ලොව කිසිදු ආගමක ඩයිනෝසෝරයන් ගැන සඳහන් නොවන්නේ ඇයි?

2015 දී සමාජ ජාල හරහා එකතු වූ ක්‍රිස්තියානි පිරිසක් තමුන්ගේ දරුවන්ට ඩයිනෝසෝර සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීම සීමා කරන්නට කටයුතු කළේ ය. දරුවන් සාමාන්‍යයෙන් දැනුම් තේරුම් ඇති විට දකින දකින දේ ප්‍රශ්න කරති. ලෝක මැවුම්වාදය සහ මිනිසාගේ සම්භවය ගැන ආගම්වල  කරුණු ගොඩක් ඇතිමුත් ඒ සෑම ආගමකට ම ඩයිනෝසෝරයන් අමතක වීම දරුවන්ට ද ප්‍රශ්නයක් වන්නට ඇත. ක්‍රිස්තියානි ආගමේ පාඨ ග්‍රන්ථවලට අනුකූල ව ඩයිනෝසෝරයන් සිටි කාලය සහ ඩයිනෝසෝරයින් ගැන ඒවායේ නොමැති වීම ක්‍රිස්තියානි ආගමට ලැදි පිරිස් සසල කළ සංසිද්ධියක් විය. එය එකල සමාජ ජාල කළඹන ප්‍රවෘත්තියක් විය.

ආගම් හි නැති තවත් දේ

බොහෝ ආගම් කාර්මික විප්ලවයට පෙර එනම් 1800ට පෙර ලොවට පැමිණි ඒවා වෙති. ඇතැමුන් විද්‍යාවක් ලෙස සලකන ජ්‍යෝතිෂය පවා යුරේනස් නෙප්චූන් ප්ලූටෝ ආදි ග්‍රහලෝක ගැන විස්තර දැනගත්තේ විද්‍යාඥයින් විසින් දුරේක්ෂවලින් බලා ඒවා තහවුරු කරගැනීමෙන් පසු ව ය. ඉන්දියාව, චීනය, යුරෝපය ආදී භූමින්ගේ බිහිවුණු ලොව බොහෝ පතල ආගම්වලට පෙන්ගුවින් සහ කැන්ගරු ආදි සතුන් ගැන ද වදනක් හෝ ඇතුළත් කිරීමට අමතක වී ඇත. එහෙත් ඒ සමකාලීන ව ආගමික මත බිහි වූ සමාජවල සිටි ගවයා, සිංහයා, නාගයා, ආදී සතුන් ද කුරුල්ලන් ආදී සතුන් ගැන ද ආගමික පොත පතේ සඳහන් වී තිබේ. ඇතැම් ආගමික පොත් පත් හි මේ සතා ඇති වූයේ මෙසේයැ කියා ඔවුන්ගේ සම්භවය ගැන ද විස්තර පැහැදිලි ව දක්වා තිබේ.

ඩයිනෝසෝරයින්ට අයිති පෘථිවි ඉතිහාසය

mymusings.me

ඩයිනෝසෝරයන් මිහිමතින් වඳ වී ගොස් වසර මිලියන 65ක් පමණ වේ. ඊට පෙර ඩයිනෝසෝරයන් මිහිමත වසර මිලියන 160ක් පමණ කාලයක් ජීවත් වී ඇති බව ෆොසිලමය සාධක අනුව සොයාගෙන තිබේ. නූතන මානවයා ලොවට පැමිණ තවමත් වසර ලක්ෂ දෙකක් පමණි. යම් ලෙසකින් පෘථිවි ජීවය පෑ 24 සිනමාපටයකට නැගුවොත් මිනිහා දැකගන්නට ලැබෙන්නෙ එහි අවසාන තත්පරයේ දී ය. වසර මිලියන 160ක් තරම් කලක් ජීවත් වූ ඩයිනෝසෝර සහ ඔවුන්ගේ පරපුරේ දැවැන්තයෝ සැබැවින්ම ස්ථායී සත්ත්ව කොට්ඨාසයක් විය. මානව ඉතිහාසය ගැන හැදෑරීමේ දී, ජීවයේ ඉතිහාසය ගැන හැදෑරීමේ දී ඩයිනෝසෝරයන් විසූ යුගය මඟහැර යා නොහැක. එම ඩයිනෝසෝරයන් මිහිමත විසූ කාලය අපගේ පෘථිවියේ ජීව ඉතිහාසයේ එක්තරා විශාල කාල පරිච්ඡේදයකි. එසේ ම ඩයිනෝසෝරයන් ද ලෙහෙසිහෙන් මඟහැරිය නොහැකි දැවැන්ත සත්ත්ව කොට්ඨාසයක් ම විය.

