කාල ගණනය – ලෝකයේ විශ්වයේ කාලය සහ අපේ කාලය
ඔබ අප වාසය කරන මේ පෘථිවි තලය බිලියන 4.5ක් පැරණිය. එයින් මුල්ම ජීවය බිහිවී ඇත්තේ මීට වසර මිලියන 500කටත් පෙරය. නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ස්ලා බිහිවී තවම අවුරුදු ලක්ෂ දෙකක්වත් ගත වී නොමැත. වර්ථමාන ලෝක ජනගහනය බිලියන 8කට ආසන්නය. මීට වසර දෙසීයකට පෙර ලෝක ජනගහනය වූයේ බිලියනයක් පමණි. වසර දෙසීයක් තුල මනුෂ්‍ය ගහනය අට ගුණයක් වැඩිවී තිබේ. ලෝකය බිහිවූ දවසේ සිට ඉතිහාස කථාව පෑ විසිහතරක දීර්ඝ වීඩියෝ පටයකට ඇතුලත් කළහොත් එයින් පෘථිවියේ ජීවය අපිට බලාගත හැකිවන්නේ අවසාන පෑ දෙකේදී ය. ඒ වීඩියෝවේ මනුෂ්‍යයා අවසාන රූපරාමුවේදීවත් අපිට දැකගන්නට ලැබෙන්නේ ඡායාවක් වූ තරමිනි. මනුෂ්‍ය ආයු කාලය ලෝක ආයු කාලය හා සසදන කල්හී ඉතාම ස්වල්ප වූ කාඝයකි.
“අපි කතා නොකර සිටිනා…ටික දවසට මල් පිපී පරව යන අරුමේ.. “ ඒ ජානක වික්‍රමසිංහ ගේ ගීතයේ සදහන් වන ආකාරයට දෙදෙනෙක් කතා නොකර සිටින ස්වල්ප වූ දින, සති, මාස, අවුරුදු කාලය තුල පවා ලෝකයේ තැන් තැන්වල මල් පිබිදී පරව යයි. එසේම නූතන මානවයා මෙලොවට පහල වන්නට ප්‍රථමයෙන් මේ විශ්වයේ තැන් තැන්හී ජීවය ඇතිවී නැතිවී යන්නට ඇත.
අපිත් නොදන්නා අනාගතයේ කාල ප්‍රාන්තරයක දී විශ්වයේ යම් තැනක ජීවය පහල වී නැතිවී යන්නට ඇත. සමස්ථ ලෝක ඉතිහාසයේම නූතන විද්‍යා දියුණුව සහිත මනුෂ්‍යයින් පහළ වී තවමත් වසර සියගණනක් වත් ගතවී නැත. එබැවින් බිලියන ගණනක් වූ විශ්වය තුල ඈත චක්‍රාවාටයන්හී ජීවය බිහිවී නැතිවී ගොස් විය හැකිය. නැතහොත් අවුරුදු මිලියන 500ක පෘථීවි ජෛව ගෝලයේ ඉතිහාසය තුල මනුෂ්‍යයා බිහිවීමටත් ප්‍රථම වූ ප්‍රාථමික මට්ටමේ ජීවයක් සහිතව පිටසක්වල ජීවින් සිටිනවා විය හැකිය.
මෙය තවත් සරලව සිතුවහොත් අපිට යමෙක් හමුවීමට අවශ්‍ය නම් ඒ සදහා අපි දෙපාර්ශවයම එක් පොදු තැනකට පැමිණිය යුතුය. ඔබට ස්කයිප් හරහා යමෙක් හමුවන්නට පවා ඒ තැනැත්තා අන්තර්ජාලය හරහා ස්කයිප් වලට සම්බන්ධ විය යුතුය. බස් නැවතුමේ හමුවන්නට නම් දෙදෙනාම එකවිට බස් නැවතුමේ සිටිය යුතුය. ඉතින් දියුණු ජීවින් ලොව සිටියත් අපගේ දියුණුවේ ස්වර්ණමය යුගය වන මේ කාලයේ ඔවුන් අපගේ තාක්ෂණයට ප්‍රතිචාර දක්වන තරමට දියුණු වූයේ නැතිනම් අපිට ඔවුන් හමුවන්නේ නැත.
මේ විදියටම ජීවය තිබුනත් ඔවුන් බුද්ධිමත් වෙයිද?
ලෝකය තුළ වර්ථමානයේ පිහිටි දියුණු නගරවලින් බොහොමයක් බිහිවී ඇත්තේ සමුද්‍රාසන්නයේ හෝ විශාල ගංගා ආසන්නයේය. මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ දියුණුව සැලකූ කල ඉතිහාසයේ පටන්ම ජලය යනු දියුණු වූ ජීවින්ගේ මූලික අඩිතාලමක් විය.
