කාර්මීකරණය හා ප්‍රවාහනයේ දියුණුවත් සමග ලෝකය අතිශය කාර්යයබහුල හා කාර්යයක්ෂ්ම එකක් බවට පත් වුණා. මේ අති විශාල දියුණුව පිටුපස විශාල කාර්යභාරයක් ඉටුකළ එක් සාධකයක් ලෙස ඛණිජ තෙල් ඉහළින්ම සනිටුහන් වී තිබෙනවා.
යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වය සඳහා හොඳ ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වෙනවා. ජල විදුලිය හා ගල් අඟුරු ශක්ති ප්‍රභවයන් ලෙස භාවිතා කළ ද, ප්‍රවාහනයේ දී බොහෝ විට ඛණිජ තෙල් භාවිතා කරන්නට මිනිසුන් හුරු වූයේ එවැන්නක් අරබයා එය යොදාගැනීම වඩාත් පහසු මෙන්ම කාර්යයක්ෂ්ම වූ නිසා යි.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඛණිජ තෙල් සොයාගැනීම, එය ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම මෙන්ම, කර්මාන්තයක් ලෙස පිරිපහදු කරන ලද ඛණිජ තෙල් නිපදවීමට පටන්ගැනීමත් සිදු වී තිබෙන්නේ අදින් බොහෝ කලකට පෙරයි. ඇමෙරිකාව ලොව බලවත්ම ජාතිය වීම සඳහා ඛණිජ තෙල් කර්මාන්තය වැදගත් මෙහෙයක් ඉටුකොට තිබෙනවා. එහි ඉතිහාසය අධ්‍යයනය කිරීම රසවත් වෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඛණිජතෙල් කර්මාන්තය ස්ථාපිත වීම
ඇමෙරිකාව ගවේෂණය කරන්නට පැමිණි මුල් කාලීන දේශ ගවේශකයින් බොහෝ දෙනෙකුට ඛණිජ තෙල් නිධි පිළිබඳ යම් යම් සාක්ෂ්‍ය හමු වී තිබෙනවා. 16 හා 17 වන සියවස් වල කැලිෆෝනියාවේ හා ඇමෙරිකාවේ නැගෙනහිර පෙදෙස් වල ඛණිජ තෙල් තිබී හමු වූ බවට දේශගවේෂකයින් සටහන් තබා තිබෙනවා. කාර්මික විප්ලවයට පෙර සමයේ දී ද ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නතර වී සිටි යුරෝපීයයන් එහි තැනින් තැන, බිම් මට්ටමට ආසන්නයෙහි තිබූ කුඩා ඛණිජ තෙල් නිධි සොයාගෙන, ඉන් ලබාගත් ග්‍රීස් මෙන්ම භූමිතෙල් ද ඖෂධ නිස්සාරණය, ගිණි ඇවිලවීම වැනි දේ වලට යොදාගත්තා.
ඇමෙරිකාව තුළ පළමු ඛණිජ තෙල් සමාගම ස්ථාපිත වන්නේ 1859 වසරේ දී කනෙක්ටිකට් හී යි. පෙන්සිල්වේනියා හි ජල ප්‍රභවයක ඛණිජ තෙල් පාවෙමින් තිබී හමු වී ඇති අතර ඒ ඔස්සේ යමින් පොළොව විද අඩි 69ක ගැඹුරකින් ඛණිජ තෙල් නිධියක් සොයාගන්නට ඇමෙරිකානුවන් කිහිපදෙනෙකු සමත්ව තිබෙනවා. මෙම සමාගම Pennsylvania Rock Oil Company of Connecticut ලෙස හඳුන්වා තිබෙනවා.
පෙන්සිල්වේනියාවේ ඛණිජ තෙල් නිධිය සොයාගැනීමත් සමග ව්‍යාපාරිකයින් ඒ දෙසට ඇදෙන්නට පටන්ගත් අතර ජෝන් ඩී. රොකෆෙලර් ඉන් විශේෂිත අයෙකු වුණා. ඔහු හා නෑදෑ හිතමිතුරන් කිහිපදෙනෙක් 1870 වසරේ දී ස්ටෑන්ඩර්ඩ් ඛණිජ තෙල් සමාගම පිහිටුවනවා.
ක්‍රි.ව1859 වසරේ දී පෙන්සිල්වේනියාවේ ඛණිජ තෙල් ආකරය සොයාගැනීමේ පුරෝගාමියා වී සිටියේ එඩ්වින් එල්. ඩ්‍රේක් යන අය යි. මේ නිසා එය ‘ඩ්‍රේක් ලිඳ’ ලෙස හැඳින්වූවා. 19 වන සියවසේ අපරභාගය වන විට මේ අවට තවත් තෙල් නිධි තිබිය හැකියැයි අනුමාන කර කිහිප දෙනෙක්ම පර්යේෂණ පැවැත්වූවා. ඒවාට අනුබද්ධව විවිධ සමාගම් පිහිටවුණු අතර ස්ටෑන්ඩර්ඩ් සමාගම හැකි උපරිම ලෙස ඒවා අත්පත් කරගැනීම සිදු කර පෙන්සිල්වේනියාවි ප්‍රබලම ඛණිජ තෙල් සමාගම බවට පත් වුණා.
