Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධනාත්මක ධනවතා

ධනවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. කොහොම නමුත් ධනවත් වෙන එක නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම තමන්ගේ පවුල් පසුබිමෙන් හෝ පාරම්පරිකව ලැබුණු විශාල ධනයක් නැති නම්, සුවිශේෂී දක්ෂතාවක් නැති නම්, බුද්ධිමත්ව කටයුතු කරලා මුදල් උපයා ගත්තේ නැතිනම්, වාසනාව නිසා යමක් ලැබුණේ නැතිනම් ධනවතෙක් වෙන්න තියෙන එකම ක්‍රමය දේශපාලනය විතරයි කියලා කතාවක් තිබෙනවා.

ධනාත්මකව සිතන එක, තමන් ගැන විශ්වාසය තියා ගන්න එක දියුණු වෙන්න වැදගත් ලක්ෂණයක් කියලා නිතරම සැළකෙනවා. නමුත් ඒ දෙක විතරක් තිබීම සෑම විටම ධනවතෙක් බිහි කරන්න සමත් වෙනවා කියන්න අපහසුයි. ඒත් තමන්ට යම් විශේෂ හැකියාවක් ඇති බවත්, කුමක් සිදු වුණත් තමන් ගැන ස්‌වයං විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බවත් අනෙක් අයට ඒත්තු ගන්වන්න හැකියාව තිබෙනවා නම් එය දියුණු වෙන්න විශාල උදව්වක් කරගන්න පුළුවන්.

(hrinasia.com)

කොහොම නමුත් සීමාව ඉක්මවා එය සිදු කිරීම සැබෑම වංචාවක් කියලා සළකන්න පුළුවන්ද? අතිශයෝක්තියෙන් තමා ගැන කතා කරන්න නීතිමය වශයෙන් බාධාවක් නැති නිසා ඒ ගැන විවිධ අය විවිධ අදහස් දරනවා. කොහොම නමුත් ඒ වැඩේ කරලා කෙනෙකුට සැබෑම ධනවතෙක් වෙන්නත්, ලෝකයේ ලොකුම බලවතාගේ පුටුවේ වාඩි වෙන්නත් හැකියාව තියෙන බවට හොඳ උදාහරණයක් තිබෙනවා. ඒ තමයි වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිත කතාව.

මුල් කාලයේ සිට දේපළ ඉදිකිරීම් හිමිකරුවෙක් දක්වා.

1946 ජූනි 14 වැනිදා ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් උපත ලැබුවේ ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ක්වීන්ස් ප්‍රදේශයේ ධනවත් පවුලකට දාවයි. නිව්යෝක්හි තරමක් ජනාකීර්ණ බැවින් අඩු පෙදෙසක් වූ ක්වීන්ස්හි දේපළ සංවර්ධනය කර අලෙවි කරන ව්‍යාපාරයක හිමිකරුවා වූ ඔහුගේ පියා වන ෆෙඩ්‍රික් ට්‍රම්ප් ඒ කාලයේ ප්‍රදේශයේ සිටි ඉහළම ධනවතෙක්. කුඩා කාලයේ සිටම සුඛෝපභෝගී දිවියක් ගෙවූ ඩොනල්ඩ් ට්‍රම්ප් වයස 13 දී නිව්යෝක් හමුදා පාසලට ඇතුළත් වුණා. ඔහු පසුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි ජනප්‍රිය ව්‍යාපාරික විද්‍යාලයක් වූ වෝටන් ව්‍යාපාරික විද්‍යාලයෙන් තම උපාධිය ලබා ගන්නේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙනුයි.

ට්‍රම්ප් හමුදා පාසලේ ඉගෙනුම ලබන අවධියේ (cnn.com)

