අඩහඳයා, අටවක පුත්තු සහ අපි

මේ ලෝකෙ ඉපදෙන හැමෝම නිවුන්නු නොවුණත්, අපි හැමෝම ඇතුළෙ ඉන්නවා තවත් කෙනෙක්; එහෙමත් නැත්නම් නිවුන්නෙක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ‘අනෙකා’ එක්ක ගනුදෙනු කරමින් තමයි අපි අපේ හැම එදිනෙදා වැඩ කටයුත්තක්ම කරන්නෙ. ජීවිත ඇතුළෙ තියෙන හුදෙකලාව සහ පාලුව දරාගන්න බැරි වෙන තැන්වල තනියම කතා කරන්න පෙළඹෙන මිනිස්සු අපි අතරෙ ඕන තරම් ඉන්නවා. සමහරවිට ඒ කතාබහ කරනව ඇත්තෙත් අර ඉපදුණේ නැතුව තමන් ඇතුළෙම හැංගුණු තමන්ගේ නිවුන් සහෝදරයා එක්ක වෙන්න ඇති.

මේක මනෝ විද්‍යාව, මනෝ විශ්ලේෂණය වගේ විෂයයන් ඇතුළෙත් දීර්ඝ කාලීන හැදෑරීම් සිද්ධවුණු අධ්‍යයන කලාපයක්. ඒ වගේම, කලා කෘතීන් නිර්මාණය කරද්දිත් ඒ අධ්‍යයනයන් හරහා එළි පෙහෙළි කරගත්ත දැනුම පාවිච්චි කරන්න ලෝකය පුරාම කලාකරුවො කටයුතු කරල තියෙනවා. අපේ අභ්‍යන්තරයේ හැංගිලා ඉන්න අනෙකා එක්ක අපි කරන මේ ගනුදෙනුව සිංහල සාහිත්‍ය කෘතියක් ඇතුළෙ හොඳින්ම මුණගැහෙන්න පුළුවන් තැනක් තමයි ලියනගේ අමරකීර්ති අතින් ලියවුණු ‘අටවක පුත්තු’ නවකතාව. ඒ කෘතිය සහ ඒ හරහා අපට අපිවම සම්මුඛ වෙන තැන් කිහිපයක් ගැනයි මේ සංක්ෂිප්ත සටහන.

‘අඩහඳයා’

2007 අවුරුද්දෙ මුලින්ම ප්‍රකාශයට පත්වෙන ‘අටවක පුත්තු’ කෘතිය පුරා තැනින් තැන ඇවිත් යන, ප්‍රධාන චරිතයේ නූපන් නිවුන් සහෝදරයගෙ නම තමයි ‘අඩහඳයා’. ඒක වින්නඹු අම්මා දමයන්තට දීපු නම. දමයන්ත ඒ නම තමන්ගෙ නූපන් නිවුන්නට දෙනවා. පාළොස්වක දවසක ඉපදුනා නම් නිවුන්නු විදියටම ඉපදෙන්න තිබුණත් අටවක දවසක ඉපදීම නිසා නිවුන් සහෝදරයවත් තමන් ඇතුළෙම හංගගෙන ඉපදුනයි කියල හැමෝම කියපු දමයන්ත තමයි ‘අටවක පුත්තු’ නවකතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ. එයාට ‘අඩහඳයා’ කියල නම තියපු රෙජින නෝනගෙ ඉඳලා තවත් චරිත ගණනාවක් කතාවෙ තැනින් තැන ඇවිත්, එක එක විදියට කතාවට සහ දමයන්තගෙ ජීවිතයට එකතු වෙනවා. දමයන්තයි, තමන් ඇතුළෙ ඉන්නවයි කියල එයා හැමදාම විශ්වාස කරපු නිවුන් සහෝදර අඩහඳයයි දෙන්නගෙ ගනුදෙනුව ඒ හැම චරිතයක් එක්කම බැඳෙමින් සහ ලිහෙමින්, නානාප්‍රකාර හැලහැප්පීම් මැද ගලාගෙන යනවා.

‘අවුරුදු තුනේදි මගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිලා මට මාවම දෙන්නෙක් වෙලා පේන්න පටන්ගත්තු එකෙන් ඉපදෙන්න අකමැතිව මං ඇතුළෙම හැංගිලා ගිය නිවුන්නා තාමත් මගේ ඇතුළෙ ඉන්න බව මට හිතෙන්න පටන් ගත්තා…’

දමයන්තට අඩහඳයව හරියටම මුණගැහෙන්නෙත්, කතාව ආරම්භ වෙන්නෙත් එහෙම. එතන ඉඳලා හැම තැනකදිම දමයන්තගෙ විශ්වාසවන්තයා වෙන්නෙ ‘අඩහඳයා’.

