1970 ගණන්වලදී, නිහඬ ඝාතකයා ලෙස සැලකුණේ විදුලි රැහැන් ය. අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ඒවායින් නිකුත් වන බවට මත පළ වූ අතර 1979 දී කළ අධ්‍යයනයක් පෙන්වා දුන්නේ විදුලි රැහැන් අසල ජීවත් වන දරුවන්ට පිළිකා ඇති වන බව ය. විකිරණ යොදා ගන්නා බවට වූ සීතල යුද්ධය පිළිබඳ භීතිය නිසා, රූපවාහිනී සහ මයික්‍රොවේව් උඳුන් ද මානව සෞඛ්‍යයට ව්‍යසනකාරී භාණ්ඩ ලෙස සැලකිණි. පසුව, කෙස් වියළන යන්ත්‍ර ඇතුළු තවත් ගෘහ උපකරණ විශාල ප්‍රමාණයක් ද ඊට එක් විණි.
නවත ම සීතල යුද්ධ ආයුධය බවට පත්ව ඇත්තේ දුරකථනය සහ අධිවේගී දත්ත සබඳතා තාක්ෂණයන් ය. උපකරණය වෙනස් වුව ද ඒ වටා ඇති භීතිකාවේ වෙනසක් නොමැත. ඉන් කියවෙන්නේ ඒවායෙන් නිකුත් වන කිරණ දිනපතාම ක්‍රම ක්‍රමයෙන් අපව විනාශ කරන බව යි. ඒ වටා වූ මත ඒවාට යා හැකි උපරිම සීමාවට ම ගොස් තිබේ. දුරකථන මොළයේ පිළිකා ඇති කරන බව, වයර්ලස් තාක්ෂණය DNAවලට බලපෑම් කරන බව, සහ දුරකථන සංඥා කුළුණුවලින් ලෙඩ රෝග පතුරුවන බව ආදී වශයෙන් එය මහා සෞඛ්‍ය ව්‍යසනයක් යැයි එම අදහස් පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය, දශක ගණනාවක් පුරාවට කළ පර්යේෂණ උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රවලින් සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති වන බව සොයාගෙන නොමැති බව යි. එනමුත් සමාජ මාධ්‍ය භාවිතයේ ඇති භයානක බව, දුරකථන තිරයෙන් සිදුවන සෞඛ්‍ය හානි, පරිගණකය භාවිතයෙන් ඇතිවන වෙහෙසකාරී බව වැනි තාක්ෂණය විරෝධී මතිමතාන්තර රැසක් සමාජයේ පවතිද්දී මෙය තාක්ෂණයෙන් බැහැර ව සිටීමට සිදු කෙරෙන තවත් එක් තල්ලුවක් පමණි.
සමාජයේ ජීවත් වන ආකාරය දරුවන්ට උගන්වන්නා ආකාරයට ම සමාජ මාධ්‍ය අවබෝධයෙන් යුතු ව භාවිත කරන ආකාරය ගැන දැනුම්වත් කිරීම, දිනකට දුරකථන තිරය දෙස බලා සිටින කාලය ස්වයං ව පාලනය කර ගැනීම වැනි විසඳුම් ඒවාට තිබුණ ද තාක්ෂණයෙන් “ඉවත්ව සිටීම” නමැති පහසු මඟ අනුගමනය කිරීමට බොහෝ දෙනෙක් පෙලැඹෙන අතර, මෙරට පාසල්වල තාප්පවල පවා තාක්ෂණික උපකරණවලින් තොර දරුවන් හොඳ දරුවන් බවට සටහන් වනු පසුගිය වසරවල දැකිය හැකි විය. ඉන් කෙටි කලක් යන්නට මත්තෙන් ම කොවිඩ් වසංගතය නිසා පාසල් වැසී, දරුවන්ට තාක්ෂණය හරහා ම අධ්‍යාපනය කරගෙන යාමට ඉඩ සැලසීමට මව්පියන්ට සිදු විය.
