ඉතා ඈත අතීතයකට විහිදීයන අපේ ගොවිතැන් කටයුතු අද වනවිට පත්ව තිබෙන්නේ ඉතා පහල රැකියාවක් විදියටයි. නමුත් බොහෝ දියුණු රටවල් තමන්ගේ ආර්ථික දියුණුව සලසා ගත්තේ කෘෂිකර්මාන්තය හරහා බව කීවොත් ඔබ පුදුම වේවි. සාම්ප්‍රදායික ගොවිතැන් හරහා යැපෙන දේශීය කෘෂිකර්මාන්තය වෙනස්විය යුතු කාලයක් ලෙස මෙම අවධිය සලකන්න පුළුවන්. ඒ වගේ නව කෘෂිකාර්මික ක්‍රමයක් වන හරිතාගාර තාක්ෂණය පිළිබද තොරතුරු මෙම ලිපියෙහි අඩංගු වී ඇති අතරම එය භාවිතයෙන් සාම්ප්‍රදායික ගොවිතැනට නව මුහුණු වරක් ලබාදිය හැකිවනු ඇත.
හරිතාගාර යොදාගැනීමේ ඉතිහාසය
දිගු අතීතයක් හිමි හරිතාගාර තාක්ෂණය මුල් වරට භාවිතා කරන ලද්දේ රෝමානු ජාතිකයින් විසින් වන අතර ඔවුන් අවාරයේ අස්වනු නෙලාගැනීමට සමත් විය. කාලයත් සමග ක්‍රමයෙන් දියුණු වී අසලවැසි රටවල් අතරද ව්‍යාප්ත වූ අතර එයට නිදසුනක් විදියට වීදුරු වලින් නිම කරන ලද නැවක හැඩය ගත් ක්‍රි.ව. 1800 පමණ එංගලන්තයේ රාජකීය උද්‍යානයේ පිහිටා තිබෙන හරිතාගාරය හදුන්වන්න පුලුවන්.
හරිතාගාර භාවිතයෙන් කෙරෙන කෘෂිකර්මාන්තය
අද වනවිට ලංකාව තුල භාවිතයට හදුන්වාදී ඇති නමුත් තවමත් භාවිතයේ දුර්වලතා බොහොමයක් හා නිසියාකාරව කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අයගේ අවදානයක් දිනානොගෙන තිබෙන නව තාක්ෂණික ක්‍රමයක් විදියට හරිතාගාර හදුන්වාදෙන්න පුලුවන්.
අප රටතුල අද වනවිට මහාපරිමාණ ලෙස එළිමහන් භුමි තුල වගා කටයුතු සිදුකරන වගා ක්‍රමයක් පවතී. නමුත් එම වගාකටයුතු වලදී දේශීය ගොවීන් මුහුණපාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
- කෘමි සතුන්ගෙන් වෙන හානිය
- අමුද්‍රව්‍ය හිගය
- රෝග පැතිරීයාම
- අධික ශ්‍රමික වැටුප්
- පළිබෝධනාශක හා රසායනික පොහොරවල මිල අධිකවීම
- පාලනය කරගත නොහැකි දේශගුණික වෙනස්කම්
- පළදාව එක් කාලයකට පමණක් සීමාවීම.
මේවගේ ප්‍රශ්න බොහොමයකට විසදුමක් විදියට හරිතාගාර යොදාගැනීම කරන්න පුළුවන්.
මොකක්ද මේ හරිතාගාර කෘෂිකර්මාන්තය කියන්නේ?
විවෘත්ත පරිසරයක වගාකටයුතු නොකර එය අපට පාලනය කරගන්න පුළුවන් පරිසරයක සිදුකිරීම හරිතාගාර තුල වගාකිරීම ලෙස හදුන්වාදෙන්න පුලුවන්. මෙහිදී යොදාගන්නේ සරල තාක්ෂණයක්. හිරු එලිය මෙම ගෘහය තුල භාහිර පරිසරයට වඩා කාලසීමාවක් රදවාගතහැකි ලෙස ආවරණ එහා මෙහා පෙනෙන වීදුරු,පොලිතීන් හෝ විශේෂිත ප්ලාස්ටික් යොදාගෙන ආවරණය කරනවා. ගෘහයේ සැකිල්ල ලී වර්ග,ප්ලාස්ටික් හෝ යකඩ බට යොදාගෙන නිම කරනවා. අනෙකුත් අවශ්‍ය සාධක වන ජල සැපයුම, වගා මාධ්‍ය සකසාගැනීම, ආර්ද්‍රතාවය යන කාරණා අපට අවශ්‍ය ලෙස පාලනය කරගන්න පුළුවන්. ලංකාව වැනි රටක පවතින දැඩි හිරු එලිය පාලනය කර ගැනීමටද මෙම ක්‍රමය යොදාගන්න පුළුවන්.
