ඇලෙක්ස් මයිකලඩීස්ගේ The Silent Patient කෘතිය “හඬ නිහඬ” නමින් මේ මස 9 වන සෙනසුරාදා හවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී මියුසස් ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙනවා. මෙම කෘතිය තවත් රටවල් 43ක විවිධ භාෂාවන්ගෙන් නිකුත් වීමට ද නියමිත ව තිබීම සුවිශේෂී කරුණක්. මේ Roar-සිංහල අප, එහි සිංහල පරිවර්තකයා වන කුමාර සිරිවර්ධන මහතා සමග කළ සංවාදය යි. ඔහු මේ වන විට පරිවර්තන කෘති 160ක් පමණ තම පාඨකයින් වෙනුවෙන් තිළිණ කොට තිබීමත් විශේෂයි.
ඔබ පාඨකයා අතර වඩාත් ම ජනප්‍රිය වන්නේ පරිවර්තකයෙකු විදිහට නිසා, අපි මුලින්ම කතා කරමු පරිවර්තන කාර්යයට පිවිසෙන්නට මත්තෙන් කෘතියක් තෝරා ගැනීම, ලේඛන රීතියක් තීරණය කිරීම ආදී වශයෙන් වන ඔබගේ පෙර සූදානම ගැන.
දැන් අපි මේ කෘතිය ම ගමුකෝ උදාහරණයට. මුලින්ම ප්‍රකාශක සමාගම මට එවන්නෙ PDF පිටපතක්. ඉතින් ප්‍රකාශකයා මට පොත ලබා දුන්නාට පස්සෙ මම මුලින්ම කිව්වේ, ‘මට මේ පොත හොඳින් කියවන්න ඕනි සේරටම කලින්’ කියලා. මොකද, කියවලා මිසක් මං කිසිම පොතක් පරිවර්තනය කරන්න බාර ගන්නෙ නැහැ. ඊට පස්සෙ, මම ඒක මුද්‍රණය කරගෙන, කියවගෙන යද්දී මට හිතුණා ‘මේක නම් පරිවර්තනය කරන්න සුදුසු පොතක් කියලා. එහෙම තමයි මම මේ පොත පරිවර්තනය කරන්න පටන් ගත්තෙ.
අනික තව දෙයක්, යම්කිසි පොතක් පරිවර්තනය කරන්න තෝරගත්තට පස්සෙ අපි ඒ කතාවට පසුබිම් වෙච්ච දේශය, සංස්කෘතිය, කලා නිර්මාණ වගේ ඒ හැමදෙයක් ගැන ම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනි. මං කියන්නෙ හැම පොතක් ම නෙවෙයි. උදාහරණයක් විදියට අපි ඩෑන් බ්‍රවුන්ගේ පොතක් ගත්තොත් එහෙම, අර කිව්ව අධ්‍යයන කාර්යය ඉතා විශාල වපසරියක විහිදෙනවා. මොකද, ඔහු බරපතල අධ්‍යයනයකින් යුතු ව තමයි තමන්ගෙ නිර්මාණ කර්තව්‍යයයේ යෙදෙන්නෙ. විවිධ ඓතිහාසික සිද්ධි, ස්ථාන, චරිත පසුබිම් කරගනිමින් තමයි ඔහුගේ බොහෝ නිර්මාණ සිදුකරන්නෙ.
දැන් මයිකලඩීස්ගේ මේ The Silent Patient පොත ගත්තා ම මට තිබිච්ච අභියෝගය තමයි ‘මේක මනෝවිද්‍යාත්මක’ නවකතාවක්නෙ. අපි හැමෝටම මනෝවිද්‍යාව පිළිබඳ ලොකු දැනුමක් නෑනේ. ඉතින්, මටත් සිද්ධ වුණා මනෝවිද්‍යාව පිළිබඳ යම් හැදෑරීමක යෙදෙන්න සහ එහි එන ඇතැම් ඉංග්‍රීසි වචන සඳහා වඩාත් සුදුසු ම පාරිභාෂික ශබ්දමාලාවන් සොයාගන්න. ඒ පොත “හඬ නිහඬ” විදියට මගේ අතින් පරිවර්තනය වෙන්නෙ ඔය වගේ වටපිටාවක් ඇතුළේ.
ඔබ තුළ කවියෙකුත් හිටියා නේද? ඇයි දැන් ඒ කවියා මතු නොවෙන්නෙ?
