අඟහරු ලොවට නෑකම් කියන අටකාමා කතර

යුරෝපය හැරුණු විට ලෝකයේ ඇති සෑම මහාද්වීපයකම පාහේ කාන්තාර හමු වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාර කියූ විට දුඹුරුවන් වැලි කඳුත් ගිනි ගෙන දැවෙන හිරු රැසුත් අපේ සිහියට එන්නේ නිතැතින්මයි. බොහෝ විට කාන්තාව යනුවෙන් හඳුන්වන්නේ උණුසුම් කාන්තාර වුවත් ශීත කාන්තාරත් පවතිනවා. ඒවාත් කිසිදු ගහ කොළක් දකින්න නැති ඉතාම වියළි ප්‍රදේශ.

උපතින්ම කාන්තාර ලක්ෂණ නැති, නිල්වන් කෙත් යායවල් වලින් ආඪ්‍ය වුණු පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාවේ උපන් අපට මින් එහා කාන්තාරයක් විස්තර කරන්නට ප්‍රායෝගික දැනුමක් නැහැ. එසේ හැකියාවක් තිබේ නම් ඔහු හෝ ඇය මැද පෙරදිග හෝ වෙනත් කාන්තාරික රටකට ගොස් තිබිය යුතුයි. ඉතින් අපි හිතන්නේ ලොව සියලු කාන්තාර පෙර කියූ කුලක දෙකට අනුරූපව එකම ආකාරයේ ලක්ෂණ පෙන්නුම් කරන ඒවා බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මූලික කරුණු කිහිපයකින් සමාන වුණත් ඒ ඒ කාන්තාරවලට අනන්‍ය ලක්ෂණ තියෙනවා.

මේ සියලු කාන්තාර අතරින් දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ඇති “අටකාමා” කාන්තාරය ඉතාම සුවිශේෂී එකක් වන්නේ ඇන්ටාක්ටිකාවේ වියළි නිම්නය හැරුණු විට එය ලොව වියළිම ස්ථානය වීම නිසා පමණක් නොවෙයි. ලෝකයේ අනෙක් කාන්තාරවලට වඩා සුවිශේෂී අනන්‍ය ලක්ෂණ ගණනාවක්ම ඒ සතුව තිබෙන නිසායි. සහරා කාන්තාරය සමඟ සසඳන විට අටකාමා කතර කුඩා එකක් වුණත් ලොව කාන්තාර ගැන කතා කරන විට විද්‍යාඥයින් මෙයට විශේෂ තැනක් ලබා දෙන්නේ මේ නිසයි. සමහරු මෙයට ඇටකාමා කියා කීවත් එහි නිවැරදි උච්චාරණය වන්නේ අටකාමා යන්නයි.

අටකාමා කාන්තාරයේ පිහිටීම

අටකාමාවේ පිහිටීම (nationalgeographic.com)

අටකාමා කතර පිහිටා ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත්වයි. ලතින් ඇමෙරිකාවේ බටහිරට වන්නට පිහිටා ඇති ඇන්දීස් කඳු පන්තියත්, ඊටත් බටහිරින් පිහිටි පැසිෆික් සාගරය ගොඩබිම හමු වන බටහිර වෙරළ තීරයත් අතර කිලෝමීටර 1000 ක පමණ දිගකින් යුතු පටු බිම් කඩකට සීමාව මෙය මායිම් වී තිබෙනවා. අටකාමා කතරේ වපසරිය වර්ග කිලෝමීටර 105,000 ක් පමණ වන අතර ඇන්දීස් කඳු පන්තියට අයත් නිසරු බටහිර බෑවුම්ද සැළකුවහොත් එම ප්‍රමාණය වර්ග කිලෝමීටර 128,000ක්. මේ නිසා ප්‍රමාණයෙන් කුඩා කාන්තාරයක් වුණත් එය ඇත්තෙන්ම ශ්‍රී ලංකාව වගේ දෙගුණයක් පමණ විශාලයි!

මේ කාන්තාරයේ වැඩිමනක් පෙදෙස් විවිධ ගල් කඳුවලින් හා ලවණ සහිත විල්ලුවලින් සමන්විතයි. පරිපාලනමය වශයෙන් චිලී දේශයට අයත් මෙය කොන් පේරු, බොලිවියාව හා ආජන්ටිනාව වැනි රටවල් වලටත් ව්‍යාප්තව තිබෙනවා.

