විවිධාකාරයේ ආදර කතා ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. සමහරු ආලය වෙනුවෙන් දිවි පුදද්දී, තවත් අයෙක් ආලය වෙනුවෙන් ස්මාරක ඉදිකරනවා. ඒ අතර යම් යම් ‘අමුතු ආදර අන්දරයනුත්’ ඉඳහිට අපට හමුවෙනවා. ජර්මානු සම්භවයක් සහිත කාල් ටැන්ස්ලර්ගේ ආදර කතාව නම් මේ අතරිනුත් අමුතු ම පන්නයේ එකක්.
ආදර කතාවේ ආරම්භය
කාල් ටැන්ස්ලර් 1877 දී ජර්මනියේ උපත ලැබූ අතර, 1920 දී විවාහයක් ද සිදුකරගෙන දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවට ද පත් වෙනවා. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ ඔහු ඉක්මනින් ම කී වෙස්ට් ප්‍රදේශයේ රෝහලක විකිරක තාක්ෂණ ශිල්පියෙකු ලෙස වැඩ බාර ගන්නවා. පළමු විවාහය එතරම් ප්‍රියජනක එකක් නොවූ නිසා මේ වන විට ඔහු ඉන් වෙන් වී සිටියා.
කුඩා කල සිට ම ටැන්ස්ලර් ප්‍රිය කළේ ඔලිව් පැහැති සමක් හා කළු පැහැති හිසකෙස් තිබෙන කාන්තාවන්ට යි. එමෙන්ම ආදර සම්බන්ධතා ආරම්භ කිරීමේ දී ඔහු ඉතා තෝරා බේරාගෙන ක්‍රියා කළ අයෙකු වුණා. කෙසේ නමුත් ඔහුගේ පළමු විවාහය හදිසියේ සිදුවූවක් වන අතර කිසිදිනෙක සිය බිරිඳ ගැන සිටියේ තෘප්තියකින් නොවේ. ‘සැබෑ ආදරය’ තමන්ට තවමත් හමු නොවූ බව විවාහ වී සිටිය දී මෙන්ම ඉන් පසුවත් ඔහු නිතර ම විශ්වාස කළ දෙයක් වුණා.
1930 දශකයේ මුල් භාගයේ දී ප්‍රතිකාර ගැනීමට ටැන්ස්ලර් සේවය කළ රෝහලට පැමිණි එක් තරුණියක් ඔහුගේ සිත සොරාගැනීමට සමත් වන්නේ මේ අතර යි. වයස අවුරුදු 22ක් පමණ වූ ඇය මාරියා එලේනා මිලාග්‍රෝ ඩෙ හොයොස් නම් රුවැත්තියක් වුණා. ඇගේ ප්‍රියමනාප මුහුණත් කියුබානු සම්භවය නිසා උරුම වූ කළුවන් හිසකෙසුත්, ඔලිව් පැහැති සමත් ටැන්ස්ලර්ගේ සිතෙහි ඇඳුණු රුවට සියයට සියයක් ම ගැලපුණා. දුටුවන ම ඔහු ඇයට සිතින් පෙම්බඳින්නට වුණා.
මාරියාට ක්ෂය රෝගය වැළඳී ඇති බවට සැක කෙරුණු අතර එය පරීක්ෂා කරගෙන ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ තිබුණා. පරීක්ෂණවලින් රෝගී තත්ත්වය තහවුරු වූ අතර එය එකල සුව කිරීමට අපහසු ගණයේ රෝගයක් ලෙස සැලකුණා.
විකිරක තාක්ෂණය පිළිබඳ හා යම්තාක් දුරකට වෛද්‍ය විද්‍යාව පිළිබඳ හදාරා තිබුණත් බරපතළ රෝගියෙකුට ප්‍රතිකාර කරන්නට ටැන්ස්ලර් හට සුදුසුකම් තිබුණේ නැහැ. කෙසේ නමුත් මාරියා ‘සුව කරන්නට’ ඔහු ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වෙනවා. ක්ෂය රෝගය සුවකළ නොහැකි බැව් ඇගේ පවුලේ උදවිය දැන සිටි නිසා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි බැවින් මේ ‘ඉල්ලීමට’ කැමති වෙනවා. මේ අනුව ටැන්ස්ලර් මාරියාට ප්‍රතිකාර අරඹන අතර ඒ සෑම විට ම ඇය ව සතුටින් තැබීමටත්, ආදරය අයැදින්නටත් කටයුතු කළ බැව් සඳහන්.
