බර්ච් පොත්තෙන් උපන් චුවිංගම්

දේශනයක්, ‍රැස්වීමක් අතරතුර දී එන කම්මැලිකම මකා ගන්න තිබෙන හොඳ ම උපක්‍රමයක් තමයි, චුවිංගම් හප හපා සිටීම. කම්මැලිකමේ චුවිංගම් හප හපා ඉන්න අතරේ කවදා හෝ එහි උපත සිදු වුණු ආකාරය ගැන ඔබ සිතා තිබෙනව ද?

(prweb.com)

වයස් භේදයකින් තොර ව කවුරුත් ප්‍රිය කරන චුවිංගම්, දීර්ඝ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඔබේ අතට ලැබෙන ආකාරය ගැන තොරතුරු යි මේ.

චුවිංගම් උපන් හැටි

ලොව පුරා බොහෝමයක් දෙනා සියවස් ගණනාවක් තිස්සේ ස්වභාවික අමුද්‍රව්‍යවලින් සකසා ගත් මැලියම් වර්ග හැපීම සඳහා යොදා ගත් බවට සාක්ෂි රැසක් පවතිනවා. මෙසේ සකසා ගන්නා ලද චුවිංගම් සියල්ලක් ම පාහේ ශාකවලින් ලබා ගන්නා ලද දුම්මල සහ ලාටු, පැණි රසැති තණකොළ සහ ශාක පත්‍ර, ධාන්‍ය වර්ග සහ ඉටිවලින් සමන්විත වුණා.

ග්‍රීක ජාතිකයන් චුවිංගම් නිෂ්පාදනය සඳහා සියවස් ගණනාවක් තිස්සේ යොදාගෙන ඇත්තේ තුර්කියේ සහ ග්‍රීසියේ බහුලව හමු වන මැස්ටික් නම් ගසේ පොත්තෙන් ලබා ගන්නා ලද මැලියම් විශේෂයක්. ග්‍රීක ජාතික කාන්තාවන් තමන්ගේ දත් පිරිසිදු කර ගැනීමට සහ මුඛය සුවදවත් කර ගැනීමේ අරමුණෙන් මැස්ටික් ගසේ මැලියම් සපා ඇති බව විශ්වාස කරනවා.

මැස්ටිස් ගසෙන් ලබා ගන්නා මැලියම් (cnnturk.com)

ඇමෙරිකාවේ යටත් විජිත බිහි කිරීම සඳහා නව එංගලන්ත ජනපදයන්ට පැමිණි ඉංග්‍රීසි ජාතිකයන්ට චුවිංගම් හඳුන්වා දී ඇත්තේ එහි වාසය කළ රතු ඉන්දියානුවන් විසින්. පිපාසයට පිළියමක් ලෙස ස්පෘෘස් ගසේ පිට පොත්තට යටින් ඇති ඉටි ස්වභාවයෙන් යුතු දුම්මල සැපීම යෝග්‍ය බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ අනුව 19 වැනි සියවසේ මුල් කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ජනපදයන් හි ස්පෘෘස් ගසේ දුම්මල ශීඝ්‍රයෙන් අලෙවි වුණේ එය ඇමෙරිකාවේ ප්‍රථම වාණිජ චුවිංගම් නිෂ්පාදනය බවට පත් කරමින්. නමුත් 1850 දශකය වන විට පැණි රස ගන්වන ලද පැරෆින් ඉටි, ස්පෘෘස් දුම්මලවලට හිමි ස්ථානය පැහැර ගත්තා.

උතුරු ඇමෙරිකාවේ ස්පෘෘස් දුම්මල භාවිතා වන විට මධ්‍යම ඇමෙරිකාවේ චුවිංගම් වුණේ සැපදිල්ලා ගසෙන් ලබා ගන්නා මැලියම් විශේෂයක්. මෙක්සිකෝව, ග්වාටමාලාව සහ යුටකාන් අර්ධද්වීපයෙන් බහුල ව හමු වන සැපදිල්ලා ගසෙන් ලැබෙන කිරි වැනි මැලියම්, 1860 දශකය වන විට මධ්‍යම ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝමයක් රටවල ජනප්‍රිය වුණා. එය වර්තමානයේ දී භාවිතා වන චුවිංගම් නිෂ්පාදනය කෙරෙහි ද ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙනවා.