1968 දී තම ආර්ථික විද්‍යා උපාධිය ලබා ගත් සැණින් ඩොනල්ඩ් ට්‍රම්ප් තම පියාගේ ව්‍යාපාරය වූ “එළිසබෙත්, ට්‍රම්ප් සහ පුත්‍රයා” (E. Trump & Son) වෙත එක වුණා. ෆෙඩ්‍රික් ට්‍රම්ප් 1964 දී මිල දී ගෙන තිබුණු ඔහායෝ ප්‍රාන්තයේ සින්සිනාටි පෙදෙසේ ස්විෆ්ටන් නැමැති ස්ථානයක තිබුණු මහල් නිවාස සංකීර්ණයක් සංවර්ධනය කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවරුණු මුල්ම කටයුත්තයි. ඒ කටයුත්ත හොඳින් සිදු කර තමන්ගේ පියාගේ සිත දිනා ගන්න ඩොනල්ඩ් සමත් වෙනවා. කොහොම නමුත් එහි නිවාස විකිණීමේදී කළු ජාතිකයන්ට නිවෙස් විකිණීම ප්‍රතික්ෂේප කළ බවටත් පසුව චෝදනා ඇති වෙනවා. පසුව ඇති වුණු පුද්ගලික එකඟතාවක් මත ඒ චෝදනාව ඉල්ලා අස් කර ගැනෙනවා. 1971 දී ඩොනල්ඩ් ට්‍රම්ප් “එළිසබෙත්, ට්‍රම්ප් සහ පුත්‍රයා” ව්‍යාපාරයේ සභාපති තනතුර ලබා ගැනීමෙන් පසුව එය ට්‍රම්ප් සංවිධානය ලෙස නම් කරනවා.

ට්‍රම්ප් සංවිධානයේ ප්‍රචාරණය පාදක කරගත් ක්‍රියාකාරීත්වය

කොහොම නමුත් කළු ජාතිකයන්ට ඔවුන්ගේ අනෙක් මහල් නිවාස ව්‍යාපෘතිවලත් කළු ජාතිකයන්ට නිවෙස් ලබා ගන්න ඉඩ නොදෙන බවට පසුව චෝදනා එල්ල වෙනවා. 1973 සිට 1975 දක්වා මේ සිද්ධියට ලැබෙන්නේ විශාල මාධ්‍ය ආවරණයක්. එයට ප්‍රධාන හේතුවක් වුණේ ෆෙඩ්‍රික් ට්‍රම්ප්ගේ හිතවත්ම නීතීඥයා වූ රෝයි කොහෙන් (Roy Cohn) නිතරම පුවත් මවන සාකච්ඡා ලබා දෙන්නට කටයුතු කිරීමයි. ඒ නිසා ට්‍රම්ප් පවුල ගැනත්, ඔවුන්ගේ ව්‍යාපාරය ගැනත් විශාල අවධානයක් යොමු වෙන්න ගත්තා.

ට්‍රම්ප්ගේ චින්තනය හැඩ ගැස්වූ බව සැලකෙන රෝයි කොහෙන් (vanityfair.com)

1975 දී මේ චෝදනාව සාමකාමීව විසඳා ගැනුණත් එයින් පසුව හොඳ හෝ නරක මාධ්‍ය ආවරණය කෙසේ හෝ තමන්ගේ දියුණුවට යොදා ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිසේත් පසුබට වුණේ නැහැ. 1977 දී ඉවානා සෙල්නිකෝවා නැමැති නිරූපිකාව සමග සිදු වූ ඔහුගේ මුල්ම විවාහයටත් විශාල ප්‍රචාරයක් දෙන්න ට්‍රම්ප් කටයුතු කළා.

අභියෝග භාර ගන්න කැමැත්තක් තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පියා වැඩි උනන්දුවක් නොදැක්වූ, නිව්යෝක් නුවර ඉහළම පැලැන්තියේ පිරිස් වෙසෙන මැන්හැටන් ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදි කිරීමටත් 1978 දී අත ගැසුවා. ඔහුගේ මුල්ම ව්‍යාපෘතිය වුණේ එහි තිබූ Commodore නමැති හෝටලය නවීකරණය කිරීමයි. එහි 50% ක කොටස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණය මුදල ලබා ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පියාත්, Hyatt හෝටල් ජාලයත් ඇප වීම නිසා අපහසු වුණේ නැහැ. ඉතාම අලංකාරව නවීකරණය කිරීමෙන් පසුව එය 1980 දී Grand Hyatt හෝටලය නමින් විවෘත වුණා.

ට්‍රම්ප් ගොඩනැගිල්ල

නිව්යෝක්හි Grand Hyatt හෝටලය අද (archpaper.com)

ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ මුල්ම විශාල ව්‍යාපෘතියෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්න කටයුතු කළා. සාමාන්‍ය දේපළ ඉදිකිරීම් සමාගම්වල ප්‍රධානීන්ට වඩා වෙනස්ව ඔහු නිතරම පුවත්පත් සාකච්ඡා ලබා දෙමින් හොඳ ප්‍රචාරණයක් ලබා ගත්තා. මේ කටයුතුවලින් Grand Hyatt හෝටලයටත් හොඳ ප්‍රචාරණයක් ලැබීමත් එක්ක එය කෙටි කලකින් විශාල ආදායමක් උපයන්නත්, හොඳ සන්නාමයක් බිහි කරගන්නත් සමත් වුණා. අද වන විට මේ හෝටල් ජාලය ශ්‍රී ලංකාවත් ඇතුළුව බොහෝ රටවල ව්‍යාප්ත වී තිබෙනවා.

