මිනිසුන් හිටි හැටියේ ම නින්දට වැටෙන කලාචි ගමේ අබිරහස

වික්ටර් කසකෙන්චෝ යනු උතුරු දිග කසක්ස්තානයේ ගම්මානයක දිවි ගෙවූ තැනැත්තෙක්. එක්තරා දිනෙක ඔහු කිසියම් වැඩ කටයුත්තක් සඳහා සිය වාහනයේ නැඟී ළඟ ම නගරයට පිටත් වුණා. එහෙත්, ඔහු ගමට පෙරළා පැමිණියේ නැහැ. අතරමඟ දී ඔහු කිසියම් අද්භූත අත්දැකීමකට මුහුණ දුන්නා.

“මගේ මොළය ක්‍රියා විරහිත වුණා වාගෙ යි. එච්චරයි, මට කිසිම දෙයක් මතක තිබුණේ නැහැ. රෝහලේ දී අවදි වූ විට මට වැටහුණා මං දිගු නින්දකට වැටුණු බව.”

අගෝස්තු 28 වැනිදා ගම්මානයෙන් පිටත් වූ වික්ටර් සිය ගමට නැවත පැමිණියේ සැප්තැම්බර් 02 වැනිදා යි. ඒ අතරතුර කාලය ඔහු සිටියේ කෝමා තත්ත්වයක යි.

කලාචි ගම්මානයේ මිනිසුන් මුහුණ දෙමින් සිටි අබිරහස් නිද්‍රා රෝගයට වික්ටර් කසකෙන්චෝත් ගොදුරු වී සිටියා. ගමනාන්තයට යන අතරතුර ඔහු කලාචි අසලින් ගමන් කළ නිසා ගම්මානයේ ශෝචනීය තත්ත්වයේ බලපෑමට ඔහු යටත් වූ බව සිතිය හැකි යි. 2014-2015 අතර කාලයේ දී කලාචි ගම්මානයේ අබිරහස් නිද්‍රා රෝගය ජාත්‍යන්තර මාධ්‍ය රැසක වාර්තා වූ ප්‍රමුඛ ප්‍රවෘත්තියක් බවට පත් වී තිබුණා.

කලාචි ගම්මානයේ පිහිටීම – www.theguardian.com 

බරපතළ තත්ත්වයක්

 කසක්ස්තානයේ අගනුවර වන අස්ටානා (වර්තමානයේ නූර්-සුල්තාන් ලෙස හඳුන්වන) සිට සැතපුම් තුන්සියයක් පමණ බටහිරට වන්නට මේ ආන්දෝලනාත්මක ගම පිහිටා තිබෙනවා. 2013 දී පමණ ඉස්මතු වූ කලාචි ගමේ අබිරහස් නිද්‍රා රෝගය, 2015 ඔක්තෝබර් මාසය දක්වා ම පැවතුණු බව කියවෙනවා. මෙම රෝගයට ගොදුරු වූවන් මුහුණ දෙන්නේ අධික නිදිමතට පමණක් නොවෙ යි. උදාහරණයක් ලෙස වික්ටර් නිද්‍රා රෝගයෙන් පසු කිසිදු හේතුවක් නොමැති ව රුධිර පීඩනය ඉහළ යෑම, හිසරදය, යන අපසහුතාවලටත් මුහුණ දුන්නා.

 වසර දෙකක් මුළුල්ලේ කලාචි වැසියන් කෝමා තත්ත්වයට පත් වීමේ අත්දැකීම්වලට මුහුණ දුන් අතර, කරකැවිල්ල, ඔක්කාරය, හිසරදයට සහ මතක ශක්තිය නැති වීම වැනි සංකූලතාවලටත් මුහුණ දුන්නා. මෙය ඉතා බරපතළ තත්ත්වයක් වුවත්, රෝගයේ හේතු සාධකය සෙවීම පහසු වුණේ නැහැ.

  රෝගය ප්‍රථම වරට සැලකිය යුතු මට්ටමින් ඉස්මතු වුණේ 2013 වසන්ත ඍතුවේ දී යි. එතැන් පටන් ගම්වැසියන් 120 කට අධික සංඛ්‍යාවක් රෝගයෙන් පීඩාවට පත් වූ අතර, ඇතැම් වාර්තාවල එම ගණන 150 ක් බවත් කියවෙනවා. එය කලාචි ගමේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක පමණ ප්‍රමාණයක්. ඊට පෙර හුදෙකලා සිදුවීම් ලෙස නිද්‍රා රෝගය කලාචි ගම්මානයේ පැවතුණු බවට සාක්ෂි තිබෙනවා. උදාහරණයක් ලෙස 2010 අප්‍රියෙල් මාසයේ දී ලියුබොව් බෙල්කෝවා නමැති කලාචියේ ගම්වැසියෙක් නිද්‍රා රෝගයට ගොදුරු වී තිබුණා.