අටකාමා කාන්තාරය ලොව වියළිම ස්ථානය වන්නට හේතු

අටකාමා කාන්තාරයේ දැඩි වියළි බවට හේතු කිහිපයක්ම තිබෙන අතර එයිනුත් ප්‍රධානතම හේතු තුනක් තිබෙනවා. මෙහි පිහිටා ඇති කාළගුණික දත්ත එකතු කරන සමහර මධ්‍යස්ථානවලට ඒවා පිහිටුවීමෙන් පසු එක් වරක්වත් වැසි ලැබී නැහැ. මේ තත්වය කාන්තාරයේ දකුණු පසට වන්නට වැඩිපුර බල පවත්වනවා.

ඇන්දීස් කඳු පන්තිය අටකාමාවට එන තෙතමනය සහිත සුළං අවහිර කරනවා (britannica.com)

මෙහි වියළි බවට හේතු වන කාරණා අතරින් පළමු වැන්න ලෙස එය පිහිටා ඇති ස්ථානයට සුළං හැමීම ඇන්දීස් කඳු පන්තියෙන් මුවා වීම ගත හැකියි. ලෝකයේ මේ ප්‍රදේශයට තෙතමනය සහිත සුළං ලැබෙන්නේ ගිණිකොන දෙසින්. මේවා ඇන්දීස් කඳු පන්තියෙන් අවහිර වී එහි නැඟෙනහිර බෑවුම්වලට දැඩි වැසි ඇති කරනවා. බටහිර බෑවුමේ පවතින අටකාමා කාන්තාරය සුළං මුවාවේ පවතිනවා.

දෙවන කාරණාව ප්‍රදේශයට බල පැවැත්වෙන වායු පීඩනයයි. මෙයට හේතු වන්නේ ඇන්දීස් කඳු පන්තියෙන් අවහිර නොවී බටහිර දෙසට පැන ගන්නා සුළු ප්‍රතිශතයක් වන සුළං ධාරාවලට දැඩි බෑවුමක් තරණය කරන්නට සිදු වීමයි. මේ නිසා වාතය ඉක්මණින් උණුසුම් වන අතර ඉතිරි වී ඇති තෙතමනයද වාෂ්ප බවට පත් වෙනවා.

අවසාන කාරණාව පැසිෆික් සාගරය දෙසින් වර්ෂාව පැමිණීමට ඇති ඉඩකඩද අහුරන අතර එයට හේතුව අාසන්න මුහුදේ ඇති Humboldt නම් දියවැල ශීත දියවැලක් වීමයි. මේ නිසා එමඟින් මුහුදු ජලය අහසට වාෂ්ප කර හැරීමක් සිදු වන්නේ නැහැ. මේ කරුණු කාරණාවල එකතුවෙන් අටකාමා කාන්තාරය ලොව වියළිම ස්ථානයක් බවට පත් වී තිබෙනවා.

අටකාමාවේ දේශගුණය

අටකාමාවේ යම් තෙතමනයක් සහිත පෙදෙසක් (travcoa.com)

අටකාමා කාන්තාරයේ දිවා කල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ වෙනවා. මෙහි රාත්‍රී කාලය ඉතා කටුක ශීතලකින් යුතු වන අතර සෙල්සියස් අංශක 5 හෝ සමහර විටෙක ඊටත් වඩා උෂ්ණත්වය පහළ බසිනවා. අටකාමා කාන්තාරය කැලිෆෝනියාවේ death vally හෙවත් මරණයේ මිටියාවත මෙන් 50 ගුණයක් වියළියි. මෙහි මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1ක් පමණයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට පැයක් තුළ වුවත් ඊට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා.

අටකාමාවේ ශාක හා සත්ත්ව ප්‍රජාව

අටකාමා කාන්තාරයේ දැඩි වියළි බව නිසා මෙහි ඇති ශාක හා සත්ත්ව ප්‍රජාව ඉතා අල්පයි. මෙහි පවතින වියළි හා කටුක දේශගුණයට හුරු වුණු කෘමීන් හා ඔවුන් ආහාරයට ගනිමින් යැපෙන කටුස්සන් වැනි උරඟයන් සුළු පිරිසක් මෙහි ජීවත් වෙනවා.