දමයන්ත ඉපදෙන්නෙ දැදුරු ඔය ආසන්නයේ තිබුණු ගමක. ඒක පවුල් සෞඛ්‍ය සේවිකාවයි, ග්‍රාමසේවක මහත්තයයි හරහා විතරක් ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙන ගමක් වුණත් දමයන්ත ඉපදුණේ ‘කිරිත් එක්ක පවා දේශපාලනය පෙවෙන’ යුගයක. ඒ නිසාම, එතන ඉඳලා සුනෙත් ගුණරත්න කියන තරුණයාගෙ ස්වරූපයෙන් බොල්ගොඩ ගං ඉවුරෙදි අපට එයාව අන්තිමට මුණගැහෙන තැන දක්වා ගෙවෙන දීර්ඝ කාලය ඇතුළත රටේ සිද්ධවුණු දේශපාලන, සමාජ ආර්ථික හැලහැප්පීම් හැම එකක්මත් ‘අටවක පුත්තු’ කෘතියෙ දමයන්තගෙ කතාවට සමාන්තරව ගලාගෙන යනවා. ප්‍රේමය වගේම දේශපාලනයත් එයාගෙ ජීවිතේ ඇතුළට එන්නෙ අනපේක්ෂිතව. හැබැයි ඒ දෙකම දමයන්තගෙ ජීවිතේ ඇතුළෙ කරන පෙරළිය නම් සුළුපටු නැහැ. ‘අලයෙක්’ විදියට හංවඩු ගැහිල හිටපු දමයන්ත ශිෂ්‍ය වීරයෙක් විදියට අභිෂේක ලබන්නෙත් එහෙම; එයා හීනෙකින්වත් නොහිතපු විදියට.

ලියනගේ අමරකීර්ති

කතුවරයගේ අනිත් නවකතාවලත් අඩු වැඩි වශයෙන් කතා වෙන ගොඩක් දේවල් ‘අටවක පුත්තු’ ඇතුළෙ අපට මුණගැහෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ තවත් නොයෙක් සමාජ කාරණා හරහා නිර්මාණය වෙන ගම සහ නගරය අතරෙ පංතිමය ගැටුම. සිංහලෙන් ඉගෙන ගත්ත ‘ගමේ ජීවිතය’ සහ ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තික ‘කොළඹ ජීවිතය’ වගේ ව්‍යුහයන්ගේ සීමා ඉරි අතරමැද තමන්ගෙ චරිත එහාට මෙහාට යවලා, ඒ හරහා ගොඩක් දේවල් කරගන්න ලියනගේ අමරකීර්ති කියන ලේඛකයා හරි දක්ෂයි. මේ බව පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන් තවත් තැන් දෙකක් තමයි එයාගෙ ‘කුරුලු හදවත’ සහ ‘අහම්බකාරක’ කියන නවකතා. විශේෂයෙන්ම ‘අහම්බකාරක’ කෘතියෙ ‘රාධා’ වගේ අය. ‘අටවක පුත්තු’ ඇතුළෙත් හොඳින්ම දකින්න ලැබෙනවා. සීමා ඉරි අතරෙ චරිත එහා මෙහා යමින් දේවල් හෙළිදරව් කිරීම කියන කාරණය. තවත් විදියකට පැහැදිලි කළොත්, ව්‍යුහයන් අතරෙ ‘වෙනස’ සලකුණු කිරීම සහ ඊළඟ මොහොතේ ඒ සලකුණ මකල දාල තවත් තැනකින් තවත් ව්‍යුහයක සීමාවක් සලකුණු කිරීම වගේ වැඩ. ගොඩක් වෙලාවට ඒ සීමා ඉරි අතරෙ වැඩකරන චරිත හරි ශක්තිමත්. ඒ වගේම ඕනම තත්ත්වයක් යටතේ පැවතීමේ හැකියාවෙන් අනූනයි.

ලේඛකයා තමන්ගෙ කෘති හරහා හෙළිදරව් කරමින් ඉන්න සමහර කාරණා සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි චිත්‍රයක් ගන්න නම් ‘මහකන්ද පාමුල’ ඉඳලා ‘අහම්බකාරක’ දක්වා එයාගෙ කෘති එක පෙළට තියල බලන්න වෙනවා. එහෙම දුර රූපයකින් බලද්දි ඒ නවකතා හැම එකකම දකින්න ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් නිරීක්ෂණය කරන්න පුළුවනි. එකක් තමයි 1956 සිද්ධවුණු දේශපාලන පෙරළිය එතනින් මෙහා ඉපදුණු අයගෙ ජීවිතවලට කරපු බලපෑම. සිංහල රාජ්‍ය භාෂාව කිරීම හරහා ඉංග්‍රීසි අධ්‍යාපනය එක පිරිසකට විතරක් සීමා කරමින් හදන පරතරය ගමේ ඉස්කෝලෙ සිංහලෙන් ඉගෙනගන්න පරම්පරාවට බලපෑව ආකාරය හොඳාකාරවම තේරුම් ගන්න පුළුවන් ඒ නවකතා ඇතුළෙ. ‘අටවක පුත්තු’ කෘතියේ නන්ද සහ දමයන්ත කියන චරිත හරහා වගේම ‘කුරුලු හදවත’ නවකතාවෙ දිනසිරි කුරුලුගංගොඩ චරිතය හරහාත් හෙළිදරව් වෙන්නෙ එකම ඇත්තක්.

