Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවෙන් හමු වූ වසර 50,000ක් පැරණි සමාජ ජාලය

මිනිසා සාමූහික සත්ත්වයෙක් වෙනවා. ඔවුනට සතුටුදායක ලෙස සිය ජීවිතය ගෙන යාමට නම් අනෙකුත් මිනිසුන් සමඟ විවිධාකාරයේ අන්තර් සම්බන්ධතා පවත්වා ගත යුතු වෙනවා. වර්තමාන ලෝකයේ විවිධාකාරයේ සමාජ ජාල ඇතිවීමටත්, ඒවා අතිශය ජනප්‍රිය වීමටත් හේතු වන්නේ එයයි. අන්තර්ජාලය ඇතිවීමට පෙරත් විවිධාකාරයෙන්  මිනිසා  සමාජ ජාල පවත්වාගෙන ගියා. විවිධ සමිති සමාගම් වැනි දේ පවත්වා ගනිමින් ඔවුන් සිය සාමාජීය වීමේ මනදොළ සපුරාගත්තා. 

මිනිසා මීට වසර දහස් ගණනකට පෙරත්, ඒ ඒ කාලයට අනුව සමාජ ජාලා ගොඩ නඟා ගෙන ඇති බවට හොඳ ම සාක්ෂියක් අප්‍රිකා මහාද්වීපයෙන්  පසුගිය දා හමුවුණා. ඒ මීට වසර 50,000 කට පෙර ජීවත් වූ ආදි මිනිසුන් පවත්වා ගෙන ගිය සමාජ ජාලයක් පිළිබඳ තොරතුරු ලොවට නිරාවරණය වීමත් සමඟ යි.

 අප්‍රිකාවේ ආදී ජනයා භාවිත කළ ආයිත්තම් හමු වූ  කැණීම් ස්ථානයක්- menafn.com 

 

පැස්බර බිත්තරවලින් සෑදූ ආයිත්තම්

වර්තමානයේ අප භාවිත කරන ෆේස්බුක්, ට්විටර්, ටික්ටොක් වැනි සමාජ ජාලවල ලයික්, කමෙන්ට් කිරීම්වලට සමාන ලෙස අප්‍රිකාවේ ආදී ජනයා කුඩා ආයිත්තම් මඟින් සිය මිතුරන් සමඟ ගනුදෙනු කර සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති බවට සාක්ෂි පසුගියදා තහවුරු වී තිබෙනවා. මීට දශකයකට පමණ පෙර ආරම්භ කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස මෙය තහවුරු වී ඇති අතර, පසුගිය වසර කිහිපය පුරාවට ම සිදු කළ ගවේෂණවල දී අප්‍රිකාව පුරාවට විහිදී ඇති ස්ථාන රාශියකින්, ආසන්න වශයෙන් සමාන, පැස්බර බිත්තර කටුවලින් සෑදූ කුඩා තැටි වැනි දේ 1,500 ක් පමණ හමු වී තිබෙනවා.

මෙය පැහැදිලිව ම එකිනෙකා හා සබැඳි සමාජ ජාලයක කොටස් බව ඉතිහාසඥයන්ගේ මතය යි. ඩෝනට් එකක හැඩය ගත් මේ කුඩා තැටි ලොව මෙතෙක් හමු වී ඇති ඉපැරණි ම පෞද්ගලික ආයිත්තම් වර්ගයක් ලෙස සැලකෙනවා. දක්ෂිණ අප්‍රිකාවේ වෙසෙන, දඩයමෙහි යෙදෙන සමහර ගෝත්‍රවල ජනයා අදටත් එවැනි තැටි වැනි ආයිත්තම් නිපදවනවා.

