ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ‘රිලවා’ නම් සත්ත්ව විශේෂය සුලභවම දැකිය හැකියි. සාමාන්‍යයෙන් රංචුවක් ලෙස වාසය කරන මෙම සත්ත්ව විශේෂය නාගරික ප්රදේශවලදීත් නිතරම හමුවන්නේ මිනිසුන් සමග ජීවත් වීමට අනුවර්තනය වී සිටින නිසා යි. මෙම සත්ත්ව විශේෂය වනාන්තරවලින් පිටතට පැමිණ, මිනිස් වාසස්ථාන සමීපයට පැමිණි නිසා ඔවුන් මිනිසාට දැක්වූ බිය ගතිය ක්‍රමයෙන් අඩු වුණා. නිවෙස් සහ වගා බිම්වලට නිතර පැමිණීමට හුරු වුණු රිලවුන් විනාශකාරී හැසිරීම් රටාවක් පෙන්වීමට පටන්ගත්තා. එලෙස ක්‍රමයෙන් මිනිසුන්ගේ ආශ්‍රයට හුරු වුණු රිලවුන් වර්තමානය වන විට ගොවියාට දැඩි හිසරදයක් වී තිබෙනවා.
ලංකාවේ සිටින රිලව් වර්ග
අප රටේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරන විට රිලවුන් සුලභව දක්නට ලැබෙනවා. එලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවන රිලවුන් බැලූ බැල්මට සමාන පෙනුමකින් යුක්ත වුණත් බාහිර ලක්ෂණ අනුව ඔවුන් රිලා විශේෂ 3කට අයත් වනවා. එම විශේෂ ව්‍යාප්ත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප ආශ්‍රිතව යි. ඒ අනුව වියළි කලාපීය රිලවුන්, තෙත් කලාපීය රිලවුන්, සහ කඳුකර කලාපීය රිලවුන් යන උප රිලා විශේෂ මෙරට වාසය කරනවා. එහි දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ, එක් එක් රිලා විශේෂය උන්ට හිතකර දේශගුණික කලාපය තුළ දී පමණක් දක්නට ලැබීම යි.
රිලවාගේ ආහාර රටාව
රිලවා සර්ව භක්ෂක සත්ත්වයෙක් නිසා ඕනෑම වර්ගයක ආහාරයක් භුක්ති විඳිමේ හැකියාව තිබෙනවා. රිලවුන් සුලබවම ආහාරයට ගන්නේ එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග, කෘමීන් වර්ග වැනි ආහාර යි. සාමාන්‍යයෙන් රිලවා මිනිස් වාසස්ථාන ආසන්නයේ ජීවත් වන නිසා කෘත්‍රීම ආහාර වර්ග අනුභව කිරීමට ද පුරුදුව සිටිනවා. රිලවා මිනිසුන් සමග වාසය කිරීමට හොඳින් අනුවර්තනය වීමත් සමගම මිනිසා සමග සටන් කර ඔවුන් සතුව තිබෙන ආහාර උදුරා කන තත්ත්වයට පත් වුණා. එම නිසා රිලව් රංචුවක් සිටින ස්ථානයක මිනිසෙකුට කිසිදු ආහාරයක් අනුභව කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. බොහෝ විට විනෝද චාරිකා සඳහා සහභාගී වන සංචාරකයන්ට එවැනි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවනවා.
රිලවාගේ ජීවන රටාව
රිලවාගේ ආහාර රටාව නිසා ඕනෑම පරිසර තත්ත්වයකට පහසුවෙන්ම අනුවර්තනය විය හැකියි. එම නිසා රිලා ගහණය සීඝ්රයෙන් වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. සාමාන්‍යයෙන් වනාන්තර ආශ්‍රිතව මෙම සත්ත්ව විශේෂය ජීවත් වන්නේ විශාල රංචු ලෙස යි. නමුත් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඔවුන් වාසය කරන්නේ තරමක් කුඩා රංචු ලෙස යි. ඕනෑම රිලා රංචුවක වැඩිහිටි පිරිමි සහ ගැහැණු සතුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. බොහෝ විට රංචුවේ නායකත්වය ලබාගැනීම සඳහා හැඩිදැඩි පිරිමි සතුන් අතර ගැටුම් පවතිනවා. එම සටන් අවසානයේ දී නායකත්වය හිමිවන්නේ රංචුවේ සිටින ශක්තිමත් ම පිරිමි සත්ත්වයාට යි.
රිලවුන් මිනිස් වාසස්ථාන අසලට පැමිණීමට හේතු
රිලවුන්ගේ ස්වභාවික වාසස්ථානය වන්නේ වනාන්තර යි. නමුත් මිනිසා විසින් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා රිලවුන්ට සිය වාසස්ථාන ක්‍රමයෙන් අහිමිව ගියා. එසේම රිලවුන්ට ආහාර සොයාගැනීමට ද තරමක් අසීරු වුණා. එම නිසා ආහාර සහ වාසස්ථාන සොයාගෙන රිලවුන් ගම්මානවලට පැමිණීමට පටන්ගත්තා. එලෙස ගම්මානවලට එන රිලවුන් ප්‍රමාණය තවත් වර්ධනය වුණේ රබර් වැනි වගාවන් ඉවත් කර කටු පොල් වගාව ආරම්භ කිරීමත් සමග යි.
