“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මළවුන් අතර ය. අප මරුවන් අතර ය”, ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. “ආනන්ද සමරකෝන්” යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙකු නැත. මන්ද, පාසල් යන කාලයේ පටන්ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ බව අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුණේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුණේ කිනම් ඉරණමක් ද? ඒ වග සොයා බලමු.
අප රට විවිධ කාලවල දී විවිධ ජාතීන්ගේ ග්‍රහණයට නතුව තිබුණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අප සිටි කාලයේ ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍යයේ ජාතික ගීය වන “ගෝඩ් සේව් ද කිං” ය. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වීම උදෙසා නිදහස් සටන් ගෙන ගිය කාලයේ දී සිංහලයන් විසින් “දින දින දිනෙ දිනෙ සිරිලක ජාතික ආලේ” නම් වූ, එස්.මහින්ද හිමියන් විසින් රචනා වූ ගීයක් ජාතික ගීය ලෙස භාවිතා විය. ඉන්පසු ඇම්.ජී. පෙරේරා හා සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විසින් රචිත ගීත දෙකක් ද ජාතික ගී ලෙස භාවිතා විය. එනිසා එකල ජාතික ගීය ලෙස නිශ්චිතව සැවොම පිළිගත් එකක් නොවීය.
මේ නිසා 1948 වසරේ ජනවාරි මාසයේ දී ලංකා ගාන්ධර්ව සභාව විසින් ජාතික ගීය තේරීමේ තරගයක් පැවැත්වුණි. මෙහි තේරීම් කමිටුව සඳහා ද්‍රවිඩ විනිසුරුවන් ද ඇතුලත් විය. එස්.එල්.බී. කපුකොටුව, එල්.එල්.කේ. ගුණතුංග, ලයනල් එදිරිසිංහ, පී.බී. ඉලංගසිංහ, ආචාර්ය ඕ.එම්.ඩී.ඒ. විජයසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර යන අය එහි වූ සිංහල විනිසුරුවන් ය.
තරගය සඳහා බොහෝ ගීත ඉදිරිපත් වුව ද සෑහීමකට පත්විය හැකි ගීයක් ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා වෙනත් අයෙකු ලවා ජාතික ගීයක් නිර්මාණය කරවාගැනීම කමිටුවේ අදහස විය. විනිසුරු මඩුල්ලේ ආරාධනාව යොමු වූයේ එම මඬුල්ලේම සාමාජිකයෙකුව සිටි පී.බී. ඉලංගසිංහ වෙත යි. ඒ අනුව ඔහු විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව ජාතික ගීයක් රචනා කළේ ය. පළමු නිදහස් උළෙලේ දී ගායනා කළ මෙම ගීය “ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා” වූ අතර ලයනල් එදිරිසිංහ විසින් එය සංගීතවත් කළේ ය. මෙයට එකල රුපියල් දෙදහසක ත්‍යාග මුදලක් හිමි විය.
ජාතික ගීයේ සංගීතඥයා හා පද රචකයා යන දෙදෙනාම විනිසුරු මඬුල්ලේ සිටි සාමාජිකයන් වූ නිසා එයට ජනතා විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් ජාතික ගීය සඳහා වෙනත් ගීතයක් සෙවීමට වෙහෙස වූ විනිසුරු මඬුල්ල, ඒ වන විට “දේශාභිමාන ගීයක්” ලෙසින් තිබූ ආනන්ද සමරකෝන්ගේ “නමෝ නමෝ මාතා” ගීතය තෝරා ගත්තේ ය.
ආනන්ද සමරකෝන් විසින් මෙම ගීය ලියන්නේ ඔහු චන්ද්‍රා සෙනෙවිරත්න නම් තම පළමු බිරිය සමග ඉන්දියාවට ගොස් තාගෝර්ගේ සංගීතය හදාරා නැවත ලංකාවට පැමිණි පසුව යි. සංගීතය හදාරා යැයි කීව ද ඔහුට අහවර කරගත හැකි වූයේ එම අධ්‍යාපනයෙන් අඩක් පමණි. ඔහු ලංකාවට ආ පසු උපතින් ලැබූ ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් යන නම “ආනන්ද සමරකෝන්” ලෙස වෙනස් කර, එතෙක් අදහමින් සිටි කතෝලික දහමෙන් බුදු දහමට යොමු විය.
