1982 වසරේ දී රුසියානු බලධාරීන් එක්තරා දාම ඝාතකයෙකු සොයමින් ගම් නියම්ගම් පීරා සිය මෙහෙයුම් දියත් කර තිබුණා. මේ කාලය වනවිට එකම ආකාරයකට ඝාතනය කොට ඉන් පසු විකෘති කරන ලද මළසිරුරු දුසිම් කිහිපයක් රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයෙන් හමු වී තිබුණා. ඒවා කපා කොටා තිබූ අන්දමෙහි සමානතාව නිසාම මේ සියල්ලක්ම එක් අයෙකු විසින් සිදුකරන ලද ඝාතන බවට රුසියානු පොලිසියට වැටහී තිබුණා. කෙසේ නමුත් ඔහු අල්ලා ගැනීමට ඒ වන විට දියත් කර තිබූ මෙහෙයුම් සියල්ල අසාර්ථක වී තිබූ අතර, පෙර සඳහන් කළ අන්දමින් ඝාතනය වූ මළසිරුරු දිගින් දිගටම හමුවීම නිසා ඉක්මණින් ඔහු අල්ලා නොගතහොත් විශාල ව්‍යසනයක් සිදුවිය හැකි බැව් ඔවුනට ඒත්තු ගොස් තිබුණා.
පොලිසිය මුලින් සිතා සිටියේ තමන් සොයන පුද්ගලයා තරුණයෙකු විය යුතු බව යි. ඔවුන් සොයන අය ඇත්තෙන්ම හතළිස් පස් විය ඉක්මවූ විශ්‍රාමික හමුදා සෙබලෙකු බවත්, දෙදරු පියෙකු බවත් ඔවුන් වටහාගත්තේ මේ ඝාතන වල සුලමුල සම්පූර්ණයෙන්ම හෙළි වූවාට පසුව යි.
ආන්ද්‍රෙයි චිකටිලෝ ගේ මුල් කාලය
ආන්ද්‍රෙයි චිකටිලෝ උපත ලැබුවේ 1936 වසරේ ඔක්තෝබර් මස 16 වන දින යුක්රේනයේ දී යි. එවකට එය සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ අතර ඔහු උපන් සමයේ දී ප්‍රදේශයේ ඉතා දැඩි දුර්භීක්ෂයක් හා ආර්ථික අවපාතනයක් පැවතුණා. මේ නිසා ආන්ද්‍රෙයි හා ඔහුගේ පවුලේ උදවියට එක් කාමරයක් සහිත පැල්පතක කල් ගෙවන්නට සිදුවී තිබුණා. ඔහුගේ වැඩිමල් සොයුරා එක්වරම අතුරුදන් වූ අතර කතාව පැතිරගොස් තිබුණේ ඔහුගේ අසල්වැසියන් ආහාර හිඟය නිසා ඔහු පැහැරගෙන, අනතුරුව ආහාරයට ගන්නට ඇති බව යි.
කුඩා ආන්ද්‍රෙයි නිසි වයස එළැඹි පසු පාසල් යන්නට පටන්ගත්තත් එහිදී ද නිරන්තරයෙන් උසුළු විසුළුවලට ලක් වුණ. ඔහු පෙනුමෙන් මලානික වූ, කුඩා දුර්වල අයෙකු වීම ඊට හේතුවක් වුණා. දෙවන ලෝක යුධ සමයේ ඔහුගේ පියා සිරභාරයට පත්වීමත් සමග මේ අඩන්තේට්ටම් වඩා ඉහළ ගියා. කෙසේ නමුත් මේ සියල්ල මධ්‍යයෙන් ඔහු ඉගෙනගැනීම සඳහා හොඳ ප්‍රතිභාවක් පෙන්වූවා.
