Cry Freedom; රුහිරු ඇවිලෙන මොහොතක

ගෞරවණීය පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න මනුස්සයෙකුට තියෙන අයිතිය හමේ පාට හරහා තීරණය වෙන පසුබිමක; එහෙම අව වරප්‍රසාදිත වර්ණයක් සහිත හමක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන්නෙ සුළුපටු වේදනාවක් නෙමෙයි.  තමන්ගෙ උපන් බිම ඇතුළෙම තමන්ව කොන් කිරීම හරහා නිර්මාණය වෙන ඒ දරුණු වේදනාව කොයි වෙලාවක හරි ගිනි කන්දක් වගේ පුපුරලා යන්නත් අනිවාර්යයෙන්ම ඉඩ තියෙනවා. හැම මනුස්ස සම්බන්ධයකම දිග පළල තීරණය කරන ප්‍රධාන සාධකය හමේ පැහැය වෙද්දි, අනිත් මනුස්සයට මනුස්සයෙකුට වගේ සලකන්න බැරි වෙද්දි එහෙම පිපිරීම් සිද්ධ නොවුණොත් තමයි පුදුම වෙන්න ඕන.

‘බන්ටු ස්ටීව් බිකෝ’ කියන්නෙත් මනුෂ්‍යත්වය වෙනුවට හමේ පැහැය ඉස්මතු වුණු වටපිටාවක, වර්ණ භේදවාදයට එරෙහිව සටන් කිරීම නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණු දකුණු අප්‍රිකානු ශිෂ්‍ය නායකයෙක්. සුදු මිනිස්සුන්ගෙ පොලීසියක් ඇතුළෙ අමානුෂික විදියට ඝාතනය වෙන බිකෝගෙ ඇත්ත කතාව 1987 දි සිනමාවට නැගෙනවා, Cry Freedom නමින්. තමන්ගෙ කළු ජාතික මිත්‍රයාට සාධාරණය ඉටු කරන්න ජීවිතය පරදුවට තියලා කටයුතු කරපු ඩොනල්ඩ් වුඩ්ස් කියන මාධ්‍යවේදියාගෙ අප්‍රතිහත ධෛර්යය නිසයි බිකෝගෙ මරණය ගැන ඇත්ත කතාව ලෝකය දැන ගන්නෙ. Cry Freedom චිත්‍රපටය සහ චිත්‍රපටයට පසුබිම් වුණු ඒ ඇත්ත කතාව ගැනයි මේ සටහන.

Cry Freedom සැකෙවින්

චිත්‍රපටය ආරම්භ වෙන්නෙම ඛේදවාචකවලින් පිරුණු පැල්පත් නගරයක රූපරාමු කිහිපයකින්. ඒ කෙටි රූප සංරචනයම වුණත් ඇති, වෙන් කිරීමේ සහ කොන් කිරීමේ වේදනාවෙන් කැකෑරෙන ඒ පැල්පත් ජීවිතවල දුක්ඛ සංසාරය තේරුම් ගන්න. ඒ හිමිදිරි දර්ශනයේ බලන හැම තැනකම තියෙන්නෙ දුප්පත්කම. මිනිස්සු මහ ගොඩක් එක ගොඩේ ජීවත්වෙන මේ පැල්පත් නගරයට ඒ දවස ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ. ටික වෙලාවක් යද්දි අපට පේනවා ඈතින් එන ආණ්ඩුවේ මැර හමුදාවෙ වාහන. එයාල ඇවිත් අර අහිංසක, නිරායුධ මිනිස්සුන්ට එල්ල කරන්නෙ මහා අමානුෂික ප්‍රහාරයක්. ඒ ම්ලේච්ඡ ක්‍රියාව ගැන පහුවදා ‘ඩේලි ඩිස්පැච්’ පත්තරේ දැවැන්ත විස්තරයක් පල වෙනවා ඡායාරූපත් එක්කම. ඒ පත්තරේ ප්‍රධාන කර්තෘ තමයි ඩොනල්ඩ්  වුඩ්ස්.

movie.info

මුල් දවස්වල වුඩ්ස්ට ස්ටීව් බිකෝ ගැන තියෙන්නෙ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි. බිකෝගෙ දේශපාලනය ජාතිවාදයට බර බවයි වුඩ්ස්ගෙ අදහස. කොහොම හරි එක වෙලාවක බිකෝව මුණ ගැහෙන්න වුඩ්ස්ට අවස්ථාව ලැබෙනවා. ඒ මුණගැහීම කෙළවර වෙන්නෙ දැඩි මිත්‍රත්වයක් සහ අවබෝධයක් සහිත දීර්ඝ අදහස් ගනුදෙනුවක ඇරඹුමකින්. බිකෝ එක්ක පැල්පත් නගරයට යන ‘අධ්‍යාපන චාරිකා’ හරහා තමයි වුඩ්ස් තේරුම් ගන්නෙ ප්‍රශ්නයේ තියෙන බරපතලකම. ඒ වගේම තමන්ගෙ පාලකයන්ගෙ ම්ලේච්ඡත්වයේ සැබෑ ස්වරූපය.