ගඟට කැපූ ඉණි
මාරියා කෙටි කාලීන සුවයක් පෙන්වූවත් ටැන්ස්ලර්ගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් 1931 ඔක්තෝබර් මාසයේ දී මිය යනවා. ඒ වන විට ඇය ඔහුගේ ආදරය පිළිගෙන තිබුණා ද නැති ද යන්න විවාදිත යි. මින් දැඩි ලෙස සිත්තැවුලට පත් ඔහු ඇය වෙනුවෙන් කී වෙස්ට් සුසානභූමියේ සොහොන් ගෙයක් ඉදිකරන්නටත්, මෘතශරීර සැකසුම් ශිල්පියෙකුගේ සේවය සපයා දීමටත් මාරියාගේ පවුලෙන් අවසර පතනවා. මෙහි විශාල අසාමාන්‍ය බවක් නොදුටු ඔවුන් එයට අවසර ලබා දෙනවා.
1931 ඔක්තෝබර් මාසයේ දී ම බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේ මාරියාගේ අවසන් කටයුතු සිදුවෙනවා. ඇගේ සිරුර ටැන්ස්ලර් විසින් තණන ලද සොහොන් ගෙයිහි තැන්පත් කෙරෙනවා. ඉන්පසු ව කෙටි කාලයක් කිසිදු අසාමාන්‍ය බවකින් තොරව ගත වෙනවා.
නිවසට ගෙනා ‘සැබෑ ආදරය’
මාරියාගේ මරණයෙන් පසු ටැන්ස්ලර් නිතර ම ඇගේ සොහොන් ගෙය කරා ඇදුණා. ඔහුට නිතර ම ඇය ව සිහිනෙන් පෙනෙන්නට පටන්ගත් අතර ඒවායේ බලපෑම වැඩි වැඩියෙන් ඔහුට දැනෙන්නට වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1933 අප්‍රේල් මාසයේ දිනෙක රාත්‍රියේ කාටත් හොරා ඇයගේ සොහොන්ගෙය වෙතට යන ඔහු රහසේ ම එය බිඳ මෘතශරීරය නිවසට ගෙන එනවා.
ටැන්ස්ලර්ගේ උපදෙස් පරිදි මෘතශරීර සැකසුම් ශිල්පියා කලකට එය නරක් නොවෙන ලෙස බෙහෙත් වර්ග යොදා තිබුණා. මෙම ‘මමිකරණය කරන ලද’ මෘතශරීරය එය තැන්පත් කර වසර එකහමාරකට පසුවත් හොඳ තත්ත්වයක තිබුණත් ක්‍රම ක්‍රමයෙන් නරක් වෙන්නට පටන්ගෙන තිබුණා.
ටැන්ස්ලර් නිවසට ගෙනා සිය ‘සැබෑ ආදරය’ තවත් කලක් රැකගන්නා ආකාරය දස අතේ කල්පනා කළා. ඔහු සතු ව තිබූ රසායන විද්‍යා දැනුම ඊට උපයෝගී කරගන්නට සිතූ ඔහු පැරණි, අබලන් ගුවන්යානයක් මිල දී ගෙන එහි මාරියාගේ කටයුතු වෙනුවෙන් ම විද්‍යාගාරයක් ඉදිකළා.
මෘතශරීරය තවදුරටත් නරක්වනු වැළැක්වීමට රසායන ද්‍රව්‍ය යෙදූ ඔහු එහි දැනටත් නරක් වූ කොටස් ප්ලාස්ටර් ඔෆ් පැරිස් හා වීදුරුවලින් ප්‍රතිස්ථාපනය කළා. වයර් කැබලි හා ඇඳුම් එල්ලන යකඩ කොකුවලින් ඇගේ සැකිල්ල ස්ථාවර කළ ඔහු ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් ඇගේ මුහුණ තිබූ ලෙස ම සැකසුවා. වීදුරු ඇස් සාදා අක්ෂි කුහරවලට ඇතුළු කළා. සිරුරට රෙදි කැබලි යොදා එහි ‘ජීවී’ බව වැඩි කරගත් ඔහු, ඉන් ඇති වන දුගඳ මැකීමට බලවත් සුවඳ විලවුන් භාවිතා කළා. මේ සිරුරත් සමග ඔහු ඉන්පසු ‘ප්‍රේමණීය රාත්‍රීන්’ ගත කළ බැව් සඳහන්.