ආගම සහ එකල සමාජය

heritageofjapan.wordpress.com

ඉන්දියාවෙන් බිහි වූ බෞද්ධ, ජෛන, සහ බ්‍රාහ්මණික ආගම් බොහෝමයක් සත්ත්ව ඝාතනය පිළිකුල් කරන අතර ඔවුහු බොහොමයක් නිර්මාංශ වේ. එකල සිට ඉන්දියානු ගොවියා යනු යමක් වගා කරගෙන ආහාරයට ගත් ආකාරයේ ගොවිතැනින් ජීවත් වූ අයෙකු විය. ඔහු ගවයා ආදී සතුන්ගෙන් ප්‍රයෝජන ගෙන වගා කටයුතු කරගෙන ගියේ ය. එබැවින් ගව ඝාතනය ආගම මඟින් දැඩි වරදක් වූ අතර බොහෝ පිරිස් නිර්මාංශ ද වී තිබේ. ඉන්දියාව වර්තමාන ලෝකයේ වැඩි ම පිරිසක් නිර්මාංශිකයින් සිටින රට වන අතර එය සමස්ත ඉන්දීය ජනගහනයෙන් 30%ක් වන අතර එම නිර්මාංශ ජනයා ප්‍රමාණය මිලියන තුන්සීයකට වඩා වැඩි ය. ඒබ්‍රහමික ආගම් හෙවත් බටහිරින් බිහි වූ තනි දෙවියෙක් මඟින් ලෝකය මවන ලද්දේ ය යන විශ්වාසය ඇති ආගම් බිහි වූ පරිසරය සතුන් ඇති කර ඔවුන් මරා ආහාරයට ගත් සමාජයක් විය. එහි දී ආහාරමය අවශ්‍යතා සඳහා සත්ත්ව මාංශ කෙලින්ම බාවිතා වූ නිසා ඒ කාලයේ දී බිහි වූ ඒබ්‍රහමික ආගම් සත්ත්ව ඝාතනය දැඩි සේ පිළිකුල් නොකළේ ය.

කාලය සහ ඒ කාලයේ තිබූ බෙහෝ දේ අනුව ආගම හැඩගැසුණු බවට සාධක බොහෝ ය. ඉන්දියාවේ අද ද බෙංගාලය සහ බිහාර් පළාතට වැසි කාලය ඉතා දරුනු වැසි ඇද වැටෙන කාලයක් බැවින් ඒ කාලය ආරාමවල ම වාසය කළ යුතුයැ යි බුදුන් වහන්සේ මෙන්ම සමකාලීන ජෛන මහාවීරයෝ ද උපදෙස් දී තිබේ. බොහෝ ආගමික පොතපතවල එකල තිබූ සමකාලීන සමාජය ගැන කරුණු රැසක් සඳහන් වේ.

ආගම සර්වකාලීන ද?

lawyersgunsmoneyblog.com

ආගමික නායකයින් විසින් පුන පුනා ආගම යනු සර්වකාලීන ලෝකයේ මුල පටන් අග දක්වා විස්තර කරන සර්වකාලීන දෙයකැ යි කියති. ඒ ආගමික නායකයින් විසින් විස්තර කර ඇති ලෝකයේ උප්පත්තිය, ලෝකයේ අනාගතය, ලෝක අවසානය, මිනිසා ලොවට බිහිවීම, සතුන් ලොවට බිහිවීම ආදී කාරණා ආගමෙන් ආගමට එකිනෙකට බොහෝ සෙයින්වෙනස් වේ. යම් ආගමික සව්වෝ තමුන්ගේ දහමේ අසවල් කොටස අසවල් විද්‍යාත්මක දැනුමේ මේ දෙය හා සමාන වේයැ යි ආගමේ කොටසක් ගෙන විද්‍යාවට සමපාත කරන්නට උත්සාහ කරති. එහෙත් සම්පූර්ණ ආගමික දේශනා ගෙන හැර දැක්වූවොත් ඒ ඒ ආගම අතර ඇති පරස්පරතා බොහෝ ය.  එයින් විද්‍යාත්මක මත හා ගැළපෙන ඉතා ම කලාතුරකින් තැනක් මිස එහි නියම සාධාරණ ගැළපීම් නැත.

විද්‍යාවෙන් ඩයිනෝසෝර්යන් සොයාගෙන තිබේ ද?

ඩයිනෝසෝරයන් යනු ද කල්පිතයක්යැ යි ද, ඔය තරම් විද්‍යාව දන්නේ නම් ඩයිනෝසර නැවත ඇති කළ හැකි නොවේයැ යි ද ඇතමෙකුට සිතිය හැකි ය. එහෙත් ඩයිනෝසර ඇතියැ යි කියන්නේ එක් පොතක පතක හෝ යමක් අදහන කණ්ඩායමක පිරිසක් නොවේ. ලොව වටා විවිධ ස්ථානවල ඇති පර්යේෂණාගාර, විශ්වවිදයාලවල ඉපදුණු විවිධ දැනුම් පද්ධති ඔස්සේ පර්යේෂණ රාශියක් සිදුකොට ඩයිනෝසෝරයන් සහ එවුන් සිටි කාලය ගැන දැනුම සපයා තිබේ. ඒ දැනුමෙන් වඩාත් සරල වූ කොටසක් සාමාන්‍ය ජනයාට තේරෙන ආකාරයට පොත්, විඩියෝ, සහ අන්තර්ජාලයේ වෙබ් අඩවි වශයෙන් ඩයිනෝසෝරයන් සම්බන්ධයෙන් දැනගත හැකි ය. ඒ අනුව ඩයිනෝසෝරයින් සම්බන්ධ විද්‍යාවේ මතය එක් පතපොතක තිබුණා හෝ, එක් ගුරුකුලයක පරම්පරාවෙන් ආවා හෝ, යමෙක් දිව්‍ය පණිවුඩයකින් දැනගත්තා හෝ වැන්නක් නොව විද්‍යාත්මක ව වඩාත් තහවුරු කරගත් දැනුමකි.

