ලංකාවේ ඉඟුරු වගාව සිදුවෙන්නේ මෙහෙමයි

වෙහෙස මහන්සි වී වැඩ රාජකාරි කිරීම නිසා විඩාවන පත්ව සිටින මොහොතක පදමට ඉඟුරු දැමූ උණු තේ කෝප්පයක් බොන්න කවුරුත් කැමතියි. ඉඟුරු ඒ තරමටම ලාංකිකයන් අතර ජනප්‍රිය රසකාරකයක් බවට පත්ව තිබෙන්නේ අද ඊයෙක නම් නෙවෙයි. ඉඟුරු බෝගය මෙරට තුළ හොඳ ඉල්ලුමක් තිබෙන නිසා එය වාණිජ වගාවක් ලෙස සිදු කිරීමට බොහෝ දෙනෙකු උනන්දු වනවා. එහි දී ඉඟුරු වගාව තනි වගාවක් ලෙසත් අතුරු බෝග වගාවක් ලෙසත් සිදුකරනු ලබනවා. 

ඉඟුරු වගාවට හිතකර දේශගුණික සාධක

ඉඟුරු බෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ ඉඟුරු වගා කිරීම සඳහා වඩාත් සුදුසු යි. එසේම ඊට සෙල්සියස් අංශක 25-28 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්ව යටතේ පත්‍ර පිළිස්සීම සිදුවන අතර, අඩු උෂ්ණත්ව යටතේ රෛසෝම පැළවීම අඩු වන බව නිරීක්ෂණය කළ හැකියි. ඉඟුරු වගාව සිදුකිරීම සඳහා මි.මී. 1500ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි. ඉඟුරු සිටුවීම සඳහා බිම් සකස් කරන අවධියේ දී සහ අස්වැන්න නෙලන අවධියේ දී අඩු වර්ෂාපතනයක් පැවතීම වඩාත් යෝග්‍ය වනවා. එසේම ඉඟුරු වගාව සඳහා අධික ආර්ද්‍රතාවයක් තිබීම වඩාත් හිතකර යි.

ඉඟුරු වගාවට හිතකර පාංශු තත්ත්වය

විවිධ පස් වර්ගවල ඉඟුරු බෝගය වැවිය හැකියි. නමුත් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා කාබනික ද්‍රව්‍යය හොඳින් අඩංගු වන, හොඳින් ජලය බැස යන වැලි ලෝම පසක් වඩාත් හිතකර වනවා. එවැනි පසක් ඉඟුරු වගාව සඳහා වඩාත් යෝග්‍ය වන්නේ බාධාවකින් තොරව රෛසෝම වර්ධනය වීමේ හැකියාව පවතින නිසා යි.   සාමාන්‍යයෙන් ඉඟුරු වගාව සඳහා භාවිතා කරන භූමියක පසෙහි pH පරාසය 5.5-6.5 අතර අගයක පැවතිය යුතු යි. පස ආම්ලික වන විට සහ එහි මැටි ප්‍රමාණය වැඩි වන විට ඉඟුරු අස්වැන්න අඩු වෙයි.

ලංකාවේ බහුලවම ඉඟුරු වගා කරන ප්‍රදේශ 

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ඉඟුරු වගාව සිදුකළ හැකි වුණත් බහුලවම ඉඟුරු වගා කරනු ලබන්නේ තෙත් සහ අතරමැදි යන කලාප තුළ යි. බොහෝ විට ඉඟුරු බෝගය තෙත් කලාපය තුළ ගෙවතු වගාවක් ලෙසින් දැකිය හැකියි. නමුත් අතරමැදි කලාපය තුළ ඉඟුරු වගාව බහුලවම දැකිය හැක්කේ අතුරු බෝග  වගාවක් ලෙස යි. පොල් වගාව සමග අතුරු බෝගයක් ලෙසින් ඉඟුරු වගා කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. වර්තමානය වන විට ඉඟුරු වගාව සාර්ථකව සිදුකරන දිස්ත්‍රික්ක කිහිපය අතරට කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, සහ කළුතර යන් දිස්ත්‍රික්ක ඇතුළත් වනවා. 

ඉඟුරු වගා බිමක් (Asia Farming)

විවිධ ඉඟුරු ප්‍රභේද

ශ්‍රී ලංකාවට විවිධ ඉඟුරු ප්‍රභේද හඳුන්වා දෙනු ලැබුවත් මෙහි ප්‍රධාන වශයෙන් වගා කරන්නේ දේශීය සහ චීන යන ප්‍රභේද වර්ග 2යි. ඊට අමතරව රැංගුන් නම් ඉඟුරු ප්‍රභේදයත් අප රට තුළ වගා කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ එම ඉඟුරු ප්‍රභේද පිළිබඳව යි.

