උඩරට සාම්ප්‍රදායික විවාහ ක්‍රමය බ්‍රිතාන්‍ය පාලනයෙන් වෙනස් වූ හැටි

ව්‍යවස්ථා පැනවීම මඟින් ලංකාවේ සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරිමට යුරෝපීයන් නිරන්තර උත්සහයක් දැරිය. ඇතැමුන් පවසන්නේ දේශීය නීති ක්‍රම වෙනස් කිරීමට බ්‍රිතාන්‍යයන්ට රට අල්ලා ගත්තාටත් වඩා වැඩි වෙහෙසක් දැරීමට සිදුවුණු බවයි. උඩරට පැවති සාම්ප්‍රදායික විවාහ ක්‍රමය වෙනස් කිරීමට බ්‍රිතාන්‍යයන් ගත් උත්සාහය ඉන් එක් වැදගත් අවස්ථාවක්.

බ්‍රිතාන්‍ය පාලනයට පෙර උඩරට පැවති තත්ත්වය

susatabarana.com

බ්‍රිතාන්‍යයන් ලංකාවේ උඩරට ප්‍රදේශ තම පාලනයට නතු කරගනිද්දී, උඩරට පැවතියේ එයටම ආවේණික වූ  සාම්ප්‍රදායික විවාහ ක්‍රමයක්.  මෙම විවාහ ක්‍රමය, ‘විවාහය’ යන්න පිළිගත්තේ සංකීර්ණත්වයෙන් තොර ඉතාමත් ලිහිල් බැඳීමක් වශයෙන්. විවාහ සංස්ථාව දැඩි නීතිමය රාමුවකට සිමා නොකොට නම්‍යශීලි ස්වරුපයෙන් තබා ගැනීමටයි ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ. ඒ අනුව ගැටළු මතු වූ විට​ තම කලත්‍රයා අතහැර වෙනත් අයෙක් හා එක්වීම කිසිවෙකුත් විවේචනය කළේ නැහැ. තම සහකරුවන් වෙනස් කරමින් ජිවත් වීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිදහස ලැබුණු අතර එසේ වෙන් වීමේදී දෙදෙනාගේ කැමැත්ත මත තීරණයකට එළඹීමේ හැකියාව තිබුණා. ඒ අනුව අධිකරණ තීන්දුවකින් තොරව විවාහක යුවලක් වෙන්ව යාමයි, එකල පැවති සාම්ප්‍රදායික ක්‍රමය වූයේ.

එමෙන්ම බහු විවාහ ක්‍රමය ද මෙකල උඩරට ප්‍රචලිතව පැවති විවාහ ක්‍රමයක්. ඒ අනුව ස්ත්‍රීන් කිහිප දෙනෙක් විවාහ කරගැනීමේ අයිතිය පුරුෂයන්ට හිමි වුණා. එමෙන්ම සොහොයුරන් කිහිප දෙනෙක් එක් ස්ත්‍රියක් විවාහ කරගෙන එකම නිවසක ජිවත් වීමේ ක්‍රමයක් ද පැවති අතර එය හැඳින්වුණේ ‘එක ගෙයි කෑම’ලෙසින්.

විවාහය ‘දීග’ හා ‘බින්න’ ලෙසින් වර්ග දෙකකට බෙදා තිබුණු අතර විවාහයෙන් පසු පුරුෂයාගේ නිවසේ ජිවත් වන්නේ නම් එය ‘දීග’ විවාහයක් ලෙසත් විවාහයෙන් පසු ස්ත්‍රියගේ නිවසේ ජිවත් වන්නේ නම් එය ‘බින්න’ විවාහයක් ලෙසත් ය හැඳින්වූයේ. දීග විවාහයක් වීම හෝ බින්න විවාහයක් වීම මත ස්ත්‍රියට හා පුරුෂයාට හිමිවන දේපළ අයිතිවාසිකම් වල වෙනස්කම් පැවතුණා.

බ්‍රිතාන්‍යයන්ගෙන් නව නීති

purelypresbyterian.com

ලංකාවේ විවාහ නීති සංශෝධනය කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින් පය ගැහුවේ උඩරට පාලන බලය ලබාගත් මුල් කාලයේදීමයි. 1822 දී විවාහ ලියාපදිංචි කිරීමේ නව වැඩපිළිවෙලක් මඟින් දේපළ අයිතිය තහවුරු කිරීමක් අපේක්ෂා කළත්, එය සාර්ථක වූවක් නොවේ.