තරමක් අමුතු ක්‍රමයක් අනුගමනය කිරීමෙන් හොඳ සාර්ථකත්වයක් ලබා ගත් ට්‍රම්ප් සංවිධානය වෙත ඉදිකිරීම් ඉල්ලීම් වේගයෙන් ගලා එන්න ගත්තා. Bonwit Teller නැමැති අලෙවි මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මිල දී ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් එය ඩෝසර් කර දමා අදටත් ඔහුගේ ව්‍යාපාර අතර ඉහළින්ම තිබෙන ට්‍රම්ප් ගොඩනැගිල්ල 1983 වර්ෂයේදී ඉදි කර අවසන් කළා. අනන්‍ය හැඩයක් සහිතව, අලංකාරය ගැනත්, විචිත්‍රත්වය ගැනත් විශාල උනන්දුවක් දක්වමින් ඉදි කරන ලද ට්‍රම්ප් ගොඩනැගිල්ලේ මහල් නිවාසයක් ලබා ගන්න ධනවතුන් බොහෝ දෙනෙක් පොර කන බවට ප්‍රචාරය කරන්නත් ට්‍රම්ප් අමතක කළේ නැහැ. මේ ගැන ලැබුණු විශාල ප්‍රචාරණය ට්‍රම්ප් ගොඩනැගිල්ලේ මුල් කාලීන සාර්ථකත්වයට ප්‍රධාන හේතුව බව කියවෙනවා.

අමුතු හැඩයකට හැදුණු ට්‍රම්ප් ගොඩනැගිල්ල හා කුළුණ (kinja-img.com)

නිව්යෝක්හි අයිස්මත ලිස්සා යන ක්‍රීඩාගාරය

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න ප්‍රධානතම හේතුවක් වුණේ නිව්යෝක්හි සෙන්ට්‍රල් පාක් උද්‍යානයේ අයිස් මත ලිස්සා යන ක්‍රීඩාගාරයයි. 1980 දී එය නවීකරණය කරන්න නිව්යෝක්හි නගර කවුන්සිලය තීරණය කළේ වසර දෙක හමාරක කාලයකට එය වසා දමමින්. කොහොම වුණත් 1986 වසරේ මැයි මාසය වනතෙක් එය සාර්ථකව කරගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. පසුව එයට තවත් මාස 18 ක් සහ ඩොලර් මිලියන 3ක මුදලක් අවශ්‍ය බවට ඔවුන් කීමත් සමග විශාල මහජන අප්‍රසාදයක් ඇති වෙන්න ගත්තා. එයින් උපරිම ප්‍රයෝජන ගන්න ට්‍රම්ප් කටයුතු කළා. මාස 6 ක් තුළ තමාට එය ඉදි කළ හැකි බවත්, නැති නම් මුදල් අවශ්‍ය නැති බවත් ඔහු ප්‍රචාරය කර හැරියා.

ඔහුට වැඩේ භාර දෙන්න කවුන්සිලය තීරණය කිරීමෙන් පසුව කැනේඩියානු ආයතනයකට අතිරේක කොන්ත්‍රාත් ලබා දී එය මාස 4 ක් තුළ ඉදි කරන්න ට්‍රම්ප් සංවිධානය සමත් වුණේ අපේක්ෂිත වියදම වූ ඩොලර් මිලියන 3 කින් හතරෙන් එකක පමණ මුදලකටයි. එය ගොඩනංවන අවස්ථාවලත්, විවෘත කිරීමේදීත්, ඉන්පසුවත් කවුන්සිලයේ නොහැකියාව සහ තම සංවිධානයේ සාර්ථකත්වය හොඳින් උළුප්පා දක්වන්න ඔහු අමතක කළේ නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක්හි අයිස් ක්‍රීඩාගාරය විවෘත කරමින් (bloomberg.com)

