Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංග්‍රීසි ඉගෙන ගන්න අලුත් ක්‍රම අටක්

ඉංග්‍රීසි, අපි ගොඩක් දෙනා එකේ පන්තියේ ඉඳන්  අවුරුදු දහතුනක් ඉගෙනගෙනත් ඉස්කෝලෙන් එලියට එනකොට අපේ භාෂාවෙන්ම කියනවනම් ‘මෙලෝ අල බෝලයක්’ නොදන්න භාෂාව.

Spoken කියයි, අරක කියයි, මේක කියයි ඔය මොන ජාතියේ ටියුෂන් පන්ති ගිහිල්ලවත් ඉංග්‍රීසි හදාගන්නවා කියන එක අපි බහුතරයකට ටිකක් නෙවෙයි ගොඩක් අමාරු දෙයක්.

මේක ඉතින් අපේම වැරද්දක් කියලත් කියන්න අමාරුයි. මොකද පොඩි කාලේදී භාෂාවක් අලුතෙන් ඉගෙන ගන්න වැඩිපුරම බලපෑම් කරන කාරණා තමයි ගුරුවරු සහ අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන හැටි. ශ්‍රී ලංකාවේ ඔය කියන කාරනා දෙක නිසාම ගොඩක් අයට ඉංග්‍රීසි කියන වචනේ පවා අප්‍රසන්න එකක් බවට පත්වෙනවා. මෙහෙම ඇතිවෙන අප්‍රසන්න බව කෙළවර වෙන්නේ ඒ භාෂාව කෙරෙහි හටගන්නා අහේතුක බයකින්. මේ නිසා ගොඩක් අයට මොන විදිහට උත්සාහ කළත් තමන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්.

හැබැයි ඉස්කෝලේ ගිහින් අවුරුදු ගාණකට පස්සෙ මේ වෙනකනුත් ඉංග්‍රීසි දැනුම තවම ‘බිංදුවයි’ නම් එතන වැරැද්ද තියෙන්නේ ඔබේ අතේ. මොකද තොරතුරුවලට ප්‍රවේශ වෙන්න ඕනෑ තරම් මාර්ග තියෙන අද කාලේ තමන්ට දෙයක් ඉගෙන ගන්න බැරිනම් අනිත් අයගේ වැරැද්දට වඩා ඒක ඔබේ තියෙන නොසැලකිලිමත්කම කියලයි සලකන්න වෙන්නේ.

මෙතනින් අපි දෙන්නේ හරිම පොඩි මාර්ගෝපදේශනයක්. ඒ හරහා ගිහින් ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න නොගන්න එක සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔබේ උනන්දුවයි ඒ වෙනුවෙන් වෙන කැපවීම උඩයි කියල මතක තියාගන්න ඕන.

Dictionary භාවිතය

(Photo – Shutterstock)

අපි හැමෝගෙම ගෙදර තියෙනවනේ ලොකුම ලොකු ඩික්ෂනරි එකක්. ඒත් අමාරු ඉංග්‍රීසි වචනයක් අහුවෙනකොට ඕක පෙරළලා බලන්න හරි කම්මැලියි නේද? එක වචනෙකට එහෙම නම් වචන කීපයක් තියෙන ලියවිල්ලක් එහෙම කියවනකොට කොහෙත්ම ඩික්ෂනරිය පෙරලලා ඒ වචනවල තේරුම හොයන්න අපි උනන්දු වෙන්නේ නෑ. මුලින් එහෙම තේරුම් හොයන්න ගත්තත් හතර පස් වාරයක් ඒක කරනකොට එපිට ඩික්ෂනරියේ පිටු පෙරලන එක එපා වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ආව උනන්දුවටත් වෙන්නේ ඒකමයි.

මේකට ලේසිම විසඳුම තියෙන්නේ අද කාලේ අපි හැමෝගෙම අතේ තියෙන ‘ස්මාට් ෆෝන්’ එකේ. Play Store එකට ගිහින් ‘ඉංග්‍රීසි – සිංහල’ වගේම ‘ඉංග්‍රීසි – ඉංග්‍රීසි’ ඩික්ෂනරි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි. ඉතින් වචනෙන් වචනෙට අර ලොකු පොතේ පිටු පෙරල පෙරලා මහන්සි වෙන්න ඕන නෑ. කාලය ඉතිරි වෙනවා. එපා වෙන්නෙත් නෑ. හරිම පහසුයි!