තරුණයෙකු ලෙස
නව යොවුන් වියට එළැඹෙන විට පුද්ගලයෙකු වශයෙන් ආන්ද්‍රෙයි දැඩි ලෙස මානසික පීඩනයට ලක් ව සිටියා. මෙය ඔහුගේ එදිනෙදා ජීවිතයටත් බලපෑම් කරන්නට පටන්ගත්තා. මේ හේතුව නිසා ඔහු සමාජයට මෙන්ම තමන්ටත් වෛර කරන්නට පටන්ගත්තා. තරුණියක් කිහිප දෙනෙකු සමග ප්‍රේම සම්බන්ධකම් ගොඩනගාගත්ත ද ඒවා සියලලක්ම අසාර්ථක වූයේ කායික බැඳීම්හි ඔහු දැක්වූ අදක්ෂතාවය නිසා යි. මේ නිසා ඔහුගේ මිතුරන් තව තවත් ඔහුට උසුළු විසුළු කරන්නට පටන්ගත් අතර තරුණියන් කෙරෙහි ද මහත් වූ වෛරයක් ඔහුගේ සිතෙහි පැලපදියම් වුණා. තරුණියන් තමන් නැති තැන තමන්ට ගරහන බැව් අනුමාන කළ ඔහු විටෙක සියදිවි නසාගන්නට පවා තැත් කළා.
1957 වසරේ දී හෙවත් ආන්ද්‍රෙයි චිකිටිලෝ 21 වියැතිව සිටින විට සෝවියට් හමුදාව ඔහු අනුයුක්ත වෙනවා. මෙම සිද්ධිය ඔහු එතෙක් ගෙවූ අසහනකාරී ජීවිතය උඩුයටිකුරු කිරීමට සමත් වෙනවා. හමුදාව තුළ ගෙවීමට නියමිත වූ කාලය ඉතා ආදර්ශමත් ලෙස ගතකළ ඔහු ගෞරවාන්විතව ඉන් සමුගත් පසු කොමියුනිස්ට් පක්ෂය හා බැඳෙනවා.
විවාහය හා පසු සමය
ආන්ද්‍රෙයි විවාහ වන්නේ ඔහුගේ බාල සොයුරියක් ඔහුට හඳුන්වා දුන් තැනැත්තියක සමග යි. ඔහුගේ ‘නොහැකියාව’ කෙසේ හෝ දරාගත් ඇය ඔහුට දාව දුවක හා පුතෙකු ජනිත කරනවා.
ආන්ද්‍රෙයි රුසියානු සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දක්වා ඒ පිළිබඳ වූ පාඨමාලාවක් හදාරන්නට පටන්ගන්නේ මේ අතරයි. රොස්ටොව් විශ්වවිද්‍යාලයේ පස් අවුරුදු පාඨමාලක් වූ එය සාර්ථකව හදාරා සාහිත්‍ය ගුරුවරයෙකු ලෙස පාසලකට පත්වීමක් ගන්නට ඔහු සමත් වෙනවා.
හොල්මන් කළ අතීතය
සිය දිවියේ 30 වන සැතපුම් කණුව පසු කරන විට පුරුෂයෙකු ලෙස ආන්ද්‍රෙයි චිකටිලෝට ලැබිය යුතු බොහෝ දේ ලැබී තිබුණා. ඔහුට බිරියක්, දරුවන්, මුදල් හා රැකියාවක් තිබුණා. කෙසේ නමුත් කුඩා කළ ඔහු පෙළූ මානසික පීඩනය නැවතත් ඔහුට අරියාදු කරන්නට පටන්ගත්තේ ඔහු උගන්වමින් සිටි පාසලෙහි දරුවන් හසුරවාගන්නට ඔහුට නොහැකි වීමත් සමග යි. ඔවුන් ද තමන් ‘තලාපෙලා දැමීමට’ පෙර යමක් කරන්නට සිතූ ඔහු තමන් දැන් ශක්තිය ඇති වැඩිහිටියෙකු නිසා වහාම ක්‍රියාත්මක වීමට සිතුවා. කුඩා නොපනත්කම් වලින් පටන්ගත් ඔහුගේ ‘ප්‍රතිචාර දැක්වීම්’ අවසානයේ ලිංගික හිංසන කිරීම් දක්වාම දුරදිග ගියා. කෙසේ නමුත් මුල දී ඊට එරෙහිව කිසිවෙකුත් පියවරක් ගත්තේ නැහැ.
