ලෝකයේ අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සලකනු ලබන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි. 1896 වසරේ දී ආරම්භ වුණු නූතන ඔලිම්පික් තරගාවලිය වසර 4කට වරක් පැවැත්වෙනවා. රටවල් රැසක සහභාගිත්වය ඇතිව උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මෙම ක්‍රීඩා සැණකෙළියේ දී අපූරු සම්ප්‍රදායන් කිහිපයක් ක්‍රියාත්මක වනවා. එම සම්ප්‍රදායයන් අතුරින් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම සහ ඔලිම්පික් පහන දැල්වීම යන අංගයන් ද්විත්වයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. පුරාණ ග්‍රීක දෙවිවරුන් සිහිපත් කිරීම සඳහා රැගෙන යන එම ගිනි සිළුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විචිත්‍රත්වයක් එකතු කර තිබෙනවා.
ඔලිම්පික් ගිනි සිළුවේ උපත සිදුවුණු හැටි
ක්‍රි.පූ 776දී ග්‍රීකයන් විසින් මුල්ම වරට ඔලිම්පික් උළෙලක් පවත්වනු ලැබුවා. ඔවුන් එම තරගාවලිය සෑම වසර හතරකට ම වරක් ඔලිම්පියාහි දී පවත්වනු ලැබුවේ සියුස් ඇතුළු ග්‍රීක දෙවිවරුන්ට ගරු කිරීම සඳහා යි.
පුරාණ ග්‍රීකයන් විශ්වාස කළේ ප්‍රොමීතියස් නම් දෙවියන් ඔවුන්ට ගින්දරත්, කලාවත් ලබාදුන් බව යි. එක්තරා හේතුවකට ප්‍රොමිතියස් හා කෝප වූ සියුස් දෙවියන්, ප්‍රොමිතියස් ඔවුන්ට ලබාදුන් ගින්දර නරයින්ගෙන් සොරකම් කළා. ප්‍රොමිතියස් ඒ ගින්දර සියුස්ගෙන් සොරකම් කොට නැවත නරයින්ට ලබාදුන්නා. මේ වරද නිසා සියුස් දෙවියන් ප්‍රොමිතියස් දෙවියන්ව කන්දකට තබා ඇණ ගැසූ අතර, රාජාලියෙකුට ඔහුගේ අක්මාව කන්නට සැලැස්වුවා. ඔහුගේ අක්මාව අමරණීය නිසා එය නැවත නැවතත් වර්ධනය වන අතර, රාජාලියා විසින් එය සදාකාලිකව නැවත නැවතත් කා දැමෙනවා. එම නිසා පැරණි ග්‍රීකයන් පුරාණ ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට පෙර ප්‍රොමීතියස් දෙවියන්ව සමරනු ලැබුවා. එහි දී ඔවුන් ගිනි සිළුවක් දල්වා, එය සෑම ක්‍රීඩකයෙකුගේම අතින් අත ග්‍රීසිය පුරා රැගෙන ගියා. ඉන් පසුව එම ගිනි සිළුව රැගෙන ඔලිම්පියාහි හීරා දෙවඟනට අයත් දේවස්ථානයට ගිය ග්‍රීකයන්, එහි අල්තාරය මත තබා තිබුණු විශාල තැටියක් දල්වනු ලැබුවා. එකල ග්‍රීකයන් තමන්ට ගින්දර ලබාදුන් ප්‍රොමිතියස් දෙවි සමරනු වස් සිදකළ මෙම චාරිත්‍රය නූතන ඔලිම්පික් ගිනි සිළුවේ උපත ලෙසින් සලකනු ලබනවා.
නූතන ඔලිම්පික් උළෙලට ගිනි සිළුව හඳුන්වා දීම
නූතන ඔලිම්පික් උළෙල 1896 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවර දී ආරම්භ වුණා. නමුත් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ සම්ප්‍රදාය එහිදී ක්‍රියාත්මක වුණේ නැහැ. එසේම 1924 දක්වා පැවති කිසිදු ඔලිම්පික් උළෙලක දී ගිනි සිළුව රැගෙන යාම දක්නට ලැබුණේ නැහැ.