නිද්‍රා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයෙක් – siberiantimes.com

ඇය වෙළෙඳසලක සේවය කරන අතරතුර පාලනය කළ නොහැකි නිදිමතක් දැනී තිබෙන අතර, සිහි මුර්ඡා වීම නිසා රෝහලකට ඇතුළත් කෙරුණා. ඇය අවදි වුණේ දින හතරකට පසුව යි. වෛද්‍යවරුන් පැවසුවේ ඇය ආඝාත තත්ත්වයකට මුහුණ දුන් බව යි. ඉන්පසු ගම්මානයේ තවත් කාන්තාවන් පස් දෙනෙක් සහ කුඩා දරුවෙක් මෙම තත්ත්වයට මුහුණ දුන්නා. අනතුරු ව නිද්‍රා රෝගය වසංගතයක් මට්ටමට කලාචි ගමේ ඉස්මතු වීම ඇරඹුණා.

ඕනෑම තැනක, ඕනෑම මොහොතක!

කලාචි වැසියන් මුහුණ දුන් නිද්‍රා රෝගයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ එය ඕනෑම වේලාවක සහ ඕනෑම ස්ථානයක වැලඳීමේ හැකියාව යි. මෙහි සිටින මිනිසුන්ට ඔවුන් නිද්‍රාවට පත් වූ මොහොත ගැන කිසිදු මතකයක් නැහැ. කෑම ගනිමින් සිටින විට, ඇවිදින විට සහ ස්නානය කරන විට පවා තද නින්දකට වැටුණු මිනිසුන් මෙහි සිටි බව පැවසෙනවා. ඇතැම් අවස්ථාවල රෝගී පුද්ගලයන් බැලූ බැල්මට ම සිහි කල්පනාවෙන් සිටින බවත් පෙනී ගොස් තිබෙනවා. ඔවුන්ට ඇවිදීමට පවා හැකියාව තිබූ අතර, ඒ අතරේ ම ඔවුන් ගැඹුරු නින්දකට වැටී නින්දෙන් ගෙරවීම සිදු කර තිබෙනවා. එය සිහිනෙන් ඇවිදිනවාට සමාන කළ හැකි යි. ඔවුන් අවදි වූ විට කිසිවක් ඔවුන්ගේ මතකයේ තිබුණේ නැහැ.

 සිදුවන්නේ කුමක්දැ යි හරියාකාර ව නොදැන සිටි ප්‍රදේශයේ වෛද්‍යවරුන් දැඩි පීඩාවකට පත් වූ අතර, රෝගකාරකය සොයා යෑමේ දී ජලය, වාතය සහ අහස පවා ඔවුන් ගේ සැකයට භාජනය වුණා. එතනින් නොනැවතුණු වෛද්‍යවරුන්, ගම්වැසියන් පානය කළ වොඩ්කා නම් මධ්‍යසාරයත් සැලකිල්ලට ගත්තා. වොඩ්කා විස වීමකින් මෙම අද්භූත නිද්‍රා රෝගය ඇති විය හැකි බව ඔවුන් ගේ අනුමාන අතර පැවතීම ඊට හේතුව යි.

යුරේනියම් පතල් පිහිටි හොල්මන් නගරයේ ගරා වැටුණු ගොඩනැඟිලි – www.theguardian.com 

සතුන්ටත් ගැලවීමක් නැහැ

නිද්‍රා රෝගයට වයස් භේදයක් නැහැ. වැඩිහිටි, තරුණ, ළමා සියල්ලන් ම රෝගයේ සංකූලතාවලට මුහුණ දුන්නා. ඇතැම් පුද්ගලයන් සිහින පවා දැක තිබුණා. දුටු සිහින මතකයේ තිබූ ස්වල්ප දෙනකු තම අත්දැකීම් විස්තර කර තිබූ අතර, ඒවා සියල්ල ම පාහේ බියකරු සිහින වීම විශේෂත්වයක්. මිනිසුන් ආශ්‍රයේ සිටි සුරතල් සතුන්ටත් ගැලවීමක් ලැබුණේ නැහැ. එක්තරා ගම්වැසියෙක් සමඟ ජීවත් වූ බළලෙක් හදිසියේ ම උමතුවෙන් මෙන් නිවසේ බිත්ති, ගෘහ භාණ්ඩ සහ නිවසේ සුනඛයාට පහර දුන් බව වාර්තා කර තිබුණා.

වෛද්‍යවරුන් රෝගය හමුවේ ගොඩ නඟා ගත් සියලු පැහැදිලි කිරීම් ප්‍රතික්ෂේප වී යන පසුබිමක වසංගතය මොළයේ රෝග සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන “එන්සෙෆලෝපති” තත්ත්වයක් බව පුළුල් ලෙස පිළි ගැනුණා. එහෙත්, එන්සෙෆලෝපති තත්ත්වයේ සම්භවය හඳුනා ගැනීමට හැකි වුණේ නැහැ.