ඛණිජතෙල් කර්මාන්තය දියුණු වෙමින් පැවතුණු සමයේ, යම් සමාගමක සාර්ථකත්වය සඳහා ඒවා ප්‍රවාහනය කරන නළ පද්ධති අත්පත් කරගෙන තිබීම විශේෂ අවශ්‍යතාවක් වුණා. ස්ටෑන්ඩර්ඩ් සමාගම යුහුසුළුව එයත් සිදු කළා.
ඛණිජ තෙල් කර්මාන්තය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දියුණු වෙයි.
පෙන්සිල්වේනියාව ආශ්‍රිතව වැඩි වැඩියෙන් තෙල් නිධි සොයාගැනීමත් සමගම ඛණිජ තෙල් මිළ පහළ වැටුණා. එය ස්ටෑන්ඩර්ඩ් ඇතුළු ඉන්ධන සමාගම් වලට ගැටළු ගෙන නොදුන්නේ ඊට සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම නිසායි. මේ සමාගම් විද්‍යාඥයින්ව යොදාගෙන තමන් පිරිපහදු කරගන්නා තෙල් වල තත්ත්වය උසස් කරගැනීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලය වූයේ භූමිතෙල් ඇතුළු අනෙකුත් ඛණිජ තෙල් ගල් අඟුරු වැනි ඒවාට වඩා පහසුවෙන් හා ලාභදායීව යොදාගත හැකි එකක් බවට පත්වීම යි. මේ නිසා ඇමෙරිකාව පුරාවටම ඛණිජ තෙල් අතිශය ලෙස ජනප්‍රිය වුණා.
ඛණිජ තෙල් ඉල්ලුම ඉහළ යාමත් සමග ෆිලඩෙල්ෆියා, නිව්යෝක්, හා බැල්ටිමෝර් වැනි නගරත් තෙල් කර්මාන්තය හා එකතු වුණා. යුරෝපය ද මේ වන විට ඛණිජ තෙල් වල පහසුතාව අවබෝධ කරගෙන සිටි අතර ඇමෙරිකාවෙන් ඒවා ආනයනය කරනන්ට පටන්ගත්තා. මේ නිසා ඇමෙරිකානු තෙල් කර්මාන්තයට හොඳ කලක් උදා වුණා.
ලොස් ඇන්ජලීස් හි පළමු ඛණිජ තෙල් නිධිය 1892 වසරේ දී ඇති වන අතර ඉක්මණින්ම එහිත් ඛණිජ තෙල් කර්මාන්තය ස්ථාපිත වෙනවා. 1900 වසරේ ස්ටෑන්ඩර්ඩ් සමාගම කැලිෆෝනියාවට පැමිණෙන විටත් එහි ඛණිජ තෙල් සමාගම් 7ක් පමණ ස්ථාපිතව තිබූ අතර යූනියන් ඛණිජ තෙල් සමාගම ඉන් විශේෂිත තත්ත්වයක තිබුණා.
අභියෝග රැසක් පැන නඟීයි
ඛණිජ තෙල් වලට ලොව පුරා ඉල්ලුම සීඝ්‍ර ලෙස ඉහළ නඟින විට එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම ඛණිජ තෙල් සමාගම් වලට අභියෝගයක් වුණා. උපකරණ හා ක්‍රියාවලීන් වලට අධික වියදමක් දැරීමට සිදුවීමත්, ඒ ඒ ප්‍රාන්ත වල පාලනාධිකාරියෙන් පනවන ලද බදු හේතුවෙනුත් ඛණිජ තෙල් සමාගම් යම් යම් අපහසුතා වලට මුහුණදෙන්නට පටන්ගත්තා. මෙයට පිළියමක් ලෙස ‘ස්ටෑන්ඩර්ඩ් ඛණිජතෙල් එකඟතාව‘ 1882 වසරේ දී පිහිටුවා ගැනෙනවා. මේ මඟින් ස්ටෑන්ඩර්ඩ් සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයක් එක්කාසු වී කටයුතු කරන්නට පටන්ගත් අතර ඒ නිසා පෙර කී අභියෝග සෑහෙන දුරට ජයගන්නට ඔවුනට හැකි වෙනවා.
ස්ටෑන්ඩර්ඩ් සමාගම හා අනුබද්ධ අනෙකුත් සමාගම් වලට අභියෝගයක් වෙමින් පියෝ ඛණිජතෙල් සමාගම බිහිවන්නේ 1895 වසරේදී යි. මේ තරගය වසර ගණනාවක් පැවතුණු අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට වාසි සැලසුණේ වඩා හොඳ තත්ත්වයේ ඛණිජ තෙල් ලබා දීමට දෙපාර්ශවයම උත්සුක වීම නිසා යි.
