Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන්ට, යෞවනයන්ට, වැඩිහිටියන්ට ලෝකය ජයගන්න අත දෙන අමාලියා

අධ්‍යාපනය කියන දේ වැදගත්කම පිළිබඳව අද වෙනකොට නිතරම කතාබහට ලක් වෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත අනුව, අධ්‍යාපනය ලැබීම මෙරට උපත ලබන ඕනෑම කෙනෙකුගේ අයිතිවාසිකමක්. කොහොම වුණත් ඒ අයිතිවාසිකම නිසි ලෙස ආරක්ෂා වෙනවා ද කියන එක නම් ගැටළුවක්. කලාපයේ රටවල් එක්ක සැසඳුවොත් ඉතාම හොඳ මට්ටමක තිබුණත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට පවතින පහසුකම් ගැන තවමත් 100%ක්ම සෑහීමකට පත් වෙන්න බැහැ.

අධ්‍යාපනය කිව්වාම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ පාසල් අධ්‍යාපනය ගැන වුණත්, ඇත්තෙන්ම එය ජීවිතය පුරාම ලබා ගන්නා, ලබා ගත යුතු දෙයක්. සාමාන්‍ය පාසල් දරුවන්, උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් පමණක් නෙවෙයි, යම් යම් කායික අපහසුතා තිබෙන දරුවන්, අනාගතය ගොඩනගා ගන්නට වෙහෙසෙන යෞවනයන් වගේම අපේම වැඩිහිටියනුත් අධ්‍යාපනයේ හිමිකරුවන් බවට පත් කිරීම අපේ රටේ වගකීමක්.

මේ මහඟු කර්තව්‍යයට උරදෙන ආයතනයක් තමයි අමාලියා පදනම කියන්නේ.

අමාලියා පදනම ක්‍රියාත්මක වෙන්නේ “ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් වීම සියලු දෙනාගේම අයිතියකි”, සහ “අවස්ථාව තිබේ නම් ඕනෑම අයෙකුට සමාජයට යහපතක් සිදු කළ හැකිය” කියන ප්‍රතිපත්ති දෙක පදනම් කරගෙන යි. ඕනෑම කෙනෙකුට තමන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න වඩාත්ම උපකාරී වන්නේ අධ්‍යාපනය බව අමාලියා විශ්වාස කරනවා. කෙනෙකුට සමාජයට වැඩදායී පුද්ගලයෙකු වීමේ දී වයස හෝ ආබාධිතබව බාධාවක් නොවන වටපිටාවක් ඇති කිරීම අමාලියා පදනමේ අරමුණ යි.

ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් බොහොම යි. ඒ අතරින් enable, empower සහ encore තුන් විධ ව්‍යාපෘති මාලාවන් ප්‍රධාන වෙනවා.

දරු නැළවිලි නෑසෙන දරුවන්ට අත්වැලක් දෙන Enable

facebook.com/Amaliya-Foundation

කතා කිරීමේ හෝ ඇසීමේ දුර්වලතා ඇති දරුවෙකු පිටතින් හඳුනාගන්න අපහසු නිසා ඔවුන් අලුතෙන් හමු වන හැම කෙනෙකුගෙන්ම වේදනාත්මක සමාජ අත්දැකීම් බොහොමයකට මුහුණ දෙනවා. ඒ අවස්ථාවල අපහසුවෙන් හැසිරෙන තමන්ගේ කුඩා දරුවා දකින දෙමව්පියන්ට දැනෙන වේදනාව මොන තරම් ද? ඒ වගේ දෙමව්පියන්ට, දරුවන්ට ශක්තියක් වෙමින් ඇසීමේ හා කතා කිරීමේ අඩුපාඩු මැඩගෙන ජීවිතය ගොඩ නගා ගන්නට අමාලියා පදනමේ Enable තුළින් හොඳ දායකත්වයක් ලබා දෙනවා.