අවතාර නගරයේ බලපෑමක්..?

 නිද්‍රා රෝගයේ හේතු සාධක සොයා ගෙන යාමේ දී කලාචි ආසන්නයේ තිබෙන වසා දැමූ යුරේනියම් පතලක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එම යුරේනියම් පතල අභාවයට ගොස් තිබුණා. ක්‍රැස්නගොර්ස්ක් ලෙස හඳුන්වන මෙම පතල් නගරයේ 6500 ක පමණ ජනගහනයක් අතීතයේ ජීවත් වූ අතර, කෙමෙන් කෙමෙන් පතල් නගරයෙන් මිනිසුන් ඉවත් ව යාම නිසා එය හොල්මන් නගරයක් බවට පත් වුණා. වසංගතය පැතිරුණු අවධියේ එහි මිනිසුන් 130 වැනි සුළු පිරිසක් ජීවත් වූ බව සඳහන්. කෙසේ නමුත්, කලාචි වැසියන් මුහුණ පා සිටින ඛේදවාචකයට පතල් නගරයේ වැසියන් හසුව සිටියේ නැහැ. යුරේනියම් පතල සක්‍රීය ව පැවති සමයේ එහි කම්කරුවන් නිද්‍රා රෝගයට ගොදුරු වූ බවක් ද වාර්තා වී තිබුණේ නැහැ.

මෙම අබිරහස් තත්ත්වය කසක්ස්තානයේ පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට වැඩි කලක් ගත වුණේ නැහැ. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය කලාචි සහ කලාචි අවට නිවාස 7000කට වඩා පරික්ෂාවට ලක් කළ අතර, ඔවුන් බලාපොරොත්තු වූ අන්දමේ ඉහළ විකිරණ මට්ටමක් හෝ බැර ලෝහ සාන්ද්‍රණයක් හෝ ඒවායේ ලවණ සොයා ගැනීමට අපොහොසත් වුණා. සමහර නිවෙස්වල රේඩියම් මට්ටම ඉහළ ගොස් ඇති බව අනාවරණය වූ නමුත්, සංසිද්ධිය පැහැදිලි කිරීමට තරම් එම සාක්ෂිය ප්‍රමාණවත් වුණේ නැහැ. නින්ද ආශ්‍රිත ආබාධ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබූ වෘත්තිකයන්ටත් ඒ පැනයට සාධනීය පිළිතුරක් තිබුණේ නැහැ.

නිද්‍රා රෝග‍යේ වින්දිතයෙක් – www.dailymail.co.uk 

හේතුව කාබන් මොනොක්සයිඩ්

කසක්ස්තානයේ පිහිටි ජාතික න්‍යෂ්ඨික මධ්‍යස්ථානයේ විකිරණ ආරක්ෂාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ සර්ජි ලුකෂෙන්කෝ, බලපෑමට ලක් වූ සමහර නිවාසවල කාබන් මොනොක්සයිඩ් මට්ටම නිර්දේශිත ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළ බව සොයා ගත්තේ, පරීක්ෂණ පුළුල් ව පැවැත්වෙන අතරතුරේ දී යි. ඉහළ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය “නිදි අසනීප” හා සමාන රෝග ලක්ෂණ මිනිසුන්ට ඇති කරන බව සර්ජි ලුකෂෙන්කෝ පවසා තිබුණා. නිද්‍රා රෝගය සහ විකිරණ අතර ඇති බලපෑම ඔස්සේ පරීක්ෂණ සිදු කරගෙන ගිය විද්වතුන්ට පිළිතුරක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. එසේ නම්, මෙතෙක් සැක කළ හේතු සාධකය වෙනස් කළ යුතු බව ඔවුන්ට වැටහුණා. ඒ අනුව යුරේනියම් පතලෙන් කාබන් මොනොක්සයිඩ් පිටවන අන්දම සොයා ගැනීම ඊළඟ අභියෝගය බවට පත් වුණා.

මෙම අද්භූත රෝගය සොයා ගැනීමට මෙතරම් කාලයක් ගත වීමට හේතුව වන්නේ වායු සංරචකවල මිනුම් බොහෝ විට සාමාන්‍ය අගයේ පවතින බව පෙන්නුම් කිරීම යි. ඒ නිසා වායු සංයුතියේ වෙනසක් නිසා නිද්‍රා රෝගය ඇති වන බව ආරම්භයේ දී අවබෝධ වුණේ නැහැ. කෙසේ නමුත්, කාබන් මොනොක්සයිඩ් කෙරෙහි අවධානය යොමු වූ පසු කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රොකාබන් ඉහළ සාන්ද්‍රණයක් සමඟ ඉතා කුඩා ඔක්සිජන් අගයකින් යුතු අමුතු ම සංයෝජනයක් කලාචි අහසේ වරින් වර නිර්මාණය වන බව පර්යේෂකයන් අනාවරණය කර ගත්තා. එය සිදු වූයේ ද විශේෂ වායුගෝලීය තත්ත්වයන් යටතේ පමණ යි. බොහෝ විට මෙම සංරචක තුන වෙන වෙන ම පවතිමින් සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වූ නිසා සැකයක් පැන නැඟුණේ නැහැ.