සැපදිල්ලා ගසක් (© Wikimedia Commons)

මෙසේ විවිධ රටවලින් චුවිංගම් උපත ගැන නොයෙක් සාක්ෂි හමු වුණ ද ඒ සියල්ල අභිබවා ගොස් දැනට හමු වී ඇති පැරණිත ම සාක්ෂිය සපයා ඇත්තේ ෆින්ලන්තය යි. ඩර්බි සරසවියේ පුරාවිද්‍යා සිසුන් පිරිසක් බටහිර ෆින්ලන්තයේ කැනීම් සිදු කරන අතරතුර වසර 5,000 ක් පැරණි චුවිංගම් කොටසක් සොයාගෙන තිබෙනවා. නව ශිලා යුගයට අයත් එය, බර්ච් තාර ලෙස හඳුන්වන බර්ච් පොත්තේ ඇති මැලියම් ඇසුරෙන් නිපදවා ඇති අතර එය විදුරුමස් ආසාදනයන්ට ප්‍රතිකාරයක් ලෙස මෙන් ම කැඩුණු මැටි භාණ්ඩ අලුත්වැඩියා කිරීම සඳහා ද භාවිතා කර ඇති බව සැලකෙනවා.

වාණිජකරණය වූ චුවිංගම්

ස්පෘෘස් දුම්මල යොදා නිපදවන ලද මුල් කාලීන චුවිංගම් (northernwoodlands.org)

ප්‍රථම වරට වාණිජ භාණ්ඩයක් ලෙස චුවිංගම් නිෂ්පාදනය කර ඇත්තේ 1848 වර්ෂයේ දී යි. ඒ ජෝන් බේකන් කර්ටිස් විසින්. ඔහු එවකට ඇමෙරිකාවේ ප්‍රචලිතව පැවති ස්පෘෘස් දුම්මල යොදා ගනිමින් චුවිංගම් නිපදවා ඇති අතර එයට රස කාරක සහ වඩාත් මෘදු ස්වභාවක් ලබා දීම සඳහා පැරෆින් එකතු කර තිබෙනවා. පසු කාලීනව 1869 ජූලි 27 වැනි දින ඒමෝස් ටයිලර් විසින් චුවිංගම් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්ත ද ඔහු වාණිජමය ලෙස චුවිංගම් නිෂ්පාදනය සඳහා යොමු වී නැහැ. එම වසරේ ම දෙසැම්බර් මාසයේ දී විලියම් ෆින්ලේ සෙම්පල් විසින් චුවිංගම් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහුගේ චුවිංගම් සඳහා මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ඇත්තේ අඟුරු සහ රටහුනු යි.

මහා පරිමාණයෙන් චුවිංගම් නිෂ්පාදනය ඇරඹීමේ ගෞරවය හිමි වන්නේ තෝමස් ඇඩම්ස්ට යි. 1870 වර්ෂය වන විට ඔහු නිව්යෝක් නගරයේ විශාල කර්මාන්ත ශාලාවක් ගොඩ නංවා ඇති අතර විවිධ රසයෙන් යුතු චුවිංගම් නිපදවීම ආරම්භ කර තිබෙනවා. එසේ ම පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගැවසෙන වෙළඳසැල් ආශ්‍රිත ව චුවිංගම් මිල දී ගත හැකි අලෙවි යන්ත්‍ර (vending machine) පිහිටුවීම ද ඔහුගේ අදහසක්.

රිග්ලිගේ චුවිංගම් (hungryforever.com)

1891 වර්ෂයේ දී කනිෂ්ඨ විලියම් රිග්ලි විසින් ආරම්භ කරන ලද රිග්ලි චුවිංගම් සමාගම අදටත් චුවිංගම් ලෝකයේ ඉහළින් ම වැජඹෙන අතර ලෝක චුවිංගම් නිෂ්පාදනයෙන් 35% සිදු කරන්නේ ඔවුන් විසින්. දළ වශයෙන් චුවිංගම් අලෙවියෙන් ඔවුන් උපයන ශුද්ධ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න බව යි සැලකෙන්නේ.

චුවිංගම් මිශ්‍රණයේ ඇතුළත් දෑ

සාමාන්‍යයෙන් චුවිංගම් කැබැල්ලක් තුළ මූලික වශයෙන් අඩංගු වන මූලද්‍රව්‍ය සිව් ආකාර යි. එම මූලද්‍රව්‍ය මිශ්‍ර කරන අනුපාතය මත චුවිංගම් කැබැල්ලේ ස්වභාවය වෙනස් වෙනවා.