ඔව්, ඇත්තම කතාව මේකයි. කවියෙක් විදියට මතු වුණේ මං අන්වර්ථ නාමයකින්. මං කාලයක් චාමර මුතුනායක නමින් ඒ කාලේ යොවුන් පුවත්පතක් වෙච්ච කුමරි පුවත්පතට විවිධ දෑ ලිව්වා. එහෙම බැලුවොත් මගේ යටපත් වෙච්ච තවත් දේවල් තියෙනවා. 1981 වසරේ යෞවන සම්මාන උළෙලේ මං හොඳම නළුවා. මා තුළ හිටපු පුවත්පත්වේදියා පවා මගෙන් බැහැර වෙලා දැනට අවුරුදු එකහමාරක පමණ කාලයක දී. ඊටපස්සෙ සම්පුර්ණයෙන් මතු වෙන්නෙ පරිවර්තකයා, ලේඛකයා, සහ තිර රචකයා.
ඔබ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්, ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් වගේ ම බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලබපු කෙනෙක්නෙ. සම්මාන ගැන මොකද හිතන්නෙ?
සම්මාන කියන දේ මෙහෙමයි ඉතින්. මම ඒක බැහැර කරන්නෙ නෑ. මොකද ඒක නිර්මාණකරුවෙකුට ලැබෙන කිසියම් උත්තේජනයක්. ඕනෑම වෙලාවක තමන්ගෙ නිර්මාණයක් ඇගයීමට ලක්වීමේ දී ඕනෑම කෙනෙකුට සතුටක් දැනෙනවා. මටත් ඒ සතුට දැනෙනවා. නමුත්, සම්මාන පසුපස හඹා යෑමේ පුරුද්දක් නම් මට නෑ. එහෙම නම් මම සම්මාන බලාපොරොත්තුවෙන් ඉතාමත් ම හොඳ පරිවර්තනය සිදුකළ යුතු ව තිබුණනේ. එහෙම නෑ මම. බොහෝ වෙලාවට මං ඊට වඩා කල්පනාකාරී වෙන්නෙ මගේ පාඨකයෝ ගැන. පාඨකයින්ගේ ඉල්ලීම් තමයි ගොඩක් දුරට මගෙන් ඉෂ්ට වෙලා තියෙන්නෙ. එතකොට ප්‍රකාශකයින්ට ඕන පොතුත් නෙමෙයි මම පරිවර්තනය කරන්නෙ. ඔය ෆේස්බුක් එකේ මා සමග අදහස් බෙදාගන්න අයත් මට ඉල්ලීම් කරනවා ‘සර්, මෙන්න මේ පොත කරන්න’ කියලා. හැබැයි, ඒ හැම එකක්මත් මං පරිවර්තනය කරන්නෙ නෑ. නමුත්, ඒ ඉල්ලීම් කරපු පොත් මම අධ්‍යයනය කරලා සුදුසුයි කියලා හිතුනොතින් අනිවාර්යයෙන්ම පරිවර්තනය කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි පෙබරවාරි 9 වෙනි දා මහවැලි පරිශ්‍රයේ දී එළිදැක්වෙන “හඬ නිහඬ” පොතට පස්සෙ මාර්තු මාසේ පිටවෙන්නට නියමිත ව තියෙන වික්ටර් හියුගෝගේ කෘතියක් වන The Hunchback Of Notre-Dame මවිසින් “කුදාගේ ආලය” නමින් සිදුකළ සිංහල පරිවර්තනය.
මම මේ කිසිම කෙනෙකුට අපහාස කරනවා නෙමෙයි. නමුත් මේක කියන්න ඕනි කියලා හිතුණා. පිටු 366ක් විතර තියෙන එහි ඉංග්‍රීසි පොතේ සිංහල සංක්‍ෂිප්ත පරිවර්තනය ඇවිත් තියෙනවා පිටු 140 යි. එච්. පී. සිරිවර්ධන විසින් තමයි මේක පරිවර්තනය වෙන්නෙ. මුද්‍රණ වාර 3ක දී මේක ආදරණිය ස්පෙරිල්ඩා, නොත්‍රදාමය වගේ නම් කිහිපයකින් ඇවිත් තියෙනවා. මමත් ඒක රසවින්දා. ඇත්තට ම අපිට පොත් කියවන්න හුරුකළේ ඒ පොත්නෙ. දැන්, ඊරියගොල්ල මහත්තයාගේ මනුතාපය අපිට අහක දාන්න බෑනේ සංක්‍ෂිප්ත යි කියලා. නමුත්, අද පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ තරමක් පුළුල් පරිවර්තනයක්.