ශ්‍රවණ ආබාධිත වයස අවුරුදු 5 ට අඩු දරුවන් පාසල් ජීවිතයට සූදානම් කිරීම තමයි Enable වැඩසටහනේ ප්‍රධාන අරමුණ. මෙහි පළමු අදියරේ දී ළදරු අවධියේ සිටම ඔවුන්ගේ ආබාධය නිසා ඇතිවන අනිසි බලපෑම අවම කිරීම, එදිනෙදා කටයුතු සහ නිවසේ ක්‍රියාකාරකම් යොදාගෙන ඔවුන්ට භාෂා හා කතා කිරීමේ දැනුම ලබා ගන්න උදව් විය යුතු අයුරු කියා දීම සිදු වෙනවා. දෙවන අදියරේ දී වයස අවුරුදු දෙක හමාරේ සිට පහ දක්වා දරුවන් සඳහා සන්නිවේදනය ගොඩනගා ගන්නා ආකාරය, අදහස් ප්‍රකාශ කිරීමේ විධික්‍රම වගේම, මූලික ගණිත සංකල්ප සහ ලිවීමේ, කියවීමේ හැකියාවන් දියුණු කර ගන්නා ආකාරය ගැනත් පුහුණුවක් ලබා දීම සිදු වෙනවා.

Enable ක්‍රියාත්මක වෙන්නේ අමාලියා පදනමේ “ධ්වනි” භාෂා විෂය නිර්දේශය යටතේ යි. ඇසීමේ සහ කතා කිරීමේ ගැටළු සහිත දරුවන්ට මඟ පෙන්වීම සඳහා අමාලියා පදනම හා එක් වී සිටින ගුරුවරුන් සියලුම දෙනා

ඉන්දියාවේ ශ්‍රවණ ආබාධිත දරුවන් පුහුණුව සඳහා වූ බාල විද්‍යාලයේ පුහුණුව ලබා තිබෙනවා.

facebook.com/Amaliya-Foundation

අනාගතය ජය ගන්නට සිටින යොවුන් වියේ දරුවන් සවි බල ගන්වන Empower

ලෝකයත් එක්ක බැලුවත් කරට කර සිටින දක්ෂයන්ගෙන් ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ කිසිදු අඩුවක් නැහැ. නමුත් නිසි අවස්ථාව, මඟ පෙන්වීම නොලැබීම නිසා ඔවුන්ට මඟහැරී යන දේවල් නම් බොහොම යි. යොවුන් වියේ දරුවෙකු ලබන අධ්‍යාපනය, ලබා ගන්නා අත්දැකීම් සහ ගොඩනගා ගන්නා ආකල්ප ඔවුන්ගේ මුළු ජීවිතයම හැඩ ගස්වන්නට සමත් බව වටහා ගැනීම ඉතාම වැදගත්. මේ කාර්යයට අතහිත දෙන්නට අමාලියා පදනමේ Empower ඇප කැප වී සිටිනවා.

මේ යටතේ ඔවුන් සිදු කරන ප්‍රධානතම ව්‍යාපෘතියක් වන්නේ සරසවි සිසුන්ට උපදේශන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම තමන්ගේ විශ්වවිද්‍යාල පන්ති කාමර තුළ ලබා ගන්නා අධ්‍යාපනය අධ්‍යාපනය රැකියාවකට සුදුසු ලෙස හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම, රැකියා ලෝකයට අවශ්‍ය මෘදු කුසලතා ගොඩ නැංවීම, රැකියා වෙළඳපොළ තුළ ඉදිරියට යාමට අවශ්‍ය වන සහ සමාජය තුළ යහපත්, සාර්ථක පුරවැසියෙකු වීමට අවශ්‍ය ආකල්ප ගොඩනැංවීමත් මේ තුළින් සිදු වෙනවා. Jetwing Hotels, Nestle, Slimline, Slimtex, සහ Thurulie වැනි ආයතන මේ සඳහා අමාලියා සමග අත්වැල් බැඳගෙන සිටිනවා. Empower හරහා වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 200කටත් වඩා වැඩි පිරිසක් මේ උපදේශන හා පුහුණු වැඩමුළුවලට සහභාගී වී තිබෙනවා.

