වලව් සංස්කෘතිය වර්තමාන සමාජයෙන් වියැකී ගිහින්. එදා ගම්රටවල්වල තේජස පතුරුවා ගෙන වැඩවසම් අණසක පතුරුවා විදිහට ක්‍රියා කළ වලව්වල ප්‍රභූවරුන් අද ඉතිහාසයට එක්වෙලා. වලව් බොහොමයක් ගරාවැටී විනාශ වී ගිහින්. ඒත් ඒවාහි තේජස, එහි විසූ චරිතවල තේජාන්විතභාවය ගැන අදත් අපි කතා කෙරෙනවා. මේ දකුණේ මාතර අවට තිබෙන වලව් කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.
වලව් සංස්කෘතිය
උඩරට රාජධානි කාලෙ අපේ රට පාලනයට නායක්කර් රජවරුන් එක්වුණා. මේ කාලෙදි ප්‍රභූන් පදිංචි නිවාස “වලව්” යනුවෙන් හැඳින් වූ අතර එය තෙළිඟු බසින් ශබ්ද වූවකැ යි “ශ්‍රී ලංකා දීප වර්ණනා” ග්‍රන්ථයේ සඳහන් වෙනවා. පුරාණ රදළවරුන්ට නඩු ඇසීමට බලතල තිබුණ අතර ඔවුන් එම නඩු විභාග කිරීම සිය නිවසේ ම සිදු කළා. එබැවින් “වලවුම්” යනුවෙන් එම නිවෙස්වලට භාවිතා කළ බවත් “වලකු” යනුවෙන් නඩුවට ද්‍රවිඩ බසින් භාවිතය වන බවත් විද්වතුන් අර්ථ දක්වනවා.
ප්‍රභුන් තම වලව් සඳහා වෙන ම නිලධාරින් පිරිසක් ද යොදා ගෙන තිබෙනවා. වලව්වේ විදානේ වලව්වේ අයවැය පිළිබඳ විස්තර ලේකම් මිටිවලට ඇතුළත් කර තිබෙනවා. දිසාව, මුදලි වැනි ප්‍රධානින්ගේ වලව් අර්ධ නිල ආයතනයක් වුණා. උඩරට වලව් රැකබලා ගැනීමට වලව්ව මෙහොට්ටාල නම් නිලධාරියෙක් ද පත්කර තිබුණු බව රැල්ෆ් පීරිස් සඳහන් කරනවා.
සරම් මුදලි වලව්ව
මාතර නූපේ හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 1ක් පමණ ගමන් කරන විට රාහුල විද්‍යාලය හමුවෙනවා. එම විදුහල් බිමේ තමයි සරම් මුදලි වලව්ව පිහිටා තිබෙන්නේ. දාවිත් ද සේරම් විජේසේකර හෙවත් සරම් මුදලිවරයා මෙම වලව්ව ඉදිකර තිබෙන්නේ ඕලන්ද පාලන කාලෙ අවසන් සමයේදියි. ඔහු 1760 සිට මාතර මුදලිවරා ලෙස සේවය කර තිබෙනවා. වෙන්දේසියකින් වලව්ව මිලදී ගත් ව්‍යාපාරික ඕදිරිස් සිල්වා පසුකලෙක එය රාහුල විදුහලට පරිත්‍යාග කර තිබෙනවා.
සරම් මුදලිවරයා විවාහ වී ඇත්තේ ඉලංගකෝන් වලව්වේ ආබ්‍රහම් ඉලංගකෝන් මුදලිවරයාගේ දියණිය සමඟයි. සරම් මුදලිවරයා මහා පින්කම් කිරීමට විශාල කැමැත්තක් දක්වා තිබෙනවා. ඔහු මාතර සිට ගොඩපිටිය දක්වා නිල්වලා ගඟේ ඔරු මගින් ගංගාවරෝහණ නමින් පෙරහරක් සංවිධානය කරවූවා. ඒ වර්ෂ 1806 නොවැම්බර් මාසයේදියි. ඒ ගැන ගංගාවරෝහණ වර්ණනාව නමින් කවිපොතක් ද පළ වුණා.
ඉස්තොප්පුවේ රවුම් හැඩැති කුලුනු 12ක්
මෙම ගොඩනැගිල්ලේ එක් කොටසක රාහුල විදුහලේ නේවාසිකාගාරය කලක් පවත්වාගෙන ගොස් ඇති අතර දැන් එය ගුරු මණ්ඩල කාමරයට වෙන්කර තිබෙනවා. මෙහි කාමර 12ක් දැකගත හැකියි. ගොඩනැගිල්ල විශාලත්වයෙන් වර්ග අඩි 8364ක්. වීශාල ඉස්තෝප්පුවක් සහ මැද මිදුලක් සහිතයි. ඉස්තොප්පුවේ රවුම් හැඩැති කුලුනු 12ක් දක්නට තිබෙනවා.
ඉදිරිපසින් නිවසට ඇතුළුවීමට දොරවල් තුනක් තබා තිබෙනවා. එය ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක්. 1999 දී මෙය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ගොඩනැගිල්ල පිටුපස වලව්වට ම අයත් තවත් ගොඩනැගිලි දෙකක් ද දැකගත හැකියි.