කෙටි කලෙකින් ආන්ද්‍රෙයි චිකිටිලෝගේ චර්යාව පිළිබඳ පාසලේ බලධාරීන් දැනුවත් වෙනවා. පාසලේ ‘ගෞරවය’ ගැන සිතූ ඔවුන් වහාම ආන්ද්‍රෙයි ඉන් ඉවත් කර දැමුවත් ඉන් එහා කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
රොස්ටොව්හි ඝාතකයා
තමා සේවය කළ පාසලෙන් නෙරපීමත් සමග ආර්ථික හා මානසික යන දෙඅංශයෙන්ම ආන්ද්‍රෙයි කඩා වැටුණා. ඔහු සමාජයෙන් ලබන අවමන් කිසි ලෙසකින් තවදුරටත් විඳදරා ගන්නට ඔහු සූදානම් වූයේ නැහැ. සමාජයෙන් ‘පළිගන්නට’ ඔහු තීරණය කළා.
විවාද පැවතිය ද ආන්ද්‍රෙයි ගේ ප්‍රථම මනුශ්‍ය ඝාතනය ලෙස සැලකෙන්නේ 1978 වසරේ දී සිදු කළ යෙලේනා සැකොට්නෝවාගේ ඝාතනය යි. ඇය 9 වියැති දැරියක වුණා. ඇයගේ රුධිර පැල්ලම් ආන්ද්රෙයිගේ නිවස ආසන්නයේ තිබීමත්, ඔහුගේ හඬට සමාන අයෙකු සමග ඇය කතා කරමින් සිටිනු තමන්ට ඇසුණු බැව් අසල්වැසියෙක් ප්‍රකාශ කිරීමත් නිසා පොලිසියේ සැකය ඔහු වෙත යොමු වුණු නමුදු ඒ කාලයේ දීම වෙනත් අයෙකු එම ඝාතනයට පැටලීම නිසා කිසිදු දඬුවමක් නොබලා ඔහු ඉන් ගැලවෙනවා.
යෙලේනා ඝාතනය කිරීමත් සමග මෙතෙක් කල් ආන්ද්‍රෙයි තුළ සැඟව සිටි ‘යක්ෂයා’ අවදි වෙනවා. එක් අතකින් මෙතක් කල් තමන් පෙළූ සමාජයෙන් පළිගන්නට තමන්ට දැන් ශක්තිය ඇතැයි යන්න මෙන්ම එවක රොස්ටොව්හි පොලිසිය ක්‍රියා කරන ආකාරය අනුව මිනීමැරුමක් කර ගැලවෙන්නට පහසු බව ද ඔහුට ප්රත්යක්ෂ වෙනවා. රොස්ටොව්හි තැනින් තැන කපා කොටා ඝාතනය කළ අයවළුන්ගේ සිරුරු මතුවන්නට පටන්ගන්නේ ඉන් අනතුරුව යි.
ඝාතනය වූ සියළු දෙනාම සමාජ සම්බන්ධතා අඩුවෙන් ඇති අයවළුන් හෝ කුඩා දරුවන් වුණා. ආන්ද්‍රෙයි ඔවුන් බස් නැවතුම්පොළවල දී හෝ දුම්රිය ස්ථානවල දී හමුවී කෙසේ හෝ ඔහු සමග යන්නට පොළඹවාගෙන තිබුණා. ඉන් අනතුරුව පිහියකින් ඇන ඔවුන් අඩපණ කොට, අනතුරුව අත් පා බැඳ, සපා කා, අවසානයේ ලිංගික හිංසන සිදු කොට ඝාතනය කර තිබුණා. ඔවුන් සියල්ලගේම නිසල දේහ තුරු ගොමු අස්සේ හෝ කුණු ගොඩවල සැඟවීම ඔහු පුරුද්දක් කරගෙන තිබුණා.
මළසිරුරු හැර යාමට පෙර අවසාන මිනිත්තුවේ දී ඔහු ඔහුගේ වඩාත් කුරිරුම ‘චාරිත්‍රය’ සිදුකළා. ඒ එහි ඇස් ගලවා ඒවා විනාශ කිරීම යි. ඒවා නිරුපද්‍රිතව තිබුණහොත් තමන්ගේ රුව එහි ‘මුද්‍රණය’ වී තිබී හසුවෙතැයි ඔහු තුළ භීතියක් පැවතීම ඊට හේතුවක් වුණා (ගොදුරක ඇස්වල අවසානයට සටහන් වන්නේ මිනීමරුවාගේ ඡායාවයැ යි මතයක් තිබුණා).
