Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IMF සහ ඩොලර් හිඟයෙන් බැට කන ශ්‍රී ලංකාව

මේ වන විට රට පුරා පවතින අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟය නිසා පෝලිම් යුගයක් නිර්මාණය වෙලා. දැන් බරපතළ අවුලක් මෙන්ම විශාල පාඩුවක් බවටත් පත්ව තිබෙන්නේ ඉන්ධන යි. ගෑස්‍, පාන් පිටි,  කිරිපිටි, සිමෙන්ති  ආදී දේ සඳහා ඇති පෝලිම් රටේ සාමාන්‍ය දෙයක් වෙලා. මේ සෑම දේකට ම හේතුව පිටරටින් ඇණවුම් කළ භාණ්ඩ ලබා ගැනීමට ඩොලර් නැතිවීම යි.

මෙවැනි දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව එයට විසැඳුම් ලබනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගත යුතු බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් පවසා සිටිනවා. දේශපාලඥයන් වගේ ම, මහබැංකු අධිපතිවරයාත්  පවසන්නේ එවිට ඔවුන්ගේ රටට අහිතකර කොන්දේසිවලට යටත්වීමට අපට සිදු වන බව යි.

 රට පුරා පවතින ඉන්ධන පෝලිම්- lmd.lk

ඩොලර් හිඟය

විදෙස් සංචිත දැඩි ලෙස පහත වැටීම හමුවේ අප රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී තිබෙනවා. ඇණවුම් කළ ඉන්ධන,  කිරිපිටි, ගෑස් නැව් වරායේ තිබුණත් ඒ භාණ්ඩවලට ගෙවා ඒවා ලබා ගැනීමට රට සතුව ඩොලර් නැහැ.  අමාරුවේ වැටී නාසය දක්වා වතුරේ ගිලී සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම මේ වෙලාවේ හොඳ ම විකල්පය බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට  අනතුරු ඇඟෙව්වේ පසුගිය වසරේ අගභාගයේදි යි.  එම ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් (IDR) ශ්‍රේණිගතකිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත හෙළනු ලැබුවා.   

ආනයන වියදම ඉහළ යාම

ෆිච්  ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ඉපයීම්වලට වඩා ආනයන වියදම ඉහළ යාම වගේම විදේශ මුදල් වෙළඳපොළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඉතා වේගයෙන් පහත වැටී ඇති බව යි. පවත්නා ඩොලර් හිඟය නිසා  ඉන්ධන, බොරතෙල්, ගෑස්, කිරිපිටි, ආහාර ද්‍රව්‍ය, වාහන අමතර කොටස්, පොහාර‍, මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ගෙන්වීමටත් බාධා ඇති වෙලා.

 මෙම විනිමය අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොවන බව බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ මතය යි. කොවිඩ් වසංගතය හමුවේ බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් මෙවැනි විදේශ විනිමය සංචිත අර්බුදයකට මුහුණ පා නැහැ.  ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බංග්ලාදේශයෙන් ද ණයක් ලබා දුන්නා. අප රටේ ඩොලර් අර්බුදයට හේතුව රාජ්‍ය විදේශ විනිමය කළමනාකරණයේ දුර්වලතා බව විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. අපනයන ආදායම අඩුවීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම අඩුවීම හා, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම් පහත වැටීමත් එයට ප්‍රධාන හේතුවක්.

පාලනයක් නැති බඩු මිල- lankadeepa.lk

බඩු මිල ඉහළට

 ඩොලර් ගැටලුව දඩමීමා කරගෙන දේශීය නිෂ්පාදන දිනෙන් දින ඉහළ යාම නිසාත් ජනතාවට විශාල පීඩාවක් වෙලා. සබන් කෑල්ලේ සිට පාවිච්චි කළ වාහනය දක්වා මිල ගණන් සතිපතා ඉහළ යනවා. රජයේ සේවකයන්ගේ පඩි ඉහළ නැංවුවත් පෞද්ගලික ආයතනවල වැටුප් කප්පාදු කරලා. රටේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගිහින්.

බොහෝ නිෂ්පාදනවල වෙළෙඳපොළේ හිඟයක් ඇති වෙලා. විදුලිය සැපයෙන්නේත් සීමිත කාල වකවානුවකට යි. විදුලි බිල සහ ජල බිලත් ඉහළ නංවන ලෙසත් මහ බැංකුව ආණ්ඩුවෙන් ඉල්ලා සිට තිබෙනවා. ඒ වගේම ගෑස් සහ ඉන්ධන නැවතත් වැඩිකරන බවටත් ඉඟි පළ වෙනවා. මේ නිසා කොඩිඩ් වසංගතයෙන් බැට කෑ ජනතාව කබලෙන් ළිපට වැටී ඉවරයි.