තවමත් මේ වර්ථමාන ලෝකයේ පවා නූතන තාක්ෂණික දියුණුව හාංකවිසියක්වත් නොදන්නා මිනිසුන් බොහෝ වෙති. ඔවුහු භූමියෙන් වෙන් වී ගෝත්‍රිකයින් ලෙස ද, දේශපාලනයෙන් වෙන් වී උතුරු කොරියානුවන් ලෙසද දුප්පත් කම අනුව වෙන් වී තිබෙනවා. දුර ඈත ගම්වල ඉන්දියානුවන් මෙන් ම චීන්නුන් ද නොදියුණු ලෙස දිවි ගෙවති. එක් කොටසක් ලෝකයෙන් එපිට ග්‍රහ වස්තු සොයමින් විශ්වය පීරන කල ලෝකයේම තවත් පිරිසක් කාන්තරයේ මැද ගුලකට රිංගූ තලගොයෙකු එනතුරු ගුල විවරය දෙපස ගල් මුගුරු ගෙන බලා සිටිති.
ලෝකයෙන්ම මිනිසා තරම් වූ මහ මොළකාරයෙකු තියුණු බුද්ධිමත් ජීවියෙකු තවත් නැත. ඒ මනුෂ්‍යයා වුවද ලොව සෑම තැනදීම තාක්ෂණය හා බැඳුණේ ද නැත. එබැවින් යම් ලොවක ජීවින් සිටියද ඇතැම් විට ඔවුන්ට මිනිසාට තරම් මොළයෙන් විශාල වූ උපාය ඥාණයක් තිබුණ ද ඔවුන්ද සතුන් හා සම වූ ජීවින් මිසෙක විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් දියුණු ලෙස ජීවත් වේදැයි සැක සහිත ය. මිනිසා මෙතරම් තාක්ෂණයෙන් දියුණු වූයේ ඔහුට මුහුණ දෙන්නට වූ අභියෝග කරදර ආදිය නිසා ය. යුරෝපියානුවන්ට චීන ජාතිකයින්ට ජපනුන්ට සෘතු භේදය හේතුවෙන් සිය අවශ්‍යතා සපුරා ගැනීම තනිවම කළ නොහැක්කක් විය. ඔවුහු සිය භූමියෙන් එපිට යෑමෙන් සහ විවිධ අන්දමේ තාක්ෂණයන් වැඩිදියුණු කොට ගෙන ජීවිකාව වඩාත් සරල කර ගත්තෝය. ජීවය මෙන්ම මනුෂ්‍යයා දියුණු ජීවියෙක් බවට පත් වී ස්මාර්ට් පුද්ගලයෙක් බවට පත් වීමද අහඹු සිදුවීමකි. යම් දුර ඇති ආකාශ වස්තුවක් අසබඩ ග්‍රහලොවක ඇතැම් විට ජීවයක් තිබෙන්නට පුළුවන. මේ කතාකරන අවස්ථාවේ දියුණු ජීවින්ද සිටින්නට පුළුවන. නමුත් ඔවුන් මිනිස්සුන් තරම්ම දියුණු හෝ අපිටත් වඩා දියුණු වීමට ඇති ඉඩකඩ සීමිතය.
දුර සහ ග්‍රහවස්තු ප්‍රමාණය
ගසකට නැග අහස බලන්නට හුරුවුණු ගෝත්‍රික යුගයේදී පවා මිනිසා ඈත අහසේ තරු වැටෙන දෙස බලා පිටසක්වල ජීවින් මෙහි පැමිණෙතැයි සිතා තැවෙන්නට ඇත. ඊට වඩා කිහිප ගුණයකින් උසස් වු මේ නූතන තාක්ෂණයේ කෙළ පැමිණි ස්මාර්ට් මනුෂ්‍යයාට ම මීට වසර දෙක තුනකට එපිට පෘථිවි සාගරයේ ම ගිලී ගියායැයි සිතෙන මැලේසියානු මගී ගුවන්යානය සොයාගන්නට බැරි විය.
අපිට පේන අවකාශයේ ඇති දිලිසෙන තරු ගණන වර්ථමාන තාක්ෂණය අනුව ගණනය කළ හැකි ය. නමුත් ලොව තුළ ඇති චක්‍රාවාට, ග්‍රහවස්තු, තාරකා ආදියෙහි සියල්ල ම කෙතෙක් දැයි ගණනය කරන්නට අපහසු ය. ආසන්න වශයෙන් එකට පසු බිංදු විසිහතරක් ඇතුලත් කළ පසු එන සංඛ්‍යාවටත් වඩා විශාල සංඛ්‍යාවක් ග්‍රහවස්තු විශ්වය තුල ඇතැයි සැලකේ.
