ලෝකයේ සමහර වැදගත් දේ කාලයේ වැලිතලාවෙන් වැසී යනවා. එනමුත් ඒවා අහඹු ලෙස විටින් විට නැවත මතුවෙනවා. මෙලෙස මතුවන සමහර දේ, ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම සැලකූ විට මිල කළ නොහැකියි. පසුගිය දා දකුණු අප්‍රිකාවේ ඇති ආවාටයක් ආශ්‍රිතව ඇඳ තිබී නිරීක්ෂණය වූ ඓතිහාසික සිතුවම් කිහිපයත් වැටෙන්නේ ඒ ගණයට යි. මේ සොයාගැනීම මානව ඉතිහාසය නම් පුස්තකයෙහි මෙතෙක් කලක් වසන් වී තිබූ පිටුවක් නැවත සොයාගත්තා හා සමාන බව විද්වතුන් පවසනවා.
දකුණු අප්‍රිකාවෙන් හමු වූ රන්
දකුණු අප්‍රිකා පොළොව සැලකෙන්නේ රත්‍රන්, දියමන්ති වැනි ස්වභාවික සම්පත්වලින් ආඪ්‍ය එකක් හැටියට යි. කෙසේ නමුත් ලෝකයා එහි භූමිය පිළිබඳව කතා කරන්නේ ඒ නිසාම නොවේ. ලොව මෙතෙක් තහවුරු කර ඇති, ග්‍රහක ඝට්ටනයක් නිසා සුසැදි විශාලතම ආවාටය පිහිටා ඇත්තේත් දකුණු අප්‍රිකාවේ යි. ඒ සැතපුම් 55ක පළලකින් යුතු ව්‍රෙඩෙෆට් ආවාටය යි.
විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට මෙම ආවාටය ප්‍රතිඵල වී තිබෙන්නේ මීට වසර බිලියන 2කට පමණ පෙර සිදුවූ ග්‍රහක ඝට්ටනයක් නිසා යි. එකල එය සැතපුම් 190ක පමණ පළලකින් යුක්ත වන්නට ඇති බැව් විශ්වාස කෙරෙන අතර පසුව භූ ඛාදනය හේතුවෙන් එය ‘හැකිළී’ තිබෙනවා.
පසුගිය කාලයේ භූගර්භ විද්‍යාඥයින් පිරිසක් ව්‍රෙඩෙෆට් ආවාටය ආශ්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කර තිබුණේ එහි පාංශු ව්‍යුහය හා අවට පරිසරයට ඉන් සිදුවන බලපෑම අධ්‍යයනය කිරීම සඳහා යි. කෙසේ නමුත් ඉතා අහඹු ලෙස හමු වූ ඉපැරණි ගුහා සිතුවම් කිහිපයක් නිසා ඔවුන්ගේ පරීක්ෂණ වෙනත්ම මඟකට යොමු වී තිබෙනවා. විවිධ සතුන් නිරූපිත් මේ සිතුවම් වසර 8000ක් පමණ පැරණි යැයි නිර්ණය කොට තිබෙන අතර, ඒ අනුව එම ප්‍රදේශයේ මුල්ම ජනාවාසකරණය මේ ආවාටය ආශ්‍රිතව සිදුවන්නට ඇති බැව් දැන් වන විට විශ්වාස කෙරෙනවා.
සිතුවම්වල සුලමුල
ආවාටයේ කොටසක ඇති ගුහාවක ඇඳ තිබී හමු වී ඇති සිතුවම් එහි බිත්තිය සීරීම මඟින් ඇඳ තිබෙනවා. මෙම සිතුවම්වල සතුන් තිදෙනෙක් දැක්වෙන අතර ඔවුන් හිපපෙටේමස්, අශ්වයා, හා රයිනෝසිරස් වෙනවා. මේ සියළු සත්ත්වයින් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇති වසර 8000 පමණ පැරණි අනෙකුත් චිත්‍රවල බහුලව අඩංගු අතර මේවා දකුණු අප්‍රිකාවෙහි ‘පළමු වැසියන්’ ලෙස හඳුන්වන ‘කොයි-සාන්’ මිනිසුන් විසින් අඳින ලද ඒවා ලෙස සැලකෙනවා. මේවා වැසි යැදීම සඳහා ඔවුන් විසින් පවත්වන ලද උත්සවවලට අදාල බවට විශ්වාස කෙරෙනවා. වර්තමානය වන විට පර්යේෂණ පැවැත්වෙන්නේ මේ සිතුවම් ඇඳි ස්ථානවල ඇත්තෙන්ම එකල සිදු වූයේ කුමක් ද යන්න හා මේවා ඇඳීමට කොයි සාන් ජනයා පෙළැඹුණේ ඇයි ද යන්න නිසි ලෙසම තහවුරු කරගැනීමට යි.
උක්ත ඉපැරණි සිතුවම් හමු වී ඇති ලෙන සහිත ආවාටයේ කොටස හැඳින්වෙන්නේ ‘ග්‍රැනොෆයර්’ ප්‍රාකාරය ලෙසයි. මෙය සැතපුම් 6ක දිගකින් යුක්ත වන අතර අඩි 16ක් තරම් පළලින් යුක්ත වෙනවා. මෙය සෑදී ඇත්තේ ග්‍රහක ඝට්ටනයෙන් පසුකාලීනව යි.
