ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සර්ප විශේෂ සංඛ්‍යාව 102ක්. මේ සර්ප ප්‍රජාව අප රටේ ජෛව විවිධත්වයට එක් කරන්නේ විශාල දායකත්වයක්. සර්ප විශේෂ අතරින් 50ක් අප රටට ආවේණික යි. සර්පයන් පරිසර සංරක්ෂණයේ ම කොටසක් ලෙස යි සැලකෙන්නේ. ලංකාවේ වෙසෙන සර්පයන් අතරින් විෂ සහිත විශේෂ 38ක් ජීවත් වෙනවා. ඒ අතරින් උග්‍ර විෂ තිබෙන්නේ සර්ප විශේෂ 21කට පමණයි. එයින් 14ක් මුහුදේ ජීවත්වන සර්පයන් නිසා මිනිසාට ලොකු බලපෑමක් නෑ. ගොඩබිම සිටින සර්පයන් අතරින් විෂ සහිත වන්නේ විශේෂ 8ක් පමණයි. විශේෂ 64ක් කිසිම විෂක් නැති අහිංසක සර්පයන්.
වැරදි අවබෝධය
වාර්ෂික ව ලංකාවේ 100ක් පමණ දෙනා සර්ප දෂ්ටනය නිසා මිය යනවා. වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වියළි හා ශුෂ්ක කලාපවල ගොවිතැන් ප්‍රදේශ ආශ්‍රිත ව යි. මින් 97%ක් පමණ ම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා, සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ බව යි හෙළි වී තිබෙන්නේ.
කනගාටුවට කාරණය නම් රටේ ජෛව විවිධත්වය ඔප් නංවන, රටට ආවේණික, වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති සර්ප විශේෂ රැසක් ද විෂ සහිතයැ යි සිතමින් නිකරුණේ මරා දැමීමට අපේ මිනිසුන් පෙළඹී සිටීම යි. බොහෝ විට අතීතයේ දී නම් නිකරුණේ විෂ රහිත සර්පයන් මරා දැමුණේ නැහැ. අපේ වැඩිහිටියන් තුළ සර්පයන් ගැන හා සර්ප විෂ ගැන දැනුමක් ද තිබුණා. ඒ වගේ ම නාගයා වැනි සර්පයන් ගැන ගරුත්වයක් ද පුරාණ ගැමියන් තුළ පැවතුණා. ඒත් මෑත අතීතයේ බිහිවුණු පරම්පරාවට ඒ දැනුම නැහැ. දුරබැහැර ගම්මාන ආශ්‍රිත ව නොදැනුවත්කම නිසා මෙසේ සර්පයන් බහුල ව මරා දමනවා. මේ එසේ ඝාතනයට ලක් වන අහිංසක සර්පයන් කිහිප දෙනෙක් ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක්.
අපේ සර්පයන් අතරින් මඳ විෂ සහිත සර්පයන් ලෙස පළා පොළඟා, මූකලන් තෙලිස්සා, කුඩා මූකලන් තෙලිස්සා සැලකෙනවා. සුළු විෂ සහිත සර්ප නාම ලේඛනය විශේෂ 12ක්. තවත් විශේෂ 64ක් කිසිම විෂක් නැති සර්පයන්.
ආවේණික පළා පොළඟා
ලක්වාසී පොළොන් විශේෂ අතුරින් එක ම රුක්වාසී විශේෂය ලෙස පළා පොළඟා හැඳින්විය හැකියි. පළා පැහැයෙන් යුත් අලංකාර ශරීරයකට හිමිකම් කියන හෙයින් පළා පොළඟා ලෙස නමක් ලබා ඇති මෙම සර්පයා ශ්‍රී ලංකාවේ සර්පයන් අතර ජනප්‍රිය සංකේතයක්. ඉහළ කඳුකරය හා ශුෂ්ක කලාප හැරුණු කොට වියළි කලාපයේ සිට මධ්‍යම කඳුකරය, පහත රට තෙත් කලාපය වැනි ප්‍රදේශ දක්වා එම සර්පයින් ව්‍යාප්ත ව සිටිනවා.
පරිසරයට අනුවර්තනය වීම සඳහා වියළි කලාපයේ හමුවන ගහනය වර්ණයෙන් තරමක් ලා පැහැ වන අතර, තෙත් කලාපයේ සිටින ගහනය තද දීප්තිමත් කොළ පැහැයක් ගන්නවා. මීටරයකට වැඩි දිගක් දක්වා වර්ධනය වෙන මේ සර්පයාගේ ගොදුරු වශයෙන් කුඩා පක්ෂීන්, ගෙම්බන්, මීයන් වැනි සතුන් සැලකෙනවා.
පොළඟා යන නම නිසා ම නොදැනුවත්කමින් මේ සර්පයින් මරාදැමීමට සමහරු පෙළඹීම කනගාටුදායක යි. මධ්‍ය විෂ සහිත සර්පයෙක් නිසා දෂ්ටනය මාරාන්තික නැහැ.