මේ හැම දෙයක් අතරතුරදීම ට්‍රම්ප් කියන නම යොදා ගනිමින් ඒ හැම දෙයක්ම තමන්ගේ බව ප්‍රදර්ශනය කරන්න ට්‍රම්ප් හැමවිටම උත්සාහ ගත්තා. ඔහු එකල ටැබ්ලොයිඩ් මැගසීන්වල ජනප්‍රියම තාරකාවක් බවට පත් වුණේ ඒ අනුවයි. තමන්ව “බිලියනපති ව්‍යාපාරිකයා” ලෙස හඳුන්වන තාක් තමන් ගැන හොඳ හෝ නරක කවර දෙයක් පළ කරත් කමක් නැති බව ඔහු විවිධ මාධ්‍යවේදීන්ට කියා තිබෙනවා. සැබෑවටම ඔහු එකල බිලියනපතියෙක් නොවුණත් ඒ තුළින් ඔහු හොඳ ප්‍රචාරයක් ලබා ගත්තා.

ට්‍රම්ප් ව්‍යාපාරය පුළුල් වීම සහ සහ සන්නාමයක් මවට පත් වීම

ට්‍රම්ප් කියන නම සන්නාමයක් බවට පත් කරගන්නත් ඔහු කටයුතු කළේ එයින් පසුවයි. නිතරම ටැබ්ලොයිඩ් සඟරාවල තමන් ගැන පුවත් පළ වෙන තැනට කටයුතු සළසන්න උත්සාහ ගත්තා. සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට එහා ගිහින් නිතරම මාධ්‍ය ආවරණය ලැබෙන කටයුතුවලට සහභාගී වෙමින් ට්‍රම්ප් කියය සන්නාමය දියුණු කරගන්න ඔහු කටයුතු කළා. බොහෝ දුරට හොලිවුඩ් නළු නිළියන්ට සහ ප්‍රසිද්ධ ගායකයන්ට, ක්‍රීඩකයන්ට සීමා වී තිබුණු උත්සව අවස්ථාවලටත් සහභාගී වෙමින් ජනප්‍රියයෙක් (celebrity කෙනෙක්) බවට පත් වෙන්නත් ඔහුට හැකි වුණා.

1985 දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Mar-a-Lago උද්‍යානය මිල දී ගන්නත්, 1986 දී Harrah’s at Trump Plaza හෝටලය සහ කැසිනෝව ආරම්භ කරන්නත් ඔහුට හැකියාව ලැබෙනවා. Mar-a-Lago උද්‍යානය ඉහළ පෙළේ සමාජ ශාලාවක් ලෙස දියුණු කළ ට්‍රම්ප් තමන්ගේ කැසිනෝ ව්‍යාපාරයේ ලාභවලින් තවත් කැසිනෝ ආරම්භ කළා. ඒ අතරින් ප්‍රධානම වුණේ ඇට්ලෑන්ටික් සිටිහි Trump Taj Mahal නැමැති කැසිනෝවයි. ඩොලර් බිලියනයක් ඉක්මවා වැය කර නවීකරණය කෙරුණු මේ කැසිනෝව ඔහුගේ පසුකාලීන ආර්ථික ගැටලුවලටත් ප්‍රධාන හේතුවක් වුණා.

ට්‍රම්ප් ටජ් මහල් කැසිනෝව (abcnews.com)

පසුව 1988 නිව්යෝක්හි Plaza හෝටලය මිල දී ගත් ඔහු තමන්ගේ බිරිඳ වූ ඉවානා එහි කළමනාකරුවා බවට පත් කළා. මිලියන 50 ක් පමණ වැය කර එය අලංකාරව නවීකරණය කළ ට්‍රම්ප් ඒ ගොඩනැගිල්ල හැඳින්වූවේ මොනා ලීසා නමින්. තමන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වයෙන් සහ මාධ්‍ය ඉදිරියේ තාරකාවක් වගේ පෙනී සිටීමෙන් ලබා ගත්තු ජනප්‍රියත්වය නිසා ඔහු පසුව විවිධ දේ ආරම්භ කළා. Trump Shuttle නමින් ගුවන් සේවාවක්, කැසිනෝවල සිට එන යන අය වෙනුවෙන් Trump Princess නම් සුඛෝපභෝගී යාත්‍රාවක්, ගොල්ෆ් සමාජ ගණනාවක් ඇතුළු බොහෝ දේ ඔහු තම සන්නාමය දියුණු කරගන්න යොදා ගත්තා. 1988 දී Trump: The Art of the Deal නැමැති පොත එළි දැක්වීමෙනුත් ඔහු විශාල ආදායමක් ලබා ගත්තා. Wrestling ක්‍රීඩාවටත් ඔහු කළමනාකරුවෙක් ලෙස නිතර දායක වුණා.

