ශ්‍රී ලංකාවේ කාලගුණ වාර්තාව ගත්තොත් වෙනසක් නැතිව හැමදාම වගේ කියවෙන දෙයක් තමයි ‘බෙංගාල බොක්ක’. බස්නාහිර පළාතට, දකුණු පළාතට, සබරගමුවට, මධ්‍යම පළාතට තද වැස්සක් එනවා නම් සාමාන්‍යයෙන් එදා රෑට ප්‍රවෘත්ති බැලුවාම බෙංගාල බොක්කේ අඩු පීඩනයක් කියන කතාව අනිවාර්යයයෙන්ම අහන්න ලැබෙනවා.
ඔන්න දැන් ආයෙත් බෙංගාල බොක්කේ තිබුණු අඩු පීඩන අවපාතය අවපාතයක් දක්වාම වර්ධනය වෙලාලු. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අද, එහෙමත් නැතිනම් 29 වැනිදා ඉඳලා ජූනි 3 – 4 වෙනකල් ආපහු තද වැසි වැටීමේ අවදානමක් තියෙනවා. කියන විදියට වැඩේ සිදුවුනොත් රටේ නිරිතදිග පැත්තට වෙන්න තියෙන ප්‍රදේශ සේරම මුහුණ දීලා ඉන්න දරුණු ගංවතුර තත්වය තවත් උත්සන්න වේවි කියලා තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ.
අපේ රටේ කාලගුණයට සහ දේශගුණයට බෙංගාල බොක්ක තරම් බලපෑමක් ඇති කරන වෙන කිසිම කෙනෙක් නැති තරම්. රටේ දැන් ඇති වෙලා තියෙන තත්වය මත කාලගුණය ක්‍රියාත්මක වෙන හැටි ගැන සරල මට්ටමේ හරි දැනුමක් කාටත් තියෙනවා නම් වැදගත්. ගංවතුර ගලන ප්‍රදේශ, බැම්මක් කැඩුණාම යට වෙන්න ඉඩ තියෙන ප්‍රදේශ, ආරක්ෂිත තැන්, විවෘතව තියෙන පාරවල් මොනවාද වගේ දේ පහසුවෙන් හඳුනා ගන්න ඒ දැනුම හරිම වැදගත් වෙනවා.
ඉතින් මේ ලිපියෙන් සලකා බලන්න උත්සාහ කරන්නේ බෙංගාල බොක්ක අපේ රටට බලපෑම් කරන විදිහ සහ එහි සිදු වෙන දේවල් නිසා ඉදිරි දිනවල රටේ කාලගුණය වෙනස් වෙන හැටි තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැනයි.
පිහිටීම සහ විශේෂ ලක්ෂණ
අපේ රටට සාපේක්ෂව බැලුවාම ඊසාන දිශාවෙන් තියෙන බෙංගාල බොක්ක තමයි ලෝකයේ විශාලතම මුහුදු බොක්ක විදිහට සැළකෙන්නේ. ඉන්දියානු අර්ධද්වීපයේ විශාලතම ගංගාව වන ගංගා නදියේ අති විශාල ජලස්කන්ධය බෙංගාල බොක්කට මුදා හැරෙන්නේ බංගලාදේශයේ පවතින ලොව විශාලතම ඩෙල්ටාව බිහි කරමිනුයි. ක්‍රිෂ්ණා, යමුනා, කාවේරි, මේඝ්නා, ගෝධාවරී, මහානදී ඇතුළු සුවිසල් ගංගා බොහෝ ප්‍රමාණයක් තම ජලය මුදා හරින්නෙත් බෙංගාල බොක්කටයි. වර්ග කිලෝමීටර් 2,172,000 පුරා පැතිරී තිබෙන බෙංගාල බොක්ක කලාපයේ කාලගුණයට දේශගුණයට ප්‍රධානතම බලපෑමක් ඇති කරන සාධකවලිනුත් එකක්.