1928 වසරේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී, ගිනි සිළුව රැගෙන යාමේ සම්ප්‍රදාය නැවතත් දක්නට ලැබුණා. එහිදී ඔලිම්පික් ගිනි සිළුව ලොව පුරා රැගෙන නොගියත් ගිනි සිළුව ආධාරයෙන් ඔලිම්පික් පහන දක්වනු ලැබුවා. නමුත් 1932 වසරේ පැවති ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ දී ඔලිම්පික් ගිනි සිළුව සහ පහන දක්නට නොලැබුණේ ඒ වන විට එය සම්ප්‍රදායක් ලෙසින් ක්‍රියාත්මක නොවුණු නිසා යි.
ඔලිම්පික් ගිනි සිළුවෙන් පහන දැල්වීම සම්ප්‍රදායක් වුණු හැටි
1936 වසරේ ඔලිම්පික් තරගාවලිය නාසි ජර්මනියේ බර්ලින් නුවර දී පැවැත්වුණා. එම ඔලිම්පික් තරගාවලියේ සංවිධායක කමිටුව සඳහා ජර්මානු ඉතිහාසය පිළිබඳව මහාචාර්යවරයෙකු වුණු කාල් ඩියම් ඇතුළත්ව සිටියා. ඔහු එදා යෝජනා කර සිටියේ ඔලිම්පික් ගිනි සිළුව ගෙන යාම සම්ප්‍රදායක් ලෙස සිදු කළ යුතු බව යි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩියම් පවසා සිටියේ පුරාණ ඔලිම්පික් තරගාවලිය සහ නූතන ඔලිම්පික් තරගාවලිය යා කිරීම සඳහා ගිනි සිළුව ග්‍රීසියේ ඔලිම්පියාහි දී දැල්විය යුතු බව යි. එදා මහාචාර්ය ඩියම්ගේ අදහසට එකඟ වුණු ජර්මානු ඔලිම්පික් කමිටුව ග්‍රීසියේ ඔලිම්පියා හීදී දැල්වූ ගිනි සිළුව බර්ලින් නුවරට රැගෙන විත් ඔලිම්පික් පහන දල්වනු ලැබුවා. ඒ අනුව එදා ජර්මානුවන් සම්ප්‍රදායක් ලෙස ආරම්භ කළ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම සහ පහන දැල්වීම අදටත් එලෙසම ක්‍රියාත්මක වනවා.
පසුගිය දශක කිහිපයක සිට නවීන තාක්ෂණය භාවිතා කිරීම නිසා ගිනි සිළුව සහ ඔලිම්පික් පහන යන අංගයන්ගේ විවිධ වෙනස්කම් සිදුව තිබෙනවා.
ගිනි සිළුව දල්වන ආකාරය
ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම සිදුවන්නේ ග්‍රීසියේ ඔලිම්පියාහි පිහිටා ඇති හීරා දෙවඟනගේ දේවස්ථානය අභියස දී යි. එහි දී පුරාණ ග්‍රීක ඇඳුමින් සැරසුණු කන්‍යාවන් පිරිසක් මුලින්ම ගිනි සිළුව දල්වනු ලබනවා. ඔවුන් පරාවලීය කන්නාඩියක් යොදාගෙන සූර්ය කිරණ නාභිගත කර ගිනි සිළුව දල්වනවා. ඉන්පසුව එම දැල්වූ ගිනි සිළුව පැරණි ඔලිම්පික් තරග පැවැත්වූ ස්ථානය වෙත රැගෙන යනවා. එම ස්ථානයේ දී මුල්ම පන්දම්කරුවා වෙත ගිනි සිළුව භාරදීමෙන් පසුව ක්‍රීඩකයින් විශාල පිරිසක් මාරුවෙන් මාරුවට එය ග්‍රීසිය වටා රැගෙන යනවා. එලෙස ග්‍රීසිය වටා රැගෙන යන ඔලිම්පික් ගිනි සිළුව අවසානයේ දී ඇතන්ස් නුවර පැනතිනයිකෝ ක්‍රීඩාංගණය වෙත ගෙන එනවා. ඉන්පසු ග්‍රීසිය එම වසරේ ඔලිම්පික් තරගාවලිය පවත්වන රටට ඔලිම්පික් ගිනි සිළුව භාර දෙනවා. ඔලිම්පික් ගිනි සිළුව භාරගත් රට එය තමන්ගේ රටට ගෙන යන ආකාරය පිළිබඳව තීරණය කර යුතු යි. එහි දී ඔලිම්පික් ගිනි සිළුව ගුවන් මඟින් ගෙන යාමට විශේෂයෙන්ම සැකසූ ලාම්පුවක් භාවිතා කරනු ලබනවා.