අනිත් වැදගත් කාරණය තමයි මේ ඇප්ලිකේෂන් ඔබ හොයන වචනය උච්චාරණය වෙන හැටි අහන්නත් පුළුවන් විදිහට සැකසී තිබීම.

චිත්‍රපටි

(Photo – Methmalie Dissanayake)

ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ සිංහල උපසිරැසි එක්ක වෙනත් භාෂාවල චිත්‍රපට බලන්න. ඒක නරකයි කියල කියනවා නෙවෙයි. ඒත් ඉංග්‍රීසි උපසිරැසි එක්ක චිත්‍රපට බලනවානම් අපිටත් නොදැනිම අපි අලුත් ඉංග්‍රීසි වචන දැන ගන්නවා. ඒ නිසා පුළුවන් හැමවෙලාවකදිම, විශේෂයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපට, රූපවාහිනී මාලා නාට්‍ය එහෙම බලනකොට ඉංග්‍රීසි උපසිරැසි එක්කම බලන එක හොඳයි.

ගීත

Frozen චිත්‍රපටයේ ගීතයකි

ඉංග්‍රීසි සිංදු අහන්නේ නැති කෙනෙක් අපි අතර ඇත්තෙම නෑනේ. ඉතින් ඔබ අහන, ඔබේ ප්‍රියතම සිංදු වල පදමාලා (lyrics) අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගෙන ඒ පද මාලාවත් එක්කම සිංදුව දෙතුන් පාරක් අහන්න. යූ ටියුබ් එකේ නම් පදමාලා එක්කම එන audio clip තියෙනවා. එතකොට ඒ වචන උච්චාරණය වෙන විදිහ හුරු වෙනවා.

ඒ විතරක් නෙවෙයි තේරුම් ගන්න අපහසු වචන ඩික්ෂනරියෙන් ඉක්මනට බලාගන්නත් පුළුවන්. මෙතනිනුත් ඔබේ ඉංග්‍රීසි වාග්මාලාවට (vocabulary) අලුතෙන් වචන රාශියක්ම එකතු කරගන්න පුළුවන්.

තිර පිටපත්

Photo – Methmalie Dissanayake

අපි හැමෝම චිත්‍රපට, රූපවාහිනී මාලා නාටක පිස්සොනේ. ඉතින් අපි වගේ අයට අපේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න භාවිතා කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි මේ තිරපිටපත් කියවන එක කියන්නේ.

මෙතැනදී චිත්‍රපටය බලල ඉවර වෙලා ඒකෙ තිර පිටපත තියෙනවද කියල ගූග්ල් සර්ච් එකක් කරල පිටපත ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනක් ගිහින් ඒක කියවන්න ගන්නවා. ෆෝන් එකේ තියෙන නිසා ඕන තැනක ඕන වෙලාවක කියවන්න පුළුවන්.

කොහොමහරි දවස් දෙක තුනකට පස්සෙ තිර පිටපතක් කියවනව කියන්නෙ ආයෙ චිත්‍රපටය බලනව වගේ තමයි. ආසාවෙන් කියවන්න පුළුවන්. සිද්ධියි දෙබසුයි තියෙන නිසා නවකතාවක් කියවන්න වගේ වෙලාවක් යන්නෙත් නෑ.

මේකෙ ලොකුම වාසිය තමයි අපි බලන චිත්‍රපටයේ එන දෙබස් ආයෙම කියවන නිසා එතනින් අපිට අහුවෙන වචන හොඳට මතක හිටින එක. අනිත් දේ චිත්‍රපටයෙ සිද්ධි වචනයෙන් තියෙන නිසා එදිනෙදා ජීවිතයේ වෙන සිද්ධි විස්තර කරන්න අපිට දැනුමක් ලැබෙන එක. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන හැටි ගැන දැනුමක් ලබා ගන්නත් මේ ක්‍රමය නියමයි. අමුතුවෙන් spoken english කියල ටියුෂන් යන්න ඕනත් නෑ.