ව්‍යාපාරික පසුබෑම සහ සන්නාමය මත යැපීම

කොහොම වුණත් 1990 දශකයේදී ඔහු පසුබෑම් ගණනාවකට මුහුණ දුන්නා. ඔහු සතු සියලුම කැසිනෝ වරින් වර බංකොලොත් තත්ත්වයට පත් වෙන්න ගත්තා. ඔහුගේ දේපළ ව්‍යාපාරයේ ආදායමත් ඒ තරම් හොඳ වුණේ නැහැ. කොහොම නමුත් ඒවා සියල්ල එකිනෙකින් ව්‍යුක්ත සමාගම් විදිහට පවත්වාගෙන ගිය නිසා ට්‍රම්ප් කිසි දිනක පෞද්ගලික වශයෙන් බංකොලොත් වුණේ නැහැ. ඔහුගේ කැසිනෝ, හෝටල්, ගුවන් සේවාව, යාත්‍රා ඇතුළු ඇප ලෙස තබා තිබූ බොහෝ දේ විකුණා දමන්න ඔහුට සිදු වුණා. මේ අපහසු කාලයේදී ඔහුගේ පියා රහසේ ට්‍රම්ප්ට උදව් කළ බවටත් වාර්තා තිබෙනවා.

ට්‍රම්ප් Home Alone 2 චිත්‍රපටයේ (huffingtonpost.com)

කොහොම නමුත් ඔහු ටැබ්ලොයිඩ් හරහා ගොඩ නගාගෙන තිබුණු ජනප්‍රියත්වයෙන් ට්‍රම්ප් මේ කාලයේ හොඳින් ප්‍රයෝජන ගත්තා. Home Alone 2, The Little Rascals ඇතුළු ජනප්‍රිය චිත්‍රපටවල කුඩා කොටස්වලට දායක වෙමින් ඔහු දිගින් දිගටම මාධ්‍ය අවධානය ලබා ගත්තා. 1992 දී ඔහු මාලා මේපල්ස් (Marla Maples) නැමැති කාන්තාව සමග අනියම් ඇසුරක් පවත්වන කතාවට විශාල ප්‍රචාරණයක් ලැබුණා. ඒ වන විටත් ඉවානා සමග විවාහය ගැටළු සහගත වීම නිසා පැතිරෙන මේ කටකතාවලින් හිතාමතාම ප්‍රචාරයක් ලබා ගන්නත් ඔහු උත්සාහ ගත්තා. පසුව ඔහු මාලා මේපල්ස් සමග කෙටි විවාහයකටත් ඇතුලත් වුණා.

තමන්ගේ ට්‍රම්ප් කියන සන්නාමය විවිධ දේ සඳහා අලෙවි කරමින් ආදායම් ලබා ගන්නත් ට්‍රම්ප් සමත් වුණා. ඒ අතර වයින් වර්ග, ස්ටේක් (හරක් මස්වලින් තැනෙන මස්වුලක්) වර්ග, රෙදිපිළි, සුවඳ විලවුන් ඇතුළු බොහෝ දේ තිබුණා. ට්‍රම්ප් නාමය ගොඩනැගිලි සහ ව්‍යාපාරවලටත් ලබා දීමෙන් ඔහු ඒවා තමා සතු බව ඒත්තු ගන්වන්නත් කටයුතු කළා.

ට්‍රම්ප්ගේ නමින් වයින් බෝතල් (abcnews.com)