1847 අංක 6 දරණ විවාහ ආඥා පනත පැනවුයේ මෙම වැඩපිළිවෙලේ දෙවන අදියර ලෙසින්.

“මෙම විජිතයේ පවත්නා තත්වය එංගලන්තයේ පවතින තත්වය සමඟ සසඳා බලන කළ එය අතිශයින්ම වෙනස්ය. ඒ අනුව මෙම ජනතාවගේ සමාජ චර්යාවන් ද, ආගමික අදහස් ද, අප රට වාසීන්ගේ එම අදහස් හා ගති පැවතුම් වලට වඩා මුළුමුනින්ම වෙනස්ය. එහෙයින් ඉංග්‍රීසි නීතිය මෙරටෙහි සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ දී ආදර්ශයක් ලෙස යොදා ගැනීමට මා මැළි වෙමි. එහෙයින් මා මෙහිදී මෙවැන්නකට යොමු වන්නේ එය පොදු ප්‍රතිපත්තිමය අවශ්‍යතාවක් සේ සළකා පමණි.”

ආඥා පනත පැනවීමට පසුබිම් වූ තත්වය ටොරින්ටන් ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

නව පනත අනුව ක්‍රිස්තියානි ආගමික පූජකවරුන් දේවස්ථානයකදී සිදුකරන ලද විවාහ ලියාපදිංචි කිරීමත්, ක්‍රිස්තියානි නොවන අය අතරේ රෙජිස්ට්‍රාර්වරයෙක් මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන නව ලියාපදිංචි කිරීමත්  එක සමාන නීත්‍යානුකුල බවක් ඇති බවට එයින් පිළිගැනුණා.

දේවස්ථානයේ සිදු කළ ආකාරයටම විවාහ ලේකම්වරයා විසින් විවාහ අපේක්ෂිත යුවල ලවා විවාහ ප්‍රතිඥා හඬ නඟා කියවා විවාහක ස්වාමි පුරුෂයා හා භාර්යාව වශයෙන් පිළිගනු ලබන අතර ලියාපදිංචි නාම ලේඛනයේ අත්සන් කිරීමෙන් අනතුරුව ලියාපදිංචිය නිළ වශයෙන් තහවුරු වෙයි. මෙලෙස ඇති කරගන්නා ගිවිසුම ස්ථාවර එකකි. එම පොරොන්දුව ජිවිත කාලයටම වලංගු වන බැවින් යම් වෙනසක් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් දික්කසාදයක් ලබාගත යුතු බවයි පනතෙහි සඳහන් වුයේ.

ඒ අනුව නව නීති පිළිපැදීම අනිවාර්ය වූ අතර ඒවාට අනුගත නොවීම දඬුවම් ලැබිය වරදක් බව පනතෙහි දැක්වුනා.

පහළ පන්තියේ උඩරැටියන් නව විවාහ ප්‍රතිසංස්කරණ හිරිහැරයක් හා ලැජ්ජාවට හේතුවක් බව සැළකුවත්, බටහිර අධ්‍යාපනය ලැබූ ලාංකික ප්‍රභූන් එය වැළඳ ගත්තේ ඉමහත් කැමැත්තකින් යුතුවයි. කෙසේ වෙතත් උඩරට ප්‍රදේශ වල සෑහෙන පිරිසක් තම ප්‍රදේශ වල විවාහ සහ පවුල් ජීවිතය පිළිබඳ පැවති සාම්ප්‍රදායික​ ගති පැවතුම් ඉවතලා නිත්‍යානුකුල හා සදාචාරාත්මක ක්‍රමයකට තම ජිවිත හැඩගස්වා ගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කළා.

1859 අංක 13 දරණ විවාහ ආඥා පනත

pinterest.com

උඩරට විවාහ ක්‍රමය තවදුරටත් ක්‍රමවත් කිරීමේ අරමුණෙනි, 1859 අංක 13 දරණ නව විවාහ ආඥා පනත ගෙන එන්නේ. එම විවාහ ආඥා පනතෙහි ප්‍රාරම්භයෙහි මෙසේ ‍සඳහන් වුණා.