දේශීය ඉඟුරු

දේශීය ඉඟුරු ප්‍රභේදය කුඩා රෛසෝමවලින් යුක්ත යි. ඝනකම සෙන්ටිමීටරයක් පමණ වෙයි. සුමට නොමැති, තන්තු වැඩි, මදය අළු කහ පැහැති, වඩාත් සැර ගතියෙන් යුත් ප්‍රභේදයක් වන මෙය කුරු වුණු වර්ධක විලාශයක් පෙන්වයි. මෙම ප්‍රභේදය වගා කිරීම මඟින් හෙක්ටයාරයකට ටොන් 12-14 අතර අස්වැන්නක් ලබාගත හැකියි.   

චීන ඉඟුරු

චීන ඉඟුරු ප්‍රභේදය මාංශල රෛසෝමවලින් යුක්ත යි. ඝනකම සෙන්ටිමීටර 1.5ක් පමණ වෙයි. සුමට ,තන්තු අඩු, මදය කහ පැහැති, අඩු සැර ගතියෙන් යුත්  ප්‍රභේදයක් වන මෙය උසට වර්ධනය වෙයි. මෙම ප්‍රභේදය වගා කිරීම මඟින් හෙක්ටයාරයකට ටොන් 18-20 අතර අස්වැන්නක් ලබාගත හැකියි.   

රැංගුන් ඉඟුරු

රැංගුන් ඉඟුරු ලෙසින් වගා කරනු ලබන ප්‍රභේදයේ ලක්ෂණ දේශීය සහ චීන යන ඉඟුරු ප්‍රභේදවල අතරමැදි ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් චීන සහ දේශීය යන ඉඟුරු ප්‍රභේදවලට සාපේක්ෂව මෙම ප්‍රභේදය අප රට තුළ වැඩි වශයෙන් වගා කරන්නේ නැහැ. 

දේශීය ඉඟුරු ප්‍රභේදය (Digital pola)

නිෂ්පාදන සහ ප්‍රයෝජන

ඉඟුරු බෝගයෙන් විවිධ ප්‍රයෝජන රැසක් ලබාගන්නවා. පහත දක්වා ඇත්තේ ඒවා යි.

1) ප්‍රධාන වශයෙන් ව්‍යංජන රසකාරකයක් ලෙස භාවිතා කරනු ලබයි. එසේම බේකරි නිෂ්පාදන සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී මෙන්ම බීම වර්ග නිෂ්පාදනයේ දී රසකාරකයක් ලෙසින් භාවිතා කරයි.

2) ඉඟුරුවලින් නිස්සාරණය කරනු ලබන තෙල් සහ ඔලියෙරොසීන් විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරයි.

3) ඖෂධ සහ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරයි.  

4) දේශීය වෙදකම සඳහා බහුලවම යොදා ගනියි. 

5) ඉඟුරු බෝගයෙන් අමු ඉඟුරු, වියළි ඉඟුරු, කුඩු කරන ලද ඉඟුරු වැනි නිෂ්පාදන සිදු කරයි

ඉඟුරු දෝසි (Rejiniya)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

ඉඟුරු වගාවට හානි කරන පළිබෝධකයන් දෙදෙනෙකු සිටිනවා. එසේම වගාවට ප්‍රධාන වශයෙන් වැළඳෙන රෝග 2ක් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එම රෝගවලින් සහ පළිබෝධකයන්ගෙන් ඉඟුරු වගාවට සිදුවන හානියත් එය වලක්වා ගන්නා ආකාරයත් පිළිබඳව යි.

බැක්ටීරියා මැලවීමේ රෝගය 

මෙම රෝගයට හේතු වන්නේ රැල්ස්ටෝනියා සොලනේසියාරුම් නැමැති බැක්ටීරියව යි. පස සහ බීජ මගින් බෝවන මෙම බැක්ටීරියාව බෝගය ළපටි කාලයේ දී සහ වර්ෂා කාලයේ දී වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. රෝගය වැළඳුණු මුල් අවධියේ දී ව්‍යාජ කඳේ පාදස්ථයේ තෙත පැල්ලම් දැකිය හැකියි. ඉන් පසුව රෝගය ශාකය පුරා පැතිරයාමත් සමගම ව්‍යාජ කඳ කඩා වැටීම, පත්‍ර දාර හැකිලීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකියි. මෙම රෝගය ශාකයේ පහළ පත්‍රවල සිට ක්‍රමයෙන් ඉහළ පත්‍ර කරා පැතිරෙයි. රෝගය උත්සන්න වුණු විට පැළ මැලවී තද කහ පැහැයට හැරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මෙම රෝගය පාලනය කිරීම සඳහා පහත සඳහන් උපක්‍රම භාවිතා කළ හැකියි.