මූකලන් තෙලිස්සා
පොළොන් තෙලිස්සා උග්‍ර විෂ සහිත සර්පයෙක් යැයි වන වැරදි මතය නිසා, තෙලිස්සා කියා හඳුන්වන සර්පයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව සමහරු හිතනවා. ඒත් මුකලන් තෙලිස්සන් උග්‍ර විෂක් නැති සර්ප කොට්ඨාසයක්.
ශ්‍රී ලංකාවට ආවේණික මධ්‍යම විෂ සර්පයෙකු වන මූකලන් තෙලිස්සා පහතරට සහ කඳුකර වශයෙන් විශේෂ දෙකකට බෙදෙනවා.
පහතරට මූකලන් තෙලිස්සා තෙත් කලාපීය හා අතරමැදි කලාපීය වනාන්තර, වගාබිම් මෙන්ම ඉඳහිට ගෙවතු ආශ්‍රිතව ද හමුවන තරමක් සුලබ සර්පයෙක්. හිකනලුන්, පඳුරු මැඩියන්, හූනන්, සහ මී පැටවුන් මොවුන්ගේ ගොදුරු අතර වෙනවා. රාත්‍රී කාලයේ දී ක්‍රියාශීලී ලෙස හැසිරෙන මොවුන් දිවා කාලයේ දී දිරාපත්වන කොළරොඩු, ලී කොටන්, ගල් විවර, වනාන්තරයේ කුඩා ගස් හෝ පඳුරු මත ගත කරන අතර දහවල් කාලයේත් ඉඳහිට සංචාරය කරනු දක්නට පුලුවන්. වැඩි වශයෙන් වනාන්තර ආශ්‍රිතව ජීවත්වන නිසා මොහුගෙන් දෂ්ඨන සිදුවන්නේ කලාතුරකින් බව වාර්තා වෙනවා. පහතරට මූකලන් තෙලිස්සාගේ හොම්බ පැහැදිලි ලෙස උල් වී ඉස්සී තිබීම නිසා අනෙක් තෙලිස්සන් විශේෂ දෙකෙන් ම පහසුවෙන් වෙන්කර ගත හැකියි.
කඳුකර මූකලන් තෙලිස්සා
පැහැදිලි ගෙලක්, කෙටි වලිගයක්, හා පෘෂ්ටිමත් සිරුරක් සහිත සර්පයෙක්. එයට හේතුව සීත කඳුකරයේ වාසය කිරීම යි. මුන්ගේ උපරිම දිග සෙ. මී. 25ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික මෙම සර්පයා රතු දත්ත පොතට අනුව වඳ වී යාමේ තර්ජනයට ලක් වූ විශේෂයක්. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000ක් හා ඒ අවට උන්නතාංශවල මේ සර්පයා ජීවත් වෙනවා.
මොවුන් දෙස බැලීමේ දී පෙනෙන්නේ වර්ණ රටාවන් අතින් විවිධත්වයක් පෙන්වන බව යි. වැඩි වශයෙන් කළු, අළු පැහැ වර්ණයෙන් යුතු සර්පයන් හමුවන අතර රතු, දුඹුරු හෝ ක්‍රීම් පැහැයට හුරු මෙවැනි සර්පයන් ද ඉඳහිට හමුවෙනවා. අනතුරක් හමුවේ ඉක්මනින් දිවගොස් සැඟවීමට තැත්කරන අතර බාධාකිරීම් හමුවේ පහර දීමට පසුබට වන්නෙත් නැහැ. බිය වූ විට ඉදිරියට පැනීම සහ ශරීරය පැතලි කොට පහරදීම දක්නට ලැබෙනවා. සපා කෑමක දී තුවාලය අවට ඉදිමී දැඩි වේදනාව දින කිහිපයක් පැවතිය හැකියි. එය ප්‍රතිකාර මඟින් සුව කර ගත හැකියි. මෙම සර්පයා දෂ්ටනයෙන් මරණ සිදු වූ බවට වාර්තා වී නැහැ. බිත්තර සිරුර තුළම බිඳී පැටවුන් බිහි කිරීම මඟින් බෝවීම සිදු වන අතර ගැහැනු සතුන් වරකට පැටවුන් 3-12ක් අතර සංඛ්‍යාවක් බිහි කරනවා.
ලේ මාපිලා
මාපිලුන් වර්ග පහක් අප රටේ ජීවත් වෙනවා. උන් සුළු විෂ සහිත සර්පයන්. ලේ මාපිලා, රෑන් මාපිලා, පඳුරු මාපිලා, නිදි මාපිලා, සහ කහ මාපිලා ඒ අතර සිටිනවා. ලංකාව හැරුණු විට නේපාලය, ඉන්දියාව යන රටවලත් මේ සර්පයා ජීවත් වෙනවා. අප රටේ පහතරට තෙත් කලාපයේ මෙන්ම අතරමැදි හා වියළි කලාපයේත් මාපිලා ජීවත් වෙනවා.
