කලකට පෙර මැඩගස්කරයේ තෙත් බිම් හි සෑම තැනක ම පාහේ විනීත ගමන් විලාසයකින් නිදහසේ සැරිසරන චොකලට් දුඹුරු පැහැයෙන් යුතු තාරාවුන් රාශියක් දැක ගැනීමට ලැබුණා. නමුත් හදිසියේ ම මෙන් ඔවුන්ගේ ගහනය සීඝ්රයෙන් පහළ බැසීම ඇරඹුණේ කෘෂිකර්මාන්තය සහ මත්ස්‍ය කර්මාන්තය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්. 1990 දශකයේ පටන් දැක ගැනීමට නොලද ‘මැඩගස්කර පොකඩ්’ පක්ෂීන් සදහටම මිහිමතින් වඳ වී යන්නට ඇති බව යි පර්යේෂකයින්ගේ මතය වුණේ. එහෙත් 2006 දී පෙරිග්‍රින් අරමුදලට අනියුක්ත ව සේවය කළ ජීව විද්‍යාඥයින් කණ්ඩායමකට පාළු පළාතක පිහිටි මැට්සේබ්රොමැනා වැව ආසන්නයේ ගැවසෙන මැඩගස්කර පොකඩ් පක්ෂීන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් හමු වී තිබෙනවා.
එය සත්ත්ව ලෝකයේ ජයග්‍රාහී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. BBC ප්රවෘත්ති සේවය වාර්තා කරන අන්දමට වලි කුකුළු සහ තෙත්බිම් භාරකාර මණ්ඩලය, ඩරල් වන සංරක්ෂණ භාරය, පෙරිග්‍රින් අරමුදල, සහ මැඩගස්කර රජය එක් ව මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ අනාගතය සුරක්ෂිත කර අවසන්. එහි මූලික අදියරක් ලෙස කෘත්‍රිම පරිසරයක් තුළ ඇතිදැඩි කරන ලද මැඩගස්කර පොකඩ් පක්ෂීන් 21 දෙනෙකු 2018 දෙසැම්බර් මාසයේ දී උතුරු දිග මැඩගස්කරයේ පිහිටි වැවකට නිදහස් කර තිබෙනවා.
ලොව දුලබ ම පක්ෂියාගේ තතු
පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) මඟින් ප්‍රකාශයට පත් කරන තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුවට අනුව වඳ වී යාමේ උග්‍ර තර්ජනය ලක් වූ (Critically Endangered : CR) ජීව විශේෂයක් ලෙස සැලකෙන මැඩගස්කර පොකඩ් පක්ෂීන් විද්‍යාත්මක ව හඳුන්වන්නේ Aythya innotata යන නාමයෙන්. දැනට ජීවත් වන සිටින සම්පූර්ණයෙන් ම වැඩුණු මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ සංඛ්‍යාව 20 – 49 අතර අගයක් ගන්නා බැවින් ඔවුන් මේ වන විට ලොව දුලබ ම පක්ෂි විශේෂය බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ වත්මන් ගහන නැඹුරුතාව ස්ථාවර මට්ටමක පවතින අතර, සම්පූර්ණයෙන් ම වැඩුණු පක්ෂීන්ගේ ගහනයේ පිරිහීමක් සිදුනොවන බව යි වාර්තා වන්නේ.
මැඩගස්කරයට ආවේණික පක්ෂි විශේෂයක් වන මැඩගස්කර පොකඩ් පක්ෂීන් තෙත් බිම් ආශ්රිත ව වාසය කරන අතර, කම්බිලි මැස්සන් (caddisflies) වැනි ජලජ කෘමීන් ආහාරයට ගැනීම ප්‍රිය කරනවා. ආහාර සොයා කිමිදෙන මැඩගස්කර පොකඩ් පක්ෂියෙකුගේ කිමිඳුම් කාලය තත්පර 24ක් පමණ වන අතර, කිමිදීම සඳහා සුදුසු වයස එළැඹෙන තෙක් (වයස දින 14ක්) පැටවුන් ආහාරයට ගන්නේ ජලය මතුපිට ඇති දෑ පමණ යි. සාමාන්‍යයෙන් රංචු වශයෙන් නොව තනි තනි ව හෝ ජෝඩු වශයෙන් ගැවසෙන ඔවුන් සංක්‍රමණික පක්ෂීන් ද නොවන බව යි වාර්තා වන්නේ. ජූලි සිට පෙබරවාරි දක්වා කාලයේ දී වරකට බිත්තර 6 – 10 අතර ප්‍රමාණයක් දමන මැඩගස්කර පොකඩ් පක්ෂීන් කූඩු තනන්නේ ජල මට්ටමේ සිට සෙන්ටිමීටර් 20 – 40 උඩින් පිහිටි පඳුරු හෝ වගුරු බිම් මත යි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ‘Catalogue of the Birds’ හි 27 වෙළුමේ අන්තර්ගත මැඩගස්කර පොකඩ් පක්ෂියාගේ සිතුවම
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වීම අබියස
1930 දශකයේ දී ජීන් තියඩෝර් ඩෙලකෝ වැනි ප්‍රකට පක්ෂි විශේෂඥයින් විසින් තබන ලද සටහන් අනුව පෙනී යන්නේ අදින් සියවසකට පමණ පෙර ඇලාට්රා වැව (මැඩගස්කරයේ විශාලතම වැව) වැනි ස්ථානයන් හි මැඩගස්කර පොකඩ් පක්ෂීන් විශාල වශයෙන් වාසය කළ බව යි. අභ්‍යන්තර තෙත් බිම් හි වාසය කළ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වී ඇත්තේ වැව් ආශ්රිත ව සිදුකරන ලද වී කර්මාන්තය සහ ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ හඳුන්වා දීම හේතුවෙන්. ඒ අනුව 1950 දශකය ආරම්භය වන විට මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ ගහනය සීඝ්රයෙන් පහත වැටී තිබෙනවා.