සමහර පරිවර්තකයෝ පරිවර්තන කාර්යයේ දී වැකියෙන් වැකිය, ඡේදයෙන් ඡේදය පරිවර්තනය කරපුවා අපිට හමුවෙලා තියෙනවා. මොකද ඒ ගැන හිතන්නෙ?
ඔව්, ඔබ මතුකරපු කාරණාව හරි. නමුත්, මම ඒවා ගැන වැඩිය තැවෙන්නේ නෑ. මොකද හේතුව, හැම කාලෙක ම ග්‍රන්ථ පරිවර්තනයේ විතරක් නෙමෙයි සිනමාවේ, රූපවාහිනියේ හැමතැන ම ගුණාත්මක බවින් අඩු නිර්මාණ ඕනිතරම් අපි දැකලා තියෙනවා. මට කියන්න තියෙන එක ම දේ තමන්ගෙ පාඨකයින්, සහෘදයින් වෙනුවෙන් තමන් කරන නිර්මාණයට යුක්තිසහගත සාධාරණය ඉටුකරන්න කියලයි. නමුත්, ඒක කෙරෙන්නෙ නැත්නම් මට තියෙන්නෙ මගේ යුතුකම ඉෂ්ට කරන එක. ඒ වගේ ම පාඨකයින්ටත් මෙහි වැදගත් ම යුතුකමක් තියෙනවා. ඔවුන්ට පුළුවන් මෙසේ හඳුනාගන්න පරිවර්තකයින් ප්‍රතික්ෂේප කරන්න. ඔවුන්ගේ කෘතීන් ප්‍රතික්ෂේප කරන්න. එතකොට, වෙළඳපොළත් නිරායාසයෙන් ම ඒ වගේ පරිවර්තකයින් ව ප්‍රතික්ෂේප කරනවා.
මේ මොහොතේ පවතින විචාර කලාව ගැන මොකද්ද ඔබේ අදහස?
ලංකාවේ විචාරය පිළිබඳ නම් එදත් මගේ තිබුණේ නැහැ පැහැදීමක්. අදටත් එහෙම පැහැදීමක් නෑ. මොකද, යම් යම් මතවාදවල එල්බගෙන තමයි අපේ බොහෝ අය නිර්මාණ විචාරයට ලක් කරන්නෙ. සිනමාව, ටෙලිනාට්‍ය වගේ දේවලුත් ඇතුළත් ව පොදුවේ සාහිත්‍ය නිර්මාණ කෙරෙහි මේ මොහොතේ දී සිදුකෙරෙන විචාරය ඒ තරම් ම මධ්‍යස්ථ නෑ කියන එකයි මට දැනෙන්නෙ, සහ පොත් ගැන කිසිසේත් ම එවන් මධ්‍යස්ථ විචාරයක් විචාරයක් සිදුවෙන්නෙ නෑ අද. ඒක ඉතාම කණගාටුදායක කාරණාවක්. නමුත්, පිටරටවල මේක හාත්මසින්ම වෙනස්.
කොහොමද ඔබේ සරසවි ජීවිතය?
මගේ සරසවි ජීවිතය ඉතින්, මේ දැන් පවතින තත්ත්වයට වඩා නම් වෙනස්. දැන් සරසවි ශිෂ්‍යයින් බහුතරය ඒ විෂයයේ පමණයිනේ යෙදෙන්නෙ. මම නම් දකින්නෙ ඒක එච්චර සුදුසු නෑ. සරසවියේ දී පවා ඉගෙනීමට යම් දිශානතියක් පමණයි පෙන්වන්නෙ, අපි කරන්න ඕනි ඊට එහා දැනුම හඹා යන එක. එදත් ඇතැම් පිරිස් අතර ඒ අර්බුදය අපි දැක්කා. අද ඒක ඊට වඩා වැඩියි. පාසලේ දී සිලබස් එකට කොටුවෙලා ඉන්න දරුවා, කැම්පස් ඇවිල්ලත් එහෙ තියෙන විෂයය නිර්දේශයට ම කොටුවෙනවා. හැබැයි ඒ අතර පුළුල් ව හදාරපු පිරිස් ඒ රාමු කඩාබිඳගෙන ගිහිනුත් තියෙනවා. මං කියන්නෙ, උපාධි ගන්න ම සරසවි යන්න ම අවශ්‍ය නැහැ. තමන්ට වුවමනා නම් ඕනෑම විෂයයක් ගැන පුළුල් ව හදාරන්න, අද එදාට වඩා ඕනෑතරම් අවස්ථා, මූලාශ්‍ර හා මාධ්‍ය තිබෙනවා. ඉතින් එහෙම හැදෑරීමක නිරත වෙනවා නම් වඩා හොඳයි.
