ඔබ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ජීවිත කතාව එක් වරක් හෝ කියවා ඇත්නම් එහි සඳහන් වන ඔහුගේ පාසල වූ ගාල්ලේ බොනවිස්ටා විද්‍යාලය පිළිබඳ ව අසා ඇති. එය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ, උණවටුන ප්‍රදේශයේ පිහිටි මනස්කාන්ත කඳුවැටියක් මත වන අතර එම කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය රාම-රාවණා කතා පුවත දක්වා ම දිවෙන එකක් බව ඔබ සමහරවිට අසා ඇති.
වර්තමානයේ දී පවා දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා මනරම් පරිසර පද්ධතියක් සහිත මේ කඳුවැටිය ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි ම ස්ථානය බව ද විවිධ පර්‍යේෂකයන් පවසා ඇත. ඊට අමතර ව මෙරට අන් කිසිදු ස්ථානයක දැක ගත නොහැකි ඖෂධ පැළෑටි ඇතුළු ශාක ගණනාවක් ද මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
ආකර්ශනීය පරිසර පද්ධතියක්
රූමස්සල යනුවෙන් හැඳින්වෙන මේ අපූරු කඳුවැටිය කොතරම් ආකර්ශනීය පරිසර පද්ධතියක් සහිත වූවක් ද යත් මෙරට විසූ, අභ්‍යවකාශ විද්‍යාව සඳහා මහඟු මෙහෙවරක් කළ විද්‍යාඥ ආතර්. සී. ක්ලාක් මහතා ද වසර ගණනාවක් රූමස්සල පාමුල පිහිටි නිවසක රැඳී සිටිමින් මේ පිළිබඳ ව අධ්‍යයන සිදු කර ඇත. මේ ලිපියෙන් ඔබට රූමස්සල කඳුවැටිය ගැන බොහෝ කරුණු දැනගන්නට පුළුවන්.
ඓතිහාසික කතා ප්‍රවෘත්තිය
රූමස්සල ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත් භූමියක් වන අතර එහි බිහි වීම සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ඉතා රස මුසු කතා පුවතකි. ඒ සඳහා රාම-රාවණා ප්‍රවෘත්තිය මූලික ව පාදක වී ඇත. රූමස්සල, රාම-රාවණා කතා පුවත සමඟ කොතරම් බැඳී ඇද්ද යත් එහි නම සැදී ඇති බව පවා ජනප්‍රවාදයේ සඳහන් වන්නේ රාවණා රජු භාරතයේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ සිදුවීම පාදක කරගෙන ය. එම එක් ජනප්‍රවාදයකට අනුව රාවණා රජු ඇය පැහැරගෙන විත් රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත කළු ගලක් ඔසවා විසි කර දමමිනි. ඒ අනුව ‘රාම ඉස්සූ ගල’ යන අරුත ඇතිව ‘‘රාමස්සුගල” යන්න කාලානුරූපීව ‘රූමස්සගල’ වී පසුව එය ‘රූමස්සල’ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව ජනප්‍රවාදයේ එන මතයකි.
භාරත සාහිත්‍යයේ මහා කාව්‍යයක් ලෙස සඳහන් වන වාල්මිකීගේ රාමායණයේ සඳහන් වන පරිදි රාම කුමරු ලංකාවට පැමිණ සිදු වූ රාම-රාවණා යුද්ධය අතරතුර රාමගේ සොහොයුරු ලක්ෂ්මණ් කුමරු රාවණගේ ඊ තල පහරකට හසුව ඔත්පළ වූ අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන ඒම හනුමන්තාට පැවැරිණි. ඒ අනුව වෙනත් දෑ පිළිබඳ ව සිතමින් හිමාලය බලා ගමන් කළ හනුමන්තාට රැගෙන එන්න යැයී ඖෂධ පැළෑටිය කුමක්දැයි යන්න සිහි කැඳවා ගැනීමට නොහැකි වූ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කඳු ගැටයක් ම (රූමස්සල) උසුලා ගෙන රැගෙන විත් ඇත. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධ සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ පසු ලක්ෂ්මණ කුමරුන් සුවය ලැබූ බව සඳහන් වේ.
අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන්තා රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවට ද මතයක් වන අතර රූමස්සල එක් පසෙක වූ සුප්‍රසිද්ධ උණවටුන වෙරළ තීරයට නම යෙදීමට ද මෙය හේතු වූ බව පැවසේ. ඒ අනුව හනුමන්තා අතරහැර දැමු කඳුවැටිය අහසින් වැටුණු හෙවත් උනා-වැටුණු ස්ථානය පසු ව උණවටුන වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැළෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීම මෙම ජනශ්‍රැතිය පිළිබද නැවත සිතා බැලීමට අප යොමු කරයි.
පිහිටීම හා ඉතිහාසය
ගාල්ල සිට මාතර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් හතරක් පමණ පමණ දුර ගෙවා ගිය විට දකුණ පසින් මෙම කඳුවැටියට ප්‍රවේශ වීමට ඇති මාර්ගය හමු වේ. රූමස්සල කඳුවැටිය ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 110 ක පමණ උසින් පිහිටා ඇත. එහි එක් පසකින් ගාලු වරාය ද අනෙක් පසින් උණවටුන මුහුදු තීරය ද වේ. වර්තමානය වන විට මෙහි බොහෝ භූමි භාග ජනාවාසකරණයට ලක්ව ඇති අතර හෝටල් සහ නිවාඩු නිකේතන රැසක් ද මෙහි පිහිටා ඇත. ඊට අමතර ව රූමස්සල කඳුවැටියට අයත් ඇතැම් භූමි ප්‍රදේශ රජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතී.
බොනවිස්ටාව
වර්තමානය වන විට ජපන් සාම චෛත්‍යය ප්‍රමුඛ විහාරස්ථාන හතරක් ද, කතෝලික දේවස්ථානයක් ද එහි පිහිටා තිබේ. හෙළයේ මහා ගත්කරු යැයි විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහ, හිටපු පුරාවිද්‍යා කොම්සාරිස්වරයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන, හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ආදී කීර්තිමත් පුද්ගලයන් රැසක් අධ්‍යාපනය ලද බොනවිස්ටා විද්‍යාලය ද පිහිටා ඇත්තේ මෙහි ය.
ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල, මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇති අතර එම ස්ථානය වර්තමානයේ හඳුන්වන්නේ watering point යන නමිනි.
බ්‍රිතාන්‍ය යුගයේ දී ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇති අතර බ්‍රිතාන්‍යයන් 1874 වසරේ දී ආරම්භ කළ සුසාන භූමියක් ද මෙහි පිහිටා ඇත.
වධකාගාරයක් සහ පෝරකයක්?
රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක සහ පෝරකයක නටබුන් ද ශේෂ වී පවතින අතර ගල් බිත්තිවලින් නිමවා ඇති වධකාගාරයක අඩි දහයක් පමණ උසින්, අඩි දොළහක් පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්තිවලින් යුක්ත වේ. බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව කටයුතු කළ සිංහලයන් අල්ලා ගාලු කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඔවුන් වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කළ දිනයක දී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව ද සඳහන් වේ.
එහි පිහිටි එවකට යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් “වෙඩි ගෙය” නමින් හඳුන්වන ස්ථානය මේ වන විට මුහුදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග, පළල සහ උස පිළිවෙලින් අඩි අට බැගින් වේ.
රූමස්සල කඳුවැටියේ පිහිටි “කුළුණු කන්ද” නමින් හඳුන්වන ප්‍රදේශයේ 1875 වසරේ දී බ්‍රිතාන්‍යයන් ඉදි කළ අඩි 50ක් පමණ උසැති කුළුණක් දැක ගත හැකි ය. එය ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මඟ තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් බව සඳහන් වේ. මෙය මිනුම් කුලුනක් ලෙස ද භාවිතයට ගත් බව ද ඇතැම්හු කියති.