ස්පින්ඩ්ල්ටොප් තෙල් නිධිය
ක්‍රි.ව 1901 දී ඇමෙරිකානු තෙල් කර්මාන්තය නව මඟක් ගත්තා. එයට හේතුව වූයේ අති විශාල තෙල් නිධියක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් හමුවීම යි. ටෙක්සාස් ප්‍රන්තයේ ස්පින්ඩ්ල්ටොප් හි මෙය හමු වූ අතර මෙතෙක් ඇමරිකාව තුළ ඒකාධිකාරයක් ගෙනගමින් සිටි ස්ටෑන්ඩර්ඩ් සමාගමේ ඒකාධිකාරය බිඳදැමීමට එය සමත් වුණා. ස්පින්ඩ්ල්ටොප් නිධිය සොයාගැනීමත් සමග ඛණිජතෙල් කර්මාන්තය ඇමෙරිකාව තුළ කෙතරම් ජනප්‍රිය වී ද යත් ඉනික්බිති එක් වසරක් තුළ කුඩා ඛණිජ තෙල් සමාගම් 1500ක් පමණ බිහිවුණා. කෙසේ නමුත් මින් දීර්ඝකාලීනව සාර්ථක වූයේ සමාගම් කිහිපයක් පමණ යි.
ටෙක්සාස් හි ඛණිජ තෙල් සොයාගැනීම තදාසන්නවම ඔක්ලහෝමා, ලුසියානා, ආකන්සාස්, හා කොලරාඩෝ ප්‍රාන්ත වලත් තෙල් ගවේෂණය වූ අතර 1909 වසර වන විට ඇමරිකාව ලොව අන් සියළු රට වලින් වාර්ෂිකව නිපදවන ඛණිජ තෙල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවීම සිදුකළා.
දේශපාලනය, ආර්ථිකය හා ඛණිජ තෙල්
20 වන සියවසේ මුල් දශකය අවසන් වන විට ස්ටෑන්ඩර්ඩ් ඛණිජතෙල් සමාගමේ ඒකාධිකාරිය යම් ප්‍රමාණයකට බිඳවැටී තිබුණත් එය සතුව විශාල බලයක් තිබුණා. මෙය කෙතරම් ප්‍රබල වී ද යත් ඇමෙරිකාවේ දුම්රිය ගමන් ගාස්තු මෙන්ම නැව් ගමනාගමන කටයුතු වල මිළ ගණන් නිර්ණය කෙරෙන ප්‍රධානතම හස්තයක් බවට එය පත්ව තිබුණා. මේ සඳහා අනෙකුත් සමාගම් කිහිපයක් සමග එය පැමිණ තිබූ එකඟතාවත් දැඩිලෙස දායක වුණා.
මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් සමාගම අමෙරිකානු පාලන තන්ත්‍රය ගන්නා තීන්දු තීරණ වලටත් බලපෑම් කරන තත්ත්වයට පත්වී තිබුණා. මේ අසීමිත බලය අයුතු ලෙස යොදාගන්නේ යැයි ඔවුනට චෝදනා නැගුණු අතර එය විභාග කළ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ස්ටෑන්ඩර්ඩ් සමාඟම හා අනුබද්ධ එකඟතාව බල රහිත කොට ඒවා අනු කොටස් 34 කට වෙන් කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් ස්ටෑන්ඩර්ඩ් සමාගම හා ඒ අනුබද්ධ සමාගම් සතුව තිබූ වෙළඳපොළ කොටස් ප්‍රතිශතය 33% සිට 13% දක්වා පහළ ගියා. මේ නිසා සමහර සමාගම බංකොලොත් වූ අතර ස්වාධීනව නැගී සිටි සමහරක් සමාගම් දියුණු වී එකිනෙකා අතර තරග කරන තත්වයට පත් වුණා. මෙය ඇමෙරිකානු මහජනයාට සැනසිලිදායක එකක් වුණා.
20 වන සියවස හා ඛණිජ තෙල්
20 වන සියවසේ උදාවත් සමගම ප්‍රවාහනය දැඩි ලෙස දියුණු වූ අතර ගුවන්යානා හා මෝටර් රථ වැඩි වශයෙන් නිපදවුණා. මේ හේතුවෙන් ඊට පෙර සමයේ වඩා ජනප්‍රියව තිබූ ඛණිජ තෙල් වර්ගය වන භූමිතෙල් වලට වඩා ඩීසල්, පෙට්‍රල් වල ජනප්‍රියත්වය වැඩි වුණා. මේ ප්‍රවණතාව ඇමෙරිකානු ඛණිජ තෙල් සමාගම් තවත් වැඩිදියුණු කරන්නට හේතු වුණා.
පළමු ලෝක යුධ සමයේ සිට වර්තමානය වන තුරු ඇමෙරිකානු ඛණිජ තෙල් කර්මාන්තයේ හැසිරීම පිළිබඳව තවත් ලිපියකින් සාකච්ඡා කරමු.
කවරයේ පින්තූරය – History.com