ගිනි සිළුවෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ
පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු තාක්ෂණික දියුණුවත් සමගම විවිධ රටවල් නවතම මාදිලියේ ගිනි සිළු නිර්මාණය කළා. එලෙස විවිධ ආකාරයේ ඔලිම්පික් ගිනි සිළු නිර්මාණය වුණත් ගිනි දැල්ල සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය, තෙල් දැල්වෙන ක්‍රමය සහ එහි බර ප්‍රමාණය යන දේවල් වෙනස් වුණේ නැහැ.
ගිනි සිළුව අඛණ්ඩව දල්වා තබාගැනීමට අතීතයේ සිට විවිධ උපක්‍රමයන් භාවිතා කර තිබෙනවා. මුල් යුගයේ දී ඒ සඳහා වෙඩි බෙහෙත් සහ ඔලිව් තෙල් මිශ්‍ර කර සාදාගත් සාන්ද්‍රණයක් භාවිතා කළා. ඉන් පසුව කපුරු යොදාගනු ලැබුවා. නමුත් ඒවා යොදාගැනීම අවදානම් සහගත වුණු නිසා 1956 මෙල්බර්න් ඔලිම්පික් තරගාවලියේ දී මැග්නීසියම් සහ ඇළුමීනියම් යොදාගත්තා. එහිදී ගිනි සිළුව රැගෙන ගිය අයගේ අත්වලට හානි සිදුවී තිබුණු නිසා පසු කලෙක එම කාර්යය සඳහා වෙනත් ද්‍රාවණයන් වර්ග භාවිතා කළා.
වර්තමානය වන විට ගිනි සිළුව දල්වා තබාගැනීම සඳහා බියුටේන් සහ ප්‍රොපේන් වායු මිශ්‍රණයක් යොදාගනු ලබනවා. එසේම ගිනි සිළුව ලොව වටා රැගෙන යන කාල සමය තුළ සෑම දිනයක් අවසානයේ දීම එය ආරක්ෂිතව රඳවා තැබීමට වෙනම කුටීරයක් වෙන්කර තිබෙනවා.
ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමිවන්නේ කාට ද?
සාමාන්‍යයෙන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමිවන්නේ සත්කාරක රටේ ඔලිම්පික් කමිටුව නම් කරන විශේෂිත පුද්ගලයන්ට යි. එහිදී එම රට වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට මෙන්ම රටෙන් බිහිවුණු කීර්තිමත් පුද්ගලයන්ට ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව හිමි වීම සාමාන්‍ය දෙයක්. තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදෙන පාර්ශව අතුරින් තෝරාගත් පුද්ගලයන්ට ද ගිනි සිළුව රැගෙන යාමේ වරම හිමිවනවා.
ගිනි සිළුව රැගෙන යන්නා වයස අවුරුදු 14ට වැඩි වීම අනිවාර්ය යි. ආබාධිත පුද්ගලයෙකුට පවා රෝද පුටුවක ආධාරයෙන් එය රැගෙන යාමට අවස්ථාව ලබාදීම විශේෂත්වයක්. එසේම ගිනි සිළුව රැගෙන යන පුද්ගලයා පසු පසින් ප්‍රථමාධාර කණ්ඩායම්, ආරක්ෂකයින් සහ ගිනි සිළුව ගෙන යාම සඳහා අතිරේක පුද්ගලයෙකු ද ගමන් කරනවා. ගිනි සිළුව ගෙන යන පුද්ගලයා පසු පසින් ඔවුන් ගමන් කරන්නේ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා යි.
එලෙස කිලෝමීටර් දහස් ගණනක් ගෙවමින් පුද්ගලයන් රැසකගේ අතින් අතට යන ගිනි සිළුවෙන් ඔලිම්පික් සමාරම්භක උළෙලේ ඔලිම්පික් පහන දල්වනු ලබනවා. ඒ අයුරින් දල්වන ඔලිම්පික් පහන තරගාවලිය අවසන් වන තුරුම දැල් වී පවතිනවා.