කාබන් මොනොක්සයිඩ් වායුව කාන්දු වූ යුරේනියම් පතල් – www.dailymail.co.uk 

 සුවිශේෂී වායු සංයෝජනයේ මූලාරම්භය ක්‍රැස්නගෝර්ස්ක් පතල් නගරය වුවත්, එහි තිබූ යුරේනියම් කලාචි ගමේ රෝගයත් සමඟ සෘජු සබඳකම් පැවැත්වූයේ නැහැ. ඒ අනුව වසර ගණනාවක් මුළුල්ලේ වසා දමා තිබූ යුරේනියම් පතල්වල එකතු වූ කාබන් මොනොක්සයිඩ් වායුවේ බලපෑම වක්‍රාකාරයෙන් කලාචි ගමට දැනුණ බව විද්වතුන් නිගමනය කළා.

උපන් භූමිය අත් හැරීම

2014 නොවැම්බර් අග වනවිට කලාචි ගම්මානය පිහිටා ඇති පරිපාලන දිස්ත්‍රික්කයේ පළමු නියෝජ්‍ය නගරාධිපතිවරයා කලාචි වැසියන්ට නව නිවාස සහ රැකියා සොයා දීමේ වැඩපිළිවෙළක් යෝජනා කළා. ඒ සඳහා ඩොලර් මිලියන ගණනක් වෙන් කිරීමට සිදු වන බවත් ඔහු පැවසුවා. කලාචි පදිංචිකරුවන් ගෙන් බහුතරයක් ප්‍රාදේශීය ඡන්ද විමසීමේ දී නැවත ස්ථානගත කිරීමේ වැඩසටහනට පක්ෂ ව ඡන්දය ලබා දීමට ක්‍රියා කළා. ඒ අනුව 2015 ජනවාරි අග වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කෙරුණු අතර, ජනවාරි 14 වනවිට එක් පවුලකට මහල් නිවාසයක් ලැබුණු බව පැවසෙනවා.

ජනවාරි මාසය අවසානය වෙද්දී තවත් 40 දෙනෙක් කලාචි ගමෙන් ඉවත් කිරීමට කටයුතු සකසා තිබුණා. පෙබරවාරි මාසය එළඹෙන විට තවත් පවුල් කිහිපයකට ඇට්බසාර්, එසිල්, එරීමෙන්ටෝ, යන නගර වල පදිංචි වීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. මෙලෙස නැවත ස්ථානගත කිරීමේ දී රෝගය නිසා කලාචි වැසියන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට බොහෝ කුලී රථ රියදුරන් මැලි වූ බව පැවසෙනවා.

ජන ශූන්‍ය වූ කලාචි – www.dailymail.co.uk 

 රජයේ උපකාරයෙන් හෝ ස්වෝත්සාහයෙන් වෙනත් ප්‍රදේශවලට වැසියන් සංක්‍රමණය වීමට උනන්දු වූ නිසා කලාචි ගම්මානය කෙමෙන් කෙමෙන් ජන ශූන්‍ය වී ගියා. මෙතෙක් බලපෑමක් සිදු නොවූ යුරේනියම් පතල්වලට ආසන්නයේ ම පිහිටි ක්‍රැස්නගොර්ස්ක් නගරයෙනුත් රෝග ලක්ෂණ පහළ වූ මිනිසුන් වාර්තා වීම ඇරඹුණා. ඒ අනුව ක්‍රැස්නගොර්ස්ක් වැසියන් ද නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් පසු වුණා. අවසානයේ දී මෙතෙක් තමාගේ ජීවිත පාලනය කළ නින්ද, නැවතත් ඔවුන්ගේ පාලනයට නතු වූ දින චර්යාවේ කොටසක් බවට පත් කර ගැනීමට කලාචි ගමේ වැසියන් සමත් වුණා.

කවරයේ ඡායාරූපය: ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක කලාචි ගමේ මිනිසුන් නිද්‍රා රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබුණා. (ඡායාරූපයෙන් දැක්වෙන්නේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමණි.)

මූලාශ්‍ර:

 www.theguardian.com 

www.indiatimes.com 

 www.theguardian.com 

Related Articles

Exit mobile version