ලෝකයේ විශාලතම ගොඩබිම් ප්‍රදේශය වන ආසියා මහාද්වීපය නිසා උතුරු දිශාවෙනුත්, ඉන්දියාවේ සුවිසල් ගොඩබිම් හා කාන්තාර ප්‍රදේශ නිසා බස්නාහිර දිශාවෙනුත්, මියන්මාරය හා තායිලන්තය ඇතුළු ගොඩබිම් ප්‍රදේශ නිසා නැගෙනහිරිනුත් වට වී තිබෙන බෙංගාල බොක්ක දකුණු දිශාවෙන් කිලෝමීටර් දහස් ගණනක් පුරාවට ඉන්දීය සාගරයට විවෘතව පවතිනවා.
මේ වගේ සුවිශාල ජල ප්‍රදේශයක් අති විශාල භූමිවලින් වට වෙලා, එක් පසකින් අති විශාල සාගරයකට විවෘත වෙලා තිබීම තමයි කාලගුණයට මේ තරම් බලපෑමක් කරන්න හේතු වෙලා තියෙන්නේ.
මුහුද, ගොඩබිම, වායුගෝලය සහ සූර්යයා – කාලගුණයේ සිව්මහා දෙවිවරු
කාලගුණ වෙනස්කම් ඕනෑම එකක් ජලය, ගොඩබිම, සූර්ය තාපය සහ වායුගෝලය කියන සාධක හතර නිසා සිදු වෙන දේවල්. ගොඩබිම සහ ජලය සූර්ය තාපය උරා ගන්නා වේගයන්වල තිබෙන වෙනස වගේම ඒවා තාපය රඳවා ගෙන මුදා හරින ආකාරයේ තියෙන වෙනස තමයි වායුගෝලයේ සියලු වෙනස්කම්වලට කෙළින්ම හේතු වෙන්නේ. සූර්ය තාපය ලැබුණාම ගොඩබිම් ප්‍රදේශ බොහොම ඉක්මණින් උණුසුම් වෙනවා. නමුත් සාගරය උණුසුම් වෙන්නේ බොහොම සෙමින් නිසා කාලයක් යන තුරු සිසිල්ව පවතිනවා. උණුසුම් ප්‍රදේශවල වාතයේ ඝනත්වය හා පීඩනය, නැතිනම් යම් පරිමාවක තියෙන වායු අංශු ප්‍රමාණය අඩු වෙන නිසා එතැනට අනිත් තැන්වලින් වාතය ගලා එන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි සුළඟ හට ගන්නේ. ලොකු සුළඟක් ඇති වෙන්න බොහෝ අවස්ථාවල හේතු වෙන්නේ ලොකු භූමි ප්‍රදේශයක් ආසන්නයේ තියෙන ලොකු ජල ප්‍රදේශයක්.
නමුත් රාත්‍රිය එළඹෙනවාත් එක්ක ගොඩබිම ඉක්මණින් සිසිල් වෙනවා. ජල ප්‍රදේශය උණුසුම මුදා හරින්නේ සෙමින් නිසා ජල තරලයට ඉහළ වාතය රෑ වන තුරුම උණුසුම්ව පවතිනවා. මේ නිසා ගොඩබිම සිට මුහුද වෙත සුළං හමා යනවා. මේ සුළං ප්‍රවාහ එක මත එක ඇතිල්ලී යනකොට ඒවා අතර සුළි හට ගන්නවා.
අති විශාල ගොඩබිම් සහ සාගර ප්‍රදේශ දේශාංශ විශාල ගණනක් පුරා පැතිරිලා තියෙන නිසා යම් වේලාවකදී තැනින් තැනට උණුසුම විශාල වශයෙන් වෙනස් වෙනවා. සාගරයේ භූ විෂමතා නැති නිසා ඕනෑම සුළඟකට කිසි කරදයක් නැතිව වේගයෙන් හමා යන්න පුළුවන්. සුළං ප්‍රවාහ ඒ යන ගමන් එකතු කර ගන්නා ජල වාෂ්ප සේරම ගොඩබිමට අරගෙන ගිහින් වැසි වලාකුළු ඇති කරනවා. වළාකුළු නිසා වැසි ඇති කරනවාට අමතරව සූර්යාලෝකය ආවරණය කිරීම නිසා හිරුගේ උණුසුම ජලයට සහ භූමියට ලැබීමත් අවම කරනවා.