ක්ෂීරපායීන් මෙහි ඉතා දුලබ දසුනක්. කාන්තාර දේශගුණයට හොඳින් අනුවර්තනය වූ මීයන් හා නරියන් වැනි සතුන් මෙහි යම් හෝ තෙතමනයක් ඇති ප්‍රදේශවල ඉඳහිට හමු වෙනවා. කාන්තාරයේ උතුරට වන්නට ඇති සාපේක්ෂව තෙතමනයෙන් වැඩි ප්‍රදේශවල හා අර්ධ ශුෂ්ක සීමාවේ වැඩි වශයෙන් උකුස්සන් හා බකමූණන් වැනි මාංශ භක්ෂක පක්ෂීන්ද, ලාමා, පුමාවන්, Viscacha, Vicugna වැනි ක්ෂීරපායීන්ද, තලගොයන් වැනි උරඟයන්ද හමු වෙනවා. කාන්තාරයට සීමා වන අර්ධ ශුෂ්ක කලාපයෙහි ඇති කුඩා ජල තටාකවල තාරාවුන්, ෆ්ලෙමිංගෝ වැනි සතුන් දැකගත හැකියි.

Viscacha සත්ත්වයන් (Gerhard Hudepohl/Atacamaphoto)

මෙවැනි මාංශ භක්ෂක පක්ෂීන් අටකාමාවේදී හමු වෙනවා (Gerhard Hudepohl/Atacamaphoto)

අටකාමා කාන්තාරයේ ඇති ශාක ප්‍රජාව ශුෂ්ක රූපී පරිසරයකට අනුවර්තනය වූ ලක්ෂණ හොඳින් පෙන්වනවා. ක්ෂීණ වූ පත්‍ර සහිත කුඩා පඳුරු ද, කුඩා ගස් ද, පතොක් වැනි ශාකද මෙහි ඉඳ හිට දැකගන්න පුළුවන්. කාන්තාරයට අනුවර්තනය වූ සමහර මල් වර්ගද කලාතුරකින් මෙහි දැකිය හැකියි.

එල් නීන්‍යෝ තත්වයක් ඇති වන සමහර අවස්ථාවල අටකාමා කාන්තාරයට වැසි වැටෙනවා. එහිදී මුළු කාන්තාරයම මනරම් මලින් වැසී යන්නේ තමන්ගේ සැඟවුණු චමත්කාරය ලෝකයාට පෙන්වමින්.

එල් නීන්‍යෝවෙන් වැසි වැටී මල් පීදුණු අටකාමාව (Mario RuizEPA)

පස හා අඟහරු පරීක්ෂණ

fourth-millennium.net

අටකාමා කාන්තාරයේ පස පෘථිවියේ පවතින නිසරුම පසක් ලෙස සැලකෙනවා. ක්‍රි. ව 1976 දී අඟහරු මතට යැවූ වයිකිං යානයෙන් අඟහරුගේ පාංශු ව්‍යුහය අධ්‍යනය කිරීමේදී විද්‍යාඥයන් බලාපොරොත්තු වූ පරිදි කාබනික සංඝටක හමු නොවූවත් වාෂ්පීභවනය වූ ක්ලෝරො-හයිඩ්‍රොකාබන ඇති බව හඳුනා ගැණුනත් ඒවා ගමන අතරතුර එකතු වූ අවශේෂ ද්‍රව්‍යක් ලෙස නොසලකා හැරුණා.