ලේ මාපිලාට ඒ නම ලැබී ඇත්තේ සිරුර තැඹිලි හා රත් පැහැති නිසා යි. නාග මාපිලා නමින් ද මෙම විශේෂය හඳුන්වනවා. සිහින් දිගටි ශරීරයකින් යුක්ත යි. පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් පිහිටා තිබෙනවා. නිශාචර රුක්වාසී සර්පයෙක්. දහවලට ගස්බෙන හා පඳුරු අතර සැඟ වී සිට රාත්‍රියේ දී තමයි ක්‍රියාශීලි වන්නේ.
දෂ්ට කළ ස්ථානය සුළු වශයෙන් ඉදිමුණත් දරුණු හානියක් සිදු වන්නේ නැහැ. වැරදි අවබෝධය නිසා මේ සර්පයා බහුල ව මරා දමන බව වාර්තා වෙනවා. ලේ මාපිලුන් හත් දෙනෙකු රාත්‍රියට වහලේ එල්ලී නිදාගෙන සිටින පුද්ගලයන්ගේ කකුලේ ඇඟිල්ලෙන් ලේ උරාබොන බවට විශ්වාසයක් අතීතයේ මෙරට ගැමියන් අතර පැතිරී තිබුණා. එය සම්පූර්ණයෙන් ම මිත්‍යා මතයක්. ලංකාවේ ලේ උරාබොන කිසිම සර්පයෙක් නැහැ.
පොල් මල් කරවලා
තෙල් කරවලා සහ මුදු කරවලා උග්‍ර විෂ සහිත වුවත් පොල්මල් කරවලා හෙවත් මල්සරා කියන සර්පයා සුළු විෂ සහිත සර්ප විශේෂයක්. ලංකාවේ සර්පයන් අතරින් අලංකාර ම සර්පයෙක් ලෙසින් පොල්මල් කරවලා හැඳින්වෙනවා. ලෝකයේ අලංකාර සර්ප විශේෂ අතරත් මේ සර්පයා සිටීම අපට ආඩම්බරයක්. මල් කරවලා හෙවත් නිහලුවා නමින් මඳ විෂ සර්පයෙක් ද අප රටේ ජීවත් වෙනවා.
කොළ පාටට හුරු ශරීර වර්ණයක් දැරුවත් බොහොමයක් සර්පයින්ගේ ශරීර වර්ණය පෘෂ්ඨීයව කළු පාටක් ගන්නවා. එහි හරස් අතට කහ පැහැති පේළි දැක ගත හැකියි. ශරීරය මධ්‍යයෙහි රතු පාට තිත් ද සමහර අවස්ථාවල කහ පැහැති තිත් ද පිහිටා තිබෙනවා. වර්ණවත් ශරීරයක් දැරීම නිසා මෙම සර්පයාව පහසුවෙන් වෙනත් සර්පයෙකුගෙන් වෙන් කර හඳුනාගැනීමේ හැකියාවක් පවතිනවා.
පැතලි හිසක් සහ හැකිලුනු ගෙලක් මේ සර්පයාගේ ශරීර ලක්ෂණ අතර කැපී පෙනෙනවා. සෙ. මී. 80-120 පමණ දිගකට වර්ධනය වෙනවා.
මල්සරා ඉන්දියාවේ ද දැක ගත හැකි සර්පයෙක්. අපේ රටේ රත්නපුර, කුරුවිට ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වෙනවා. සුළු විෂ සර්පයෙක් නිසා දෂ්ටනයේ දී දැනෙන්නේ අඩු වේදනාවක්. හරියට නයි කූඹියෙක් කනවා වගේ. නමුත් අපේ රටේ මිථ්‍යා මතයක් පවතිනවා, ගොඩක් ලස්සන සර්පයෝ මාරාන්තික විෂ සහිතයි කියලා. නමුත් ඒක බොරු කතාවක්. පොල්මල් කරවලාගෙන් කිසිම කෙනකුට අනතුරක් නෑ.
මොවුන් වාසය කරන්නේ ගස් හා පඳුරු අතර යි. ඇතැම් විට ගස්වල තරමක් උසින් පිහිටි අතුවලත් එතී සිටින පොල්මල් කරවලා එක්වර ම වෙන්කර හඳුනාගැනීම අපහසු යි. ඒ ගස්වල පත්‍රවල වර්ණයට මොවුන්ගේ ශරීර වර්ණය තරමක් සමාන වන නිසා යි. අනතුරක ඉව වැටුණු විට උස ස්ථානයක සිට පහළ ස්ථානයකට පැනීමේ හැකියාවක් ඇති නිසා මොවුන්ට Flying Snake කියන නමත් ලැබී තිබෙනවා. මොවුන්ට ඉතා වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් පවතිනවා.
සර්පයන් ගැන තවත් දැනුමක් ලබා ගැනීමට මේ ලිපිය ද කියවන්න;
විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම – Roar Media
මූලාශ්‍රයයන්:
ශ්‍රී ලංකාවේ සර්යන්- තොරතුරු සහ වැදගත්කම- නිහාල් සෙනරත් ද සිල්වා
snakelanka.blogspot.com
slma.lk/wp-content/uploads/2017/12/Green-pit-viper.pdf
snakesidentification.org
කවරයේ පින්තූරය: Snakeidentification.org