Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ප්‍රකට මුතු හා බැඳි කතා

මෑත අතීතයේ දී ධනවත් බව පෙන්නුම් කිරීම සඳහා දියමන්ති ආභරණයන්ගෙන් සැරසුණු කාන්තාවන් ඈත අතීතයේ දී ඒ සඳහා යොදා ගත්තේ මුතු ඇට යි. ජීවත් ව සිටින මුතු බෙල්ලෙකුගේ සිරුර තුළට ඇතුළු වන වැලි කැටයක් වටා සුමුදු පටක පටලයක් තැන්පත් වීමෙන් නිර්මාණය වන මුතු මූලික වශයෙන් කැල්සියම් කාබනේට්වලින් සමන්විත වෙනවා.

(gemstonebuzz.com)

සාමාන්‍යයෙන් පරිපූර්ණ මුතු ඇටයක් රවුම් හැඩයෙන් යුක්ත වුව ද බැරොක් මුතු (baroque pearls) ලෙස හඳුන්වනු ලබන විවිධ හැඩයන් යුතු මුතු ඇට ද දක්නට ලැබෙනවා. අනර්ඝ නිමාවකින් යුක්ත ස්වභාවික මුතු සියවස් ගණනාවක් පටන් ම මැණික් හා සමාන වටිනාකමකින් යුතු, ස්වභාව ධර්මයේ අති විශිෂ්ට නිමැවුමක් ලෙස යි සැලකෙන්නේ.

මුතු මැණික් ඉතිහාසය සිසාරා බැලීමේ දී හමු වන, ලෝක වාසීන්ට දැක ගැනීමට ලැබුණු ප්‍රසිද්ධ මුතු ඇට කිහිපයක් ගැන තොරතුරු යි මේ.

(news.nationalgeographic.com)

අල්ලාහ්ගේ මුතු ඇටය (Pearl of Allah)

අදටත් ලෝකයේ විශාලත ම මුතු ඇටයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන අල්ලාහ්ගේ මුතු ඇටය පිලිපීනයට අයත් පලවාන් දූපත ආශ්‍රිත මුහුදේ දී සොයා ගන්නා ලද්දේ 1934 වසරේ දී යි. ජටාවක් බැඳගත් මිනිස් හිසක හැඩයෙන් යුතු මෙම මුතු ඇටය, අල්ලාහ් දෙවිඳුන් ව නිරූපණය කිරීම සඳහා වෙස් වලා ගන්නා ලද නබිතුමාගේ ස්වරූපයක් බව විශ්වාස කෙරුණා. මුස්ලිම් ධීවරයන් විසින් මෙය ‘අල්ලාහ්ගේ මුතු ඇටය’ ලෙස නම් කරනු ලැබුවා.

ඊට වසර කිහිපයකට පසු ව ධීවර ගම්මානය පුරා පැතිර ගිය මැලේරියා වසංගතයෙන් ගමේ ප්‍රධානියාගේ එක ම පුතු දැඩි ලෙස රෝගාතුර වුණා. ඔහු ව මරණයෙන් බේරා ගැනීම වෙනුවෙන් කරන උපහාරයක් විදිහට මෙම අල්ලාහ්ගේ මුතු ඇටය ඇමෙරිකානු ජාතික විල්බර්න් කොබ් වෙත තෑගි කර තිබෙනවා.

(huanqiujiemi.com)

1939 දී විල්බර්න් කොබ් විසින් අල්ලාහ්ගේ මුතු ඇටය ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන එනු ලැබුවා. නිව්යෝක් හි ස්වභාව ඉතිහාසය පිළිබඳ ඇමෙරිකානු කෞතුකාගාරයේ දී සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරු ව එය කිලෝග්‍රෑම් 6.1 ක බරකින් සහ අඟල් 9.45 ක දිගකින් යුක්ත වන බව ද, එය ස්වභාවික ව නිර්මාණය වූ අව්‍යාජ මුතු ඇටයක් බව ද තීරණය කර තිබෙනවා.

