ඕනෑම ක්‍රියාවක් සිදුකිරීමේ යම්කිසි පිළිවෙළක් තිබෙනවා. යුද්ධයක දීත් එවන් පිළිවෙළක් හෝ පිළිවෙතක් අනුගමනය කිරීමට තිබෙන්නේ ද යන ප්‍රශ්නයත් ඔබට කවදා හෝ ඇතිවී ඇති.
බැලූ බැල්මට පෙනෙන්නේ යුද්ධයකදී පිළිවෙළක් අවශ්‍ය නොවන බව. සතුරාට එරෙහිව ඕනෑම ක්‍රියාදාමයක නිරත වී සතුරා පරාජය කළ හැකි බව. නමුත් යුද්ධ කිරීමටත් පිළිවෙළක් පවතිනවා. යුද්ධයේ දී පවා පිරිය යුතු පිළිවෙතක් පවතිනවා. අන්තර්ජාතික මානුෂවාදී නීතිය බිහි වන්නේම යුද්ධවලින් ඇති වන අහිතකර බලපෑම් පාලනය කිරීමට, අවම කිරීමට. යුද්ධ කරන පුද්ගලයන්ටත් සදාචාරය හා බද්ධිත සීමා හඳුන්වා දීමට.
යුද්ධයකට සිමා අවශ්‍ය වන්නේ ඇයි?
යුද්ධය සදාචාරාත්මක ක්‍රියාවක් නොවුණත්, විවිධ පාර්ශවයන් අතර ඇතිවන යුද්ධ හේතුවෙන් සිවිල් වැසියන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කිරීමට මෙකී නෛතික රාමුව සකස් කිරීමේ අවශ්‍යතාව විද්වතුන් විසින් හඳුනාගත්තා. පිළිවෙළක්, පිළිවෙතක් නොමැතිව යුද්ධ කිරීම හේතුවෙන් සාමාන්‍ය වැසියන්ට මුහුණ දීමට සිදු වූ අහිතකර තත්ත්වයන් දුටු වගකිව යුතු පුද්ගලයන්, යුද්ධයක් පවතින අවස්ථාවන්හි දී පිළිපැදිය යුතු නෛතික මූලිකාංග මොනවාදැ යි ‘අන්තර්ජාතික මානුෂවාදී නීතිය’ යටතේ තීරණය කිරීමට ඒ අනුව කටයුතු යෙදුවා. යුද්ධයකට සම්බන්ධ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයුධ දරන්නන් සතුව පවතින වගකීම කවරාකාර වන්නේ ද යන්න හඳුන්වාදීම මෙකී නෛතික රාමුව යටතේ සිදු කෙරෙනවා. යුදමය වාතාවරණයක් තුළ ක්‍රියාවට නැංවිය යුතු රීතීන් සහ මූලධර්මයන් ඒ අනුව මෙකී විෂය ක්ෂේත්‍රය යටතේ සාකච්ඡාවට ලක් කෙරෙන අතර, මනුෂ්‍යත්වය මත පදනම්ව යුදධයේ බලපෑම් අවම කිරීම එකී රීතීන් සහ මූලධර්මයන්ගේ අරමුණ යි.
මොනවා ද මේ නීති?
අන්තර්ජාතික මානුෂවාදී නීතියේ මූලිකාංග තීරණය වන්නේ මූලධර්මයන් දෙකක් මත. ඉන් පළමු මූලධර්මය වන්නේ තවදුරටත් එදිරිවාදීව කටයුතු නොකරන්නෙකු හෝ කිසිවිටෙකත් එදිරිවාදී නොවන්නෙකුට ආරක්ෂාව හිමි විය යුතු බව යි. දෙවන මූලධර්මය වන්නේ යුද්ධයක දී යුධ කිරීමේ ක්‍රමය තෝරාගැනීමේ අයිතිය සහ එසේ තෝරාගන්නා යුදමය ක්‍රම කිසිදු පාර්ශවයකට සීමා වී නොමැති බව. අන්තර්ජාතික මානුෂවාදී නීතිය අන්තර්ජාතික පොදු නීතියෙහිම කොටසක්. අන්තර්ජාතික පොදු නීතිය සම්මුතීන්, චාරිත්‍රමය නීතීන්, මූලධර්මයන්, සහ විවිධ නියාමයන් මත ගොඩ නැගී තිබෙනවා. සාම්ප්‍රදායික තත්ත්වය අනුව අන්තර්ජාතික පොදු නීතිය විෂය වූයේ රාජ්‍යයන් සඳහා පමණක් වුණත් අද වන විට අන්තර්ජාතික නීතියේ කාරකයන් ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද වන විට රාජ්‍යයන්ට පමණක් නොව රාජ්‍යයන් නොවන ආයුධ දරණ විවිධ කණ්ඩායම්වලට පවා අන්තර්ජාතික නීතිය යටතේ පවතින අනු නෛතික පද්ධතියක් වන අන්තර්ජාතික මානුෂවාදී නීතිය බලපානවා.
මේ නීති බලපාන්නේ කුමන අවස්ථාවන්වල දී ද?
රාජ්‍යයන් අතර යුද්ධයක් පවතින වේලාවන්හි දී, විදේශ බලවේගයක් විසින් වෙනත් රාජ්‍යයක් හෝ රාජ්‍යයක කොටසක් බලෙන් අත්පත් කරගැනීමක දී, රටක් තුළ රජය සහ යම්කිසි කණ්ඩායමක් හෝ කණ්ඩායම් කිහිපයක් අතර ගැටුමක් උද්ගත වන විටෙක, හෝ නොඑසේ නම් රටක් තුළ ආයුධ රැගත් කණ්ඩායම් කිහිපයක් අතර ගැටුමක් උද්ගත වන්නේ නම්, එවිට අන්තර්ජාතික මානුෂවාදී නීතියේ විමර්ශන ඇස ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. මෙහිදී සලකා බැලිය යුතු ප්‍රධානම කරුණු වන්නේ;
- jus ad bellum හෙවත් සැබවින්ම මෙම අවස්ථාවෙහි දී යුද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ ද?
