අපි ආදරේ ගැන එක එක විදියේ කතා අහල තියෙනව. ආදරේ විවිධ දේවලට උපමා කරල සිංදු, කවි ලියවිලා, නවකතා ලියවිලා තියෙනවා. මේ හැමදේම අතරේ, ආදරය වෙනස්ම දෙයක් විදියට දැකලා, වෙනස් විදියකට උපමා කළ තරුණයෙක් අපට හම්බෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක් වුණු රත්නපුරයට ආදරේ උපමා කළ චමල් අකලංක පොල්වත්තගේ එක්ක කතාබහකට තමයි මේ සූදානම.
මුලින් මෙහෙම පටන්ගනිමු. චමල් කියන කෙනා ගැන චමල් දකින්නෙ කොහොමද ?
මට මම ගැන අයිඩියා එකක් නෑ. මම කවුද, මොකද කරන්නෙ, ඉස්සරහට මොකක් වෙයි ද කියලා අයිඩියා එකක් නෑ. මම දන්නෙ නෑ තමන් ගැන හැමෝම දැනගෙන ඉන්න ඕනෙම ද කියලා. ඒක එහෙම උනත් මම ගැන මෙහෙමයි කියන්න මම දන්නෙ නෑ. මම වෙනස් වෙනවා. මේ මොහොත තමයි මම. ඊළඟ මොහොතෙ ඉන්නෙ මම කියලා මම දැන් කියන කෙනා නෙමෙයි. එහෙනං මට මම මම ගැන දකින්නෙ මෙහෙමයි කියන්න බෑ. ඔය ටික අරන් කියන්න පුළුවන් චමල් ගැන චමල් දකින්නෙ මෙහෙමයි කියලා.
මේ මොහොතේ චමල්ව කවියෙක් විදියට දැක්කොත්?
ඒක හරියට යාලුවො එක්ක ඉන්නකොට යාලුවෙක්. ක්ලාස් එකකට ගියහම ශිෂ්‍යයෙක්, අම්මා-තාත්තා එක්ක ඉන්නකොට පුතෙක්, පෙම්වතිය ළඟදි පෙම්වතෙක්, කවි ලියනකොට කවියෙක්, නවකතා ලියනකොට නවකතාකරුවෙක්, කෙටි කතා ලියනකොට කෙටිකතාකරුවෙක්, සිංදුවක් කියනකොට ගායකයෙක් වගේ අවස්ථානුකූල දෙයක් විදියට තමයි මම දකින්නෙ.
චමල් මේ වෙනකොට පුවත්පත් තීරු ලිපි රචකයෙක්, සහ දක්ෂ සම්මානලාභී බ්ලොග් රචකයෙක්. බොහෝ වෙලාවට ඒ ලිවීම් වල තිබුණේ දේශපාලනය සම්බන්ධ කරුනු කාරණා. එහෙම චමල්‍ට ඇයි ආදරය ගැන කතා කරන්න හිතුනෙ?
මම හිතන්නෙ ඒ ප්‍රශ්ණෙට උත්තර 4ක් තියනවා.
- ආදරයත් දේශපාලනිකයි. ආදරයට දේශපාලනික කියවීමක් තියනවා. දේශපාලනය ආදරය වෙන එක හොඳ නැද්ද? මම නම් කැමතියි.
- “ආදරේ රත්නපුර වගේ” කියන්නෙ පොතට දාපු නම. ඒක පොතේ කවියක් එක්ක ආව නමක්. නම යෝජනා කළේ විමල් කැටිපෙආරච්චි. ආදරය ගැන කතා කළාම ද කියන්න මම දන්නෙ නැහැ. ආදරය ඇතුළුව තව කතා කළ මාතෘකා ගොඩක් අතරින් ආදරය සම්බන්ධ නමක් දාලා තියනවා. අනිත්වත් ඇතුළුව ඒ කතා කරලා තියන ආදරය සම්බන්ධ සියළු දේවල් හැඟීම්. මට ඕන වුණා ඒවා කියන්න.
- පොත කියවනකොට ඔය ප්‍රශ්නය නිරාකරණය වෙයි කියල මම හිතනව.
- දක්ෂ බ්ලොග් රචකයෙක් නෙමෙයි. බ්ලොග් රචකයෙක්.
ජාතක කතා ස්වරූපයෙන් ලියන එක ගැන චමල්ට විශේෂ හැකියාවක් තියෙනව. නවකතාවකට, කෙටිකතා සංග්‍රහයකට නොගිහින් චමල් ඇයි තමන්ගෙ පළමු පොත කවි විදියට එළිදක්වන්න තීරණය කළේ?
පළමු පොත මෙහෙම වෙන්න ඕනෙ කියලා අදහසක් ඇත්තටම තිබ්බෙ නෑ. අඩු තරමෙ පොතක් ලියන්න ඕනෙ කියලවත් එකක් තිබුණෙ නෑ.
හැබැයි ලියවුණු කවි ටිකක් එකතු වෙලා තිබුණා.