ගජමන් වලව්ව
මාතර යුගයේ කවිකාරිය සිය ජීවිතය ගත කළේ මේ නිවස වලව්වක් කීවාට මහා මන්දිරයක් නොවේ. පල දෙකකින් යුත් ඉදිරිපස ඉස්තෝප්පුවකින් සමන්විත නිවසක්. ක්‍රිස්තු වර්ෂ 1758 වර්ෂයේ දී කොළඹ කොල්ලුපිටියේ දී උපත ලැබූ ගජමන් නෝනාගේ පියා දෝන ෆ්‍රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් හෙවත් ගජමන් ආරච්චි වූණා.මව ෆ්‍රන්සිනා නැතහොත් නෝන බබා නම් වුණා.
මාතර නගරයට නුදුරින් වල්පල වේරගම්පිට විහාරය අසල මේ වලව්ව පිහිටා තිබෙනවා. මෙම නිවස පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වන අතර මාතර මහා නගර සභාවේ නඩත්තුව යටතේත් පවතිනවා.
සිය පියා සහ ස්වාමියාගේ මරණයෙන් පසුවත් ගජමන් නෝනා දිගටඩම වාසය කරඇත්තේ මේ වලව්වේ. ඕලන්ද සම්ප්‍රදායට අනුව ඉදි කළ මේ නිවෙසට ගිය විට අප සිතට ලන්දේසි යුගයේදී වාසය කළ රුහුණේ කිවිඳිය ගැන විවිධ සිතුවිලි සිතට නැග එනවා.
ගජමන් නෝනා පියාත් සමග මාතරට එන්නේ පියාට ලන්දේසි ආණ්ඩුවෙන් මාතර තෝම්බුවේ මුලාදෑනිකම ලැබීම නිසයි. ඒ අනුව 1772 දී කොල්ලුපිටියේ සිට මාතර වේරගම්පිට තුප්පහි වත්තේ පදිංචියට ඔවුන් පැමිණෙනවා. මාතර පදිංචිකාරියක් වීමත් සමඟ ම ඇය ගජමන් නෝනා ලෙස හැඳින්වුණා. ඒ ඇයගේ පියා ගජමන් ආරච්චි ලෙස ප්‍රකට වූ හින්දයි. ඔවුන් වාසය කළ නිවසත් ගජමන් වලව්ව ලෙස ප්‍රකට වුණා.
වේරගම්පිට පදිංචිවීමත් සමඟ ඇයට එකල ලංකාවේ උගත් පඩිරුවනක් ලෙස වැජඹුණු කරතොට ධම්මාරාම හිමියන්ගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වුණා. වේරගම්පිට රජමහා විහාරයේ වැඩ වාසය කළ ධම්මාරාම හිමියන් හමුවීමට ඇය නිතර ගොස් තිබෙනවා.
ඉලංගකෝන් වලව්ව
දැනට කුමාරතුංග මාවත ලෙස හඳුන්වන පරණ ගාලු පාරේ, 99 වැනි සැතැපුම් කණුව අසල මේ මන්දිරය පිහිටා තිබෙනවා. 19 වැනි සියවසේ මුල් යුගයේ දී ගාලු පාරට මුහුණලා පිහිටි දැකුම්කළු මෙන් ම මාතර ඇති එක ම මන්දිරය වශයෙන් එය ප්‍රකට වුණා. මෙහි ඉදිරිපිටින් බැලූ විට මන්දිරයේ වහලය නොපෙනෙන පරිදි ඉදි කර තිබෙනවා.
ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණයි මෙහි දැකගත හැකිවන්නේ. මැද සාලය විශාල ඉඩකඩක් සහිතයි. ලීයෙන් කපා ඇති අලංකාර කැටයම් ගොඩනැගිල්ලට තේජාන්විත පෙනුමක් ගෙන එනවා. එහි පැරැණි ලියවැල්, පලා පෙති වැනි කලාත්මක ලී කැටයම්වලින් අලංකාර කර තිබෙනවා. එහි පසුපස භෝජන ශාලාවද විශාල ඉඩක් සහිතයි.
අතීතයේ එහි බිත්ති දේශීය හා විදේශීය කොඩි චිත්‍රවලින් අලංකාර වී තිබූ බව පැවසෙනවා. 1951 සිට මාතර සමුපකාර රෝහල පවත්වාගෙන යන්නේ මෙම ගොඩනැගිල්ලෙයි. ඉලංගකෝන්ට ගාල්ලේ මහ මුදලි පදවිය ලන්දේසින් පිරිනමා ඇති අතර ඉන් පසු මුදලි තනතුරට පත් වන්නේ, ඔහුගේ පුත් දොන් ඩේවිඩ් ජයතිලක අබේසිරිවර්ධන ඉලංගකෝන් මුදලිවරයා යි.
