සෑම වසරකම අප්‍රේල් මස පළමු වන දා සැළකෙන්නේ ‘මෝඩයාගේ දිනය’ ලෙස යි. මෙදිනට යම් ‘බොරුවක්’ කියා සිය හිතමිතුරන් ‘අමාරුවේ දැමීම’ බොහෝ දෙනා සිදුකරනවා. යම් කිසිවෙකු එම බොරුවට හසුවුවහොත් ඔහු හෝ ඇය ‘අප්‍රේල් මෝඩයා’ ලෙස නම් කෙරෙනවා.
ලොව නමක් දිනා සිටින සමාගම් ද සමහර අවස්ථාවල දී සිය ගණුදෙනුකරුවන් ගොනාට අන්දවා ‘අප්‍රේල් මෝඩයින් බවට පත් කොට තිබෙනවා. මින් සමහරක් සිද්ධීන් ලෝක ප්‍රසිද්ධියට පත් වුණා. මේ සටහන ඉන් හොඳම විහිළු කිහිපයක් ගැන යි.
ස්විට්සර්ලන්තයේ ‘ස්පැගටි’ ගස්
1957 වසරේ අප්‍රේල් මස පළමු වන දා මහා බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවක් වන බී.බී. සී.හි විකාශය වූ ‘පැනොරාමා’ නම් ලෝක පුවත් ගෙන එන වැඩසටහනක ස්විට්සර්ලන්තයේ ‘ස්පැගටි’ ගස් පිළිබඳව විශේෂාංගයක් විකාශය වුණා. එහි සඳහන් වූයේ ‘ස්පැගටි’ කුරුමිණියාගේ අතුරුදන් වීමත් සමග එහි ස්පැගටි අස්වැන්න ඉතා ඉහළ ගොස් ඇති බව යි. මෙයට එම වසරේ බලපෑ උණුසුම් ශිශිරයත් හේතු වූ බව ඔවුන් තවදුරටත් පැවසුවා. මීට අමතරව ස්විස්ටර්ලන්ත ගෙවිලියන් ස්පැගටි ගස්වලින් ස්පැගටි ‘කරල්’ කඩා, ඒවා අව්වේ වියලෙන්නට හරිනු දැක්වෙන කෙටි වීඩියෝවක් ද ඔවුන් විකාශය වෙන්නට සැලැස්වූවා.
මේ පුවත විකාශය වීමත් සමග මහා බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනා ඒ දෙසට සිය අවධානය යොමු කොට තිබුණා. සිය ගණනක් දෙනා බී.බී.සී ආයතනයට දුරකථන පණිවුඩ දී, තමන්ටත් ස්පැගටි වගාවක් ඇරඹීමේ කැමැත්තක් ඇති බවත්, ඊට මූලික උපදෙස් සපයන ලෙසත් ඉල්ලා සිටියා. ඔවුනට ලැබුණු ප්‍රතිචාරය වූයේ ‘ස්පැගටි කැබැල්ලක් ගෙන, එය තක්කාලි සෝස්වල බහා, බලාපොරොත්තු සහගතව පසුවන‘ ලෙස යි. බොහෝ දෙනාට තමන් අප්‍රේල් මෝඩයාට ඇන්දුණු බව පසක් වූයේ පසුව යි.
සිඩ් ෆින්ච්
1985 වසරේ අප්‍රේල් මස ස්පොර්ට්ස් ඉලස්ට්‍රේටඩ් සඟරාව නවතම බේස්බෝල් ක්‍රීඩකයෙක් පිළිබඳව ලොවට හෙළි කළා. ‘සිඩ් ෆින්ච්’ යනුවෙන් හඳුන්වා තිබූ ඔහු හට තිබෙන්නේයැ යි දක්වා තිබූ දක්ෂතාවයන් එතෙක් මෙතෙක් ලොව කිසිදු බේස්බෝල් ක්‍රීඩකයෙකුට ළඟාවිය නොහැකි මට්ටමෙහි වූ, අදහාගත නොහැකි තරමේ ඒවා වුණා.
ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් සඟරාවේ එවකට කළමණාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මාක් මුල්වෝයි විනෝදයට බර පුද්ගලයෙක් වුණා. 1985 වසරේ මාර්තු මස අවසන් සතියේ දිනක ඉදිරි සඟරාවෙහි අන්තර්ගතය සකසමින් සිටි ඔහුට එය නිකුත් වන්නේ අප්‍රේල් පළමු වෙනි දා බැව් පෙනී ගියා. මෙය සිය පාඨකයාට ‘විහිළුවක්’ කිරීමට හොඳම අවස්ථාවක් බව සිතූ ඔහු තමන් යටතේ සිටි දක්ෂ රචකයෙකු වන ජෝර්ජ් ප්ලිම්ප්ටන් කැඳවා ක්‍රීඩාවට අදාල වන ලෙස අප්‍රේල් විහිළුවක් නිර්මාණය කරන ලෙස දන්වා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘සිඩ් ෆින්ච්’ කරළියට පැමිණියා.