මැකගස්කරයේ වැව් සඳහා හඳුන්වාදෙන ලද ආක්‍රමණශීල මත්ස්‍ය විශේෂ, මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ කූඩුවලට හානි කරමින් කුඩා පැටවුන් මරණයට පත් කර ඇති බව යි වාර්තා වන්නේ. එසේ ම දිනෙන් දින ම ඉහළ ගිය වී කර්මාන්තය හේතුවෙන් වැව් ආශ්රිත ව ගැවසෙන ගවයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ මැඩගස්කර පොකඩ් පක්ෂීන් කූඩු තනන පඳුරු සහ වගුරු බිම් විනාශ කරමින්. එසේ ම ගවයින්ගේ අපද්‍රව්‍ය නිසා ඉහළ ගිය මීයන් වැනි කරදරකාරී සත්ත්වයින් ද මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ ගහනයේ සීඝ්‍ර පසුබැසීමට දායක වූ බවට සැකයක් නැහැ. 1960 දශකය වන විට ඇලාට්රා වැව ආශ්රිත දැක ගැනීමට ලැබුණු මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ සංඛ්‍යාව 20ක් වැනි අතිශය පහළ අගයක් ගත් අතර, අවසන් වරට පක්ෂියෙකු දැක ගැනීමට ලැබී ඇත්තේ 1991 දී යි.
මිනිසාගේ උපකාරයෙන් නැවත වනයට
2006 දී මැට්සේබ්රොමැනා වැව ආසන්නයේ ගැවසෙන මැඩගස්කර පොකඩ් පක්ෂීන් 25 දෙනෙකු සොයා ගැනීමෙන් දශකයකට පමණ පසු වන පරිසරයෙන් ඔවුන්ගේ බිත්තර ගොනු ත්‍රිත්වයක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලය වුණේ කරදරයකින් තොර ව කෘත්‍රිම අභිජනන ව්‍යාපෘතියක් යටතේ පැටවුන් බෝ කිරීමට මැඩගස්කර පොකඩ් පක්ෂීන්ට අවස්ථාව හිමි වීම යි. කෘත්‍රිම පරිසරයේ දී හොඳින් වැඩුණු පැටවුන් ව නැවත වනයට නිදහස් කිරීමේ දී පර්යේෂකයින්ට මුහුණ දීමට සිදු වූ බරපතල ම ගැටලුව වුණේ සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති මැඩගස්කර තෙත් බිම් අතරින් පක්ෂීන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් සොයා ගැනීම යි.
වර්ෂයක පමණ කාලයක් සොයා බැලීමෙන් අනතුරු ව උතුරු දිග මැඩගස්කරයේ පිහිටි සොෆියා වැව, කෘත්‍රිම පරිසරයේ ඇතිදැඩි වූ මැඩගස්කර පොකඩ් පක්ෂීන්ගේ නව වාසස්ථානය ලෙස තෝරා ගන්නා ලද අතර, එය පක්ෂීන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි වෙනස් කිරීමට පර්යේෂකයින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් වාසය කළ හැකි පාවෙන කුරුලු ගෙවල් (floating aviaries) කිහිපයක් සොෆියා වැවේ ඉදිකිරීමෙන් අනතුරු ව, 2018 දෙසැම්බර් මාසයේ දී පක්ෂීන් 21 දෙනෙකු නැවත වනයට මුදා හරින ලද බව යි වාර්තා වන්නේ.