නිමි ඇඳුම් නිෂ්පාදනයේ පෙරළියක් සිදු කළ නූල් නැතිව රෙදි පිළි සාදන ක්‍රමය.

එදිනෙදා භාවිතයට ගන්නා, අපට අවශ්‍යම දෙයක් විදියට ඇඳුම් සලකන්න පුළුවන්. බොහෝ කාලයක සිටම අප ඇඳුම් පිළියෙල කරගන්න යොදා ගත්තේ ඇඳුම් මහන යන්ත්‍ර හෝ ඉදිකටුව සහ නුල් අාදියයි. කාලයක් තිස්සේ අතින් මැසීම සිදු කළත් පසුව මහන මැෂින් පැමිණීමත් සමඟ රෙදිපිළි තාක්ෂණය වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා

කොහොම නමුත් දියුණුවත් එක්කම රෙදිපිළි තාක්ෂණයේ ආරම්භයට හේතු වුණු නූල් භාවිතයෙන් මැසීමේ ක්‍රමය ඇතැම් අවශ්‍යතා සඳහා එතරම් සුදුසු නොවන බව පෙනී ගියා. නූල් නොමැතිව අැඳුම් එකට වෑද්දීමේ ක්‍රමයක් ලෝකයට එකතු වුණේ ඒ ගැන කරපු පරීක්ෂණවලින් අනතුරුවයි ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවෙත් සුළු වශයෙන් මේ ක්‍රමය භාවිතයෙන් ඇඳුම් නිර්මාණය කරනවා.

මේ ලිපිය හරහා ඔබට ඒ තාක්ෂණය හා එහි අද වනවිට පවතින තත්වය දැනගන්න පුළුවන්.

ඇඳුම් නූල් නැතිව පිළියෙල කිරීමේ ආරම්භය

ගම් වර්ග යොදා ඇලවීමේ ක්‍රමය බොහෝ කාලයක සිට මිනිසුන් අතර පැවතුන ක්‍රමයක්. ශාකවල මැලියම් වර්ග යොදාගෙන සිදු කෙරුණු මෙම කටයුත්ත කාලයත් සමග කෘත්‍රිමව නිපදවූ ගම් වර්ග යොදාගෙන සිදු කෙරුණා. අැලෙන සුළු පටි හෙවත් ගම් ටේප් වර්ග නිපදවීම ආරම්භ වූයේ බෙමිස් ආයතනයෙන් වන අතර 1910 දී මුලින්ම එය චුවින්ගම්වලට යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් නිර්මාණය කරනු ලැබුවා.

මෙසේ දියුණු වූ ගම් යොදා ගැනීමේ තාක්ෂණය අනෙකුත් වාහන, පරිගණක, ගෙදර දොර උපකරණ අාදිය නිපදවීමේ කර්මාන්තවලට මුල සිටම යොදා ගැනුණත් පසුව නිමි ඇඳුම් කර්මාන්තයටත් මෙය එකතු වුණා. රෙදි වර්ග එකට ඇලවීම, ලේස් හා රෙදි එකට ඇලවීම වැනි බොහෝ අවශ්‍යතා වෙනුවෙන් මෙම ක්‍රමය අද වනවිට යොදා ගැනෙනවා. කාලයත් සමග සම්පුර්ණ ඇඟලුමම ඇලවීම මගින් නිෂ්පාදනයට තරම් තාක්ෂණයක් අද වනවිට අැති වී තිබෙනවා.

සිදු කරන අයුරු

යම් ගම් වර්ගයක් හෝ යාන්ත්‍රික ක්‍රමයක් යොදාගෙන රෙදි දෙකක් එකට වෑද්දීමේ ක්‍රමය මෙලෙස හඳුන්වනවා. අප දැනට මැසීමෙන් සකසන දාරය, එහෙම නැතිනම් වාටිය ඇලවීමේ ක්‍රමය හරහා සකසා ගැනීම මෙහිදී අැති ප්‍රධානතම වෙනසයි. එලෙස ඇඳුම් ඇලවීම ක්‍රමය වර්ග දෙකකට[1] බෙදන්න පුළුවන්.

  1. ගම් යොදාගෙන ඇඟලුම් එකට ඇලවීම
  2. යාන්ත්‍රික ක්‍රම හරහා ඇඟලුම් එකට පෑස්සීම

ගම් යොදාගෙන ඇඟලුම් ඇලවීම

මෙහිදී සාමාන්‍යයෙන් ගම් පාවිච්චි කරන වෙනත් අවස්ථාවලදී මෙන්ම සුදුසු ගම් වර්ගයක් රෙදි දෙකක් අතරට යොදා ඇලවීම සිදුකරනවා. ගම් වර්ග, උෂ්ණත්වය, පීඩනය යොදාගෙන මේ ක්‍රමය මගින් ඇඟලුම් නිපදවනවා. බොහෝ විට ශ්‍රී ලංකාවේ යොදා ගන්නා ගම් වර්ග “පොලියුරතීන්” හා “ඉලාස්ටෝමර්ස්” වන අතර ඊට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදාගන්නා ගම් වර්ග කිහිපයක ගුණාංග පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්.