හරිතාගාර යොදා ගෙන ලබාගතහැකි වාසි හා අවාසි
වාසි
- කාන්තාර පරිසරයේවුව වගාකිරීමට හැකිවීම
- අවශ්‍ය උෂ්ණත්වය පාලනය කල හැකි වීම
- අවාරයේ අස්වනු ලබාගතහැකි වීම
- පසේ වෙනස්කම් ඇති ප්‍රදේශවලද වගකලහැකි වීම
- දෙමුහුම් ශාක මෙන්ම මිල අධික වගාවන්ට සුදුසු වීම
- පලිභෝද පාලනය පහසුවීම
- අඩු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වීම
- විවිධ භෝගයන් වගාකල හැකිවීම
- අවශ්‍ය වල්නාශක හා කෘමිනාශක අල්ප වශයෙන් යොදාගැනීම
- ජලය උපරිම ලෙස භාවිතා කිරීමට හැකියාව
- අඩු බිම් ප්‍රමාණයක වගාකළ හැකිවීම
- ලබාගතහැකි අස්වනු ප්‍රමාණය ඉහල වීම
- වගාබිම සකස් කිරීම හා නඩත්තු කිරීමේ පහසුව
අවාසි
- මුලික පිරිවැය අධික වීම
- පරාගනයේ දුර්වලතා
- කෘමි හා රෝග පිළිබද මනා පරීක්ෂාවකින් සිටිය යුතු වීම
- යම් ප්‍රමාණයක තාක්ෂණික දැනුමක් තිබිය යුතුවීම
හරිතාගාර තුල අද වනවිට වගාකරන භෝග වර්ග
දිනෙන් දින දියුණුවන තාක්ෂණය සමග විවිධ භෝගයන් හරිතාගාර තුල වගාකරන අතර වර්තමානය වනවිට වගාව සදහා යොදාගැනීමට සුදුසු භෝග වර්ග කිහිපයක් පහතින් දැක්වෙනවා.
එළවලු හා පළතුරු වර්ග – ගෝවා ,ලීක්ස් ,සලාද ,ළුණු ,තක්කාලි ,මිරිස් (රතු, කොළ, කහ පැහැති විශේෂයන්), කොමඩු , කැකිරි, අල, මිදි, ස්ට්‍රෝබෙරි
මල් වර්ග – රෝස,ඇන්තුරියම්, විදේශීය මල් වර්ග (amazon lilies, African violets, chenille plants, Chinese hibiscus) , ඕකිඩ්
මීට අමතරව විවිධ ඖෂධ පැළෑටි වගාව, සතුන් වර්ග ඇතිකිරීම මෙම හරිතාගාර යොදාගෙන සිදුකරනවා.
ලංකාවේ දැනට හරිතාගාර භාවිතයේ වර්ධනය
අද වනවිට මෙම හරිතාගාර යොදාගැනීම ඉතා පහල මට්ටමක පවතින අතරම සුළු වශයෙන් යොදා ගන්නෙත් අපනයන භෝග වගාවන් වලටයි. තවද බොහෝ විට ගෙවතු වල කුඩා ප්‍රමාණයේ වගාවන් සිදුකරනු ලබනවා. ඇන්තුරියම් වැනි මල් වර්ග සුලු වශයෙන්ද, බෙල් පේපර් (bell pepper) වැනි මිල අධික එළවලු වර්ගද සුළු වශයෙන් වගාකරනු ලබනවා. strawberry (ස්ට්‍රෝබෙරි) වැනි පලතුරුද වගාකිරීම සිදු කරන නමුත් එම වගාවන් මහාපරිමාණ විදියට සිදුකිරීමක් සිදු නොවේ.
