ඉංග්‍රීසි යටත්විජිත කාලයේදී දඹුලු විහාරය ජාතියේ නිදහස උදෙසා සටන් කළ කේන්ද්‍රස්ථානයක් වශයෙන් තිබුණා. 1818 දී උඩරට විමුක්ති අරගලයේදී වගේම 1848 දී මාතලේ නිදහස් සටනේදීත් දඹුලු විහාරයේ භික්ෂුන් වහන්සේගේ සහභාගිත්වය විශේෂයෙන් කැපී පෙනුණා. මේ නිසා දඹුල්ල අපේ ඉතිහාසයේ සුවිශේෂී පුදබිමක්.
එලෙස අපට පැවසුවේ පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියන්.
දඹුලු සංරක්ෂණ අර්බුදය
පසුගිය දිනවල දඹුල්ල ගැන රටේ මාධ්‍යවල ලොකු උනන්දුවක් තිබුණා. එයට හේතුව දඹුලු ලෙන් විහාරය සංරක්ෂණයේදී අනුගමනය කරන පියවර ගැන පාලකයන් සහ විහාරාධිපති හිමිවරුන් අතර ඇතිවූ ගැටලුවක්. විශේෂයෙන් සංරක්ෂණ කටයුතුවලදී තරුණීයන් බුද්ධ ප්‍රතිමවලට ඉහළින් පලංචිවල නැගී සංරක්ෂණ කටයුතු කිරීම ගැන භික්ෂූන් වහන්සේ අකමැත්ත පළ කළා. දඹුල්ල සංරක්ෂණ කටයුතු වලින් මධ්‍යම සංස්කෘතික අරමුදල ඉවත් වුණේ වර්ෂ 1996න් පසු. එකල විහාරාධිපති හිමි සහ එම අරමුදල අතර හටගත් මතභේදයක් එයට හේතු වුණා. මේ නිසා මේ වනවිට මෙහි ප්‍රතිමා සහ බිතුසිතුවම්වලට විශාල හානියක් වෙලා.
එතෙක් විදේශීය සංචාරකයන්ගෙන් විහාරය නැරඹීමට සංස්කෘතික අරමුදල නිකුත් කළ ප්‍රවේශ පත පසුගිය කාලයේ විහාර පාර්ශ්වය විසින්ම නිකුත් කළා. මෑතක දී එම ප්‍රවේශ පත්‍රය යළිත් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කර ලැබෙන ආදායම විහාර සංරක්ෂණයට යොදවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා. ඒ වගේම මෙම සංරක්ෂණය නිසි පරිදි සිදුනොවීම නිසා දඹුල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවද කියැවුණා. පසුගියදා වාර්තා වුණේ දඹුල්ල සංරක්ෂණ ක්‍රියාදාමය යළිත් ආරම්භ කිරීමට භාරකාර භික්ෂුන් වහන්සේ සහ අධ්‍යාපන ඇමැතිවරයා අතර එකඟතාවක් ඇතිවූ බවයි.
රංගිරි දඹුලු ගලේ
දඹුල්ල ශ්‍රී ලංකාවේ විශාලතම ඓතිහාසික ලෙන් විහාරයයි. එය පිහිටා තිබෙන්නේ කොළඹ සිට කි. මී. 149ක් දුරින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත්වයි. මෙහි වර්ග මීටර 2100ක උඩරට සම්ප්‍රදායේ සිතුවම් දක්නට ලැබෙනවා.
දඹුලු ගල උසින් මීටර් 339ක්. එය එක් පසෙකින් ගල්පර්වතයක් ලෙසින් ද අනෙක් පසින් වනවදුලකින් යුත් කඳුගැටයක් ලෙස ද පැතිර යනවා. ලෙන් විහාරය කරවා තිබෙන්නේ ගල්පර්වතය පැතිරුණු ප්‍රදේශයෙයි. පර්වතය මතට කුරුණෑගල තැනිතලාව සහ සීගිරිය, රිටිගල ආදී කඳු සුන්දරව දර්ශනය වෙනවා.
ලෙන් විහාරය පිහිටි පර්වතය මීටර 65ක් පමණ දිගයි. එහි විශාලත්වය අක්කර 50ක්. ලෙන් විහාරයට ඉහළින් නැගෙනහිරට බෑවුම්වන පර්වතය මත කුඩා නටබුන් දාගැබ් කිහිපයක් ද පොකුණක් ද තිබෙනවා. මෙම ජලාශය නීරව්ව නමින් හඳුන්වනවා. දහයියා කන්ද නමින් හඳුන්වන කඳුගැටය ලෙන් විහාරය ඉදිරියෙන් දැකගත හැකියි.