හේඩන් සිද්ධාර්ථ ෆින්ච් හෙවත් ‘සිඩ්’ ෆින්ච් නම් වූ නිව්යෝක්වාසී ක්‍රීඩකයාට නිසි එල්ලය සහිතව බේස්බෝල් පන්දුවක් පැයට සැතපුම් 168ක වේගයෙන් විසිකළ හැකි බැව් ප්ලිම්ප්ටන් ලියා තිබුණා. මෙහි එවකට සත්‍ය වාර්තාව වී තිබුණේ පැයට සැතපුම් 103ක වේගයකුයි. ඔහු සිය බේස්බෝල් දිවියේ ආරම්භයේ සිටින බවත් තවදුරටත් ක්‍රීඩා කරන්නේ ද, එසේත් නැතිනම් එය අතහැර සංගීතය සිය වෘත්තිය කරගන්නේ ද යන්න පිළිබඳව දෙගිඩියාවකින් පසුවන බවත් තවදුරටත් එහි දක්වා තිබුණා. මේ පුවතට අනුව ෆින්ච් අනාථයෙකු ලෙස එංගලන්තයේ හැදී වැඩුණු බවත්, ඉන් අනතුරුව කෙටිකාලීනව හාවඩ් විශ්වවිද්‍යාලයයට ගොස්, පසුකාලීනව යෝග ඉගෙනීම සඳහා ටිබෙටයේ ලාමාවරයෙකු වෙත ගොස් තිබුණා. එහිදී ලද ධ්‍යානයක් නිසා ඔහුට සිය අසාමාන්‍ය විසිකිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
මේ හෙළිකීරීමත් සමග ලොව පුරා බේස්බෝල් රසිකයින් ෆින්ච්ට බේස්බෝල් අත්නොහරින ලෙස දන්වන ලෙස දුරකථන ඇමතුම් දෙන්නට පටන්ගත්තා. සමහරෙක් ඔහු දිරිමත් කිරීමට පවා ඉදිරිපත් වුණා. මේ සිද්ධීන් කෙතරම් බලවත් වූයේ ද යත් ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් සඟරාවට වහාම එය අප්‍රේල් විහිළුවක් පමණක් බැව් ප්‍රකාශ කිරීමට සිදුවුණා.
දින 26 මැරතන් තරගය
මේ අප්‍රේල් විහිළුව සිදුකරන ලද්දේ 1981 වසරේ දී ඩේලි මේල් සඟරාව විසිනුයි. මෙහිදී, සන්නිවේදන දුර්වලතාවයක් නිසා දින 26ක් අඛණ්ඩව මැරතන් තරගයකට සහභාගී වූවෙක් ගැන කියැවුණා.
සමාන්‍යයෙන් මැරතන් තරගයක සම්මත දුර වන්නේ සැතපුම් 26ක දුරකුයි. කෙසේ නමුත් කිමො නකජිමි නම් ජපාන ක්‍රීඩකයෙක් සන්නිවේදන දුර්වලතාවයක් නිසා ‘අත්වැරදීමකින්’ සැතපුම් 26ක දුරක් වෙනුවට ඒ වන විට දින 26ක කාලයක් දුවමින් සිටින බවත්, ‘නවතින’ ලෙස පවසන කිසීවෙකුට කන් නොදෙන බවත් ඩේලිමේල් සඟරාව ප්‍රකාශ කළා. මෙහිදී ඔහු නැවැත්වීමට බොහෝ දෙනා ඉදිරිපත් වූ අතර, ඒ පිරිසට සානුකම්පිතව ඔහු පිළිබඳව තැකූ ජපාන ජාතිකයින් ද වුණා. නමුත් ඒ කිසිවෙක්ට තමන් ඉතා දරුණු ගණයේ අප්‍රේල් විහිළුවකට හසු වූ බව එක්වරම වැටහුණේ නැහැ.
උක්ත සිදුවීම හුදු විහිළුවක් පමණක් වූවත්, ඊට වසර 32කට පසුව එම සිද්ධිය සැබෑවටම අත්හදා බලන්නට ජේසන් බ්ලැක් නම් දුර ධාවකයා තීරණය කළා. 2013 වසරේ දී ඔහු අනුයාත දින 26ක මැරතන් තරග 26ක් ධාවනය කළේ ලාස් වේගාස් ආහාර බැංකුව විසින් දියත් කළ ප්‍රජා සත්කාරයකට දායක වීම සඳහා යි.
ඩිජිටල්කරණය වූ බිග්බෙන්
මේ අප්‍රේල් විහිළුවත් කරළියට ගෙන ආවේ බී.බී.සී සමාගම විසිනුයි. 1980 වසරේ අප්‍රේල් මස පළමු වන දා පුවතක් ගෙන එමින් ඔවුන් ප්‍රකාශ කළේ, දියුණුවන තාක්ෂණයත් සමග ඉදිරියට යා යුතු නිසා ඉක්මණින්ම ලන්ඩනයේ ‘බිග්බෙන්’ ඔරලෝසුව ඩිජිටල්කරණය වනු ඇති බව යි. මීට අමතරව මුලින්ම ඇමතුම් ලබාදෙන සිවුදෙනාට එහි සිවු දිශාවේ ඇති පැරණි ඔරලෝසු මුහුණත් සිහිවටන ලෙස ලබාදෙන බව ද ප්‍රකාශ කෙරුණා. කෙසේ නමුත් මීට ලැබුණු ප්‍රතිචාර නම් සිතූ තරම් හාස්‍යජනක වුණේ නැහැ. බිග්බෙන්හි පෞරාණික අගය කෙලෙසන්නට යන්නේ යැයි බවසමින් ‘කුණුහරුපයෙන්’ බැනුම් ඇසීමට අදාල බලධාරීන්ට සිදුවුණා.