“දැනට උඩරට ප්‍රදේශ වල වලංගු සාම්ප්‍රදායික විවාහ නීතිය අනුව එක් පුරුෂයෙකුට එක් භාර්යාවකුත්, එක් භාර්යාවකට එක් පුරුෂයෙකුත් වශයෙන් සීමා නොවන පරිදි පවත්නා සිරිත උඩරට ප්‍රදේශයට කිසිසේත්ම නොගැළපේ. එසේම එය ඔවුන් අදහන ආගම මඟින් ද අනුමත වූ ක්‍රමයක් නොවන බව පෙනී යයි. තව ද එය සමාජයට අවැඩදායි හා හිරිහැරදායි වනවා සේම එය දියුණු වීමට වෙර දරණ උත්සහවන්ත කොටස් වල අයගේ කටයුතු වලට බාධාවකි. නිතිපතාම නඩු හබ ඇති කරන එනිසා මිනීමැරුම් හා නොයෙක් අපරාධ වලට සමාජය යොමු කරන ‍සාධකයක් බවට ද පත් වී ඇත.” ඒ අනුව,

  • බහු විවාහ ක්‍රමය අවලංගු කිරීම
  • විවාහය ලියාපදිංචි කළ යුතු වීම
  • අධිකරණ තීන්දුවක් මඟින් පමණක් දික්කසාදයක් ලබාගත යුතු වීම

ආදිය මෙම ආඥා පනත මඟින් පැනවූ ප්‍රධාන වෙනස්කම් වුණා.

ගැමියන් හට නව ආඥා පනත පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ලබා දීම මීළඟ අභියෝගය වුණු අතර ගමින් ගමට ගිය උසස් නිළධාරින් ගැමියන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ නිරත වුණා. අඬබෙර ගැසීමත්, සිංහල භාෂාවෙන් පළ කල දැන්වීම් බෙදාහරිමත්, අවශ්‍ය අවස්ථා වලදී කරුණු පැහැදිලි කර දීමත් මෙහිදී සිදු වුණා.

නිළ වශයෙන් ආඥා පනත ක්‍රියාවට නැඟෙන්නේ 1861 ජනවාරි පළමු වැනිදා යි. එහෙත් උඩරට සෑම ප්‍රදේශයකම එකවර මෙය ක්‍රියාත්මක කළේ නැහැ.

කෙසේ වෙතත් ලියාපදිංචිය සම්බන්ධ තොරතුරු පරීක්ෂණය කිරීමෙන් අනාවරණය වූයේ සාමාන්‍ය ජනතාව නව පනත පිළිබඳ අප්‍රසාදයක් දක්වන බවත්, ආඥා පනත පැනවීමෙන් පසුව ද උඩරැටියන් බොහෝ දෙනෙක් පැරණි ක්‍රමවේදය අනුගමනය කර ඇති බවත් ය. ඒ අනුව සමස්තයක් ලෙස ආඥා පනත අසාර්ථක වුණා. රජය විසින් විවාහ ලියාපදිංචි කිරීමට බලපෑම් කරන ලද නමුත් සමහර ගම්මුලාදෑනින් පවා තම විවාහය ලියාපදිංචි කිරීමට කැමති වූයේ නැහැ.

කෙසේ වුවත් කාලය ගතවෙත්ම නිලධාරින්ගේ බල කිරීම හා පෙළඹවීම මත විවාහයන් වැඩි ප්‍රමාණයක් නිත්‍යානුකුලව ලියාපදිංචි කිරීමේ හැකියාව රජයට ලැබුණා. ඒ අනුව ගම් දනවු සිසාරා සංචාරය කරමින් විවාහය ලියාපදිංචි කිරීම මත තමන්ට අනාගතයේ ලැබිය හැකි වාසි පිළිබඳ ගැමියන් දැනුවත් කළ රජයේ නිළධාරින් විවාහ ලියාපදිංචි කිරීමේ තිබුණු මන්දගාමීත්වය​ අවම කිරීමට සමත් වුණා.

