පළාත් පාලන ආයතනවලට ආර්ථික වර්ධනය සඳහා දායක විය හැකි ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෑතක දී සිදුවීම් දෙකක් – ත්‍රස්ත ප්‍රහාරයක් සහ වසංගතයක් – හේතුවෙන් පසුබෑමට ලක්විය. ඛේදජනක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගෙන තිබුණි. 2019 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආර්ථිකය 2.6%කින් වර්ධනය වීමට සමත් වූ නමුත්, 2018 වසරේ එම කාලය තුළ වාර්තා වූ 3.3% සමග සසඳද්දී එය සැලකිය යුතු පහත වැටීමකි.

2018-2019 (ජුනි මාසයෙන් අවසන් වූ) මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාව 2.7%ක වර්ධන වේගයක් වාර්තා කළ අතර, එය දකුණු ආසියාව අතින් සැලකූකල අඩු මට්ටමේ කාර්ය ඵලයක් ලෙස ලෝක බැංකුව පෙන්වා දුන්නේ ය. 2020 වසර මුල දී ආර්ථිකය 3.5%ක් දක්වා වර්ධනය වනු ඇතැ යි ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කළ ද, COVID-19 වසංගතය නිසා කෘෂිකාර්මික, ඇඟලුම්, සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැනි දේශීය අංශවයන්ට නැවත හිස එසවීම දුෂ්කර වී තිබේ. සංචාරක ක්‍ෂේත්‍රය මත මෙම බර විශාල වශයෙන් පැටවී ඇති අතර, මේ වන විටත් සංචාරකයින් තමා සැලසුම් කළ ගමන්බිමන් අත්හිටුවා ඇති සේම, රජය ද දිවයින තුළ සංචරණයට වාරණ පනවා ඇත.

මෙම සිදුවීම් දෙකෙන් ආර්ථිකයට ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවර මොනවා ද?

පිළිතුර සරල නැත. නමුත් සාර්ථක වීමට ජාතික මට්ටමේ උත්සාහයක් වශයෙන්, ප්‍රාදේශීය මට්ටමින් ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගා ගැනීමට පළාත් පාලන ආයතනවලට සහාය අවශ්‍ය වේ. ඒ අනුව, ජාතික මට්ටමින් ඒවායේ මූල්‍ය  ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුව තිබේ.

පළාත් පාලන ආයතනවල කාර්යභාරය

පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙත මධ්‍යම රජයේ බලය බෙදා හැර තිබේ. මෙම පළාත් පාලන ආයතන මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභාවලින් සමන්විත වේ.  2017 වසර අවසානයේ දී මහ නගර සභා 24ක්, නගර සභා 41ක්, සහ ප්‍රාදේශීය සභා 276ක් ආදී වශයෙන් පළාත් පාලන ආයතන 341ක් විය. 

‘පළාත් පාලන ආයතන’ යනු ජනතාවට සමීපව කටයුතු කළ හැකි, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් වේ. හොඳ සේවාවන් සැපයීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සහ ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව ගැටලු නිරාකරණය කිරීම උදෙසා කටයුතු කිරීම ඒවායේ වගකීම යි.

මීට අමතරව, ප්‍රාදේශීය ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ දී පළාත් පාලන ආයතනයන් ද වැදගත් සේවාවක් සපයයි. ලෝක බැංකුවේ ව්‍යාපාර දර්ශකයට අනුව, රටක ව්‍යාපාරික පරිසරයට බලපාන තීරණාත්මක දර්ශක 10න් 3ක්ම පළාත් පාලන ආයතනවල විෂය පථයට අයත් වේ. එනම්, ව්‍යාපාරයක් පිහිටුවීම, ඉදිකිරීම් බලපත්‍ර සහ දේපල ලියාපදිංචි කිරීම යන අංග තුන යි. 

පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් අරමුදල් ලැබෙන නමුත්, බදු එකතු කිරීම සහ කුලිය වැනි වෙනත් ආදායම් මාර්ග ද තිබේ. මහජනයාට සේවා සැපයීම සඳහා ඔවුන් රජයේ ප්‍රදානයන් සහ මෙම ‘ස්වයං උත්පාදන ආදායම’ භාවිතා කරයි. 

පළාත් පාලන වියදම් ‘පුනරාවර්තන වියදම්’ සහ ‘ප්‍රාග්ධන වියදම්’ ලෙස බෙදී යයි. එහිදී පුස්තකාල, සුසාන භූමි ආදී නඩත්තු කටයුතු ‘පුනරාවර්තන’ යටතේත්, පාලම් ආදිය තැනීම නව ප්‍රාග්ධන යටතේත් ගැ‍නේ.

පළාත් පාලන ආයතනවලට 2016 දී රජයේ ප්‍රදානයන් ලෙස රුපියල් බිලියන 30.8ක් (දැනට පවතින නවතම දත්තවලට අනුව) ලැබී ඇති අතර, ඔවුන්ගේම ස්වයං උත්පාදනයන්ගෙන් රුපියල් බිලියන 31.7ක ඒකාබද්ධ ආදායමක් ලැබුණි. මෙයින් මහ නගර සභා සඳහා රු. බිලියන 15.56 (49%)කුත්, නගර සභා සඳහා රු. බිලියන 5.15 (16%)කුත්, සහ ප්‍රාදේශීය සභා සඳහා රු. බිලියන 11.04 (35%)කුත් ලැබී තිබිණි. මෙම විභවය වෙත අත්වැල් සැපයුවහොත් පළාත් පාලන ආයතනවලට දෙපයින් නැගිටීමට පමණක් නොව, ජාතියක් වශයෙන් ආර්ථිකය තුළ හිස එසවීමටත් හැකියාව ලැබෙනු ඇති බව නොඅනුමාන ය.

srilankabusiness.com

ලෝක බැංකුවේ වර්ගීකරණ නියමයන්ට අනුකූලව 2019 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කෙරිණි. මෙම ඉහළ නැංවීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් බවට ඔසවා තැබීමෙන් වසර 50කට පසුව ය. නිදහසින් පසු වසර 50ක් තුළ, ක්‍රම ක්‍රමයෙන් රටේ සම්පත් උපරිම ලෙස භාවිතයෙන් ලාභදායී ශ්‍රම වෙළඳපොළක් නිර්මාණය කිරීමත්, ලොව ඉහළම තලයේ ඇඟලුම් අපනයනකරුවා බවට පත් වීමත් එම වර්ධනයට හේතු විය. 

2020 දී ලෝක බැංකුව ශ්‍රී ලංකාව නැවතත් ‘පහළ-මධ්‍යම ආදායම්ලාභී රටක්’ දක්වා පහත හෙළී ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සිය ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය නැවත ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එය සමග එන අනෙකුත් ප්‍රතිඵලයන් ගැන ද සිහියට ගත යුතු වේ.

උදාහරණයක් ලෙස, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අඩු විදේශ ආධාර ප්‍රමාණයක් වන අතර, රජයේ හුවමාරු ද අඩු කෙරේ. ඊට අමතරව, අප තවදුරටත් අඩු මිල ශ්‍රම වෙළඳපොළක් නොවනු ඇති අතර, පාරිභෝගික භාණ්ඩ හෝ සේවාවන්හි මහා පරිමාණ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්කල අඩු වැටුප් සාමාන්‍යයක් ඇති නව ‘පහළ-මධ්‍යම ආදායම්ලාභී රටවල්’ සමග තරග කිරීමට නොහැකි වනු ඇත.