ඒ වෙනකොට තිබුණු නීතිය තමයි, හැම අව වරප්‍රසාදිත කලු ජාතිකයෙක්ම අවසර පත්‍රයක් ලබාගත යුතු වීම. ඒ අවසර පත්‍රය නැතුව පොලිසියට අහු වෙනවා කියන්නෙ මහා භයානක තත්ත්වයක්, ඒ වටපිටාවෙ හැටියට. අවස්ථාවක් එනකල් බලාගෙන ඉන්න ආණ්ඩුවේ පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස්වල අවධානය මැද තමයි බිකෝත් ජීවත් වෙන්නෙ. නිවාස අඩස්සියේ ඉන්න එයාට එක වෙලාවක මුණගැහෙන්න පුළුවන් එක පුද්ගලයෙක් විතරයි. ඒ වගේම ‘කිංග්විලියම්ස් ටවුන්’ හැර වෙන කිසිම තැනක හිඳීමත් බිකෝට තහනම්. 1977 අගෝස්තු 18 වෙනිදා එක තීරණාත්මක මොහොතක, සුදු ආණ්ඩුවේ නීතිය කඩකරන බිකෝ පොලිසියට කොටු වෙනවා. එතනින් පස්සෙ එයාට මුහුණ දෙන්න වෙන්නෙ මනුස්සයෙක් කිසිම දවසක මුහුණ නොදිය යුතු ම්ලේච්ඡ අත්දැකීම් කන්දරාවකට. දවස් ගාණක් පොලිසියේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්වෙන බිකෝ මැරෙන්නෙ 1977 සැප්තැම්බර් 12 වෙනිදා, ප්‍රිටෝරියා වලදි.

‘අත්අඩංගුවේ ඉඳිද්දි කෑම වර්ජනය කිරීම නිසා’ බිකෝ මැරුණු බව අඟවන්න පොලිසිය භාර ඇමතිවරයා තක්කඩි විදියට උත්සාහ කළත් වුඩ්ස් ඇතුළු ගොඩක් අය ඒ කතාව පිළිගන්නෙ නැහැ. තමන්ගෙ ආදරණීය මිත්‍රයාගෙ මරණයට සාධාරණයක් ඉටු කරන්නයි වුඩ්ස්ට ඕන වෙන්නෙ. ඒ නිසාම ‘ආහාර ප්‍රතික්ෂේප කිරීම’ නිසා මැරුණු බිකෝගෙ විකෘති වුණු මළ සිරුරේ පහරකෑම්වලින් සිද්ධ වුණු තුවාල සහ මැහුම් දාපු තැන් ගැන පින්තූර සාක්ෂි ගොඩක් එකතු කරගන්න වුඩ්ස් සමත් වෙනවා. එතන ඉඳලා තමන්ගෙ පුංචි දුවගෙන් පවා පළිගන්න උත්සාහ කරන පාලකයන්ගෙ තාඩන පීඩන මැද බිකෝගෙ සිදු වීමේ ඇත්ත ලෝකයට හෙළිදරව් කරන්න වුඩ්ස් ගන්න උත්සාහය තමයි චිත්‍රපටය පුරා දිග හැරෙන්නෙ.

Cry Freedom පිරිවර

ඩොනල්ඩ් වුඩ්ස් ලියපු BIKO සහ ‘Asking for Trouble’ කියන කෘති දෙකේ කරුණු ඇසුරින් තමයි John Briley, Cry Freedom චිත්‍රපටයේ තිර පිටපත ලියන්නෙ. පොත් දෙක මුද්‍රණය කරන තැන දක්වා ගේන්න වුඩ්ස් දරපු මහන්සිය සහ ජීවිත අවදානමත් ඒ තිර පිටපත පුරාම අපට මුණ ගැහෙනවා. Cry Freedom චිත්‍රපටය Richard Attenborough කියන කීර්තිමත් සිනමාවේදියාගෙ අධ්‍යක්ෂණයක්.  වචනවලින් එහාට ගිය මහා දිග කතාවක් හදවතට දැනෙන්න ඉදිරිපත් කරන ඒ දර්ශන රූගත වෙන්නෙ Ronnie Taylor කැමරා ශිල්පියා අතින්. සංස්කරණය Lesley Walker ගෙ.

imdb.com

Cry Freedom චිත්‍රපටයෙ බන්ටු ස්ටීව් බිකෝ විදියට Denzel Washington අපට මුණ ගැහෙනවා. ඩොනල්ඩ් වුඩ්ස්ගෙ චරිතයට පණ දෙන්නෙ Kevin Kline. ඒ දෙන්නට අමතරව Josette Simon, Wabei Siyolwe, John Matshikiza, Juanita Waterman සහ Penelope Wilton ඇතුළු රංගන ශිල්පීන් රාශියක් චිත්‍රපටය සඳහා තමන්ගෙ රංගන දායකත්වය ලබා දෙනවා.