පොලිස් පර්යේෂණ හා හසුවීම
කෙටි කාලයක් තුළ ආන්ද්‍රෙයි ඝාතන 56ක් සිදුකරනවා. ඉන් අති බහුතරය තරුණ හෝ කුඩා කාන්තාවන් හා දැරියන් වූ අතර කුඩා පිරිමි දරුවන් කිහිප දෙනෙකු ද වුණා. කෙසේ නමුත් පොලිසියට ආන්ද්‍රෙයි අත්අඩංගුවට ගන්නට වසර කිහිපයක් ගත වෙනවා. සැක පිට කිහිප විටක්ම ඔහු පොලිස් භාරයට ගැණුන ද සාක්ෂ්‍ය මඳකම නිසා ඔහු ඒ සෑම විටකම නිදහස් වෙනවා. ඒ අතරතුරත් ඔහු ඔහුගේ ‘පුරුද්දෙහි’ නිරත වෙනවා.
ජෛව විද්‍යාත්මකව ද ආන්ද්රෙයිට යම් රැකවරණයක් තිබුණා. ඒ ඔහුගේ රුධිරයේ හා අනෙකුත් ශාරීරික ස්රාවයන්ගේ සැකැස්මෙහි වෙනසක් තිබීම යි. මේ නිසා අතටම හසුවීමට ගිය වරෙක ඔහු නිදහස් වෙනවා. ඒ මළසිරුරෙහි වූ කෙළ හා ආන්ද්‍රෙයි ගේ රුධිරය සමාන නොවීම නිසා යි.
වසර විස්සක් පුරාවට සාක්ෂ්‍ය එක් කිරීමෙන් පසු ඝාතකයා ආන්ද්රෙයිම බැව් පොලීසිය ප්රත්යක්ෂ කරගන්නවා. මේ නිසා ඔහුගේ රුධිරය හා අනෙකුත් ස්‍රාව පිළිබඳ පරීක්ෂණ සිදුකෙරෙන අතර එහිදී ඔහුගේ අසාමාන්‍යතාව හසුවෙනවා. අවසන ඔහු මිනීමැරුම් චෝදනා වලට ලක් කොට උසාවියට ඉදිරිපත් කෙරෙනවා.
පාපොච්ඡාරණය හා තීන්දුව
පොලිස් භාරයට පත් වූ පසු මනෝවිද්‍යාඥයෙකු ඉදිරිපිට ඔහු තමන් කළ සියළු ඝාතන පිළිබඳව පාපොච්ඡාරණය කරනවා. අනතුරුව ඔහු උසාවියට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන්නට පටන්ගන්නවා. මේ නිසා ඔහු යකඩ කූඩුවක තබන්නට පොලිසියට සිදුවෙනවා. ඔහුට විරුද්ධව නඩුව විභාග වන විට කිහිප විටක්ම ඔහු මහ හඬින් ගීත ගායනා කිරීමටත්, ඇඳුම් ඉවත් කර නිරුවත දැක්වීමටත් පෙළඹුණා.
ඔහුගේ ‘උමතු ස්වභාවය’ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ උසාවිය ඔහු වරදකරු කොට මරණීය දණ්ඩණය ලබා දුන් අතර 1994 වසරේ පෙබරවාරි මස 14 වැනි දා එය ක්‍රියාත්මක කෙරෙනවා. සමහරෙක් ඔහු බොරු උමතු බවක් පෙන්වා මරණ දඬුවමෙන් ගැලවීමට උත්සාහ කළ බැව් පැවසුවත් තවත් බොහෝ දෙනෙකු පවසන්නේ ඝාතන සිදු කර ඇති ආකාරය සැලකීමේ දී ඇත්තෙන්ම ඔහු උමතු අයෙකු බැව් තහවුරු වන බව යි.