ඔහු මෙම ගීය 1940 වසරේ ඔක්තෝබර් විසිවෙනි දින ලිවීම ආරම්භ කරයි. එසේ එය ලියා අවසන් කර, එකල ඔහු උගන්වමින් සිටි මහින්ද විද්‍යාලයේ ළමයින්ට ද මෙම ගීතය ඉගැන්වීය. මාර්ටින් වික්‍රමසිංහ හට මෙහි ගුණ දොස් බැලීමට දුන් විට එහි කිසිඳු දොසක් ඔහු පැවසුවේ නැති බව සමරකෝන් කියයි. මෙය තරමක් ජනතාව අතරට යන්නේ ඔහු විසින් රචිත ‘කුමුදුනී’ නම් කෘතියට මෙම ගීතය ඇතුළත් කිරීම හරහා ය. එයින් ලද ප්‍රසිද්ධිය නිසා එච්.එම්.වී. ගීත තැටි සමාගමේ ගීත තැටියක් සඳහා ද මෙම ගීතය ඔහු විසින් ලබාදී
ජාතික ගීය ලෙස සමරකෝන්ගේ ගීය තෝරාගත් කාලයේ ඔහු සිටියේ ඉන්දියාවේ ප්‍රදර්ශන පවත්වමිනි. ඔහුගේ ගීතය ජාතික ගීය ලෙස තේරීපත් වුණ බව ඔහුට දැන්වුවත් ඔහු ලංකාවට පැමිණියේ නැත. එම නිසා 1949 දෙවන නිදහස් උළෙලේ අමාත්‍ය කමිටුවේ ප්‍රධානත්වය දැරූ, එවකට මුදල් අමාත්‍ය වූ ජේ.ආර්. ජයවර්ධන හට මෙම ගීතය කා ලවා පුහුණු කරවන්නේදැ යි ප්‍රශ්නයක් හට ගත්තේ ය. ඔහු ඒ සඳහා මර්සලින් ජයකොඩි පියතුමාව තෝරා ගත්තේ ය.
මර්සලින් ජයකොඩි පියතුමා හමුවීමට ගිය ජේ.ආර්.ජයවර්ධන මෙම යෝජනාව පියතුමා හට ඉදිරිපත් කළ විට ඔහු එයට බොහෝ සෙයින් කැමති විය. මෙම ගීතය මියුසියස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් ලවා පුහුණු කරවීමට වූ යෝජනාවට ද පියතුමා කැමැත්තෙන් එකඟ විය. 1949 වසරේ ජාතික නිදහස් දින උත්සවයේ දී මෙම ගීතය ගැයුව ද එයට නිල පිළිගැනීම ලැබුනේ 1951 වසරේ දී ය. එහි නිල ප්‍රකාශය නිකුත් කළේ 1952 වසරේ මාර්තු මස 12 වෙනි දින ය. මුල දී ජාතික ගීයට නිශ්චිත තනුවක් තිබුනේ නැත. 1953 වසරෙන් පසුව මෙයට නිශ්චිත තනුවක් නිර්මාණය කර ඒ තනුව අනුව පළමුවරට ගායනා කිරීමට සීදුව අන්ධ විද්‍යාලය, ගුවන් විදුලි පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා යුධ හමුදා අපරදිග තූර්ය වාදන කණ්ඩායම සහභාගි විය. අලුත් තනුව අනුව ජාතික ගීය පළමු වරට තැටිගත වූයේ 1954 වසරේ දී යි.
ජාතික ගීය නිර්මාණය වෙනුවෙන් ආනන්ද සමරකෝන් හට රුපියල් එක්දහස් දෙසිය පනහක මුදලක් දීමට රජය සූදානමින් සිටියේ ය. එහෙත් මෙම ගීතය ‘කුමුදුනී’ නම් ගීත සංග්‍රහයේ එන ගීයක් වූයෙන් එහි ප්‍රකාශක වූ මරදානේ ටී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන මහතා විසින් එම මුදල හිමි විය යුත්තේ තමාට බව පවසමින් උසාවියෙන් ඉල්ලීමක් කළේ ය. අවසානයේ දී විනිසුරු විසින් පොත් ප්‍රකාශකයාට පක්ෂව තීන්දුව ලබා දී “නීතියට අනුව කරුණු මෙහෙම වුණත් මේක ජාතික නිර්මාණයක් නිසා මුදලින් භාගයක්වත් සමරකෝන් මහතාට දුන්නොත් හොදයි නේද?” යි පැවසීය. පොත් ප්‍රකාශක පවසා සිටියේ මුල සිටම ඔහු මුදලින් අඩක් සමරකෝන් හට ලබා දීමට කැමැත්තෙන් සිටි බවයි.