ජනමාධ්‍ය- ජඩමාධ්‍ය වෙනවා ඔබත්, මමත්, අපිත් පහුගිය කාලේ දැක්කා සහ අත්වින්දානෙ. මාධ්‍යකරණය සම්බන්ධව ඔබේ මතය?
අපි ජනසන්නිවේදනය හදාරද්දී අපිට හමුවෙනවනෙ දොරටුපාල සංකල්පය. අන්න ඒ දොරටුපාල සංකල්පයෙන් මිදෙන්න මං හිතන්නෙ නෑ ලෝකයේ කිසිම මාධ්‍යයකට පුළුවන් වෙලා තියෙනවා කියලා. දැන් CNN එක වුණත් ඉරාක යුද්ධය යම් ආකාරයකට වාර්තා කරමින් ගියානෙ. මං මේ කියන්නෙ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයක්. එහි දී පීටර් ආනට් කියන මාධ්‍යවේදියා කැපීපෙනෙනවා. දක්ෂ, ජනප්‍රිය නළුවෙක් ගානට මුළු ලෝකෙම ඔහු ප්‍රසිද්ධ වෙනවා. නමුත් අවුරුදු ගාණකට පස්සෙ, පීටර් ආනට් සහ CNN හි අර අපි කිව්ව දොරටුපාල සංකල්පය ලෝකයට හසුවෙනවා. මම ඒක කෙටි උදාහරණයකට ගත්තෙ ඔය දොරටුපාල සංකල්පයෙන් මිදෙන්න බැහැ කිසිම මාධ්‍ය ආයතයකට හෝ මාධ්‍යකරුවෙකුට.
මාධ්‍ය නිදහස ගැන අපි ඔය කොච්චර කතා කළත්, ඒ නිදහස පවත්වා ගෙන යා යුතුව තිබෙන්නේ දොරටුපාල සංකල්පය ඇතුළේ. අද ඔය ජඩමාධ්‍ය කියලා හඳුන්වන්නෙ ඒ ආයතන දොරටුපාල සංකල්පයේ අන්තයට ම ගිහින් නිසයි. අපි මාධ්‍ය එක්ක වැඩ කරන කාලේ අපි දැනගෙන හිටියා ඒ දොරටුපාල සංකල්පය ඇතුළේ ඉඳන් කොහොමද ජනතාව වෙනුවෙන් ‘වැඩක්’ කරන්නෙ කියන දේ. ඒත් දැන් වෙලා තියෙන්නෙ, මේ මාධ්‍ය ඇතුළේ ඉන්න මාධ්‍යවේදීන් අද ධුරාවලිගත වෙලා. ඒ ධුරාවලිගත වීම නිසා ම ඔවුනුත් ගැත්තන් බවට පත්වෙනවා. අර ස්වාමිවරුන් සේවයට බඳවා ගන්නෙත් ඇත්තට ම එහෙම ගැත්තන් තමයි දැන්. අද ඒ ගැති බව පමණටත් වඩා පෙන්න තියෙනවා. අන්න ඒ නිසා තමයි අද ග්‍රාහකයන් එම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ප්‍රතික්ෂේප කරමින්, ඒවා ජඩමාධ්‍ය විදියට හඳුන්වමින් ඉන්නෙ.
ඔය වගේ ප්‍රශ්න නිසා ම දැන් මිනිස්සු වැඩි වැඩියෙන් ඩිජිටල් මාධ්‍යය වෙත නැඹුරු වෙලා නේද?
ඒක මට අනුව නම් ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මම පවා ඇත්තට ම දැන් රූපවාහිනී පුවත් නරඹන්නෙ නැහැ. මට ඊට වඩා නිවැරදි ම පුවත් මේ ස්මාර්ට් ෆෝන් එක අතට ගත්තා ම ලබා ගන්න පුළුවන් ඔය කියන ඩිජිටල් මාධ්‍යකරණය නිසා. මම කියන්නෙ ඒ ඩිජිටල් මාධ්‍යයන් තව තවත් දියුණු කළ යුතු යි තරුණ පරපුර. මොකද හේතුව, විශේෂයෙන් ම අපේ රටේ පාලකයින්ගේ සියලුම ජඩ වැඩ මේ ඔස්සේ ජනතාවට නිරාවරණය වෙනවනේ. ඒවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෙළිදරව් කරන්නෙ නැත්නම්, ඩිජිටල් මාධ්‍යයෙන් හරි මේ දේවල් ජනතාවට හෙළි විය යුතු යි.