  • මැලියම් පාදම

සාමාන්‍යයෙන් චුවිංගම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මැලියම් පාදම, පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු නොවන අද්‍රාව්‍ය (insoluble) සංඝටකයන්ගෙන් සමන්විත යි. චුවිංගම් හි ඇති දිගින් දිගට ම සැපීමේ ලක්ෂණය සහ බෝල පිම්බීමේ හැකියාව (bubble-blowing capability) ලබා දෙන්නේ මේ මගින්. චුවිංගම් නිෂ්පාදනය සඳහා ස්වභාවික මෙන් ම කෘත්‍රීම මැලියම් වර්ග ද යොදා ගන්නා අතර මේ සෑම එකක් ම අන්තර්ජාතික චුවිංගම් සංගමයේ (ICGA) අනුමැතිය ලද ඒවා විය යුතු යි.

චුවිංගම් නිෂ්පාදනයේ මූලික අදියරක් (myplasticfreelife.com)

  • රස කාරක

රසයක් නොමැති චුවිංගම් හි මැලියම් පාදම රස ගැන්වීම සඳහා විවිධ රස කාරක භාවිතා කරන අතර මේ සෑම එකක් ම භාවිතයට පෙර අන්තර්ජාතික චුවිංගම් සංගමය වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. මේ සඳහා ද ස්වභාවික මෙන් ම කෘත්‍රීම රස කාරක යොදා ගන්නවා.

  • වර්ණ කාරක

පාරිභෝගිකයන් ව ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස වර්ණ ගන්වන චුවිංගම් සඳහා යොදා ගන්නා වර්ණ කාරක සෑම එකක් ම අන්තර්ජාතික සහ ජාතික නීතිරීතිවලට අනුකූල විය යුතු අතර වර්ණ කාරක යොදා නොගනිමින් ස්වභාවික සුදු පැහැයෙන් අලෙවිය සඳහා තබා ඇති චුවිංගම් ද දැක ගැනීමට ලැබෙනවා.

  • පැණි රස කාරක

විවිධ පැණි රස කාරක (foodallergynorthtexas.org)

චුවිංගම් සඳහා පැණි රසයක් ලබා දීමට මෙන් ම රසයෙන් වැඩි දියුණු කිරීමට ද යොදා ගන්නා පැණි රස කාරක මූලික වශයෙන් තුන් ආකාරයකින් යුතු යි. පෝෂ්‍යදායී පැණි රස කාරක මගින් එදිනෙදා සිරුරට අවශ්‍ය කරන සීනි වර්ග ලබා දෙන අතර තොග පැණි රස කාරක මගින් සිදු කරන්නේ කැලරි රහිත ව පැණි රසයක් පමණක් චුවිංගම් සඳහා ලබා දීම යි. ඒවා දන්ත සෞඛ්‍යයට හිතකර ලෙස නිපදවා තිබෙනවා. තීව්‍ර පැණි රස කාරක යොදා ගන්නේ චුවිංගම් සඳහා අධික පැණි රසක් ලබා දීම සඳහා යි.

චුවිංගම් සිරුරට හිතකර ද?

පෝෂණය අතින් චුවිංගම් ඉතාමත් පහළ මට්ටමක සිටිය ද චුවිංගම් භාවිතය මගින් සිරුරට යම් යම් හිතකර ප්‍රතිලාභ ලැබෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් හනුවල ක්‍රමානුකූල චලනය මගින් මොළයේ මතකය හා සම්බන්ධ කොටස් උත්තේජනය කරන බැවින් නිරන්තරයෙන් ම චුවිංගම් සැපීම මතකය ශක්තිය වැඩි දියුණු කර ගැනීමට උපකාර කරනවා. එසේ ම මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට ද චුවිංගම් කදිම යි.

(rotana.net)

සිරුරේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමටත් චුවිංගම් දායක වෙනවා. ඒ මුඛයේ ඛේට නිෂ්පාදනය ඉහළ නැංවීම මගින්. එසේ ම සිරුරේ බර අඩු කර ගැනීමටත් චුවිංගම් භාවිතා කළ හැකි යි. ඒ මගින් නිතර ආහාර ගැනීමට ඇති රුචිය පහළ දමනවා. මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට චුවිංගම් මගින් ලැබෙන දායකත්වය ඉහළ යි. මුඛයේ ඛේට නිෂ්පාදනය ඉහළ යාම මගින් දත් නරක් වීම මෙන් ම විදුරුමස් ආසාදනයන්ට ලක් වීම පාලනය වෙනවා.

කවරයේ පින්තූරය : (© Punk Marciano)

Related Articles

Exit mobile version