facebook.com/Amaliya-Foundation

වැඩිහිටියන්ට නව ලෝකයේ ආගන්තුක බව මග හරවන Encore

අද කාලේ ඩිජිටල්කරණය වූ හා තාක්ෂණයෙන් උසස් වූ උපාංගත්, ඒවා භාවිතය නිසා පහසු වී ඇති සේවාත් බහුලව දැක ගන්න පුළුවන්. මේවා නිසා අද වන විට අපේ ජීවිතය මොන තරම් පහසු, කාර්යයක්ෂම හා ඵලදායී වී තිබුණත් ඒවායේ ආගන්තුක බව, ඒවා වටහා ගත නොහැකි බව නිසාම අපහසුතාවන්ට ලක් වන වැඩිහිටියන් මොන තරම් සිටිනවා ද? අමාලියා පදනමේ Encore තාක්ෂණය නිසා තමන් නූතන සමාජයෙන් මඟහැරී ගොස් ඇති බව වැඩිහිටියන් හට දැනීම වළක්වන්න පෙරමුණ ගෙන සිටිනවා.

facebook.com/Amaliya-Foundation

මේ යටතේ වැඩිහිටියන් හට පරිගණක, අන්තර්ජාලය, සහ වෙනත් තාක්ෂණික උපාංග භාවිතය ගැනත්, එන්න එන්නම ඒවා භාවිතයට ගැනීම වැඩි වන බැංකු කටයුතු, වෙළඳසැල්, සන්නිවේදන සේවා ආදිය භාවිතය ගැනත් නිසි පුහුණුවක් ලබා දෙන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක යි. එසේම වැඩිහිටියන් හට කායිකව මෙන්ම මානසිකවත් ක්‍රියාකාරීව, ශක්තිමත්ව සිටීමට අවශ්‍ය වටපිටාවක් සලසා දෙන සුහද වැඩමුළු, පන්ති සහ සාකච්ඡා වැඩසටහන් ද මෙහි දී සංවිධානය කෙරෙනවා. ස්වේච්ඡාවෙන් මේ වෙනුවෙන් සිය දැනුම, පුහුණුව සහ කාලය වැය කිරීමට කැමති පිරිස් සහ ඒ ගැන දැනුම ලබා ගැනීමට කැමති වැඩිහිටියන් සම්බන්ධ කරන වේදිකාවක් වීමටත් අමාලියා පදනමේ encore කටයුතු කරනවා.

ඔබේ දායකත්වයත් ලබා දෙන්න

අමාලියා පදනමේ උතුම් සමාජ සත්කාරයෙන් වැඩි පිරිසකට ඵල නෙලා ගැනීමට ඒ පිළිබඳව තොරතුරු ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්. ඉතින් ඔබත් අමාලියා තුළින් පිහිටක් ලබන්නට කැමති අයෙකු හඳුනනවා නම් ඔවුන් වෙත මේ ගැන දැන ගන්නට ඉඩ සලස්වන්න. ඒ වගේම ඔබට කැමති නම් මේ සඳහා ගුරුවරයෙක්, සම්පත් දායකයෙක් ලෙසත් එක් වීමට හැකියාව තිබෙනවා.

මේ වැඩසටහන් පිළිබඳවත්, අමාලියා පදනමේ කටයුතු පිළිබඳවත් ඔබට amaliyafoundation.com වෙබ් ලිපිනය හරහා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැනගත හැකියි. අමතර කරුණු විමසීමක් අවශ්‍ය නම් දුරකථන අංක 0770 419284 ඔස්සේ හෝ [email protected] යන ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වීමටත් අවස්ථාව තිබෙනවා. අමාලියා පදනම පිහිටා ඇත්තේ කොළඹ 05, R.A. ද මෙල් මාවතේ අංක 18 දරන ස්ථානයේ යි.

කවරයේ රූපය : facebook.com/Amaliya-Foundation

Related Articles