වසර දෙදහසකට වඩා පැරණි සෙල්ලිපි
අදින් වසර 2100කට පමණ පෙර කාලයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් කෙටූ සෙල්ලිපි දඹුල්ල ගැන ලැබෙන පැරණීම සාධකයි. මෙහි ලෙන්වල කටාරමට යටින් කොටා ඇති මෙවැනි සෙල්ලිපි 34ක් හමුවී තිබෙනවා. ඒවායේ සඳහන් වන්නේ භික්ෂූන් වහන්සේ උදෙසා ලෙන් කටාරම් කොටා සකස් කර පූජා කිරීම ගැනයි. මහාවංශයේ පළමුවැනි වජයබාහු රජ සමයේ (ක්‍රි. ව. 1055-1110) දඹුල්ල ගැන පැවසෙනවා. ඊට පසු කීර්ති නිශ්ශංකමල්ල (1187-1196) රජු දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කරවා පිළිමවලට රන් ආලේප කර එයට ස්වර්ණගිරි ගුහා යයි නම් තැබූ බව ඔහු පිහිටවූ දඹුල්ල සෙල්ලිපියේ දැක්වෙනවා. පූජාවලිය පවසන්නේ වට්ඨගාමිණී අභය රජු දඹුල්ලේ ලෙන් කටාරම් කොටවා පූජා කළ බවයි.
මෙහි ලෙන් විහාර පහක් තිබෙන අතර අලුත් මහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බවත්, දෙවන අලුත් විහාරය 18 වන සියවසේ දී දුල්ලෑවේ අදිකාරම් විසින් කරවන ලද බවත් සඳහන් වෙනවා. මෙහි ඇති සම්පූර්ණ පිළිම ගණන 153ක්. මේ හැර වළගම්බා රජු, නිශ්ශංකමල්ල රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු යන රජවරුන්ට අයත් ප්‍රතිමා තුනක් ද උපුල්වන්, තාරා දෙවඟන, නාථ, විෂ්ණු යන දේව රූප 4ක් ද දක්නට ලැබෙනවා. මෙහි සිතුවම් නිර්මාණය කර ඇත්තේ නිලගම පරම්පරාවේ සිත්තරුන් විසින්. ඔවුන්ගෙන් පැවතෙන්නන් අදත් ගලේවෙලට නුදුරු නිලගම ජීවත් වෙනවා.
යුනෙස්කෝ ලෝක උරුමය
ආසියා ශාන්තිකර කලාපයේ සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ පදනම මත රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන්නේ 1991 වසරේදීයි. ඊට අනුමැතිය හිමිව ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 15 වන සැසිවාරයේදී. ඊට පසු එහි සංරක්ෂණ කටයුතු සහ බිතුසිතුවම් පිටපත් කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කරනවා. නමුත් දීර්ඝ කාලයක් එහි පූර්ණ සංරක්ෂණයක් සිදු නොවූ නිසා බිතුසිතුවම් සහ ප්‍රතිමා රැසක් හානියට පත්වෙලා. කෘමි සතුන්ගේ උවදුරත් බිතුසිතුවම් හානියට බලපා තිබෙනවා. විදේශීය විශේෂඥයන්ගේ උපදෙසුත් අරගෙන නුදුරේදීම දඹුල්ල සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
ලෙන් විහාර පහයි
දඹුල්ල රජමහා විහාරය ලෙන් විහාර එකිනෙක විමසා බලමු.
1. දේවරාජ ලෙන
ලෙන් සංකීර්ණයට පිවිසෙන ඔබ පළමුවෙන් ඇතුළුවන්නේ මෙම ලෙනටයි. මෙය කුඩා ලෙනක්. එහි බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකය දැක්වෙන විශාල ප්‍රතිමාවක් තිබෙනවා. එහි පාද අසල ආනන්ද හිමියන්ගේ ප්‍රතිමාව දැකගත හැකියි. විෂ්ණු දේව ප්‍රතිමාවක් සහ හිඳි බුද්ධ ප්‍රතිමා තුනක්ද මෙහි පිහිටා තිබෙනවා.