  • ඇලවීමට යොදාගන්නා ගම් වර්ගය දියරයක් ලෙස රෙදි මතට යෙදීමට හැකි වීම
  • ගම් වර්ගය හා රෙදි අතර ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිකර ඇලවීමට හැකි වීම
  • ගම් වර්ගය හා රෙදි අතර රසායනික ප්‍රතික්‍රියාවක් සිදුකොට ඇලවීමට හැකි වීම
  • ගම් වර්ගය රෙදි මතට යාන්ත්‍රික ක්‍රම ඉසීමෙන් හරහා ඇලවීමට හැකි වීම.

ගම් ටේප් යොදාගෙන නිමකරන ලද ඇගලුමක් (www.pinterest.com)

ඇලවීමට යොදාගන්නා යන්ත්‍ර

මෙහිදී යොදා ගන්නා යන්ත්‍ර විවිධ නිෂ්පාදකයන් අනුව සුළු වෙනස්කම් පවතින නමුත් සිදු කෙරෙන කාර්යය එකහා සමානයි. විවිධ කාර්යයන්ට අදාලව නිෂ්පාදිත එම යන්ත්‍ර කිහිපයක් පහත ලෙස දක්වන්න පුළුවන්. එහිදී දැනට යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන දෙකක් ලෙස මැක්පි ආයතනය හා සෝසිස්ටම් ආයතනය නිෂ්පාදකයන්ගේ ප්‍රමුඛ වනවා.

ඇලවීමේදී යොදාගන්නා යන්ත්‍රයක් (www.tradeindia.com)

ඇඟලුම් මැසීමට වඩා ඇලවීමෙන් ඇති වාසි

  • ඇඟලුම්වල කල්පැවැත්ම වැඩිවීම
  • ඇඟලුම්වල විශේෂතා වර්ධනය කිරීම. (නැවෙන සුළු ගතිය, දාරයන්හි ශක්තිමත් භාවය, අනවශ්‍ය ලෙස ඇදීම අඩුවීම)
  • නිෂ්පාදනවල තත්වය ඉහළ වීම
  • ඇඟලුම් නිෂ්පාදනයට පහසුවීම හා නිෂ්පාදන වියදම අඩුවීම
  • දාරයේ ඝනකම අඩුවීම නිසා භාවිතයේදී පහසුවීම
  • විවිධ රටාවන් ලබාගත හැකි වීම
  • විවිධ වර්ගයේ රෙදි එකට එකතු කිරීමේ පහසුව

ඇලවීම මගින් නිෂ්පාදනය කරන ඇඟලුම් වර්ග

  • කාන්තා හා පිරිමි යට ඇඳුම්
  • ක්‍රීඩා කටයුතු සදහා යොදා ගන්නා ඇඳුම්
  • විලාසිතා ඇඳුම්
  • භාවනා හා ව්‍යායාම් කටයුතුවලට යොදාගන්නා ඇඳුම්
  • රෝගීන් සදහා යොදා ගන්නා විශේෂිත යට ඇඳුම්
  • පාවහන් නිෂ්පාදනය

යාන්ත්‍රික ක්‍රම හරහා ඇඟලුම් පෑස්සීම

මෙහිදී රෙදිවල දාරය උණු වන සේ යාන්ත්‍රික ක්‍රම හරහා සකසා ඇලවීම සිදු කරනවා. ගම් යොදා ඇලවීමත් මෙයත් අතර ඇති ප්‍රධානම වෙනස වන්නේ  රෙදි හැර බාහිර කිසිවක් එහි ආලේප නොකිරීමයි. උෂ්ණත්වය, පීඩනය යෙදීමෙන් පමණක් පෑස්සීම සිදු කෙරෙනවා.

මෙලෙස උණු වීම සඳහා විශේෂිත වූ රෙදි වර්ගයන් (පොලිඑස්ටර්, පොලියුරතීන්) පමණක් යොදා ගත යුතු වන නිසා මේ ක්‍රමය යම් සීමාවක් තුළ යොදා ගැනෙනවා. මේ සඳහා යොදාගන්නා ක්‍රම කීපයක්ම පවතිනවා.