මෙතන තියෙන්නෙ මගේ හැඟීම්. ඒවා කවි ද මොනවා ද කියලා නොදන්නවා වුණාට මම දන්නවා ඒවා මගේ හැඟීම් කියලා. සමහර කවි තියනවා ඒක නොලිව්වනං ඒ හැඟීම් වෙන කරදරකාරි විදිහකින් ඉවර වෙන්න තිබුණු ඒවා. ඉතින් මේ ලියපුවා මොනවා වුණත් මම ඒවට ආදරේ ඒකයි. “මේව කවි ද ඩෝ” කියලා අහගන්න වෙනවා කියලා දැන දැන පොතකට ගන්න ඕන වුණේ ඒකයි. ඒ අහන අයට මම ආදරෙයි. මොකද එයාලා අහන්නෙ එයාලට ඇත්තටම හිතෙන දේ. ඒක පට්ට සාධාරණ යි. මේක කලින් කියවපු බොහෝ දෙනෙක් ඒක කිව්වා. එයාලා දන්නවා මම දීපු උත්තරේ. ඔව් මම ඒක ඔයාටත් වැඩිය හොඳට දන්නවා. මොකද ඒ අය මට කිව්වෙ මේක මේ වෙලාවෙ ප්‍රින්ට් කරලා මට බැනුම් අහගන්නෙ නැතුව තව ඉවසලා එඩිට් කරලා පස්සෙ එලියට දාමු කියලා. එහෙම එයාලා කියන්නෙ අවංකවම මට ආදරේ හින්දා කියලා මම දන්නවා..
නමුත් මට ඕන උනා කියන්න ඔබට ඔබේ හදවතට උත්තර දෙන්න මේකත් ක්‍රමයක් කියලා. ඒ කියන්නෙ මේ අකුරු ටික පිටිපස්සෙ මම විතරක් දන්න ලොකු කතා ගොඩක් තියනවා. එඩිට් කළා නම්, තව හිටියා නම් මේවා ඒ වෙලාවෙ මගෙ හිත ලියපු මගේ හැඟීම් වෙන්නෙ නෑ. ඒවා බොරු ඒවා වෙනවා. කටපුරා කවි පොතක් කියන්න පුළුවන් කවි පොතක් ලියන්න මට පුළුවන් වෙන්න පොඩි ඉඩක් හරි තියෙන්න තිබ්බා තව අවුරුදු දෙක තුනකින් වගේ. දැන් මම කවි ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති හින්දා කවි ගැන හදාරලා එහෙම, ඕනෙ නෑ කියලා හිතුනා. මගෙ හැඟීම් වලට කරන අසාධාරණයක් ඒක.
මම හරිම කැමතියි මිනිස්සු තමන්ගෙ හැඟීම්, මතවාද, හෝ යුද්ධ පවා ආට් වලින් පිට කරනවා නම්. කවි, සින්දු, චිත්‍ර ඔය ඕන දෙයකින් පිටකරනවා නම්. එතකොට මේ කවි හරි මොනාහරි ඇතුලෙ තියනවා මම මගේ හදවත එක්ක කරපු යුද්ධ, මම තව හදවත් එක්ක කරපු යුද්ධ, මගේ සිතිවිලි, මේ ලෝකෙ සිතිවිලි සංකීර්ණ එක්ක කරපු යුද්ධ. මම දන්නෑ මම ඒවා දිනලද පරාදද කියලා. ඒත් මම දන්න එක දෙයක් තියනවා. ඒ මම ඒ යුද්ධෙ කලේ ඒක කළ යුතුම විදිහට කියලා. මට ඕන වුණා ලෝකෙටම ඒක කියන්න.
චමල් හිතන්නෙ නිර්මානකරුවෙකුට සමාජ වගකීමක් තිබිය යුතුයි කියලා ද?
ඒක සාපේක්ශයි නිර්මාණකරුවට. කවුරුහරි නිර්මාණකරුවෙක්ට හිතෙනවා නම් සමාජ වගකීමක් විදිහට එයාගෙ කලානි ර්මාණ කරන්න ඕනෙ කියලා, කිසි ප්‍රශ්ණයක් නෑ. හැබැයි කාටවත් කියන්න බෑ කලා නිර්මාණයක් නම් ඒක අනිවාර්‍යයෙන් සමාජ වගකීමක් සහිතවම විය යුතු ය කියලා.
සරලවම කලාව කියන්නෙ මනුස්සයෙක් තමන්ගෙ හැඟීම් පිටකරන විදිහ. කලා නිර්මාණයක සමාජ වගකීම කියන්නෙ ඒ හැඟීම් පිටවුණාට පස්සෙ ඒක විඳින අය කරන නිර්වචනය. ඒක හින්දා මම පිළිගන්නෙ නෑ එහෙම තිබිය යුතු යි කියලා. ඒ වගේම ඒ නිර්මාණයේ සමාජ වගකීම කියලා එක පිරිසක් දකින දෙය තව පිරිසකට එහෙම නොවෙන්නත් පුළුවන්. එතකොට මොකද කරන්නෙ?
ඒක හින්දා සමාජ වගකීම කියන්නෙ පස්සෙ හදාගන්න දෙයක්. සරලවම මිනිස්සු ආට් කරන්නෙ ආතල් එකට. හැඟීම් පිටකරන්න. අනිත් ඔක්කොම නිර්වචන ඉරි කොටු ඔක්කොම ඊට පස්සෙ.
“ආදරේ රත්නපුර වගේ” එළිදැක්වීම ගැන සඳහනක් කළොත්?
දියත උයන එළිමහන් රංගපීඨයේ දි තමයි එළිදක්වන්නෙ. හැමදාම අපි කතා තුන හතරක් අහනවා. අහලා කාලා බීලා පොත අරන් එනවා. හැබැයි 16 වෙනිදට අපි හැමෝම කතා කරනවා. එන හැමෝම එක්ක කවි, සාහිත්‍යය ගැන කතා කරනවා. හැමෝගෙම අදහස් ගන්නවා. හැමෝටම අදහස් දක්වන්න පුළුවන්. ඒවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මම කැමතියි එහෙම සාහිත්‍යමය හෝ කලාව පිළිබඳ සංවාද විවාද ගොඩනැගෙනවා නම්.
චමල්ට සහෘදයන්ට මොනව හරි කියන්න තියෙනවා ද?
ඒ හැමෝටම ආදරෙයි.
පොත කියවන්න.
හිතෙන දේ කියන්න, බනින්න. විවේචන ලියන්න.