දේශගුණය ඇති වෙන්නේ මේ විදිහට අව්ව, වැස්ස, සුළඟ ඇති කරන වෙනස්කම් නිසායි.
අවපීඩන, අවපාත කියන්නේ මොනවාද?
සරලවම කිව්වොත් අවපාතයක්, අවපීඩනයක් කියලා හඳුන්වන්නේ අවට ප්‍රදේශයට වඩා වායුගෝල පීඩනය අඩු ප්‍රදේශයකටයි. කලින් කිව්වා වගේ ප්‍රතිවිරුද්ධ දිශාවන්ට හමන සුළං ප්‍රවාහ එක මත එක ඇතිල්ලෙනකොට හට ගන්නා සුළං කරකැවීම තමයි මේවායේ ආරම්භය වෙන්නේ. මුහුදු ප්‍රදේශයක අවපීඩන තත්වයක් ඇති වුණාම ඉහළට ඇද ගන්නා ජල වාෂ්ප මිශ්‍රිත වාතය සාමාන්‍ය වාතයට වඩා බරින් අඩුයි. (වාතයේ 98%කටත් වඩා තිබෙන නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන වායූන්වල අණුක ස්කන්ධය 28 හා 32 වුණත් ජල වාෂ්පවල එය 18ක් පමණයි) මේක තමයි අවපාතය පවත්වාගෙන යන්න උදව් වෙන්නේ.
ඒ නිසාම සාගර කලාපයක් මැද්දේ හට ගන්නා අවපීඩන තත්වයක් මුහුදෙන් ජල වාෂ්ප ලබා ගනිමින් විශාල වායු සුළියක් බවට පත් වෙනවා. බෙංගාල බොක්කේ විශාලත්වය නිසාම සාගර කලාපය ඇතුළේ ශ්‍රී ලංකාව වගේ විසි තිස් ගුණයක් විශාල වා සුළි පවා නිර්මාණය වෙන්න පුළුවන්. සාගරයේ තියෙන තාක් කල් මේ විදිහට නිර්මාණය වන වා සුළි, සුළි කුණාටු බවට පත් වෙමින් වර්ධනය වෙනවා.
ආසන්නයේ විශාල ගොඩබිමක් තියෙන එක හොඳයි වගේම නරකයි
බෙංගාල බොක්ක සුවිසල් ගොඩබිම්වලින් වට වෙලා තියෙන එකේ තියෙන ලොකුම හොඳ දේ තමයි මේ හැදෙන සුළි කුණාටු සේරම වැඩි කාලයක් නොයා අවසන් වෙන එක. කලිනුත් කිව්වා වගේ මේ ප්‍රදේශ ඉක්මණින් උණුසුම් වෙන නිසා මුහුදේ සිට ගොඩබිම දෙසට හමාගෙන යන ප්‍රබල සුළං ප්‍රවාහ ඇති වෙනවා. මේවාට පුළුවන් විශාල සුළි කුණාටුවක් වුණත් ගොඩබිම දිහාවට ඇදගෙන ගිහිල්ලා නවත්වලා දාන්න. ගොඩබිමට ගියාට පස්සේ කුණාටුව පවත්වා ගෙන යන්න තරම් ජල වාෂ්ප ලැබෙන්නේ නැති නිසා ඉතාම ඉක්මණින් කුණාටුව නැති වෙලා යනවා.