- මෙසේ යුද්ධ කිරීම සාධාරණ වන්නේ ද?
- යුද්ධයක් කිරීමට තරම් සාධාරණ සහ ප්‍රමාණවත් හේතු පවතින්නේ ද?
ආදිය යි. එය අන්තර්ජාතික මානුෂවාදී නීතියේ පළමු ක්‍රියාත්මක වීම යි. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි ලිඛිතව අන්තර්ගතව තිබෙන නෛතික සිද්ධාන්තයක්.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි දැක්වෙන ආකාරයට යම් කාරකයෙකුට තමන් වෙත පවතිනා අන්තරාවට සාපේක්ෂව කොයි තරම් ප්‍රමාණයක බලයක් ඊට එරෙහිව යෙදිය යුතු ද යන්න තීරණය කළ හැකිවාක් සේම, එකී බලය යෙදවීම සිය පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තහවුරු කරගැනීම උදෙසා පමණක් විය යුතු වනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තීරණය මත ද බලය යෙදවිය හැකි වනවා. කෙසේ නමුත් ආරක්ෂක කවුන්සිලය එවන් තීරණයක් ගනු ලබන්නේ දැඩි සේ සාකච්ඡා කර බලා, හේතු සාධක ඇත්නම්, අතිශය අන්තරායකාරී තර්ජනයක් එල්ල වන අවස්ථාවක දීම පමණයි. ඒ අනුව බලන විට පෙනී යන්නේ මානුෂවාදී නීතිය ක්‍රියාත්මක වන්නේ යුදමය අවශ්‍යතාව සහ මනුෂ්‍යත්වය අතර පවතින පරතරය අවම කිරීම සඳහා බව යි.
අන්තර්ජාතික මානුෂවාදී නීතිය මත පදනම්ව නිර්මාණය වූ රෙගුලාසි, සම්මුතීන් සහ ජිනීවා සම්මුතියට එක් කරන ලද අතිරේක ප්‍රෙටෝකෝලයන් පහත පරිදි වනවා.
“1907 Hague Regulations (Convention (IV) respecting the Laws and Customs of War on Land and its annex: Regulations concerning the Laws and Customs of War on Land. The Hague, 18 October 1907); Convention (I) for the Amelioration of the Condition of the Wounded and Sick in Armed Forces in the Field, Geneva, 12 August 1949; Convention (II) for the Amelioration of the Condition of Wounded, Sick and Shipwrecked Members of Armed Forces at Sea. Geneva, 12 August 1949; Convention (III) relative to the Treatment of Prisoners of War, Geneva, 12 August 1949; Convention (IV) relative to the Protection of Civilian Persons in Time of War. Geneva, 12 August 1949; Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of International Armed Conflicts (Protocol I), 8 June 1977; Protocol Additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Protection of Victims of Non-International Armed Conflicts (Protocol II), 8 June 1977; Protocol additional to the Geneva Conventions of 12 August 1949, and relating to the Adoption of an Additional Distinctive Emblem (Protocol III), 8 December 2005 යන නෛතික ප්‍රතිපාදනයන් මෙන්ම 1954 Convention for the Protection of Cultural Property in the Event of Armed Conflict, plus its two protocols; 1972 Biological Weapons Convention; 1980 Conventional Weapons Convention and its five protocols; 1993 Chemical Weapons Convention; 1997 Ottawa Convention on anti-personnel mines; 2000 Optional Protocol to the Convention on the Rights of the Child on the involvement of children in armed conflict.”
යන ව්‍යවස්ථාපිත නෛතික රාමුව ද යුධමය වාතාවරණයක් තුළ යොදාගත යුතු මානුෂවාදී නෛතික රාමුවක් ලෙස අන්තර්ජාතික වශයෙන් සැලකෙනවා.
අන්තර්ජාතික යුදමය තත්ත්වයක දී නම් ජිනීවා සම්මුතීන් හතර සහ Additional Protocol I හි වන නෛතික තත්ත්වය යොදා ගත යුතු වනවා. අන්තර්ජාතික යුදමය තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ රාජ්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර යුද්ධයක්. අන්තර්ජාතික නොවන ගැටුමක දී නම් ආද්ශ කරගත යුතු වන්නේ ජිනීවා සම්මුතීන් හතරටම පොදු ව්‍යවස්ථාවක් වන 3 වන ව්‍යවස්ථාව (Article Three) සහ Additional Protocol IIයි.
අන්තර්ජාතික මානුෂවාදී නීතිය තුළ, ලිඛිතව නොමැති, චාරිත්‍රමය නීතීන් ද සලකා බැලෙනවා. යුද්ධයේ දී සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිත නොකිරීම, සිවිල් වැසියන් අරභයා ප්‍රහාර දියත් නොකිරීම, යටත් වූ සතුරන්ට තුවාල කිරීම හෝ ඔවුන්ව මරා දැමීම සිදු නොකිරීම, යුද්ධයෙන් තුවාල ලත් සාමාන්‍ය ජනතාව වේ නම් ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා රතු කුරුස සංවිධානය වැනි මානුෂවාදී කණ්ඩායම්වලට අදාළ යුද කලාපවලට ප්‍රවේශ වීම සඳහා ඉඩකඩ සලසා දීම වැනි කරුණුත් අන්තරජාතික මානුෂවාදී නීතිය යටතේ සලකා බැලෙනවා.