ලංකාව තුල බොහෝ විට මල් වගාකර අපනයනය සිදුවන අතරම එය යම් පිරිසකට සිමාවිම නිසාම නිෂ්පාදනයේ අඩුපාඩුවක් පවතිනවා. මෙලෙස මෙරටින් අපනයන කරන මල් වර්ගවලට උදාහරණ විදියට කානේෂන්, ඕකිඩ්, රෝස හදුනාගන්න හැකි වෙනවා. බොහෝවිට මෙයින් විශාල ප්‍රමාණයක් අපනයන කරන අතර දේශිය වෙළදපලටද කොටසක් ලබා දෙනවා.
ලෝකයේ රටවල්වල හරිතාගාර යොදාගැනීම
වර්තමානයේ විදේශීය රටවල් බොහොමයක් හරිතාගාර යොදා කෙරෙන ගොවිතැන් වලට යොමුවී තිබීමෙන්ම මෙම ක්‍රමය අපේ රටට වුවද ඉතා ප්‍රයෝජනවත් තාක්ෂණික ක්‍රමයක් ලෙස හදුන්වන්න පුළුවන්. අද වනවිට බොහෝ රටවල් හරිතාගාර භාවිත කරන අතරම ඉන් පහත සදහන් වන රටවල් මුල් තැන ගන්නවා.
ලෝකයේ විශාලතම හරිතාගාරය ලෙස එංගලන්තයේ පිහිටා ඇති අක්කර 3.9 පුරා පැතිර ඇති ඊඩ්න් ව්‍යාපෘතිය හදුන්වාදෙන්න පුලුවන්.එය උසින් මීටර් 55 හා 100 මීටර් පළල ද දිගින් මීටර් 200 ද වනවා.
නෙදර්ලන්තයේද රටක් විදියට විශාල ප්‍රමාණයක හරිතාගාර පවත්වාගෙන යන අතර එරට භුමි ප්‍රමාණයෙන් 0.25% ක ඉඩක් මෙම වගාකටයුතු වලට යොදාගෙන තිබෙනවා.
තවත් එක් රටක් විදියට ස්පාඤ්ඤය හදුන්වාදෙන්න පුලුවන්.අක්කර 49,000 පුරා එරට හරිතාගාර වගාවන් පැතිරී තිබෙනවා.
රටක් විදියට ලංකාවට හරිතාගාර තාක්ෂනය යොදාගත හැකි ආකාර
රටක් විදියට ලංකාව තුල මෙම ක්‍රමය මගින් බොහෝ ලාභයන් ලගාකර ගන්න පුලුවන්. අද වනවිට ලංකාව තුල කඩාවැටී තිබෙන අපනයන ආර්ථිකය එමගින් ශක්තිමත් කරගන්න හැකි වෙනවා. ඒ වගේම මෙම කෘෂිකර්මාන්තයට නව පරම්පරාව සම්බන්ධ කරගැනීමේ හැකියාවකුත් මේ හරහා රටට ලැබෙනවා.
දිනෙන් දින ඉහළ යන ජනගහනය සමග නිෂ්පාදන ඉහල දැමීමද කලයුතු නිසා හානිය අඩු පලදාව ඉහල මට්ටමක පවතින මෙම ක්‍රමය අපේ රටට ඉතා යෝග්‍ය වනවා. තවද ගෙවතුවල තමන්ට අවශ්‍ය අහාර වර්ග වගාකර ගැනීමටත් මෙම ක්‍රමය හරහා හැකි වන නිසා මෙය ජනතාව හරිතාගාර තාක්ෂනය පිළිබද උනන්දුවක් දැක්විය යුතුම කාලයක් වෙනවා.
මුලාශ්‍ර:
- http://scialert.net/abstract/?doi=ijar.2006.364.372
- https://www.rhs.org.uk/
- http://www.motherearthnews.com/
- http://davesgarden.com/search.xml
- https://schema.org/Article
- Wijerathna Madhavi, Weerakkody W. A. P., Kirindigoda S. Factors Affecting The Discontinuation Of Protected Agriculture Enterprises. The Journal of Agricultural Sciences, 2014, vol.9, No. 2.
- https://en.wikipedia.org/wiki/Greenhouse
කවරයේ පින්තූරය : shutterstock.com