ඒ කිව්වේ ඉතින් මහා පරිමාණයෙන් බැලුවාමනේ. ඒත් ඉතින් ගොඩබිමට යනකොට මේ සුළි කුණාටුවල ටොන් ලක්ෂ ගාණක ජල වාෂ්ප අන්තර්ගත වෙනවා. ඒ සේරම ඉතින් මුහුදුබඩ ප්‍රදේශවලට වැසි විදිහට පතිත වෙන අතරේ කුණාටුවේ තියෙන සම්පූර්ණ ශක්තියම සුළං විදිහට මේ ප්‍රදේශවලට මුදා හැරෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල දැඩි ගංවතුර තත්ත්ව, සුළි සුළං, කුණාටු ඇති වෙලා විශාල හානියක් වෙන්න ඉඩ තියෙනවා.
කොහොම වුණත් අපි ඉන්නේ බෙංගාල බොක්කට නිරිත දෙසින් හින්දා අපිට කුණාටු අවදානමක් නැහැ. බෙංගාල බොක්කේ තියෙන අවපීඩන තත්ත්වවලට ඇදිලා එන සුළං නිසා තමයි අපිට බලපෑමක් වෙන්නේ. ඒ සුළං ඉන්දියන් සාගරයේ විශාල ජල තලය හරහා එනකොට එකතු වෙන ජල වාෂ්ප ටික තමයි අපිට වැසි ඇති කරන්නේ. කුණාටු නිසා ඇතිවන ‘එසැණ ගංවතුර’ තත්ත්ව (flash floods) අපේ රටට එන්නේම නැති තරම්. රටේ ඉහළ ප්‍රදේශවලට වැටෙන වැස්ස ගංගා දිගේ ගලාගෙන ඇවිත් තමයි මෙවර ගංවතුරත් ඇති වුණේ.
ඉතින් ලොකු භූමියකට පහතින් තියෙන පුංචි දූපතක් වුණු ශ්‍රී ලංකාව බොහොම වාසනාවන්තයි. බැරි වෙලාවත් අපේ රට බෙංගාල බොක්කේ කුණාටු ඇති වෙන ප්‍රදේශයට ඉහළින් තිබුණා නම් තත්වය මීට වඩා සෑහෙන්න දරුණු වෙන්න ඉඩ තිබුණා.
මෙතෙක් දැන ගත්ත දේවල්වලින් ඉස්සරහට එන්න තියෙන ලොකු වැස්ස ගැන අපිම අනාවැකි කියමු
උඩින් තියෙන සිතියමේ තියෙන්නේ මේ ප්‍රදේශයේ වළාකුළු වැස්මයි. ඔබටත් පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් මේ සිතියමේ සජීවී රූපයක් දැක ගන්න. කාලයත් එක්ක වළාකුළු වැස්ම වෙනස් වෙන හැටි විවිධ වේලාවන් තෝරලා හරි, චල රූපයක් විදිහට පෙනෙන්න දාලා හරි දැක ගන්න පුළුවන්.
වළාකුළු වැස්මේ සිතියම ඇත්තටම බොහොම ප්‍රයෝජනවත් එකක්. චන්ද්‍රිකාවකින් ගන්න රූපයක වළාකුළු නිසා අපි ලෝක සිතියමක දකින ගොඩබිම් සහ මුහුදු ආවරණය වෙලා තියෙන විදිහ තමයි මේකෙන් දැක්වෙන්නේ. වළාකුළුවල තියෙන ජලවාෂ්ප ප්‍රමාණය අනුව විවිධ පාට පසුව යොදලා තියෙනවා. වේලාවෙන් වෙලාවට මේ වගේ රූපයක් ගත්තාම සුළඟේ වේගය, වැසි මට්ටම්, වා සුළි, කුණාටු වගේ හදිසි කාලගුණ අවස්ථා බොහොමයක් ගැන දැන ගන්න පුළුවන්. ඉතින් අපිත් දැන් මේක දිහා බලලා කාලගුණ අනාවැකි දැන ගන්න විදිහ සරලව බලමු.