විවිධාකාරයේ පණිවිඩ

ජර්මනියේ, ජෙනා හි පිහිටා ඇති මිනිස් ඉතිහාසය පිළිබඳ වූ විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් නම් ආයතනයේ, පුරාවිද්‍යාව සඳහා වන දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු වන ජෙනිෆර් මිලර් පවසන ආකාරයට මෙම ආයිත්තම් ආදි මිනිසා භාවිත කර ඇත්තේ විවිධාකාරයේ පණිවිඩ අනෙක් අය වෙත පිළිබිඹු කිරීම සඳහා යි. එය වර්තමානයේ මිනිසුන් සිය සමාජීය තත්ත්වය පෙන්වීමට මංගල මුදු වැනි දේ පැළඳීමට සමාන යැයි ඇය තව දුරටත් පවසනවා. පර්යේෂකයන් මේ වන විට, උතුරු හා නැගෙනහිර අප්‍රිකාවේ ස්ථාන 31 කින් හමු වූ, ඉහත ආකාරයේ තැටි 1,516 ක් අධ්‍යයනය කර ඇති අතර, ඒවායේ වයස වසර 33,000 – 50,000 අතර බැව් තහවුරු කරගෙන තිබෙනවා. 

මේවා විවිධාකාරයේ ලක්ෂණවලින් හෙබි අතර, වට ප්‍රමාණය, ඝණකම වැනි සාධකවලින් එකිනෙකට වෙනස් වන ලෙස නිර්මාණය කර තිබෙනවා. කෙසේ නමුත්, සමස්ථයක් ලෙස සලකන කල මේවායේ සමාන ලක්ෂණ බොහොමයක් ඇති අතර, හැඩය වැනි කාරණා අතිශය සමාන වෙනවා. එම ප්‍රදේශ 31 කිලෝමීටර 3,000 ක දුර ප්‍රමාණයක් තුළ ව්‍යාප්ත වී තිබෙනවා.

 අප්‍රිකානු ගෝත්‍රික ජනයා පැස්බර බිත්තර කටු ආයිත්තම් සඳහා අදටත් යොදා ගන්නවා- menafn.com 

 

ජෙනිෆර් මිලර් වැඩිදුරටත් පවසන ආකාරයට, එම ස්ථාන 31 හි අතීතයේ, එකිනෙකා හා සංස්කෘතිකමය වශයෙන් වෙනස් වූ ගෝත්‍ර කිහිපයක් ජීවත් වී ඇති අතර ඔවුන්ගේ ඇවතුම් පැවතුම්වල ද දැඩි වෙනස්කම් තිබී තිබෙනවා. කෙසේ නමුත් මේ ආයිත්තම්වල සමානකම්වලින්, ඔවුන් අතර යම්කිසි සම්බන්ධතාවක් ගොඩනැඟී අති බවට තහවුරු වෙනවා. මෙම සම්බන්ධය අප වර්තමානයේ වෙනත් රටක, වෙනත් ජාතියක මිනිසකු සමඟ, සමාජ ජාලයක් ඔස්සේ සම්බන්ධතා පැවැත්වීම හා සමාන බව ඇගේ මතය යි.

සමහරක් මේ තැටි වැනි ආයිත්තම් මිතුරු කමේ හෝ කෘතගුණ දැක්වීමේ සංකේතයක් ලෙස ගෝත්‍ර අතර හුවමාරු වී තිබෙන අතර, ඔවුන් ඒවා එක්කාසු කොට තබාගෙන තිබෙනවා. තවත් මතයක් වන්නේ පැස්බර බිත්තර කටුවලින් මේ තැටි සාදන ආකාරය පිළිබඳ දැනුම ගෝත්‍ර අතර හුවමාරු වී ඇති බව යි. තවත් විටෙක යම් කිසි ගෝත්‍රයක අය තවත් ගෝත්‍රයක මිනිසුන් මෙවැනි තැටි සහිත ආභරණයක් පැළඳගෙන සිටිනු දැක, එය දැකුම්කලු යැයි සිතා, තමන් ද උත්සාහ කොට මේවා නිපදවා තිබෙන්නටත් හැකි බව විද්‍යාඥ මතය යි.