එවන් විවිධ බාධාවන් හේතුවෙන් රටවල්වලට ධනවත් රටක් බවට පත්වීම වළකන ‘මධ්‍යම ආදායම් උගුල’ පිළිබඳ න්‍යාය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන (srilankamirror.com)

‘පොහොසත් රටක්’ වීමට නම් රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 12,086ක් විය යුතු අතර, එයින් අදහස් වන්නේ රට වසරකට අවම වශයෙන් 9%ක ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගත යුතු බව යි. ශ්‍රී ලංකාවට එය සිතාගන්නටවත් නොහැකි මට්ටමේ අභියෝගයකි.

දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන දෘෂ්ටි කෝණයකින් බලනකල, ශ්‍රී ලංකාව ආර්ථිකයේ ඉහළට ගමන් කරන්නට සූදානම්ව සිටින පසුබිමක පළාත් පාලන ආයතනවල කාර්යභාරය සහ වැදගත්කම දැන් ඉස්මතු වෙමින් පවතී. ආර්ථික වර්ධනය සහතික කිරීමේ දී විවිධ අංශයන්හි පුළුල් වෙනස්කම් අවශ්‍ය වුව ද, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය ගැන අව‍ධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. දේශීය ආදායමෙන් රුපියල් බිලියන 31.7ක් (2016 දී) පමණ උපයා ඇති පළාත් පාලන ආයතන ආර්ථික විභවතාවන්ගෙන් පිරිපුන්ව සිටියි.

වඩාත් සිත්ගන්නා කරුණ නම්, ඔවුන්ගේ ස්වයං උත්පාදන ප්‍රභවයන්ගෙන් උපයන ලද අරමුදල් පළාත් පාලන ආයතන සඳහා මධ්‍යම රජය විසින් වෙන්කර ඇති මුදලට වඩා (සමස්ථයක් වශයෙන්) වැඩි වීම යි.

පළාත් පාලන ආයතන, දේශීය ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් ස්ථාවර හා සුරක්ෂිත පරිසරයක් සඳහා වන සහතිකයක් බඳු ය. මෙයින් අදහස් කරන්නේ ඔවුන් සපයන සේවාවන් (මාර්ග වැනි යටිතල පහසුකම් ඇති කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය සහ තවත් දෑ පාලනය) ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූලව, ප්‍රමාදයකින් හෝ විසංවාදයකින් තොරව සිදු කළ යුතු බව යි. 

පළාත් පාලන ආයතන ද ඔවුන්ගේ මූලික කාර්යයන්ගෙන් ඔබ්බට විකාශනය වී ඇති අතර, දැන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීම, සහ සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිත නඟා සිටුවීම ඉලක්ක කරගත් විවිධ වැඩසටහන් දියත් කරනු ලබ යි.

ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කුමන උපායමාර්ගික දර්ශන ක්‍රියාත්මක කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා රට පුරා ප්‍රජාවන් ක්‍රියාකාරීව සහභාගී වන බව සහතික කිරීමට ද පළාත් පාලන ආයතනවලට හැකියාව තිබේ. 

පශ්චාත් COVID සමයේ ආර්ථික ප්‍රතිසාධනය

hindustantimes.com

මෑත කාලීනව ඇති වූ දරුණුතම වසංගතය නිසා ලොව පුරාම කර්මාන්ත අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටී. සෞඛ්‍යය, ආහාර, සහ ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා අංශවලට වඩාත්ම මූල්‍යමය සහාය අවශ්‍ය වන කාලයක, රාජ්‍ය වියදම් ද පියවා ගැනීම දුෂ්කර ය.