මේ ගතවෙච්ච දශක 7 පුරා අපේ මිනිස්සු පසුගාමී වෙලා මිසෙක ඉදිරිගාමී වෙලා නෑ. ජඩමාධ්‍ය නොවුණ ඉදිරිගාමී මාධ්‍යයන් යම්කාලෙක තිබුණා. නමුත්, ඒ කාලේ පවා හිටපු ජනතාව පවා එහෙම ඉදිරිගාමී මතවාදයන්වල හිටියේ නෑ සහ ඔවුන් ඒ වෙද්දීත් ධුරාවලිගත වෙලා හිටියේ. මේ අලුත් පරම්පරාව නම් ඒකෙන් මිදෙන බවක් පේනවා.
අපි පාලකයින්ට විතරක් දොස් පවරලා වැඩක් නැහැ. ජනතාව ඒ චෝදනාව බාර ගත යුතු යි!
ඔබ හොඳ සිනමා රසිකයෙක් නිසා මං කැමතියි ලංකාවේ සිනමාව ගැන ඔබේ අදහස දැනගන්න.
ලංකාවේ සිනමාව ගැන නම් මං වැඩිය කතා කරන්න කැමති නෑ ඇත්තට ම. මොකද, ලංකාවේ සිනමාව ඇතුළේ යම් අධ්‍යයනයකින් යුතු ව වැඩක් කරන්නෙ ඉතා ම සුළු පිරිසක්. ඒ අයත් ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන තියෙනවා දෝ කියන එක මට ප්‍රශ්නාර්ථයක්. අපේ පාසැල් කාලේ දී ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගේ සිනමා වීරයෝ අපිටත් හිටියා. ඒ නිසා ම අපි සිනමාව වැළඳගත් කාලයක් තිබුණා. කොටින්ම අපිට ඒ කාලේ පොඩි උණක් තිබුණා, 10.30 ෂෝ එක බලන්න ම ඕනි කියලා. ඉතින් ඒ නිසා අපි පාසලේ ගේට්ටුවලින් පවා පැන්නා. එහෙම සිනමා සංස්කෘතියක් අපිට තිබුණා. අද ඒ සංස්කෘතිය වෙනස්වෙලානෙ. මේකට හේතුවක් තියෙන්න එපැයි. ඇයි ඒ?
මට හිතෙන දෙයක් තමයි, අද සිනමා නිර්මාණකරුවන්ට වුවමනා හොඳ ප්‍රේක්ෂකාකර්ෂණයක් ලබා ගන්නවට වඩා තමන්ගෙ නිර්මාණය ජාත්‍යන්තරයට යැවීමත්, සම්මාන ලබා ගැනීමත් කියලා.
ඔබ ලිවීමෙන් ලබන තෘප්තිය ගැන කතා කරලා ම අපේ කතාබහ අහවර කරමු.
උසස්පෙළ හදාරන කාලේ මම කියෙව්වා සේකරගේ ‘ප්‍රබුද්ධ’. එහි තැනක සේකර ‘භගවත් ගීතාවෙන්’ උපුටා ගෙන කියලා තිබුණා, “කරන්න ඔබ සතු යුතුකම, නොසිතන් එහි ඵලවිපාකය” යනුවෙන්. මම ඒක තමයි මගේ ජීවිතේ දර්ශනය කරගත්තෙ. අපි ඒ කාලේ හැමදේකින්ම යම් විමුක්තියක් හොයනවනේ. දැන හෝ නොදැන අපි හැමෝම එහෙම විමුක්තියක් හොයනවා. ඉතින්, ඒ විමුක්තිය සෙවීම මගේ තුළත් තිබුණා. ඒ නිසයි මං ආගමික දර්ශනය ඉගෙන ගන්නෙ. ඉතින්, එදා ඉඳන් ම මගේ හිතේ තියෙන දෙයක් තමයි, යම්දෙයක් කරනවා ද, එයින් යමක් සමාජයට දිය යුතු යි! කියන දේ. ඉතින්, මගේ නිර්මාණයට මං හුඟක් අවංක වෙනවා.