Comic පිටපත්

Tin Tin

පොඩිකාලේ බලපු ටින් ටින්, සූර පප්පා (Asterix) වගේ කාටූන් මතකයිනේ. ඉතින් මේ වගේ කාටුන්වල විතරක් නෙවෙයි තවත් එක එක කතා තේමාවන් තියෙන Comic ගණයට වැටෙන PDF ගොනු අන්තර්ජාලයේ ඕනෑ තරම් තියෙනවා. මේවා කියවන එක හරිම පහසුයි. වැඩි වෙලාවක් යන්නේ නෑ, ඒ වගේම හරිම විනෝද ජනකයි.

ෆේස්බුක් පිටු

Gammerson

අපි කැමති චිත්‍රපට, රූපවාහිනී කතා වගේම පුද්ගලයන්ගේ ෆේස්බුක් පිටුවලට ‘ලයික්’ කරන එකත් අපි හැමෝම කරන දෙයක්නේ.

ඉතින් ලයික් කරලා විතරක් නිකං ඉන්නේ නැතුව ඒ ෆේස්බුක් පිටුවල තියෙන පෝස්ට් වගේම විශේෂයෙන්ම ඒ පෝස්ට්වලට වැටෙන කමෙන්ට්ස් එහෙම කියවන්න. අලුත් දේවල් ගැන දැනගන්න පුළුවන් වගේම, ඉංග්‍රීසි භාෂාවෙන් සංවාදයක් කරන්නේ කොහොමද කියන එක ගැනත් මේ ක්‍රමයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

අන්තර්ජාල සංවාද මණ්ඩප

Reddit.com

Reddit කියන්නේ විශාල මාතෘකා රාශියක් ගැන කතාබහ කෙරෙන අන්තර්ජාල සංවාද මණ්ඩපයක්. රටවල් රැසක මිලියන ගානක් මේ සංවාද මණ්ඩපයේ ක්‍රියාකාරිව අදහස් දක්වනවා. චිත්‍රපට, රූපවාහිනී කතා වගේම අනෙක් ඕනෑම මාතෘකාවක් ගැන ‘සර්ච්’ කරලා ඊට අදාළ කරුණු කාරණා ගැන දැනගන්න ඔබට මේ හරහා හැකියාව ලැබෙනවා. 9GAG කියන්නෙත් මේ හා සමානම දෙයක්. දැනුම, විනෝදය ලබා ගන්න ගමන්ම ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න ලැබීම වාසියක්නේ.

මේ දෙකේම ඇප්ලිකේෂන් ඔබේ ස්මාට් ෆෝන් එකට දාගත්තම වැඩේ තවත් පහසුයි.

බය සහ විහිළුවට ලක් වීම

ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ලොකුම බාධකය තමයි මේ කියන බය. අපි බය වෙන්නේ මොනවා හරි වැරදුණොත් අනිත් අය අපිට හිනා වේවි කියල හිතලා. එහෙම හිනා වෙන අය ඉන්නවා තමයි. හැබැයි ඒක ඒ අයගේ නූගත් කම. මොකද හරි උගත් කෙනෙක් කිසිම දවසක දෙයක් වැරදුණා කියල අනිත් අයට හිනා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අය හිනා වුණාට තමන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න කවුරු කවුරුත් වගබලාගන්න ඕන.

ඒ විතරක් නෙවෙයි මේ කියවන ඔබත් කවමදාවත් කෙනෙක් වැරදි වැරදි හරි ඉංග්‍රීසි භාවිතයට හුරු වෙන්න හදනකොට ඒකට හිනා වෙන්න යන්න එපා. එහෙම අනිත් කෙනෙකුට හිනා වෙන්න තරම් අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න.

හැබැයි ඉතින් අනවශ්‍ය තැන්වලදී අනවශ්‍ය විදිහට තමන් දන්න භාෂාව භාවිතා කරන්න යන එකෙනුත් වළකින්න ඕන කියන එකත් ඉගෙන ගන්න.

එහෙනම් සාර්ථකව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ සැමට ලැබෙන්නයි කියා Roar team එකේ අපි හැමෝම සුබ පතනවා. ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ භාවිතා කරන ක්‍රම ගැනත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද ඒක ඔබ වගේම තවත් කෙනෙකුටත් ලොකු උපකාරයක් වේවි.

කවරයේ පින්තුරය: hercampus.com

Related Articles