සියලුම ව්‍යාපාරික, සමාජ, හා ආර්ථික අංශ ආදායම් හිඟයන් අත්විඳියි. සේවක වියදම් කපා හැරීමේ සිට සමස්ත දෙපාර්තමේන්තු වසා දැමීම දක්වා හැකි සෑම දෙයක්ම කරමින් කාර්මික ආයතන නොවැටී සිටීමට උත්සාහ කළ ද, අනාගත යහපත උදෙසා වසා දැමීමට සිදු වූ ව්‍යාපාර රැසක් ද විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී අවධාරණය කළේ සාර්ථක ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ අභිවෘද්ධියට සහාය විය යුතු බවත්, සම්පත් අරපිරිමැස්මෙන් භාවිතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු තවදුරටත් අවධාරණය කළේ පශ්චාත් COVID-19 සමයේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා දේශීයව නිපදවන භාණ්ඩවලට ප්‍රමුඛතාවය දීමත්, ආහාර සුරක්‍ෂිතතාවය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි කිරීමත් අවශ්‍ය බව ය. මෙම උපායමාර්ග අනුව ගත් කල පළාත් පාලන ආයතනයකට ඒ සඳහා දායක විය හැක්කේ කෙසේ ද?

2020 අපේ‍්‍රල් මාසයේ දී ආසියානු පදනම විසින් සිදු කෙරුණු, පළාත් පාලන ආයතනවල COVID-19හි බලපෑම පිළිබඳ කඩිනම් තක්සේරුවක් මඟින් පළාත් පාලන ආයතන විසින් කෙටි කාලීන හා මධ්‍ය කාලීනව අවධානය යොමු කළ යුතු අංශ ගණනාවක් දක්වා තිබේ. වඩාත් ස්ථාවර සහ වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සහතික කිරීම සඳහා වූ එම අංශ පහත ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත් වේ.

1. ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම – ආහාර සුරක්ෂිතතාව සඳහා පළාත් ප්‍රතිපත්තියක් සකස් කිරීම; ගෙවතු වැඩසටහන් සංවිධානය කිරීම; ගෘහස්ථ කොම්පෝස්ට් සැකසුම් ක්‍රමවේදයන් හඳුන්වා දීම, ගොවීන්ට නාගරික කොම්පෝස්ට් සඳහා වට්ටම් ලබා දීම; ආහාර නිෂ්පාදනය සඳහා පළාත් පාලන ආයතනවල දියුණු නොකළ ඉඩම් භාවිතා කිරීම; සහ පළාත් පාලන ආයතන වල ඉඩම්  කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීම සඳහා පෞද්ගලික අංශය සමග හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීම යන දෑ මෙයට ඇතුළත් ය.

2. දේශීය ආර්ථිකය ගොඩනැගීම: දේශීය ව්‍යාපාර සහ ග්‍රාමීය කර්මාන්ත සිතියම්ගත කිරීම; දේශීය ව්‍යාපාර ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය සමඟ හවුල්කාරිත්වය; දේශීය ව්‍යාපාරික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම; සහ ව්‍යාපාර සඳහා විවෘත වෙබ් ද්වාර (portals) පිහිටුවීම.

මීට අමතරව, පළාත් පාලන ආයතනවල දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා නව තාක්ෂණය යොදා ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. මෙම වසංගතයෙන් මතුවී ඇති එක් සුබදායී කරුණක් වන්නේ, COVID-19 මඟින් ඇති වන දුෂ්කරතා සමනය කිරීම සඳහා ආයතන වැඩි වැඩියෙන් විවිධ තාක්‍ෂණික ක්‍රමවේදයන් අත්හදා බලමින් සිටීම යි.

COVID-19 නිසා ලොව පුරා විරැකියාව විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී තිබේ. වෙනත් රටවලට වඩා වෛරසය මෙරට අඩු වශයෙන් බල පැවැත්වුණ ද, ශ්‍රී ලංකාවත් මෙම ගැටලුවට මුහුණ දී සිටියි. පළාත් පාලන ආයතනවලට විශ්‍රාම ගන්වන ලද හෝ රැකියා විරහිත පුද්ගලයන්ට සහාය දැක්විය හැකි එක් ක්‍රමයක් නම් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යි.