88-89 වකවානුවේ රටේ ඇතිවුණු දේශපාලන කැළඹීම් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් කළ ආකාරය ගැනත්  ‘මහකන්ද පාමුල’ නවකතාවෙ ඉඳලම කතුවරයා කතාබහ කරනවා. ‘අටවක පුත්තු’ හරහා වැඩිපුරම කතා වෙන්නෙ ඒ කැළඹීම් ගමට දැනුණු විදිහ සහ විශ්වවිද්‍යාල ඇතුළෙ ක්‍රියාත්මක වුණු විදිහ ගැන. විශේෂයෙන්ම මහාචාර්ය ඒකනායක වගේ දෙබිඩි චරිත හරහා හෙළිදරව් වෙන්නෙ ඒ යුගයේ වගේම වර්තමානයෙත් අත්දකින්න ලැබෙන තිත්ත ඇත්තක හරස්කඩක්. පරමාදර්ශ අහිමි වීමෙන් සහ අහිමි කරගැනීමෙන් අවුල් වෙන නන්දගේ චරිතයත් ගොඩක් දේවල් හෙළිදරව් කරනවා. ගමෙන් නගරයට ඇවිල්ලා විශ්වවිද්‍යාල ආචර්යවරයෙක් වෙන නන්ද බාප්පා හැම දෙයක්ම විසඳගත්ත කෙනෙක් විදියට බාහිරින් බලන කෙනෙකුට පෙනුණත්, ඒ චරිතය තමන්ගෙ අභ්‍යන්තරය එක්ක, තමන්ගෙම හෘද සාක්ෂිය එක්ක ගැටෙන ගැටීම සුළුපටු නැහැ. හෘද සාක්ෂියක් සහිතව, අවුල් ජීවිතයක් ගත කරන්න සිද්ධවීම කියන්නෙ මොන තරම් ඛේදවාචකයක්ද කියලා හොඳාකාරවම තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි නන්ද දිසානායකගෙ චරිතය.

කතාවෙ වේගය සහ රිද්මය සමග සමපාත වීම

දමයන්ත වගේම කුරුලු හදවතේ දිනසිරි කුරුලුගංගොඩත් ප්‍රේමය එක්ක ගනුදෙනු කරන විදියෙ සෑහෙන සමානකම් දකින්න ලැබෙනවා. අනෝමාගෙ ඉඳල දිල්කි දක්වා දමයන්තගෙ ජීවිතේට බලපෑම් කරන කාන්තා චරිතත්, කුරුලු හදවතේ දිනසිරිට බලපෑම් කරන කාන්තා චරිතත් ‘මහකන්ද පාමුල’ සහ ‘අහම්බකාරක’ නවකතාවල මුණගැහෙන තීරණාත්මක කාන්තා චරිතත් මතුපිටින් වෙනස් වුණාට, ඒ හැම චරිතයක්ම අදෘශ්‍යමාන නූල් කීපයකින් එකිනෙකට අමුණන්න පුළුවනි. ඒක අහම්බයක් වෙන්න වගේම නොවෙන්නත් හොඳටම ඉඩ තියෙනවා.

‘මහකන්ද පාමුල’ ‘කුරුලු හදවත’ සහ ‘අහම්බකාරක’ වගේම ‘අටවක පුත්තු’ කියන්නෙත් එක දිගට කියවගෙන යන්න හිතෙන, කියවනවා වෙනුවට කතාව ඇතුළට රිංගන්න හිතෙන පොතක්. කොහොමත් ඒ ලක්ෂණය එයා ලියන හැම නවකතාවකම තියෙනවා. ඇත්තටම නවකතාවක් එළියෙ ඉඳල කියවනවට වැඩිය අපූරු අත්දැකීමක් ඒක ඇතුළට රිංගල ඒකෙම චරිතයක් වෙලා කතාව එක්ක ගලාගෙන යන එක. මේ කතාවෙ විදියට නං එකම මොහොතක අඩහඳයෙක් වීම සහ අඩහඳයෙක් එක්ක ගනුදෙනු කිරීම. පොත ඇතුළෙ ඉන්න නන්දිතා ‘අපරාධය සහ දඬුවම’ කියවනව වගේ; අපේ වේගය සහ මොකක් වුණත් ඒ වෙනුවට කතාවෙ වේගය සහ රිද්මය එක්ක සමපාත වෙමින් ඒ ගමන යන එක ඇත්තටම ආදරේ හිතෙන වැඩක්.

Related Articles

Exit mobile version