සත්‍යය හෙළිවෙයි
මාරියාගේ මෘත් ශරීරය සමග ටැන්ස්ලර් වසර 7ක් එක නිවසේ ගත කරනවා. ඔහු එයට ජීවී අයෙකුට මෙන් ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වැනි දේ ද ‘තෑගි’ කරනවා. කෙසේ නමුත් මේ වන විට විවාහයෙන් සම්පූර්ණයෙන් වෙන් වී සිටි ඔහු නිතර ගැහැණු ඇඳුම්, ආභරණ වැනි දේ මිල දී ගැනීමත්, ‘විශාල බෝනික්කෙකු’ සමග නර්තනය කරනු කුඩා දරුවෙකු දැකීමත් සමග ඔහු පිළිබඳ ව යම් කසු කුසුවක් කී වෙස්ට් වැසියන් අතර ඇති වෙනවා. මෙය මාරියාගේ පවුලේ උදවියගේ කණ වැකීමට වැඩි කලක් ගත වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාරියාගේ සොයුරිය ටැන්ස්ලර්ගේ නිවසට පැමිණෙන අතර ඇය සිය මියගිය සොයුරියගේ ජීවමාන ප්‍රමාණයේ ‘අනුරුවක්’ තිබෙනු දකිනවා. එය ඇත්තෙන් ම මාරියාගේ ‘මෘතශරීරය’ ම බැව් වටාගන්නට ඇයට වැඩි වේලාවක් නොයන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ටැන්ස්ලර් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.
වහා ම ක්‍රියාත්මක වෙන පරිදි ටැන්ස්ලර් වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් කෙරුණු අතර එහි දී ඔහුට කිසිදු මානසික රෝගයක් ඇති බැව් ඔප්පු නොවූයෙන් නිදහස් වෙනවා. ඒ තදාසන්නව ම ඔහුට එරෙහිව නැඟුණු ‘සොහොන් ගෙවල් බිඳීමේ’ චෝදනාවෙන් ද ටැන්ස්ලර් නිදහස් වෙනවා. මාරියාගේ දේහය විශාල අවමංගල්‍යකින් පසු ඉතා රහසිගත ස්ථානයක මිහිදන් කෙරෙනවා.
ටැන්ස්ලර්ගේ අවසන් සමය
නැවත නිවසට පැමිණියත් ටැන්ස්ලර් ඉතා කනස්සල්ලෙන් කල් ගෙවන බවක් අසල්වාසීන්ට දිස් වුණා. මේ අතර මාරියාගේ ජීවමාන ප්‍රමාණයේ කෘත්‍රිම අනුරුවක් තනාගැනීමට තීරණය කරන ඔහු කෙටි කලකින් ම එය තනා කලින් වතාවේ දී මෙන්ම සත්කාර කරන්නට පටන්ගන්නවා. මෙයට එරෙහිව නීතිප්‍රකාර ව කිසිවක් කළ නොහැකි හෙයින් ටැන්ස්ලර්ගේ චර්යාවන්ට මෙවර කිසිදු බාධාවක් වන්නේ නැහැ.
සිය ඉතිරි ජීවිත කාලය ම තමන්ගේ ‘සැබෑ ආදරයේ අනුරුව’ සමග ගත කළ ටැන්ස්ලර් 1952 දී සිය නිවසේ දී ම මියයනවා. ඔහුගේ සිරුර මියගොස් දින කිහිපයකට පසු ව සොයාගන්නා අතර ඔහු අසල ම තිබී මාරියාගේ අනුරුවත් හමුවනවා.
ටැන්ස්ලර්ගෙ අවසන් කැමැත්තට අනුව ඔහු ‘මාරියාගේ අනුරුව’ තමන් සමග ම මිහිදන් කරන ලෙස ඉල්ලා තිබුණා. එයට විරුද්ධ වීමට හේතුවක් කිසිවෙකුටත් තිබුණේ නැහැ. ඒ හේතුවෙන් ඔහු මිහිදන් කරන්නේ එම අනුරුවත් සමග ම යි. කෙසේ නමුත් පසු කාලීන ව ඔහු හා අනුරුව පිළිබඳ දූසමාන ආරංචි පැතිර ගියා. එයට අනුව ටැන්ස්ලර් විසින් දෙවන වතාවට මාරියාගේ සිරුර සැකසීමට භාරගත් මෘතශරීර සකසන්නාට පගාව දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කිසිම දිනෙක මාරියාගේ සිරුර මිහිදන් වීමක් සිදු වී නැහැ. ඔහු එය නැවත නිවසට ගෙනගොස් තිබෙනවා. මෙය සත්‍ය නම් ටැන්ස්ලර් පැතූ පරිදි ම ඔහු ඔහුගේ ‘සැබෑ ආදරය’ සදාකාලිකව ම තමා ළඟ තබාගන්නට සමත් වී තිබෙනවා.
කවරයේ පින්තූරය- YouTube