පිටරට ණය බර අහස උසට- Istcockphoto.com

 විදේශ ණය බර

 ශ්‍රී ලංකාව ජනවාරි මාසයේ  විදේශ ණය වාරිකවලින් කොටසක් ගෙවීම නිසා ඩොලර් සංචිත අවුල තවත් දිග්ගැස්සුණා. ආර්ථික විද්‍යාඥයන් එයට පෙර උපදෙස් දී තිබුණේ විනිමය හිඟය නිසා ණය වාරික ගෙවීම කල්දමා ගන්නා ලෙස යි. ණය වාරික ගෙවීම නිසා මේ වන විට ශ්‍රී ලංකාව සතු නිල විදේශීය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් පමණ අගයක් දක්වා පහත වැටී තිබෙනවා.  එය රටක ආර්ථිකයක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් නොවේ.

ශ්‍රී ලංකාව මහ බැංකුවේ දත්ත පවසන්නේ 2021 සැප්තැම්බර් මාසයේ දී මෙම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.7ක් වුණු බවයි. මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 සැප්තැම්බර් අවසානය වන විට ඩොලර් බිලියන 6.1ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.  

දැන් පවතින ඩොලර් මිලියන 1500න් 350ක් පමණ පවතින්නේ රන් තැන්පතු ලෙසයි. මුදල් ලෙස ඇත්තේ ඩොලර් මිලියන 1,150ක් පමණයි. පසුගිය දිනවල රන් තැන්පතුවෙන් කොටසක් ද අලෙවි කළ බව මහ බැංකුව පවසා තිබුණා. මේ අතර 2022 අවුරුද්දේ ගෙවීමට ඇති මුළු විදේශ ණය වාරිකවල වටිනාම ඩොලර් මිලියන 7000කට අධිකයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය- trtworld.com

මොකක්ද මේ IMF?

1944 ජූලි මාසයේ දී අමෙරිකා‍වේ බ්‍රේට්න්වුඩ් නගරයේ දී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේ දී ඇති කර ගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට අනුව තමයි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගත්තේ.  ඒ 1947 මාර්තු 01 වන දින යි. අමෙරිකාවේ වොෂිංටන් ඩී සී නගරයේ එහි මූලස්ථානය පිහිටා තිබෙනවා. රටවල් 190ක් එහි සාමාජිකත්වය ලබා සිටිනවා. මින් සිදු කිරීමට අරමුණ කර ගත්තේ සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීමයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජික රටවලට උපදෙස් සපයමින්  ඒවා මඟහරවා ගැනීමට සහාය දැක්වීමත් මූල්‍ය අරමුදලගේ කාර්යයක්.  විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වීමත් ඉන් ඉටුකරනවා. 

මේ වන විට එලෙස ලබාදී ඇති ණය ප්‍රමාණය අමෙරිකා ඩොලර් ට්‍රිලියන එකක්. ශ්‍රී ලංකාව මෙහි මුල් ම සාමාජික රටවල් අතරට එක්වෙනවා. 1950 අගෝස්තු 30වැනි දා තමයි අපේ රටට එහි සාමාජිකත්වය හිමි වුණේ.  වර්ෂ 1977 සිට විනිමය ගැටලු පැන නැඟි අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අප රට ලබාගෙන  තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමට 2009 දීත් IMF ණය මුදලක් ලබා දුන්නා.

 මේ ණය ලබා ගත් පසු විධිමත් අධීක්ෂණයකට යටත් වෙනවා. කොන්දේසි මත තමයි එය ලබාදෙන්නේ. ලබා ගන්නා ණය මුදලින් වෙනත් වැඩ කිරීමට දේශපාලනඥයන්ට හැකි වන්නේ නැහැ. වර්තමාන දේශපාලනඥයන් එම ණය ලබාගැනීමට අකැමැතිවීමට ප්‍රධාන හේතුව ලෙස ආර්ථික විද්‍යාඥයන් දක්වන්නේ එම මුදල් තමන්ට හිතූ හැටියට වියදම් කිරීමට නොහැකි වීම යන කාරණය යි.

මූල්‍ය අරමුදලේ රැස්වීමක් – Cfr.org

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුද?