wikimedia.org

ඉහළ යන පිරිවැය සහ ලාභ පහත වැටීම හේතුවෙන් කුඩා ව්‍යාපාර වසා දැමීමට සිදුවීමත් සමඟ, ආයතනික අවකාශය සඳහා පළාත් පාලන ආයතනවල අදාළ බල සීමාවන් තුළ අතහැර දැමූ ස්ථාන (ඉඩම් / ගොඩනැගිලි) ප්‍රතිසංස්කරණය කිරීම විකල්පයකි. විශේෂයෙන් එය වෙළඳසළක් නොමැතිව තම ව්‍යාපාර කරගෙන යාමට අරගල කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මහත් සහනයක් වනු ඇත.

වසංගතය හේතුවෙන් බදු ආදායම් හිඟයන් තක්සේරු කිරීම සහ අයවැය නැවත ඇගයීම මෙම කාල සීමාව තුළ ඉතා වැදගත් කරුණකි. ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා දීම ද ප්‍රජාවන්ට සහාය වීම සඳහා පළාත් පාලන ආයතනවලට ගත හැකි තවත් පියවරකි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය යලිත් වරක් පහත වැටීම සහ විවිධ අංශ කෙරෙහි COVID-19 වසංගතයේ දැඩි බලපෑම් තවමත් පවතින හෙයින්, පළාත් පාලන ආයතන (මධ්‍යම රජයේ අරමුදල් මත රඳා නොපවතිමින්) ස්ථාවර හා මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම වෙන කවරදාටත් වඩා දැන් අත්‍යාවශ්‍ය කාරණයක්ව තිබේ. 

මෙයින් අදහස් කරන්නේ පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් මොනවා ද හා ඒවා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පුරවැසියන් සක්‍රීයව දැනුවත් විය යුතු බවත්, පළාත් පාලන ආයතනවල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් සහතික විය යුතු බව ය.

මූල්‍ය බලය සම්බන්ධයෙන් (ආසියානු පදනම විසින් කරන ලද පර්යේෂණයන්ට අනුව), නාගරික ප්‍රදේශවල පළාත් පාලන ආයතනවලට ඇති වාසියක් වන්නේ, ජනගහනය වැඩි වීම යි. එවිට මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනුවෙන් යටිතල පහසුකම් සහ වෙනත් සේවාවන් සඳහා ආයෝජනය කිරීමට ඒවාට හැකියාව ලැබේ.

රටේ පුරවැසියන් වශයෙන් බදු ගෙවීම අපගේ යුතුකමකි. එසේම එම මුදල් පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි භාවිතා කරන්නේ ද යන්න සොයා බැලීම ද අපගේ අයිතියකි. බොහෝ ශ්‍රී ලාංකිකයෝ තම බදු මුදල් වියදම් කරන්නේ කෙසේ ද කියාවත්, පළාත් පාලන ආයතන බදු මත මෙතරම් දැඩි ලෙස රඳා පවතින්නේ මන්ද කියාවත් නොදනිති.

අපගේ බදු වියදම් කරන්නේ කෙසේ ද සහ බදුවල වැදගත්කම කුමක් ද යන්න තේරුම් ගත් පසුව, අපට අදාළ පළාත් පාලන ආයතන සමග සම්බන්ධ වී පොදු සේවාවන් (යටිතල පහසුකම් ද ඇතුළුව) සැපයීම ප්‍රශස්ත කිරීමට දායක විය හැකි අතර, ඊට සමගාමීව ආර්ථික සමෘද්ධියෙන් පිරි රටක් කරා පා නඟන්නට ද හැකි වනු ඇත.

ක්‍රියාකාරී පුරවැසියන්, සහ වගවීමෙන් යුතුව නව්‍යකරණය පෙරටු කරගත් පළාත් පාලන ආයතන ඇතිකල ශක්තිමත්, සැමට සමානව අවස්ථාවන් ලැබෙන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි වන්නේ ය.

Related Articles

Exit mobile version