The Apprentice සහ යළි නැගී සිටීම

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් සාර්ථක වෙන්න ගත්තේ 2003 දී ආරම්භ වුණු The Apprentice නැමැති රියැලිටි වැඩසටහනෙන් පසුවයි. බිලියනපතියෙක් වූ ට්‍රම්ප්ගේ ව්‍යාපාරයේ පුහුණු සේවා නියුක්තිකයෙක් වෙන්න අවස්ථාව ලබා දෙන මේ වැඩසටහන තුළින් තමන්ගේ සන්නාමය නිතරම උලුප්පා දක්වන්න ට්‍රම්ප් කටයුතු කළා. රූගත කිරීම් වෙනුවෙන් ට්‍රම්ප් ගොඩනැගිල්ල රන් ආලේපිත විශේෂාංගවලින් පුරවා එහි මහාර්ඝ බව හොඳින් දක්වන්නත් එහිදී කටයුතු කෙරුණා. ට්‍රම්ප්ගේ ධනවත් ජීවිතය ගැන රියැලිටි වැඩසටහනක් හරහා ප්‍රචාරය වීමත් එක්ක එහි ජනප්‍රියත්වය හරහා නැවතත් තමන් ධනවතෙක් බව ප්‍රචාරණය කරගන්න ට්‍රම්ප්ට හොඳ හැකියාවක් ලැබුණා. ඒ තුළින් ට්‍රම්ප් ව්‍යාපාරවලට ඉහළ ආකර්ෂණයකුත්, ට්‍රම්ප් සන්නාමයට ඉහළ මිලකුත් ලබා ගන්න ඔහු කටයුතු කළා.

ට්‍රම්ප්ගේ The Apprentice වැඩසටහන ඔහුව යළිත් මාධ්‍ය අවධානයට ගෙන ආවා (wsj.net)

පසුව ඒ ඇසුරෙන්ම ව්‍යාපාරික රහස් කියා දෙන Trump University නැමැති ව්‍යාපාරික පුහුණු වැඩසටහනක් ආරම්භ කරන්නත් ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් කිහිප දෙනෙක් යොදා ගෙන කටයුතු කළා. ඩොලර් 35000ක් ගෙවා එයට සහභාගී වෙන අය වෙත ප්‍රචාරණය කෙරුණේ ට්‍රම්ප් තෝරා ගන්නා දේශකවරු එයට සහභාගී වන බවයි. කෙසේ නමුත් එය ඇත්තෙන්ම ට්‍රම්ප්ගේ සන්නාමය පමණක් යොදා ගත්, උපාධියක් නොවන සහතිකයක් පමණක් ලබා දෙන ආයතනයක් බව පසුව හෙළි වුණා. පසුව මෙයට එරෙහිව නඩු ගණනාවක් පැවරීමත් එක්ක ඩොලර් මිලියන 25 ක් ගෙවන්නත් ඔහුට සිදු වුණා.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සහ වංචාකාරී බව ගැන අදහස්

2016 ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඩොනල්ඩ් ට්‍රම්ප් උපයෝගී කර ගත්තේ තමන්ගේ මාධ්‍ය දැනුමයි. ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින්, තමන්ගේ ගුවන් යානයෙන් ප්‍රචාරණ කටයුතුවලට යාම ආදියෙන් ඇමරිකාවට අවශ්‍ය දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන අදහස ඒත්තු ගන්වන්නත්, නොමිලේ මාධ්‍ය ආවරණය ලබා ගන්නත් ඔහු කටයුතු කළා. මාධ්‍යවලට මුදල් උපයන්න ජනප්‍රිය තොරතුරු පළ කළ යුතුයි කියන කටුක සත්‍යය හොඳින් භාවිත කරමින් ඔහු අනපේක්ෂිත විදිහට අවසානයේ ඇමරිකානු ජනාධිපතිවරයා බවටත් පත් වුණා.

ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් (sputniknews.com)

ඩොනල්ඩ් ට්‍රම්ප් වංචනිකයෙක් කියා කියන්න හේතු බොහොමයි. නමුත් මෙතෙක් කතා කරපු බොහෝ වංචාවන්ට වඩා ඔහුගේ ක්‍රමය ඉතාම වෙනස්. තමන් ගැන අතිශයෝක්තියෙන් කතා කරන්න, නිතරම විශ්වාසයෙන් හිතන්න, හිතන්නත් අපහසු අභියෝග භාරගන්න, ප්‍රතිවාදීන් මානසිකව බිඳ දමා ජයග්‍රහණය ලබා ගන්න ඔහු ගෙන ගිය වැඩ පිළිවෙල ඉතාම ආන්දෝලනාත්මක වුණත් ඍජුව ඔහු නීතිය කඩ කළ අවස්ථාවක් ඔප්පු කර පෙන්වන්න තවමත් හැකි වෙලා නැහැ. කොහොම නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව ලොකුම මාධ්‍ය අවධානයක් “වංචා” කළ කෙනෙක් විදිහටත්, එයින් ලොකුම පුටුවට ගිය කෙනෙකු විදිහටත් ඉතිහාසයට එකතු වෙන එක නම් අවිවාදිතයි.

කවරයේ රූපය : starobserver.com.au

Related Articles