භූ විෂමතාව, වෘක්ෂලතා හා සත්ත්ව සම්පත
රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත. එය විශාල පාෂාණ නිධියකින් සමන්විත වේ. කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැකි අතර කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසුදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. වර්තමානය වන විට කළුගල් කැඩීම ආදී මානව ක්‍රියාකාරකම් නිසා මෙම බෙහෙත් දොළ සිඳී යාමට ලක් ව ඇත. කඳුවැටිය මැද අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක් ද පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
පරිසර කලාප කිහිපයකට අයත් ශාක මෙහිදී දැක ගත හැකි වීම විශේෂත්වයක් වේ. කුළුණු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපයේ වැඩෙන අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් වැනි ශාක දක්නට ලැබෙයි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර වැනි වැසි වනාන්තරවලට ආවේණික ශාක දැක ගත හැකි ය.
ඔසු උයනක්
බටහිර වෙරළ තීරයේ ද මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ශාක ඇති අතර වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග මෙන් ම කඩොලාන විශේෂ, මුහුදු වෙරළ ආශ්‍රිත ව වැඩෙන ශාක ද මෙහිදී බහුල ව දැක ගත හැකි ය.
රූමස්සල අතීතයේ සිටම ඔසු උයනක් ලෙසින් ප්‍රකටව තිබුණු අතර 1991 වසරේ දී කළ අධ්‍යයනයකින් ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයා ගැනිණි. එයින් ඖෂධ පැළෑටි වර්ග 141ක් ම රූමස්සලට ම ආවේණික වූ ඒවා විය. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කඩොලාන විශේෂයක් වන කෝන්තාලං නම් ශාක (xylocarpusrumphii/Meliaceae) කිහිපයක් ද රූමස්සල එක් පසෙක වූ උණවටුන වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැකි ය. කළුනික නම් වූ අතිශය දුර්ලභ ඖෂධය ද මෙහි ඇති බව කියයි.
රූමස්සල කන්ද ආශ්‍රිත ව සමනල විශේෂ 84ක් පමණ දැකිය හැකි අතර පක්ෂි විශේෂ 72ක් ද එහි වාසය කරති. ඒ අතර මුහුදු රාජාලියන් හා මුහුදු ලිහිණියන් විශේෂ වේ. පක්ෂීන්ට අමතර ව දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන් මෙන් ම නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂ ද රූමස්සල දී දැකගත හැක. වර්තමානය වන විට සැලකිය යුතු රිලා ගහනයක් ද වර්ධනය වෙමින් පවතී.
බොනවිස්ටා කොරල් පරය
ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළ ම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු මුහුදේ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘බොනවිස්ටා’ යන්න පෘතුගිසි වචනයක් වන අතර එහි තේරුම සුන්දර දසුන යන්නයි. පොදුවේ රූමස්සල කදුවැටියට විදේශිකයන් බොනවිස්ටා කන්ද ලෙස ආමන්ත්‍රණය කර ඇති නිසා මෙම කොරල් පරයට ද එම නම යෙදේ.
මෙරට කොරල් පරයකින් හමු වූ වැඩි ම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වූ මත්ස්‍ය විශේෂ 491ක් පමණ මෙහිදී සොයා ගැනිණි. ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ත්ව වාර්තාවට අනුව ලොව වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක් ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙයි. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක් ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. මෙහි සැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පණුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300ක් පමණ ජීවත් වෙයි.
සුදු වැල්ල හෙවත් “Jungle Beach”
සත්ත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් පමණ මෙම කොරල් පරයේ වේ. පරිසරවේදීන්ට අනුව මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනා ගෙන නොමැති සත්ත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයකින් පමණ වැඩි විය හැකි යි. දෙස් විදෙස් සංචාරකයන් මෙම කොරල් පරය ආශ්‍රීත ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදු කරන අතර එම නිසා රූමස්සල පිහිටි සුදු වැල්ල හෙවත් “Jungle Beach” අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ආතර් සී ක්ලාක් පදිංචි වී සිටි නිවස
ප්‍රකට විද්වතකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතාට අනුව රූමස්සල මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකි. මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක 1970 සිට 1983 දක්වා දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳ ව ලිපි ද සම්පාදනය කොට මෙම ස්ථානය ලොව ප්‍රසිද්ධ කරවී ය. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දර ම සහ මනස්කාන්ත ම වෙරළ 13 අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නා බව ද ඔහු පවසා තිබේ.