කොබ්ගේ මරණයෙන් පසු ව විවිධ අවස්ථාවල දී අල්ලාහ් මුතු ඇටය විවිධ මිල ගණන් යටතේ වෙන්දේසි කෙරුණා. අවසන් වරට නිව්යෝක් හි රිප්ලි කෞතුකාගාරයේ පැවති වෙන්දේසියක දී අල්ලාහ්ගේ මුතු ඇටයේ වර්තමාන වටිනාකම ඇස්තමේන්තු කරන ලද්දේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක් ලෙසට යි.

හෝප් මුතු ඇටය (Hope Pearl)

වසර 4,000 කට පමණ පෙර පර්සියානු බොක්ක ආශ්‍රිත මුහුදේ දී හෝ රතු මුහුද ආශ්‍රිත පෙදෙසේ දී සොයා ගන්නට ඇතැයි සැලකෙන හෝප් මුතු ඇටය, සියවස් ගණනක නිහඬතාවයකින් පසු ව ඉංග්‍රීසි ජාතික හෙන්රි ෆිලිප් හෝප් අතට පත් වෙන්නේ 1795 දී ඕලන්දයේ ඈම්ස්ටඩෑම් නුවර දී යි. බැරොක් මුතු ඇටයක් ලෙස සැලකෙන හෝප් මුතු ඇටය කැරට් 450 (එනම් ග්‍රෑම් 90) ක පමණ බරකින් යුක්ත වන අතර තඹ පැහැයේ සිට සුදු පැහය දක්වා දිව යන වර්ණ රැසකින් සමන්විත වෙනවා.

(gioiellis.com)

1839 දී හෙන්රි ෆිලිප් හෝප්ගේ මරණයෙන් පසු ව ඔහුගේ මුතු එකතුව වෙන්දේසි කරනු ලැබුවා. එහි දී නාඳුනන ගැනුම්කරුවෙකු විසින් මිල දී ගන්නා ලද හෝප් මුතු ඇටය 1975 වසරේ දී එවකට මහා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා විසින් මිල දී ගෙන තිබෙනවා. පසු කාලීන ව ඔහු නැවතත් නාඳුනන ඉංග්‍රීසි ජාතික ගැනුම්කරුවෙකු සඳහා එය අලෙවි කර තිබෙනවා. වර්තමානයේ දී අයිතිකරුගේ අවසරය මත ලන්ඩන් හි ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇති හෝප් මුතු ඇටයේ සැබෑ හිමිකරු කවුද යන්න අදටත් රහසක්.

බිග් පින්ක් මුතු ඇටය (Big Pink Pearl)

1990 වසරේ දී කැලිෆෝනියාවේ පෙටලූමා හි දී සොයා ගන්නා ලද බිග් පින්ක් මුතු ඇටය, කැරට් 470 (ග්‍රෑම් 94) ක පමණ බරකින් යුක්ත වන අතර අලංකාර රෝස පැහැයකින් සමන්විත වෙනවා. මුතු ඇට අතර කලාතුරකින් දක්නට ලැබෙන රෝස පැහැය හේතුවෙන් වගේ ම මෙම බිග් පින්ක් මුතු ඇටයේ ඇති විශාලත්වය නිසාත් 1991 වසරේ දී එහි වෙළඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 4.7 ක් ලෙසට ඇස්තමේන්තු කර තිබෙනවා.

බිග් පින්ක් මුතු ඇටයේ වත්මන් හිමිකරු වන්නේ ද 1990 දී මුල් වරට එය සොයා ගත් ඇමෙරිකානු ජාතික වෙස්ලි රැන්කින් නම් තැනැත්තා ම යි.

ලා පෙරෙග්‍රිනා මුතු ඇටය (La Peregrina Pearl)

(alux.com)

‘සංචාරයේ යෙදෙන්නා’ නැතහොත් ‘වන්දනාකරු’ යන අරුතින් ලා පෙරෙග්‍රිනා ලෙස නම් කරන ලද මෙම මුතු ඇටය 1513 දී පැනමා බොක්ක ආශ්‍රිත මුහුදේ දී සොයා ගෙන ඇත්තේ නීග්‍රෝ ජාතික වහලෙක් විසින්. සුදු පැහැයෙන් යුතු මෙම මුතු ඇටය කැරට් 55.95 බරකින් යුක්ත වූ අතර සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසු ව එය ස්පාඤ්ඤ රජ කිරුළ හැඩ ගැන්වීම සඳහා යොදා ගෙන තිබෙනවා.