රබර් වත්තකට ගිය විට රිලවුන් විශාල ප්‍රමාණයක් එහි සිටීම සාමාන්‍ය දෙයක්. එලෙස රබර් වතු ආශ්‍රිතව රිලවුන් වැඩි වශයෙන් ජිවත් වන්නේ එය උන්ට වඩාත් හිතකර පරිසර තත්ත්වයක් නිසා යි. නමුත් මිනිසා විසින් රිලවුන්ට වඩාත් හිතකර වාසස්ථාන විනාශ කිරීමත් සමගම ඔවුන් ගම්මාන කරා පැමිණීම අරුමයක් නොවෙයි. මිනිසා විසින් නිසි පරිදි කසළ බැහැර නොකිරීම ද මිනිස් වාසස්ථාන අසල රිලා ගහණය වැඩිවීමට හේතුවක් වනවා. එලෙස ඉවතලන ආහාර ද්‍රව්‍ය අනුභව කිරීමට පුරුදුව සිටින රිලවුන් මිනිසුන් ගැවසෙන ප්‍රදේශවලට පැමිණ පහසුවෙන් ම ආහාර සොයාගැනීමට උත්සාහ කරනවා.
රිලවුන්ගෙන් මිනිසාට සිදුවන හානි
විශාල රිලා කණ්ඩායම් වගා බිම්වලට පැමිණ වගාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සුලබව ම සිදුවන දෙයක්. එසේම, ගෙවතුවලට පැමිණෙන රිලවුන් එහි තිබෙන පළතුරු, පොල්, ලපටි ශාක විනාශ කර දැමීමට පුරුදුව තිබෙනවා. රිලවුන් වැඩිම හානියක් කරන්නේ පොල් භෝගයට යි. ඉහළ ආර්ථිකමය වටිනාකමක් තිබෙන පොල් වැනි භෝගයකට රිලවුන්ගෙන් සිදුවන හානිය නිසා දිනකට විශාල මුදලක් අහිමි වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වෙනවා. එසේම නිවෙස් තුළට ද ඇතුල්වීමට පුරුදුව සිටින රිලවුන් එහි තිබෙන ආහාර අනුභව කිරීමට රුචිකත්වයක් දක්වනවා. නිවෙස් තුළට පැමිණෙන රිලවුන් කුඩා දරුවන්ව සීරීම, සපා කෑම වැනි සිදුවීම් ද පසුගිය කාල සමයේ අසන්නට ලැබුණා. එවැනි දේ නිසා දරුවන්ට විවිධ ලෙඩ රෝග පවා වැළඳීය හැකියි.
රිලවුන් මර්ධනය කිරීම සඳහා භාවිතා කරන උපක්‍රම
මීට බොහෝ කලකට පෙර රිලවුන් පලවාහැරීමට රතිඤ්ඤා භාවිතා කරනු ලැබුවා. රිලවුන් පසුකලෙක එයට අනුවර්තනය වුණු නිසා වායු රයිෆල් භාවිතා කිරීමට සිදු වුණා. නමුත් එම ක්‍රමවලින් රිලා ගැටළුවලට නිශ්චිත විසඳුමක් ලැබුණේ නැහැ. එම නිසා මිනිසුන් තවදුරටත් විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින්නේ රිලා උවදුරට විසඳුමක් සොයාගැනීම සඳහා යි. පසුගිය කාල සමයේ වෙළඳපොළට පැමිණි හනුමන්තා වෙස් මුහුණ යනු එවැනි අත්හදාබැලීම්වල ප්‍රතිඵලයක්.
සාමාන්‍යයෙන් රිලවාට හොඳ බුද්ධියක් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එම නිසා මිනිසුන් භාවිතා කරන විවිධ උපක්‍රම උන්ට ඉක්මනින්ම අවබෝධ වනවා. රිලවුන් පාලනය කිරීම ඉතාමත් අපහසු වී තිබෙන්නේ එම හේතුව නිසා යි. රිලවුන්ගෙන් වගාවට සිදුවන හානිය අවම කරගැනීමට භාවිතා කර හැකි හොඳම උපක්‍රමය උන් ගම්මාන කරා පැමිණීම වැලැක්වීම යි. නිසි පරිදි කසළ බැහැර කිරීම, රිලවුන්ට ඉතිරිවන ආහාර ලබා දීම නතර කිරීම, ගම්මානවලට රිලවුන් පැමිණෙන මාර්ග අවහිර කිරීම වැනි දේ සිදුකිරීම ඊට විසඳුම් ලෙස දැක්විය හැකියි.