  • උණුසුම් සම්පීඩක (Hot wedge) ක්‍රමය
  • උණුසුම් වායුව යොදාගැනීමේ ක්‍රමය (hot air)
  • අති ධ්වනිය යොදා ගැනීම
  • ලේසර් කිරණ භාවිතය

පෑස්සීම හරහා නිෂ්පාදනය කළ ඇඟලුමක් (www.pinterest.com)

පෑස්සීමට යොදාගන්නා යන්ත්‍ර

මෙම යන්ත්‍රයන්ද නිෂ්පාදකයන් අනුව විවිධ වන අතර සිදුකරන කාර්ය එක හා සමාන වනවා.

  • ලේසර් වෙල්ඩින් මැෂින්
  • හොට් එයාර් වෙල්ඩින් මැෂින්
  • හොට් එයාර් ටේපින් මැෂින්
  • අතිධ්වනි යන්ත්‍රය

පෑස්සීමේදී යොදාගන්නා යන්ත්‍රයක් (czshuangchao.en.alibaba.com)

ඇඳුම් මැසිමට වඩා පෑස්සීමේ ඇති වාසි

  • නඩත්තුව පහසුවීම
  • සීරීම අවම වීම
  • දාරයන්හි කල්පැවැත්ම ඉහළ වීම
  • පිරිසිදු නිමාව
  • ජලය කාන්දු නොවීම
  • නිපදවූ ඇඟලුම් සැහැල්ලු වීම
  • දාරයන්හි ඝනකම අවම වීම

පෑස්සීමේ ක්‍රමයෙන් කෙරෙන නිෂ්පාදන වර්ග

  • ක්‍රීඩා ඇඳුම්
  • ටෙන්ට් රෙදි නිෂ්පාදනය
  • සුළං පුරවන ඩිංගි අැතුළු බෝට්ටු නිෂ්පාදනය
  • ජල පෙරන බහාලුම් නිෂ්පාදනය
  • විද්‍යාගාරවල භාවිත කරන විශේෂිත ඇඳුම්

ශ්‍රී ලංකාව තුල හා ලෝකය තුල මෙම ක්‍රමයේ භාවිතය

ලෝකය තුල අද වනවිට පරීක්ෂණාත්මකව, එසේත් නැතිනම් නව නිපැයුමක් ලෙස සාර්ථකව ආරම්භ වී ඇති ක්‍රමයක් විදියට මේ ඇලවීමේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රමය වන මැසීමේදී ඇතිවන යම් ගැටලු නිරාකරණයට යොදාගත්තත් අද වන විට එහි සාර්ථකත්වය නිසාම බොහෝ අවස්ථාවල මෙය යොදා ගන්නවා. නමුත් පේටන්ට් අයිතියට ගෙවීම් කිරීමට සිදු වීම නිසා දැනට මෙම තාක්ෂණය බොහෝ ඇඟලුම් නිෂ්පාදකයන් අතරට නොගොස් දැවැන්ත නිෂ්පාදකයින් අතර පමණක් පවතිනවා.

ශ්‍රී ලංකාව තුල මේ ක්‍රමයෙන් නිර්මාණය කරනලද ඇඟලුමක් (http://designbt.lk)

ශ්‍රී ලංකාව තුල MAS, BRANDIX වැනි ආයතන සාර්ථකව මෙය යොදාගෙන නිෂ්පාදන කටයුතු කරගෙන යනු ලබනවා. THINX  වැනි සන්නාම කාන්තා ඇඳුම් අද වනවිට සම්පුර්ණයෙන්ම මේ ක්‍රමය හරහා නිපදවන අතර ක්‍රීඩා ඇඳුම්, අනෙකුත් විලාසිතා ඇඳුම් මේ ක්‍රමය හරහා අඩු මිලට වැඩි ප්‍රමිතියකින් යුතුව නිපදවනු ලබනවා. තවමත් දියුණු කිරීමට අවස්ථාව ඇති තාක්ෂණික ක්‍රමයක් විදියට මේ ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ නිසාම ඉතා දක්ෂ නව නිපැයුම්කරුවන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඒ සඳහා වැඩි අවස්ථාවක්ද පවතිනවා. මුලික වියදම, එනම් අවශ්‍ය යන්ත්‍ර සඳහා යන මිල මේ තාක්ෂණයේ පවතින මූලිකම දුර්වලතාව වුවත් මසා නිමකිරීමට තරම් මුදලක් මේ සඳහා නොයන නිසා අනාගතයේ ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානයක්  මේ තාක්ෂණයට හිමි වනු නොඅනුමානයි.

කවරයේ පින්තූරය : youtube

මුලාශ්‍ර:

[1] – Assembling Technologies For Functional Garment – An Overview, Prabir Jana, National Institute Of Fashion Technology, Gulmohar Park, New Delhi 116016, India

warwickmills.com

texmac.se

teonline.com

adhesives.org

stretchline.com

bemisworldwide.com

masholdings.com

brandix.com

shethinx.com

Related Articles

Exit mobile version