පළමු බිරියගෙන් දරුවන් නොලද සමරකෝන් හට දෙවෙනි බිරියගෙන් ලැබුණු පළමු පුත්‍රයා ද වසර කිහිපයකින් පසු රෝගාතුරව මියයයි. “නිවී පහන නිවී ගියා” ගීතය ඔහු රචනා කරන්නේ එම ශෝකය නිසාවෙනි. 1956 දී බලයට පත් බණ්ඩාරණායකගේ අදහසකට අනුව ‘සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය’ පිහිටවූ අතර එහි අරක්ගෙන සිටි නිලධාරීන් විසින් සමරකෝන් හට ලබා දුන්නේ ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර ධූරයකි. වසර දෙකකට පසු එහි පත් වූ නව සභාපතිනිය විසින් සමරකෝන්ව අහේතුකව සේවයෙන් නෙරපයි. ඉන්පසු ගුවන් විදුලියේ දොර ඔහු වෙනුවෙන් විවෘත වුව ද එයත් 1959 දී වැසී ඔහුව දොට්ට දමන්නේ ගෙවන්න මුදල් නැති බව පවසමිනි. තමන්ට ජීවත්වන්නට ආදායමක් නැති බවත්, තමන්ට කුමක් හෝ රස්සාවක් ලබා දෙන ලෙසත් සංස්කෘතික අමාත්‍යංශයට ලිපි ලීව ද ඔහු ලද ප්‍රතිචාරයක් නැත.
රටක ජාතික ගීයේ නිර්මාතෘ යැයි කී විට ඔහුට හෝ ඇයට හිමිවන්නේ ඉහළ ගෞරවයකි. එහෙත් සමරකෝන් ජීවත්ව සිටි කාලයේ ඔහුට එම ගෞරවය හිමි වූයේ නැත. මෙම සියලුම කරණා නිසා ඔහු බොහෝ කලකිරීමෙන් සිටියේ ය. ඔහුගේ කලකිරීම දෙගුණ තෙගුණ කළේ තමන් ලියූ ජාතික ගීය තමන්ගේ අවසරයෙන් තොරව වෙනස් කිරීම යි. සමරකෝන් ලියූ ජාතික ගීය ආරම්භ වන්නේ ‘න’ අක්ෂරයෙනි. ‘න’ අක්ෂරය අපාය අක්ෂරයක් යැයි පවසමින් ආරම්භයට ‘ශ්‍රී ලංකා මාතා’ යැයි යොදා සංශෝධනය කෙරිණි.
තමන්ගේ නිර්මාණ තමුන්ට නොදන්වා වෙනස් කිරීම් නිසා ද බොහෝ සිත් තැවුලට පත් වී සිටි සමරකෝන් 1962 වසරේ මාර්තු මස දෙවෙනි දින තම මවගේ උපන්දින සාදයට සහභාගි වීමෙන් අනතුරුව, නිවසට පැමිණ ලබාගත්තේ නැවත අවදි නොවන නින්දකි. අසල කාමරයේ සිටි බිරිඳ ඔහුගේ කාමරයේ දොර කඩා බලන විට සමරකෝන් නිද්‍රාසන්නව සිටි අතර, අසල අරක්කු බෝතලයක්, සිගරට් කොටයක්, හා නිදි පෙති කුප්පියක් ද විය.
නිදිපෙති 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගැනීම සමරකෝන්ගේ මරණයට හේතුව යැයි දොස්තර ඇම්.මනෝදරන් විසින් පෙන්වා දෙන ලද නමුත්, මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී.කිරුචෙල්වම් තීරණය කරන ලදී. එසේ කරනු ලැබුවේ ජාතික වීරයාගේ මරණය හෑල්ලු නොකිරීමට බව කියැවේ.
සමරකෝන් මියයාමට කලකට පෙර ජාතික ගීයේ පද වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙසේ සටහන් කළේ ය. “මෙයින් මගේ සිත තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදාමුත් කෙළවර වන්නේ මගේ මරණයෙන් පමණක් බව මම දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත්පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවනවාට වඩා මෙම මොහොතේම මියයෑම සැපතකි”
මූලාශ්‍රයයන්: විජය, දිවයින, ලංකාදීප, රිවිර පුවත්පත්