වසර 8000ක් පැරණි මේ සිතුවම් ඇඳ ඇත්තේ උක්ත ප්‍රාකාරයේ බිත්තිය ලෙස ඇති රතු පැහැති පාෂාණය මත යි. ඇඳීමේන් විශාල කාලයක් ගත වීම නිසා ඒවා සෑහෙන තරම දුරකට වියැකී ගොස් තිබුණ ද වර්තමානය වන විටත් හොඳින් හඳුනාගත හැකි මට්ටමක තිබෙනවා. විශේෂයෙන් මේ සියළු සිතුවම්වල සතුන්ගේ හැඩයන් හොඳින්ම හඳුනාගත හැකි ලෙස ශේෂ වී තිබෙනවා. මේවා ඇඳ ඇති ප්‍රාකාරයත් පැරණි කොයි සාන් ජනයා විසින් වන්දනාමාන කළ ‘වර්ෂාවට අධිපති නාග දේවතාවා’ ගේ හැඩයට ආසන්න ලෙසම නිමැවී තිබෙනවා. මෙම දේවතාවාට නිතිපතා කන්නලව් කිරීමෙන්, කලට වර්ෂාව ලැබී බවභෝග සම්පත්තියෙන් රට පිරී යන බවට ඔවුන් තුළ තදබල විශ්වාසයක් තිබී තිබෙනවා.
සිතුවම් හා බැඳුණු කොයි සාන් ජනයාගේ විශ්වාසයන්
කොයි සාන් ජනයාත් අතීතයේ ලොව විසූ අති බහුතරයක් මනුෂ්‍ය ප්‍රජාවන් මෙන් නොපෙනෙන බලවේගයන් කෙරෙහි මහත් වූ විශ්වාසක් තැබුවා. ව්‍රෙඩෙෆට් ආවාටයේ කැණීම් කටයුතුවල නිරත වූ ඉතිහාසඥයින් දෙපළක් වන ෂියෝනා මූඩ්ලි හා ජෙන්ස් ක්‍රීක්ට අනුව කොයි සාන් ජනයා ‘තුන් ලෝකයක්’ පිළිබඳව විශ්වාස කර තිබෙනවා. ඉහළ තලයේ දෙවියන් හා මියගිය ඥාතීන්ගේ ආත්මයන් සිටින බවට සැළකුණු අතර, මැද තලය අප ජීවත් වන භෞතික ලෝකය ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙනවා. පහළ තලය මරණය කරපින්නාගත් එකක් ලෙස සැළකුණු අතර, මේ තල ත්‍රිත්වයේම නාගයින් ගැවසුණු බවට ඔවුන් විශ්වාස කර තිබෙනවා. එමෙන්ම සෑම විටෙක දීම ඔවුන් විසින් ‘වැසි ගෙන දෙන’ බවට කොයි සාන් ජනයා තුළ විශාල විශ්වාසයක් රැඳී තිබුණ බවට ඉතිහාස වාර්තා සාක්ෂ්‍ය දරනවා.
ග්‍රහකය හා ආවාටයේ විශේෂත්වය
උක්ත ආවාටය සෑදීමට හේතු වන්නට ඇතැ යි සැලකෙන ග්‍රහකය පිළිබඳවද තොරතුරු රාශියක් වර්තමානය වන විට අනාවරණය කරගන්නට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. ඔවුනට අනුව එම ග්‍රහකය පළලින් සැතපුම් 6ත් 9ත් අතර වූ සුවිශාල එකක් වන අතර, පැයට සැතපුම් 43,500ක පමණ වේගයකින් පෘථිවියෙහි ගැටී තිබෙනවා. මෙම ආවාටය වර්තමාන ජොහැන්නස්බර්ග් නගරයට නිරිත දිගින් පිහිටා ඇති අතර එහි ගැඹුර සැතපුමකින් අඩක්.
මෙම ආවාටයේ පාංශු පිළිබඳව අධ්‍යයනය කරන භූගර්භ විද්‍යාඥයින් මේ සොයාගැනීම්වලට ප්‍රථමයෙන් සොයාගෙන තිබුණේ, මෙම ආවාටය හා ඒ තදාසන්නයේ ඇති පස්වල ව්‍යුහයන් අනුව ඒවායේ ඉතිහාසය පෘථිවියේ ඉතිහාසය මෙන් තුනෙන් එකක් තරම් වත් දුරකට ඇදී යන බව යි. එම සොයාගැනීමම විද්‍යාත්මක වශයෙන් ඉතාමත් වැදගත් එකක් වූ අතර දැන් කිසිවෙකු නොපැතූ ලෙස මානව ඉතිහාසයට අදාල ප්‍රබලතම සාක්ෂ්‍යයකුත් ඔවුනට එම පරිශ්‍රයේම තිබී හමුවීම ඇත්තෙන්ම දෛවෝපගත වෙනවා.