ආගමේ කාර්යය ඩයිනෝසෝර විස්තර කිරීම නොවෙයි

මිනිසාගේ මනසට යම් ශාන්තියක් ලබාගැනීම ආගමේ කාර්යභාරය ලෙස ඉතා සැකෙවින් දැක්විය හැකි ය. එහෙත් ඒ ආගමික පොතපත ගෙන බැලුවොත් එහි අන්තර්ගතය තුළ මනස හික්මවා ගැනීමට පරිබාහිර  විශාල තොරතුරු ප්‍රමාණයක් තිබේ, ස්ත්‍රීන් සම්බන්ධ කාරණා, එවකට විසූ සතුන් සම්බන්ධ කාරණා, දේශපාලනය ගැන කාරණා, විශ්වය ගැන කාරණා, ලෝකයේ කෙළවර ගැන කාරණා මෙන්ම සඳ, හිරු, තරු, චන්ද්‍රග්‍රහණ ආදී දේ ද ආගමික පොතපත තුළ විස්තර කර තිබේ. එවැනි ලෝකය, මිනිසුන්, සහ සකල විශ්වය  ගැන ම ඉතා හොඳින් දත් ශාස්තෘෘන්ට ඩයිනෝසෝරයන් ගැන සඳහන් කිරීම කෙසේ හෝ මඟහැරී තිබෙනවා.

විශාල සත්තු විදියට ඉන්නේ ඔය මකරු, කිඳුරෝ තමයි

medium.com

ඩයිනෝසෝරයන් ඒ නමින් ම ආගමික පොත්වල නොමැති විය හැකි වුවත් විශාල මකරු ආදී වශයෙන් පෙනී සිටින්නේ ඩයිනෝසෝර ම විය හැකියැ යි ඇතැම් අයගේ අදහස වී තිබේ. එහෙත් විශාල මකරු යනු ආගම් හා සහසම්බන්ධ ව පසුකාලීන ව ඇති වූ මතවාදයන් වන අතර ස්වභාවයෙන් ම සැලකූව ද මකරා සහ ඩයිනෝසෝරයන් අතර වෙනස්කම් රැසක් තිබේ. ආගමික කතාන්දරවල එන දිව්‍යලෝකය නිරය ආදී සංකල්පවලවත් යාන්තමින්වත් ඩයිනෝසෝර හෝ ඒ ආසන්න සත්ත්වයෙක් ගැන සඳහනක් නැත.

ඩයිනෝසෝර නැති වුණා කියලා ආගම ප්‍රතික්ෂේප වෙයි ද?

ආගමික ශාස්තෘෘන් සතු දැනුම සාගරයක් තරම් විශාල ජල කොටසක් නම් එයින් මුල්ම පණිවුඩකරුවා හෝ ආගම පවසන්නා දේශනා කරන්නේ පනිට්ටුවක් තරම් බැතිමතුන්ට වැදගත් වූ ටිකකි. ඒ පනිට්ටුවෙන් ද පොතපතට ඇතුළත් වන්නේ තවත් කෝප්පයක් තරම් වූ ටිකකි. ඒ කෝප්පයෙන් ද පුරාණ භාෂා අවුල් සහ හිඟ වූ එකතු වූ කොටස් ආදිය නිසා නියම ආගමික දැනුම ලෙස අපිට අද ලැබී ඇත්තේ බිංදුවක් තරම් සුළු ප්‍රමාණයකි. ආගමික පොතපත තුළ අද අපි නොදකින ඩයිනෝසෝරයා එක්කෝ පෙර කී දැනුම නැමැති සාගරයේ, බාල්දියේ, නොඑසේ නම් කෝප්පයේ ඉතිරි වී අපිට මුණ නොගැසී සිටිය හැකි ය. කෙසේ හෝ සියලුම ආගම්වලට ම පාහේ මේ අවසානයේ වත්මන් ආගමික ධර්ම පුස්තක ආදියේ දී ඩයිනෝසෝරයා සහ ඩයිනෝසෝර යුගය හැලී තිබීම සැබැවින් ම විශ්මයජනක කරුණකි.

Cover image: youtube.com

Related Articles

Exit mobile version