පනතේ අසාර්ථකත්වය මත නව ප්‍රතිසංස්කරණ

මේ ආකාරයට විවාහය ලියාපදිංචි කිරීමෙන් සුජාත දරුවන් බිහි වූ බව සත්‍යයි. නමුත් බහු විවාහ ක්‍රමය යටතේ ඉපදුණු බොහෝ දරුවන් නව පනතේ බලපෑම මත නිත්‍යානුකූල දරුවන්ගේ තත්වයෙන් බැහැරව අවජාතක දරුවන් බවට පත් වුණා. ආඥා පනත පැනවීමත් සමඟ ඇති වූ තවත් ගැටලුවක් වුයේ උඩරැටියන් වෛවාහක ගැටළු විසඳා ගැනීමට අධිකරණයට යාමට අකමැති වීමයි. ඔවුන් එය ලැජ්ජාවට හේතුවක් ලෙස දක්වමින් දික්කසාදයකින් තොරව වෙනස් සහකරුවෙක්/ සහකාරියක් සොයා ගොස් තිබුණු අතර සමහරෙක් දික්කසාදයකින් තොරවම දෙවන විවාහය ලියාපදිංචි කර තිබුණා. ඒ අනුව නැවතත් එය බහු විවාහයක් බවටම  පත් වුණා.

ඒ සියල්ලට පිළියම් සපයනු පිණිස 1870 නව ආඥා පනත පැනවුණු අතර පහත විධිවිධාන සැලැස්වීම මඟින් පැවති අඩුපාඩු මඟහරවා ගැනීමයි එහි අපේක්ෂාව වූයේ.

  • 1859 ට පෙර සිදුකරන ලද සියලු විවාහ වලංගු වීම.
  • 1859 න් පසු මේ දක්වා සිදු කරන ලද විවාහ අතුරින් රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියේ කරන ලද විවාහයන් පමණක් වලංගු වීම.
  • මේ හැර ඇති අනෙකුත් විවාහයන් වලංගු වීමට නම් ඒවා නැවත ලියාපදිංචි කළ යුතු වීම.
  • විවාහ වීමේ වයස් සීමාව: පුරුෂ- අවුරුදු 16

ස්ත්‍රී- අවුරුදු 12

  • විවාහ වීමේ අරමුණ කල් ඇතුව “දැනුම් ලේඛනය”නම් වූ ලේඛනයෙහි වාර්තා කල යුතු වීම
  • බහු විවාහ ක්‍රමය නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් වීම.

නව ප්‍රතිසංස්කරණ යටතේ දික්කසාදයක් ලබාගැනීමට පහත වෛවාහක වරදවල් වලින් එකක් හෝ සිදුව තීබීම අත්‍යාවශ්‍ය වුණා.

  • විවාහයෙන් පසු භාර්යාවගේ නොමනා හැසිරීම
  • විවාහයෙන් පසු ස්වාමියාගේ නොමනා හැසිරීම/ ව්‍යභිචාර හැසිරීම හෝ  දැඩි කෲර​ බව
  • වර්ෂ දෙකක සමස්ත කාලයක් පුරාවට වෙන්ව ජිවත් වීම
  • දෙදෙනාට සමඟියෙන් සිටීමට නොහැකි වීම හා වසරක් පුරා වෙන්ව ජිවත් වීම
  • අන්‍යෝන්‍ය කැමැත්ත

ඒ අනුව දික්කසාදයක් ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පාර්ශවයක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වුණු අතර ඉහත සඳහන් එක පදනමක් හෝ ඔප්පු කිරීම මත දික්කසාදය ලබාගත හැකි වුණා.

ඒ අනුව 1822 වසරේ ආරම්භ වූ ලංකාවේ උඩරට පැවති විවාහ නීති සංශෝධන ක්‍රියා පිළිවෙලේ දී බ්‍රිතාන්‍යයන් ලැබූ කටුක අත්දැකීම් මත 1870 නව සංශෝධනය ඉදිරිපත් වුවත්, එයින් ද කඩිනම් ප්‍රතිඵල ළඟා කරගත හැකි වූයේ නැහැ. නමුත් වර්තමාන ලංකාවේ පවතින තත්වය දක්වා විවාහ නීති ක්‍රමය වර්ධනය වීමට යුරොපීයන්ගේ ව්‍යායාමය මහත් ආයෝජනයක් වුණා.

කවරයේ ඡායාරූපය​ – http://3.bp.blogspot.com

Sources:

1938 අංක 38 දරණ ආඥා පනත

1952 අංක 44 දරණ ආඥා පනත

1959 අංක 13 දරණ ආඥා පනත

1917 අංක 23 දරණ ආඥා පනත

www.commonlii.org/lk/legis/consol_act/kl71160.pdf

http://lawnet.blogspot.com/2012/11/familylaw-of-family-law-in-srilanka.html

https://www.jstor.org/stable/41601138

http://www.mysrilanka.com/travel/lanka/festivals/MARRIAGE.HTML

Related Articles

Exit mobile version