අනවසර ජීවිත සහ මනුෂ්‍යත්වයේ අරගල

තමන්ගෙ රට ඇතුළෙම අනවසර ජනතාවක් විදියට ජීවත් වෙන්න සිද්ධ වුණු මිනිස්සුන්ගෙ වේදනාව චිත්‍රපටය ආරම්භයේ ඉඳල අවසානය දක්වාම එකම විදියට අත්විඳින්න Cry Freedom හරහා ප්‍රේක්ෂකයට ඉඩ ලැබෙනවා. ඇත්තටම ඒක කලු ජාතිකයන් මත විතරක් එල්ල වුණු පීඩනයක් නෙමෙයි. තමන්ගෙ පාලනයට එරෙහිව යන වුඩ්ස් වගේ සුදු ජාතිකයන්ට වුණත් එතනදි ද්‍රෝහී ලේබලය අලවන්න පාලකයො පසුබට වෙන්නෙ නෑ. චිත්‍රපටයෙ එක දර්ශනයක් තියෙනවා, සුදු ආණ්ඩුව දහස් ගාණක් පාසල් ශිෂ්‍යයො සහභාගී වුණු නිරායුධ පෙළපාලියක් ඉතාම නින්දිත විදියට වෙඩි තියලා මර්දනය කරන. පුංචිම දරුවො පවා මහ පාරෙ වෙඩි තියල මරණ ම්ලේච්ඡයො රැළක් විදියටයි දකුණු අප්‍රිකානු පොලිසිය එතනදි හැසිරෙන්නෙ. ඒ තිරිසන් වැඩවලට එරෙහිව ලෝක මට්ටමෙන් කතාබහක් ඇති කරන්න වුඩ්ස් උනන්දු වෙනවා. ඒ අයුක්තියට, වෙන් කිරීමට එරෙහි වුණු තමන්ගෙ ආදරණීය මිත්‍රයගෙ මරණයට උපරිම සාධාරණයක් කිරීමේ අරමුණින්.

wikipedia.org (ඩොනල්ඩ් වුඩ්ස්)

තමන්ගෙ මාතෘ භූමිය ඇතුළෙම පිටස්තරයො විදියට ජීවත් වෙන්න සිද්ධ වුණු, ඒ වේදනාව අත්විඳපු ජනතාවක් හිටිය එකම රට දකුණු අප්‍රිකාව නෙමෙයි. තමන්ගෙ නොහැකියාව ජාතිවාදයේ, වර්ගවාදයේ උදව්වෙන් වහගත්ත, ඒ නිසාම අවුරුදු ගණන් ඇදි ඇදී යන යුද්ධවලට රටවල් ඇදල දාපු පාලකයො සහ ආණ්ඩුත් ලෝකයේ ඕනතරම් තියෙනවා. ජාතිවාදය, ආගම්වාදය වගේ ගැටුම් ඔඩුදුවපු රටක් කියන්නෙ බලලෝභී දේශපාලකයන්ට සහ හොර තක්කඩින්ට ක්ෂේම භූමියක්.

මහ ජාතියේ ‘අතපල්ලෙන් වැටුණු’ සුළුතරයක් විදියට ජීවත් වෙන්න තවත් පිරිසකට බල කරද්දි ඒ ම්ලේච්ඡත්වයට එරෙහි ප්‍රතිවිරෝධතා මුලින්ම මතු වෙන්නෙත් ඒ පොළොවෙන්ම යි. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගෙ ලෙයින් සහ කඳුළින් පන්නරය ලබන ඒ ජනතා අරගල ලෝකය පුරාම ඇති වුණා. හෙටත් ඇති වෙයි. ඒ හැම සටන් බිමකම බෙදීම් සහ බැඳීම් ඉක්මවපු ස්ටීව් බිකෝලා සහ ඩොනල්ඩ් වුඩ්ස්ලාත් බිහි වෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය, මර්දනය වගේම ඒ මර්දනයට එරෙහි මනුෂ්‍යත්වයේ අරගලවලටත් කෙළවරක් නැහැ. ඒ දෙකම හැමදාම සිද්ධ වෙනවා.

Cover Image –  mubi.com

තොරතුරු – www.imdb.com

Related Articles

Exit mobile version