කලක් ස්පාඤ්ඤ රජ පෙළපත සතු වූ ලා පෙරෙග්‍රිනා මුතු ඇටය 1554 දී දෙවැනි ෆිලිප් රජු විසින් මංගල ත්‍යාගයක් ලෙස එංගලන්තයේ පළමු වැනි මේරි රැජිනට ලබා දුන් අතර ඇගේ මරණයෙන් පසු ව යළිත් වරක් එය ස්පාඤ්ඤයට ලබා දී තිබෙනවා. ඉන් පසු ව ගත වූ‍ සියවස් තුනක පමණ කාලය තුළ දී ප්‍රංශය, ඇමෙරිකාව, පෘතුගාලය සහ එංගලන්තය (නැවත වරක්) කරා සංචාරය කිරීම හේතුවෙන් තමයි මෙම මුතු ඇටයට ‘ලා පෙරෙග්‍රිනා’ යන නම ලැබුණේ.

(superyachts.com)

1969 දී ඉංග්‍රීසි ජාතික රිචඩ් බර්ටන් විසින් ඔහුගේ බිරිඳ වූ බ්‍රිතාන්‍ය නිළි එලිසබෙත් ටේලර් වෙනුවෙන් ලා පෙරෙග්‍රිනා මුතු ඇටය මිල දී ගත් අතර ඇය මුතු, දියමන්ති සහ පද්මරාග යොදා ගනිමින් නිර්මාණය කරන ලද මාලයක පෙන්ඩනය ලෙස එය යොදා ගත්තා. ඇගේ මරණයෙන් පසු ව 2011 වසරේ පැවති වෙන්දේසියක දී එය අලෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11 කට යි.

හොංකොං හි රාජකීය මුතු ඇටය (The Imperial Hong Kong Pearl)

(thejewelleryaffair.wordpress.com)

හොංකොං හි රාජකීය මුතු ඇටය නොහොත් මහ මුහුදේ ආශ්චර්ය (Miracle of the Sea) යනුවෙන් හඳුන්වනු ලබන මෙම මුතු ඇටය 1908 වසරේ ඇගේ මරණය දක්වා ම පැවතුණේ චීන අධිරාජිණියක් වූ “සිසී” සන්තකයේ යි. ප්‍රමාණයෙන් කුඩා කුරුලු බිත්තරයක් තරම් වන මෙම මුතු ඇටය ඇගේ මරණයෙන් පසු ව චීන රාජකීය අවමංගල චාරිත්‍රවලට අනුව ඇගේ මුඛයේ තැන්පත් කර භූමදාන කර තිබෙනවා.

රීදි පැහැය මිශ්‍රිත සුදු පැහැයෙන් යුතු හොංකොං හි රාජකීය මුතු ඇටය කැරට් 127.5 (ආසන්න වශයෙන් ග්‍රෑම් 25.5) ක බරකින් යුක්ත යි. පසු කාලීන ව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් මෙම මුතු ඇටය යළි ගොඩ ගෙන ඇති අතර 1940 දී පමණ එය ඇමෙරිකානු ජාතික ජොසෆ් ගෝල්ඩ්ස්ටෝන්ට අලෙවි කර තිබෙනවා. එය තවමත් ඔහුගේ මුතු එකතුවේ ඇති වටිනා ම මුතු ඇටයක් ලෙසයි සැළකෙන්නේ.

මූලාශ්‍ර :

  1. pearlsofjoy.com
  2. thejewelleryaffair.wordpress.com
  3. internetstones.com
  4. en.wikipedia.org

කවරයේ පින්තූරය (dreamicus.com)

Related Articles