මේ සිතියම දැකපු ගමන් හැමෝටම පෙනෙන දෙයක් තමයි බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙන විශාල වළාකුළු එකතුව. කාලය ගත වෙනවාත් එක්කම මේ වළාකුළු එකම ප්‍රදේශයක් වටා කරකැවෙන බව පෙනෙනවා. ඔන්න ඕකට තමයි වා සුළියක් කියන්නේ. ඊට ඇද ගන්න ජල වාෂ්ප ප්‍රමාණය නිසා අභ්‍යන්තරයේ පීඩනය අඩු වෙනවා. (කලින් කිව්වේ, ජල වාෂ්ප සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි) ඒ පීඩනය අඩු තැන වටා තවත් වේගයෙන් සුළිය කරකැවෙන්න ගන්නවා.
මේ සුළිය ඉදිරි දින කිහිපයේ බංගලාදේශය, ඉන්දියාව ඇතුළු ඊට එහායින් තියෙන ප්‍රදේශවලට කුණාටුවක් විදිහට කඩා වදිනවා. ඒ හරියක ලංකාව පිහිටලා තිබුණා නම් අපේ රටට දෙවියන්ගේම පිහිටයි තමයි. දැන් තියෙනවා වගේ සිය ගුණයක් තත්වය දරුණු වේවි.
දැන් අපි අපිට බලපාන දේවල් ගැන අවධානය යොමු කරමු. පෙනෙනවාද ශ්‍රී ලංකාවට බටහිරින් සහ දකුණෙන් තියෙන වළාකුළු ගහණ ප්‍රදේශ? කාලයත් එක්ක බැලුවොත් මේවාත් අපේ රට හරහා සුළිය තියෙන පැත්තට ඇදිලා යන බව ඔබට පෙනේවි. රෝස පාට තියෙනවා කියන්නේ තදබල වැසි ලබා දෙන්න සමත් ඝන වැහි වළාකුළු තිබෙනවා කියන එකයි. ඒවාට යටින් තියෙන මුහුදු ප්‍රදේශවලට මේ වන විටත් තදින් වහිනවා. කොච්චර වැස්සත් සුළඟට මුහුදෙන් ජල වාෂ්ප ආපහු ලැබෙන නිසා වැස්ස වැහැලා ඉවර වෙන්නේ නැහැ.
දැන් ඒ වගේ තැන් කාලයත් එක්ක වෙනස් වෙන හැටි බලමු. විවිධ වෙලාවල්වලදී මේ වළාකුළු කැටි ගමන් කරන වේගයන් සහ දුරවල් අනුව ඒවා ලංකාවට ළඟා වෙන කාලය කියන්න පුළුවන්. ඔබ පැයෙන් පැයට මේවා යන දුර සටහන් කරලා සාමාන්‍ය වේගය අරගෙන ලංකාවට තියෙන දුර ආශ්‍රයෙන් කාලය ගණනය කරලා බලන්න. හෙට හවස් වෙද්දී මේ වළාකුළු ලංකාවට ඇතුළු වෙන ප්‍රදේශ ආශ්‍රිතව අති විශාල වැස්සක් ඇති වෙන්න නියමිතයි.
කොහොම නමුත් ගොඩබිමට ආවට පස්සේ වහින වැස්සට හරි යන්න ජල වාෂ්ප සුළඟට එකතු නොවෙන නිසාත්, රටේ කඳුකර ප්‍රදේශවල වැදිලා සුළඟ අඩපණ වෙන නිසාත් රටේ උතුරු, නැගෙනහිර පළාත්වලට ලොකු වැස්සක් ලැබෙන්නේ නැති වේවි. වළාකුළු රටට ඇතුළු වෙන බස්නාහිර හා දකුණු පළාතුත්, අපේ රට කුඩා නිසා ටිකක් ඇතුළට වෙන්න තියෙන සබරගමුව පළාතටත් තමයි තද වැසි ඇති වෙන්නේ. ඒ එක්කම ඉතින් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශත් සුළඟ නිසා ඇති වෙන රැළි හේතුවෙන් රළු වෙන්න පුළුවන්. වැසි නිසාත්, වළාකුළුවලට සූර්යයා ආවරණය වන නිසාත් මේ ප්‍රදේශවල උෂ්ණත්වය එහෙමත් අඩු වෙනවා. ගොඩබිමේ තද සුළං ඇති වෙනවා.