වසංගතයට සමගාමී ව ලොව වටා පැතිරුණු 5G තාක්ෂණය ද මිථ්‍යා මත නමැති ගින්නට පිදුරු දැමීමක් වැනි විය. “චීනයට 5G ලැබිණි. 2019 නොවැම්බර් 1 වැනිදා මිනිසුන් මැරී වැටිණි,” යයි අමෙරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවක් වන කෙරී හිල්සන් ට්විටර් සටහනක් (දැන් එය මකා දමා තිබේ.) තැබී ය. යුරෝපය පුරා කොරෝනා වෛරසය පැතිරෙත් ම 5G පිළිබඳ භීතිය ද වර්ධනය විය. අප්‍රේල් මාසයේ මුල් දින 10 තුළ මොබයිල් සේවා යටිතල පහසුකම් විනාශ කිරීම් සම්බන්ධ සිද්ධි 30කට වඩා වාර්තා විය. එවන් ආයතනවල වැඩකරන සේවකයන්ට ද අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදුවූ අතර, ලන්ඩනයේ නෙට්වර්ක් ඉංජිනේරුවකුට කෙළ ගැසීමෙන් ඔහුට කොරෝනා ආසාදනය වූ බවට ද සැක පළ ව තිබිණි.
පෘථිවිය ගෝලයක් නොව තැටියකැයි කියන අදහස් අදටත් තිබුණ ද මෙම වයර්ලස් තාක්ෂණය සහ පිළිකා අතර සබඳතාවක් තිබේ ද යන්න හඳුනා ගැනීමට ඩොලර් මිලියන ගණනින් යෙදවීමට කුතුහලයෙන් යුත් විද්‍යාඥයන් පෙලැඹී තිබේ. එසේම, විද්‍යුත් චුම්භක විකිරණ සෞඛ්‍යයට අහිතකර යැයි පෙන්වා දෙන්නන් විද්‍යුත් චුම්භක තරංග සහ ඒවා ශරීරය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඇති දැනුම නොසලකා හැර ඇති බවක් ද පෙනෙන්නට තිබේ.
“විකිරණ” යන වචනය ගත සලිත කළ ද, එය තුළ විශාල වෙනස්කම් ඇති විද්‍යුත් චුම්භක තරංගවල වර්ණාවලියක් පවති යි. අපේ ඇසට ලැබෙන ආලෝකය පවා විද්‍යුත් චුම්භක තරංගයකි.
ඉහළ ෆෝටෝන ශක්තියක් සහ කෙටි තරංග ආයාම ඇති ගැමා කිරණ සහ X-කිරණවලට ශරීරයේ සෛලවලට හානි කිරීමේ හැකියාව තිබේ. මන්ද ඒවාට පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නට අයනීකරණ හැකියාවක් ඇති බැවිනි. එවන් කිරණවලට දිගුකාලීනව නිරාවරණය වීම භයානක ය.
වත්මන් වයර්ලස් තාක්ෂණය භාවිත කරන්නේ ක්ෂුද් රතරංග පරාසය යි. මෙම තාක්ෂණය අමෙරිකාවේ රාජ්‍ය සන්නිවේදන කොමිෂන් සභාව (FCC) වැනි අධිකාරි හරහා නියාමනය කෙරෙන අතර, මිනිස් සෛලවලට හානිවිය හැකි මට්ටමේ එය නොපවතින බවට සහතික කෙරෙනවා. 1991දී, යේල් භෞතික විද්‍යාඥ රොබට් කේ. ඇඩෙයාර් Physical Review හි සටහන් කළේ මේවාට “සෛල මට්ටමින් සැලකිය යුතු ජීව විද්‍යාත්මක බලපෑමක් ඇති කළ නොහැකි බවත්, එසේ නොවන බවට විශ්වාස කිරීමට ප්‍රබල හේතුවක් නැති බවත්” ය.