1) ඉඟුරු සිටුවීමට පෙර පාත්ති දින 15-20 අතර කාලයක් සූර්ය තාපකරණයට ලක් කළ යුතු යි. 

2) නිරෝගී බීජ අල පමණක් වගාව සඳහා භාවිතා කළ යුතුයි. 

3) රෝගී පැළ ගලවා ඉවත් කළ යුතුයි.

4) රෝගය ක්ෂේත්‍රය තුළ දිගින් දිගටම පවතින්නේ නම් බෝග මාරු ක්‍රමය භාවිතා කළ යුතුයි.

රෛසෝම කුණු වීම 

ඉඟුරු වගාවට වැළඳෙන වඩාත් භයානක රෝගයක් වන මෙය පීතියම් වර්ගයේ දිලීර නිසා ඇති වෙයි. මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණය වන්නේ ව්‍යාජ කඳෙහි පාදස්ථයේ තෙත පැල්ලම් දක්නට ලැබීම යි. ඉන් පසුව එම පැල්ලම් කඳේ ඉහළට සහ රෛසෝම දෙසට පැතිර යයි. මෙම රෝගය වැළඳුණු විට රෛසෝම කුණු වී පසුකාලීනව මුල් කුණු වීම සිදුවිය හැකියි. එසේම මෙම රෝගය වැළඳුණු ශාකයක ව්‍යාජ කඳේ පහත පත්‍රවල අග කොටස ලා කහ පැහැයක් ගන්නා අතර පසුව එය ක්‍රමයෙන් පත්‍රය පුරා පැතිරී යාම සිදුවිය හැකියි.  රෛසෝම කුණුවීමේ රෝගය වලක්වා ගැනීම සඳහා පහත සඳහන් උපක්‍රම අනුගමනය කරනු ලබනවා.

1) නිරෝගී රෝපණ ද්‍රව්‍යය පමණක් භාවිතා කිරීම 

2) වගාව සඳහා යොදාගන්නා බීජ රෛසෝම 0.3% මැන්කොසෙබ් ද්‍රාවණයක ගිල්වා තබා පසුව මඳ පවනේ වේලා ගත යුතුයි. 

3) වගාව සඳහා හොඳින් ජලය බැස යන ක්ෂේත්‍රයක් තෝරා ගත යුතුයි.

කඳ විදින පණුවා 

ඩයිකොක්‍රොසීස් පන්ක්ටිෆෙරාලිස් නම් කෘමියා ඉඟුරු ශාකයේ ව්‍යාජ කඳට හානි කරයි. එම කෘමි කීටයන් කඳ තුළට ඇතුල් වී එහි කොටස් ආහාරයට ගැනීම නිසා සිදුරු කළ ස්ථානයෙන් ඉහළ කොටස මැරී යයි. එවිට  ක්ෂේත්‍රය තුළ මැරුණු ඉඟුරු ගොබ දැකිය හැකියි. සාමාන්‍යයෙන් මෙම කෘමියා කඳ තුළ සිටින විට සිදුරු තුළින් මළ ද්‍රව්‍යය පිටවන ආකාරය දක්නට ලැබෙනවා. මෙම උවදුරෙන් වගාව බේරාගැනීම සඳහා ඇටබ්‍රෝන් සහ ලෙබයිසීඩ් වැනි කෘමිනාශක වරින් වර යෙදිය හැකියි. එසේම රෝගී ව්‍යාජ කඳන් කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.

කොරපොතු කෘමියා 

මෙම කෘමියා ඉඟුරු අල මතුපිට ජීවත් වෙයි. ඉඟුරු අලයට ඇලී නොසෙල් වී සිටින කොරපොතු කෘමියා එහි යුෂ උරා බොන නිසා අලය විජලනයට පත්ව ඇකිලී යන නිසා පැළ වීමේ ප්‍රතිශතය අඩු වෙයි. බීජ සඳහා අල ලබාගන්නා විට ඩයිමෙතොඒට් සහ ලෙබයිසිඩ් වැනි සුදුසු කෘමිනාශක ද්‍රාවණයක ගිල්වා තබා පසුව මඳ පවනේ වියළා ගෙන ගබඩා කිරීම මඟින් මෙම කෘමි හානිය පාලනය කළ හැකියි. 

කවරයේ ඡායාරූපය- Nutrition Force

මූලාශ්‍රයයන්- dea.gov.lk

Related Articles

Exit mobile version