මෙය දේවරාජ ලෙන ලෙස හඳුන්වන්නේ එහි පිහිටි විෂ්ණූ ප්‍රතිමාව නිසා විය හැකියයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පවසනවා. මෙහි පිටතින් පිහිටා ඇත්තේ විෂ්ණු දේවාලයයි. එයට බොහෝ බැතිමතුන් සහනය ලබාගැනීමට එනවා. මෙහි ඉදිරිපස පර්වතයේ නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිය පිහිටා තිබෙනවා.
2. මහාරාජ ලෙන
මෙම ගුහාව පළමු ගුහාවෙන් වෙන්ව ඇත්තේ ඝනකම් මැටි බිත්තියකින්. වළගම්බා සහ නිශ්ශංකමල්ල රජවරුන්ගේ ප්‍රතිමා පිහිටි නිසා මෙය මහාරාජ ලෙන ලෙස නම්කළ බව පෙනෙනවා. මෙය විහාරයේ විශාලම ලෙනයි. එමෙන්ම ඉතා මනරම් ප්‍රතිමා සහ බිතුසිතුවම් මෙහි දැකගත හැකියි.
මෙහි පිළිම 60කට ආසන්න සංඛ්‍යාවක් දැකගත හැකියි. බුද්ධ ප්‍රතිමාවලට අමතරව නාථ, විෂ්ණූ, මෛත්‍රිය හා උපුල්වන් දේව ප්‍රතිමා ද පිහිටා තිබෙනවා. නාථ සහ මෛත්‍රී ප්‍රතිමා එකම ස්ථානයක තිබෙන එකම ස්ථානය වන්නේද දඹුල්ල පමණයි.
3. මහ අලුත් විහාරය
මෙය ඉදිකරවන ලද්දේ මහනුවර රාජධානි සමයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්. එය මෑතක දී කරවූ නිසා එම නම ලබාදීලා තිබෙනවා. මෙහි පිහිටි බුද්ධ ප්‍රතිමා සංඛ්‍යාව 57ක්. ඒ අතරින් ගුහාව මැද මකර තොරණ යට වැඩ හිඳින අලංකාර හිඳි ප්‍රතිමාව සුවිශේෂයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ විශාල ප්‍රතිමාවක් දමෙහි තිබෙනවා.
4. පශ්චිම විහාරය
මෙය කුඩා ගුහාවක්. මකර තොරණ යට වැඩසිටින බුද්ධ ප්‍රතිමාව මෙහි කැපී පෙනෙනවා. වර්ණ මෝස්තරයෙන් අලංකාර කළ කුඩා දාගැබක්ද මෙහි තිබෙනවා.
5. දෙවන අලුත් විහාරය
විහාර අතරින් මෑත කාලයට අයත් වන මෙය කුමන කාලයක කරවූවා දැයි නිශ්චිත නැහැ. මෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාව සමඟ තවත් බුද්ධ ප්‍රතිමා 11ක් දැකගත හැකියි.
මේ සෑම ලෙන් වියනකම වගේම විහාර බිත්තිවලත් උඩරට සිතුවම් කලාවට අයත් වටිනා සිතුවම් දක්නට ලැබෙනවා.
නැරඹිය යුතු තවත් තැන්
ලෙන් විහාරය පාමුල පිහිටා ඇත්තේ මෑතකදී ඉදිකළ උයන්වත්ත විහාරයේ දැවැන්ත බුද්ධ ප්‍රතිමාවයි. එහි බෞද්ධ කෞතුකාගාරයක්ද පිහිටා තිබෙනවා. දඹුලු විහාරය පාමුල වනබදව කළ කැණීම්වලින් අනුරාධපුර යුගයට අයත් පබ්බත විහාරයක නටබුන් හමුවුණා. දාගැබක් සහ සංඝාරාමවලින් යුත් එය සෝමවතී දාගැබ නමින් හඳුන්වනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් බිතුසිතුවම් කෞතුකාගාරයත් ඔබ නැරඹිය යුතු තැනක්. දඹුල්ලේ බිතුසිතුවම් වගේම තවත් වටිනා බිතුසිතුවම් පිටපත් රාශියක් මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.
මූලාශ්‍ර-
Golden Temple of Dambulla- Anuradha Senevirathna, 1983 colombo
රන්ගිරි දඹුලු විහාරය- මංගල ඉලංගසිංහ 1994 දෙහිවල.
කවරය- සංචාරකයන් නරඹන දඹුලු ලෙන් විහාරය