නැවත කරළියට ආ ‘සමාජ ජාලා තැටි’ භාවිතය 

අප්‍රිකාවේ ආදී මානවයා ඉහත තැටි භාවිතා කිරීම අඛණ්ඩ ව මීට වසර 33,000 කට පමණ පෙර කාලය දක්වා පවත්වාගෙන පැමිණ ඇති අතර ඉන් පසුව එම ප්‍රවණතාව වියැකී ගොස් තිබෙනවා. අප්‍රිකාවේ දක්ෂිණ කොටසෙහි මෙම වියැකී යාම සිදු වූව ද නැගෙනහිර පෙදෙස්වල ඒවා භාවිතය දිගට ම සිදු වී තිබෙනවා. ඉන් පසු මීට වසර 19,000 කට පමණ පෙර දී අප්‍රිකාවේ දකුණු දිගින් නැවතත් මෙම තැටි නිෂ්පාදනය කිරීමේ ප්‍රවණතාව හිස ඔසවා තිබෙනවා. ඒ මීට පෙරට වඩා වැඩි ප්‍රමාණවලින් හා වෙනස් ආරකිනු යි. කෙසේ නමුත් මේ වන විට අප්‍රිකාවේ නැගෙනහිර දිග හා දක්ෂිණ පෙදෙස්වල විසූ ජනයා එකිනෙකාගෙන් විශාල ලෙස ඈත් ව සිටි අතර, නැවත ඔවුන් අතර අන්තර් සම්බන්ධතා ඇති වී ඇත්තේ මීට වසර දෙදහසකට පමණ පෙර සත්ත්ව පාලනය අප්‍රිකාවේ පැතිරී යාමත් සමඟ යි.

 තැටි හමු වූ ප්‍රදේශ හා විවිධාකාරයේ තැටි වර්ග- Newssummedup.com

 

අප්‍රිකාවේ දකුණු දිග පෙදෙස්වල ජනයාගෙන් එම සමාජ ජාලා තැටි භාවිතය හදිසියේ ම  ගිලිහී යාමට හා ඔවුන් නැගෙනහිරදිග අප්‍රිකානුවන් සමඟ තිබූ සම්බන්ධතාව ඇණහිටීමට හේතුව ලෙස විද්‍යාඥයන් අනුමාන කරන්නේ එකල සිදු වූ කාලගුණික වෙනස්කම්. සැම්බෙසි නදිය පිටාර ගැලීමට පටන් ගැනීමත් සමඟ ස්වභාවික ජල බාධකයක් ඇති වී ඔවුන්ට මෙලෙස සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වූ බවට අනුමාන කෙරෙන අතර ජනයා කුඩා කණ්ඩායම් ලෙස විවිධ ස්ථානවලට කොටු වී තිබෙනවා. මෙහිදී විශාල පිරිසක් සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවක් පැණ නොනඟින නිසා සමාජ ජාලා තැටි භාවිතය දකුණු අප්‍රිකානුවන් කෙරෙන් ගිලිහී ගියා විය හැකි යි.

කාලයාගේ ඇවෑමෙන් කාලගුණය යහපත් වුව ද ඒ වන විට එම ශක්‍යතාව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය නොවන්නට ඇති. මෙය වියැකී යාමට තවත් හේතුවක් ලෙස මේවා සෑදීමේ අපහසුව ද සැලකිල්ලට ගත හැකි බව විද්‍යාඥයන් පවසනවා. කෙසේ නමුත් වසර දහස් ගණනකට පසු දකුණු අප්‍රිකාවෙන් නැවතත් මෙම කලාව මතුවීමෙන් පෙනී යන්නේ එම කාලය තුළ එහි කොහේ හෝ මෙම කලාව නොනැසී, සැඟ වී තිබී ඇති බව යි.

පසුවදන

අප්‍රිකාවෙන් හමුවූ ඉහත සමාජ ජාලා භාවිතය අතීතයේ මිනිසා ජීවත් වූ ආකාරය සම්බන්ධයෙන් මිනිසාට හමුවූ හොඳම නිදසුනක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳව තව දුරටත් පර්යේෂණ පැවැත්වෙන අතර, අනාගතයේදී මේ පිළිබඳව තවත් අපූර්ව කාරණා ගණනාවක් ලොවට හෙළි වනු ඇති.

කවරයේ පින්තූරය - පැස්බර බිත්තර කටු පබළු පෙළක් - Hans Sell 

මූලාශ්‍ර:

Edition.cnn.com

Techexplorist.com

Heritagedaily.com

Related Articles