ඔන්න ඉතින් දැන් කාලගුණ වාර්තාව හරිම සරලව කියන්න ඔබටත් පුළුවන්. එහෙම නේද?
ප්‍රවේසම් වෙමු, අනවශ්‍ය ජීවිත හානි සහ විනාශය අවම කර ගනිමු
මෙතෙක් කියපු කාරණා නිසා ඉදිරි දින කිහිපයේදී අපේ රටට ලීටර් බිලියන ගණනක ජල ප්‍රමාණයක් අඩංගු වැසි වැටෙන්න නියමිතයි. ඉතින් ඒවා මොන විදිහකින් හරි මුහුදට ගලාගෙන යන්න ඕන නේ. (වාෂ්ප වෙලා යන ප්‍රමාණය අව්ව නැති නිසා ඉතා අඩුයි) ඒ නිසා ඒ වතුර සේරම ගංගා ඇතුළු ජල මාර්ග දිගේ පහළට එන්න පටන් ගන්නවා. පහත් බිම් යට වෙන්නත්, ගලාගෙන යන ජලයට හසු වෙලා ජීවිත, දේපළ හානි වෙන්නත් ඉඩ තියෙනවා. විදුලිය, ජලය, ඉන්ධන සහ වෙනත් අත්‍යාවශ්‍ය දේ බෙදා හරින මධ්‍යස්ථාන අඩපණ වෙන්න පුළුවන්. මාර්ග අවහිර වෙලා සහන සේවා ක්‍රියාත්මක කරන්න අපහසු වෙන්නත්, ඒ නිසා ගැටලුව උත්සන්න වෙන්නත් ඉඩක් තියෙනවා.
කොටින්ම කියනවා නම් ආවටත් වඩා ගංවතුරක් හෙට ඉඳලා ආයෙත් ඇති වෙන්න ඉඩ තියෙන බව මොන තරම් කණගාටුවෙන් වුණත් අපි වටහා ගත යුතුයි.
මේ වෙනකොටත් ගංවතුරට අදාළව රජයෙන් සහ අනෙක් ආයතනවලින් දන්වලා තියෙන විදිහට කටයුතු කරලා ප්‍රවේශම් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ජූනි 4-5 වගේ වෙන තුරු මේ කියපු බොහෝ ප්‍රදේශවලට තද වැසි පවතීවි. ගංවතුර නිසා සිද්ධ වෙන්න තියෙන හානිය තවත් කාලයකට අපේ රටට ලොකු පාඩුවක් වේවි. ලෙඩරෝග පැතිරිලා අමතර ගැටළු ගොඩාක් ඇති වෙන්නත් පුළුවන් අපි පරිස්සම් නොවුණොත්.
අපිට ඉතින් මේ දේවල්වලට එරෙහිව ලොකු පියවර ගන්න හැකියාවක් නැහැ. නමුත් එකතු වෙලා, බුද්ධිමත්ව, අනුකම්පාව ඇතිව වැඩකටයුතු කළොත් මේ ඇති වෙන හානිවලින් ගොඩ එන්න අපි හැමෝටම පුළුවන්. Roar අපිත් ප්‍රාර්ථනා කරන්නේ මේ වෙන්න තියෙන විපතෙන් සිදු වෙන හානි ප්‍රමාණය අඩු වෙන්න කියලයි. අද ලබා ගත් දැනුමෙන් අනාගතයේ ඇති වෙන කාලගුණ සංසිද්ධිවලට අවබෝධයෙන් මුහුණ දෙන්න ඔබටත් හැකි වේවි කියලා විශ්වාස කරනවා.
කවරයේ රූපය. (www.alarabiya.net)
මූලාශ්‍ර:
- www.ussartf.com
- Reuters
- AccuWeather
- Wikihow.com
- Wikipedia