2008 වසරේදී නැවතත් අඟහරු පෘෂ්ඨයේ පස් සාම්පල පරීක්ෂාවට යවන ලද ෆීනික්ස් යානයෙන් අඟහරුගේ පසේ ඉතා ප්‍රබල ඔක්සිකාරකයක් වන පෙරික්ලෝරේට ඇති බව සොයාගත්තා. මේ මඟින් කාබනික ද්‍රව්‍ය දහනයට ලක් වන තරම් ඔක්සිකරණය වන නිසා 1976 දී ලබාගත් සාම්පල වල ඉතා අඩුවෙන් හෝ කාබනික ද්‍රව්‍ය ඇති බව අනුමාන කෙරුණා. මෙය තහවුරු කර ගැනීමට අටකාමා කාන්තාරයේ වියළිම ස්ථානවලින් පස් සාම්පල ලබා ගැණුනේ එය පෘථිවියේ ඇති අඟහරුට සමීපම පාංශු ව්‍යුහය සහිත පස ලෙස හඳුනාගත් නිසායි. මෙහි ඉතාම සුළු ප්‍රමාණවලින් කාබනික ද්‍රව්‍ය අඩංගු වූ අතර පෙරික්ලෝරේට සමඟ ප්‍රතික්‍රියා කර ඔක්සිකරණයට භාජනය කරන්නට සලස්වා ප්‍රතිඵල පිරික්සූ විට 1976 වයිකිං යානයෙන් ලැබුණු ප්‍රතිඵල හා සැසඳුනා. මේ නිසා අඟහරුගේ පසේ සුළු වශයෙන් හෝ කාබනික ද්‍රව්‍ය ඇති බවට ප්‍රකාශ කෙරුණා.

පසුව 2012 වසරේදී නවීන තාක්ෂණයත් සමඟ අඟහරු වෙත යැවූ Curiosity යානය එහි කාබනික ද්‍රව්‍ය ඇති බව නිශ්චිතවම සොයාගත්තා.

ස්වභාවික සම්පත්

ලොව විශාලතම සෝඩියම් නයිට්‍රේට් සංචිතය ඇත්තේ අටකාමාවෙයි (clubpimble.com)

අටකාමා කාන්තාරය ලොව විශාලතම සෝඩියම් නයිට්‍රේට් සංචිතයට උරුමකම් කියනවා. සෝඩියම් නයිට්‍රේට් පොහොර හා වෙඩිබෙහෙත් නිෂ්පාදනය වැනි දේට භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍යය්. ආශ්‍රිත කර්මාන්තකරුවන් විසින් “චිලී සොල්ට්පීටර් යන නමින් හඳුන්වනු ලබන බහුරූපී ව්‍යුහය ලෙස සෝඩියම් නයිට්‍රේට මෙහි පිහිටා ඇති අතර 1940 දශකයේදී පමණ මේ කර්මාන්තය ජයටම කෙරුණා.

තවත් විශේෂ කරුණු

අටකාමා කාන්තාරය තවත් අනන්‍ය ලක්ෂණ රාශියකින් සමන්විතයි. අටකාමා කාන්තාරයේ තිබී ඊජිප්තු මමිවලටත් වඩා පැරණි මමී හමු වී තිබෙනවා. වසර 7000කටත් වඩා පැරණි මේවා ඉතා වියළි දේශගුණය නිසා ස්වභාවිකවම ආරක්ෂා වී තිබෙනවා.

Chinchorro හිදී සොයාගත් මමියක් (nationalgeographic.com)

අටකාමාව ලොව දෙවනියට වියළිම ස්ථානය වුවත් ඉහළ උන්නතාංශයක් ඇති ප්‍රදේශ හිමවල හිම මිදී තිබෙනු දැකිය හැකියි. ඉහළ උන්නතාංශය නිසා මේ ප්‍රදේශවල උෂ්ණත්වය ඒ තරම් ඉහළ යන්නේ නැහැ.

අටකාමා කතරේ උස් ස්ථාන වල හිම මිදී (Gerhard Hudepohl/Atacamaphoto)

අටකාමා කාන්තාරය සක්වල නිරීක්ෂණය සඳහා ලොව හොඳම ස්ථානය ලෙස සැළකෙනවා. එයට හේතුව වසරේ දින 300 කට වඩා වැඩි කාලයක් පැහැදිලි අහසක් තිබීම, ඉහළ උන්නතාංශය හා විදුලි එළිවලින් බාධා නොවීමයි. ලොව විශාලතම භෞමික දුරදක්නය වන අල්මා (ALMA) ස්ථාපිත කර ඇත්තේත් මෙහියි.

අල්මා, පරිවාර රේඩියෝ දුරදක්න සමඟ (nrao.edu)

කවරයේ පින්තූරය (Gerhard Hudepohl/Atacamaphoto)

Related Articles

Exit mobile version