග සකස් කිරීමට භාවිත කරයි. චීනයේ ප්‍රචලිත බුද්ධාගම අදහන බැතිමතුන් අතර ද නෙලුම් මල් වඩාත් ප්‍රසිද්ධ ය.
මඩේ හටගන්නා අලංකාර සහ සුවඳින් පිරි නෙලුම් මල් මෙන් බුද්ධ දර්ශනය අනුගමනය කරන පුද්ගලයන්ට සමාජයේ යහපත් පුද්ගලයන් බවට පත් විය හැකි බව ඔවුන්ගේ විශ්වාසය යි. ජනවාරි 8 චීනයේ ‘නෙලුම් දිනය’ ලෙස නම් කර තිබේ.
05). කැමීලියා
ක්‍රිස්තු වර්ෂ 220-280 අතර කාලය තුළ චීන ජනතාව කැමීලියා මල් වගා කිරීම ආරම්භ කළ බව කියැවේ. චීනයේ සුප්‍රසිද්ධ කවියකු ලියූ කවියක කැමීලියා පිළිබඳව සඳහන් වන්නේ මේ අයුරිනි:
බැස යන හිරු රැස් මෙන් බබළන
රෝස පැහැති වලාකුළු වැනි කැමීලියා මල්
දෙව්ලොව පිපෙන මල්
සිය ගණනකට වඩා මනස්කාන්තය.
කැමීලියා මල් යොදා ගෙන සකස් කරන ඖෂධවලින් පිළිස්සුම් තුවාල සුව කළ හැකි බව චීනයේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ පොතපතෙහි සඳහන් වේ. දකුණුදිග චීනයේ ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති කැමීලියා මල තරුණ දරුවන් සංකේතවත් කරන බව චීන ජනතාවගේ මතය යි.
06). හිබිස්කස් හෙවත් සපත්තු මල
විවිධ සම්පත් සොයා ලොව පුරා සැරිසැරූ යුරෝපා ජාතිකයන්ට චීනයේ දී සපත්තු මල් දැක ගැනීමට ලැබුණු අතර ඔවුන් ඒවා සිය රටවල්වලට ගෙන ගිය බව කියැවේ. චීනයේ ෂු රාජ්‍යයේ අවසන් රජු වූ මෙං චෑන්ග් සපත්තු මල්වලට දැඩි කැමැත්තක් දක්වා තිබේ. ඒ නිසා ම ඔහුට අයත් බල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට සපත්තු මල් වගා කරන ලෙස ඔහු නියෝග කළේ ය.
ඒ හේතුවෙන් ෂු රාජ්‍යයේ චෙන්ග්ඩු නගරය ආශ්රිත ව විශාල වශයෙන් සපත්තු මල් වගා කළ අතර ඒ නිසා එම ප්‍රදේශය පසුකාලීනව “city of hibiscus” නමින් ප්‍රචලිත විය. සපත්තු මල තේජස සහ කිර්තිය සංකේතවත් කරන බව චීන ජනතාව විශ්වාස කරයි.
07). මැග්නෝලියා
අතීතයේ පටන් මිල අධික මල් වර්ගයක් වූ මැග්නෝලියා මල් වගා අයත් ව තිබුණේ චීනයේ රාජකීය පවුලට ය. රාජකීය පවුලේ එක සාමාජිකයකුට පමණක් ඒවා වගා කිරීමට අවසර ලැබිණි. එලෙස වගා කළ මල්වල හිමිකාරිත්වය දැරුවේ අධිරාජ්‍යයා ය. එකල යම්කිසි පුද්ගලයකු සිදු කළ සුවිශේෂී සේවාවක් හෝ වෙනත් කාර්යභාරයක් අගය කිරීම සඳහා ඔවුන්ට මැග්නෝලියා මලක් ත්‍යාගයක් වශයෙන් ලබා දීමට අධිරාජ්‍යයා කටයුතු කළේ ය.
අජීර්ණය, මානසික අවපීඩනය, මලබද්ධය, බර අඩු වීම, හිසරදය, ඇදුම, කාංසාව, දැවිල්ල සහ ආතතිය වැනි රෝග තත්ත්ව සුව කිරීම සඳහා භාවිත කරන ඖෂධ වර්ග සකස් කිරීමට මැග්නෝලියා මල් යොදා ගනී. මෙම මල් කාන්තාවන්ගේ සුන්දරත්වයේ සංකේතයක් ලෙස සැලැකේ.
08). නර්සිසස්
කොන්ෆියුසියානු චින්තනයේ අනුගාමිකයෙක් වරෙක සඳහන් කර ඇත්තේ නර්සිසස් මල් කහ පැහැති තොප්පි පැළඳි, කොළ පැහැති අත් ඇති සුරංගනාවියන්ට සමාන බව ය. කොළ සහ සුදු මිශ්‍ර පැහැයෙන් යුතු මෙම මල් හටගන්නේ ජලජ පැළෑටියක ය. නර්සිසස් පැළෑටි චීනයේ ටෑං රාජවංශයේ පාලන කාලයේ දී ඉතාලියෙන් ගෙන්වාගෙන ඇති බව කියැවේ. චීන ජනතාව අලුත් අවුරුද්ද සමරන කාලයේ ගෘහ අලංකරණය සඳහා මෙම මල් භාවිත කරයි.