ජයතිලක අබේසිරිවර්ධන ඉපදී ඇත්තේ 1772 අගෝස්තු මස 05 වැනි දිනයි. පියාගේ ඇවෑමෙන් ඔහුට ද මහමුදලි පදවිය හිමි වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ 1809 ජූනි 04 වැනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මාතර මුදලි ධුරයට අමතර ව, කඩවත්සතරේ මුදලි, භාෂා පරිවර්තක මුදලි යන තනතුරු ද පිරිනමා තිබෙනවා. දැනට දක්නට ලැබෙන වලව්ව ජයතිලක අබේසිරිවර්ධනගේ කාලයේදී ඉදි කළ බවයි පේන්නේ. මොහු 1848 සැප්තැම්බර් මස අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ සොහොන මාතර කොටුව රෙපරමාදු දේවස්ථානයේ පිහිටා තිබෙනවා.
1840 දී පමණ ඉලංගකෝන් වලව්වට ගිය ජෝන් කැපර් නම් ඉංග්‍රීසි ලේඛකයා මෙසේ සිය අත්දැකීම් සටහන් කරනවා:
මුදලිතුමාගේ වලව්ව විශාල නිවස්නයකි. ඉදිරිපස දිගු ආලින්දයේ පුටු රාශියකි. මුදලිවරයා උදෑසන සහ හැන්දෑවට එහි හාන්සි පුටුවක හිඳගෙන යටත්වැසියන්ගේ පැමිණිලි, දුක්ගැනවිලිවලට සවන් දෙයි. දිස්ත්‍රික්කයේ තොරතුරු ගැන ගම්මුලාදෑනිවරු සමඟ සාකච්ඡා කරන්නේ ද එහිදීය. ( Old Ceylon -කෝපි කාලෙ ලංකාව, ජෝන් කැපර්, පරි. කුසුම්සිරි විජයවර්ධන)
ඔන්ඩච්චි වලව්ව
මාතර නගර මධ්‍යයේ කුමාරතුංග මාවතට මුහුණලා මෙම වලව්ව පිහිටා තිබෙනවා. ඕලන්ද වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විදහාපාන වලව්වේ සාලය වෙන් කරන්නේ විශාල ආරුක්කුවකින්. දැනට මාතර සාන්ත තෝමස් කුමර විදුහලට අයත් භූමියේ වලව්ව පිහිටා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1844 ඇරඹුණු එය මාතර පිහිටි පැරණි ම ඉංග්‍රීසි විදුහලයි.
එම විදුහලේ කාර්යාලය ලෙස භාවිත කරන්නේ ඔන්ඩච්චි වලව්වයි. ශාන්ත තෝමස් කුමර විදුහල බ්‍රිතාන්‍ය යුගයේ දී මාතර ඇංග්ලිකානු පියතුමකු වූ එච්.ජේ. ඔන්ඩවිච් පියතුමන් වැල්ලමඩමේ පිහිටි මේ වලව්ව වෙත ගෙනවිත් ස්ථාපිත කළ බව පැවසෙනවා.
මේ වලව්ව මෑත කාලයේදී ප්‍රතිසංස්කරණයට ලක් වී තිබෙනවා. වහලයට මුලින් ම සිංහල උළු සෙවිලි කර තිබුණත් පසුව කළ ප්‍රතිසංස්කරණයේ දී රටඋළු සෙවිලි කර තිබෙනවා. ඉදිරිපස කුලුනුවලින් නිවෙසෙහි මහේශාඛ්‍ය බව පළ කෙරෙනවා.
සිසිරගිරි වලව්ව
මාතර ඉඩම් හිමි විශාල ධනවතකු වූ යටියන මහත්තයා ලෙස හැඳින් වූ ඩී.ඒ.රණවිරට අයත් නිවස තමා සිසිරගිරි වලව්ව. දෙමහල් නිවසක් වූ මෙය එංගලන්ත වාස්තු විද්‍යාත්මක සැලමකට අනුව තනා තිබෙනවා. සුදු වේට්ටිය සහ කබාය හැඳි ගැමියකු වූ ඔහු එංගලන්තයේ සුද්දන් හා තරග කර වෙනම වතු අධිරාජ්‍යයක් බිහිකළ ධනවතෙක්.
පසුව ඔහු මහනුවර රැජන හෝටලය ද මිලදී ගෙන තිබෙනවා. ඔහුට මාතර, හැටන්, නුවරඑළිය ආදී ප්‍රදේශ රාශියක තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව පැවසෙනවා. ඩී.ඒ.රණවිර කලක් මොලොද්දුව ගම් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
යටියන මහත්තයාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේ ද, ඔහුගේ පුත් ඩොනල්ඩ් රණවීර මහතාගේ ද, මුණුබුරන්ගේ ද සොහොන් කොත් යටියන නිවෙස ඉදිරිපිට සාදා තිබෙනවා. අද වනවිට සිසිර ගිරි වලව්ව පාළු ස්ථානයක් බවට පත්වෙලා. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු එහි පදිංචි වී සිට නැහැ. වත්ත වටේට ම වසර සීයයකට වඩා පැරැණි අරලියා මල් ගස් රාශියක් පැතිර තිබෙනවා. අලංකාර මූර්තිවලින් ද මෙහි උද්‍යානය සරසා තිබෙනවා.