ආර්ථික විශේලේශක ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව පිටරටින් ගත් ණය ගෙවන සෑම අවස්ථාවක ම රටේ සංචිත බරපතළ විදිහට පහත වැටෙන බව යි. ශ්‍රී ලංකාව 2019 දෙසැම්බර් සිට මේ දක්වා තෙවරක් ණය ශ්‍රේණිගතකිරීම්වලින්  පහළට වැටී ඇති අතර එවැනි අවස්ථාවක  ඩොලර් සංචිත ගෙඩනඟා විදේශීය රටවල විශ්වාසය දිනා ගත යුතු වෙනවා. ඒ සඳහා IMF වගේ ආයතනයක තාක්ෂණික දැනුම ලබා ගැනීම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව මෙයට පෙර අවස්ථා රාශියක දී ම ඒ සහයෝගය ලබා ගෙන තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය ගුණතිලක හේරත් සඳහන් කළේ ද වෙනත් රටකින් ණය ලබා ගැනීමට වඩා IMF ණය ලබා දීමේ දී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය කර බලන බව යි. ඒ නිසා IMF එක ඉදිරිපත් කරන උපදෙස් ජනප්‍රිය නොවන්නට පුළුවන් අතර රජයකට දේශපාලන ලෙස එය අවාසිදායක විය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.  ජනතාවට කෙටිකාලීන ව සෘණ බලපෑම් ආවත්, ලෙඩෙන් ගොඩ එන්නට නම් එවැනි සහයෝගයක් අවශ්‍ය බව පේනවා.

මූල්‍ය අරමුදලට විරෝධයක් – theguardian.com

 බරපතළ කොන්දේසි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ මෙවැනි අවාසිදායක ආර්ථික පසුබිමක සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් ඇතැම්විට බරපතල කොන්දේසිවලට යටත්වීමට සිදුවිය හැකි බව යි.  ඔහු මාධ්‍යවලට පසුගියදා පැවසුවේ එසේ නොයා යුතු යි කියන ස්ථාවරයේ තමන් සිටින බව යි. ජනතා සුබ සාධන කටයුතු කපන්නට, රාජ්‍ය සේවා නියුක්තිය අඩු කරන්නට එවිට අපට සිදු විය හැකි බවත් ඔහු සඳහන් කර සිටිනවා.

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ වෙනත් දෙයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යම් රටකට අරමුදල් සැපයීමේ දී ඔවුන් සපයන අරමුදල්වල සුරක්ෂිතතාව පිළිබඳ ව මුලින් ම සිතනවා. එම අරමුදල් ගැන  තම සාමාජිකයන්ට වගකිව යුතු බැවින් එම ණය ලබා දෙන රටවල්වලට ඔවුන් මුල්‍ය විනය ගැන  කොන්දේසි පනවන බව යි. එවැනි කොන්දේසි  රටේ මුල්‍ය විනය පවත්වා ගැනීම සඳහා දිගුකාලීන ව වාසි සහගත බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවක් පවතින විට අනෙකුත් ආයෝජකයන්ගේ විශ්වාසය ද දිනා ගැනීමට රටකට හැකි බවත් ආර්ථික විද්‍යාඥයන් පවසනවා.   එවැනි මුල්‍ය විනයක් පවත්වා ගැනීම මගින් ණය ශ්‍රේණිගත කීරීමේ අගයන් ද ඉහළ මට්ටමක  තබා ගත හැකි බව පැවසෙනවා.

පැලැස්තර විසඳුම්වලින් දුක් විඳින ජනතාව – Island.lk

 මහ බැංකුවේ පැලැස්තර

මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක ගත යුතු විසඳුම් තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව යි. මහ බැංකුවේ මෑතකාලීන හැසිරීම ගැන ආර්ථික විශ්ලේශකයන් දක්වන්නේ අප්‍රසාදයක්. ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සඳහන් කර තිබුණේ  ශ්‍රී ලංකා මහා බැංකුව මෑතදී ගෙනෙන ලද යෝජනා පැලැස්තර විසඳුම් මිස දිගුකාලීන ස්ථිරසාර ප්‍රතිකර්ම නොවන බව යි. විධිමත් අධ්‍යයනයකින් තොරව තෝරාගත් භාණ්ඩ රාශියක් සඳහා ආනයන සීමා පැනවීම මඟින් ජනතාව සහ ආර්ථිකය අනේකවිධ දුෂ්කරතාවලට ලක්ව තිබෙන බවත් ඔහු පවනවා.

මෙම භාණ්ඩ ලැයිස්තුගත කරනවිට ඒවාට ආදේශ කළ හැකි භාණ්ඩ පිළිබඳ සැලකිල්ලක් දක්වා නොමැති බැවින් දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී පවතිනවා.  රසායනික පොහොර සහ කෘමිනාශක තහනම් කිරීමේදී කෘෂි ක්ෂේත‍්‍රයේ ප්‍රධාන යෙදවුම් අයිතම දෙකවන භූමිය හා ශ්‍රමය පලදායී ලෙස යොදා ගන්නේ කෙසේද කියා සලකා බලා නැති අතර  ඒනිසා කෘෂි නිෂ්පාදන පලදාව අඩුවෙලා.

කවරයේ ඡායාරූපය - ඩොලර් හිඟයෙන් මැවුණු ඉන්ධන පෝලිම් -  lmd.lk

මූලාශ්‍ර:

Bbc.com

Divaina.com

Imf.org

Related Articles