විද්‍යුත් චුම්භක විකිරණ මගින් මොළයේ පිළිකා ඇති නොවන බවට ඇති හොඳ ම සහ සරල සාක්ෂියක් තිබේ. මුළු ලෝකයේ ම ජනතාව දශක දෙකක් තිස්සේ දිනකට පැය 24 පුරාම දුරකථන සංඥා කුළුණුවලින් නිකුත් කෙරෙන තරංගවලට නිරාවරණය වන නමුත්, මොළයේ පිළිකා ඇතිවන වසංගත තත්ත්වයක් ලෝකයේ ඇති වී නොමැත.
වසර ගණනාවක් තිස්සේ මොළයේ පිළිකා සහ සෛල විකිරණය අතර අර්ථවත් සම්බන්ධයක් ඇතිදැයි සොයා ගැනීම සඳහා වූ විද්‍යාත්මක උත්සාහයන් තුළ හානිදායක බවක් දක්නට විය. 1982 සිට වසර 13ක් පුරාවට, ඩෙන්මාර්කයේ ජංගම දුරකථනයක් භාවිත කළ සෑම වැඩිහිටියකුම (පුද්ගලයන් 420,000 ක්) විද්‍යාඥයන් පරීක්ෂා කළේ ය. අවසානයේදී, මොළයේ පිළිකා සහ ජංගම දුරකථන භාවිතය අතර සම්බන්ධයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඔවුන්ට සොයා ගන්නට නොලැබුණේ ය.
තත්වය තවත් නරක අතට හැරුණේ කොවිඩ් එන්නත් හරහා 5G මඟින් බල ගැන්වෙන චිප් ශරීරගත කරන බවත්, ඉන්පසු බලවතුන්ට මිනිසා රිසිසේ පාලනය කරන්නට අවස්ථාව ලැබෙන බවත් යන අදහසත් සමඟ ය. ලොව වෙනත් රටවල පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරයකු ද එවන් අදහස් පළ කරන සාකච්ඡාමය යූටියුබ් වීඩියෝවක් සමාජ ජාල තුළ සංසරණය වනු දකින්නට ලැබේ. (අසත්‍ය තොරතුරු ජනගත වීම වැලැක්වීමේ අරමුණින් එහි Link එක මෙහි ඇතුළත් නොකෙරේ.)
“මයික්‍රොචිප් එකේ ප්‍රමාණය ගැන සලකද්දි එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා කියන්න බැහැ,” මොඩර්නා සහ නෝවාවැක්ස් යන කොවිඩ් එන්නත්වල තුන්වන අදියරේ අත්හදා බැලීම් පරීක්ෂකයකු ලෙස ද කටයුතු කරන මේරිලන්ඩ් වෛද්‍ය සරසවියේ ළමා හා බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මැට් ලෝරන්ස් CNBC පුවත් සේවයට පවසයි. “ඒ වගේම, එහෙම මයික්‍රොචිප් එකකට [ක්‍රියාත්මක වෙන්න] බලය ලැබෙන්න ඕන. ඒකට අඟලක් විතර පේශි, මේදය, සහ සම හරහා පිටත උපකරණයකට සංඥා නිකුත් කරන්න තරම් [ප්‍රබල] හැකියාවක් තියෙන්නත් ඕන. ඉතින් ඒකත් වෙන්න බැරි දෙයක්,” ඔහු වැඩිදුරටත් දක්වයි.
කටකතාවලට කපුටු පිහාටුවක් කපුටන් හත් දෙනකු කළ හැකැයි උපදේශාත්මක කතන්දරය ඔබ අසා ඇත. එබැවින් ඕනෑම දෙයක් ඕනෑ ම ආකාරයකින් නිර්වචනය කර ඕනෑම අයකුට ඉදිරිපත් කළ හැකි නමුත්, පිළිගත හැකි සාක්ෂි නොමැති ව කිසිවක් සනාථ කළ නොහැක. මේ නිසා අවශ්‍ය වන්නේ ඇසෙන දේ බුද්ධියෙන් විමසා තේරුම් ගැනීම වන අතර, අසත්‍ය තොරතුරුවලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප ගෙන ආ අන්තර්ජාල ප්‍රවෘත්ති- පිළිගන්නට පෙර විමසා බලමු ලිපිය ඉවහල් වනු ඇත.