ආලෝකය වර්ෂයක් තුළ ගමන් කළ හැකි දුර ආලෝක වර්ෂයක් වෙයි. සූර්යාගේ සිට පෘථිවියට ආලෝකය පැමිණීමට ගතවන්නේ විනාඩි 8කි. සුප්‍රකට ඔරායන් තාරකා රාශියේ බඳපටියේ ඇති තරු තුනේ මැද තරුව අපගේ සූර්යයා මෙන් තුන්ලක්ෂ හැත්තෑපන්දහස් ගුණයක් දීප්තිමත්ය. එය පිහිටා ඇත්තේ ආලෝක වර්ශ 1340ක් තරම් ඈතිනි. අල්නිලාම් නම් වූ ඒ ඔරායන් බදපටියේ මැද ග්‍රහ වස්තුවේ අද දකින ආලෝකය මීට වසර 1340කට පෙර නිකුත් කරන ලද ආලෝකය වේ.
අපට විද්‍යුත් චුම්භක තරංග මගින් දත්ත ස්වල්පයක් ලබාගත හැකි වුවද දුරබැහර වූ ග්‍රහලොව කරා යානා යැවීම හෝ වෙනත් ක්‍රමයකින් ඔවුන් විශ්ලේෂණය කිරීම අපහසු කාර්යයකි. විශ්වයේ ජීවින් සිටියද ඔවුන් යාබද නිවසේ ඇය ඉන්නා පරිදි සරල දුරකින් නොසිටී. එසේම ලෝක ජනගහනයටත් දස දහස් ගුණවලින් වැඩි තාරකා ග්‍රහවස්තු එකිනෙක ගෙන නිරීක්ෂණය කිරීම ද කළ හැක්කක් නොවේ.
සන්නිවේදනය
සිනමාකරුවන් සහ කලාකරුවන් පිටසක්වල ජීවින් නිරූපණය කරන්නේ වර්ථමාන ලෝකයේ මනුෂ්‍යයාට වඩාත් ආසන්නව වේ. මිනිසුන් වඩාත් ආශා කරන්නේ අප හා සමාන වූ පිටසක්වල ජීවින්ට නිසා නිරූපණය කිරීම පහසුවද තකා කලාකරුවෝ පිටසක්වල දියුණු ජීවින් මිනිසාට සමාන කොට නිපදවනවා ඇත.
නූතන විද්‍යාව හරහා බොහෝවිට තියුණු ලෙස විග්‍රහ කරන්නේ අපගේ පෘථිවියේ ජීවය ගැන වේ. වර්ථමාන පෘථිවි ජීවයට පදනම් වූ රසායනික භෞතික විද්‍යාත්මක පදනම විද්‍යාඥයෝ විසින් අනුදැන වදාරා තිබේ. නමුත් ගණිතඥයෝ පිරිසක් පවසන්නේ මේ අප අත්දකින දේ තවත් විස්තර කරන අපගේ විද්‍යා දැනුමෙන් එපිට වූ තවත් බොහෝ දැනුම් සම්භාර තිබිය හැකි බවකි. පෘථිවිය තුළ ජීවය පහළ වීමට එහි දේශගුණය, කාලගුණය, පෘථිවියේ සංයුතිය, සූර්යයාගේ සිට ඇති දුර ආදී සාධක හේතුවන්නට ඇත.
දැනට ජීවය තිබෙනවා යැයි සැක කෙරෙන ග්‍රහලෝක 500ක් තුළ ඇතැම් විද්‍යාඥයින්ද සොයනුයේ සිනමාකරුවෝ මෙන් පෘථිවියට වඩාත් සමීප වූ ජීවයකි. එය ද විය හැක්කක් මෙන්ම නොවිය හැකි දෙයක් ද විය හැකිය.
පිටසක්වල ජීවින් සෙවීම
- ජීවයක් සහිත ග්‍රහලොවක් හමුවීම
- එහි සතුන් සහ ගස්වැල් වැනි සංකීර්ණ ජීවින් සිටීම
- ඒ අතරිනුත් මිනිසුන් මට්ටමේ බුද්ධියෙන් ඉහල ජීවින් සිටීම
- ඔවුන්ද නූතන ශිෂ්ඨාචාරගත පෘථිවියේ දියුණු මිනිසුන් පරිද්දෙන් දියුණු වී තිබීම
ආදී කාරණා රැසක් පිටසක්වල ජීවින් අපට හමුවීමට නම් සාර්ථකව ඉෂ්ඨ සිද්ධ විය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභය.
ආත්මයක් කෙසේ වුවත් මනුෂ්‍යයින් වැනි දියුණු ශිෂ්ඨාචාරගත ජීවින් මේ සකල විශ්වයේම තැනෙක පහළවීම යනු ඉතාම දුර්ලභ වූ කාරණාවකි. එසේ වුවද කලාතුරකින් සිදුවන සිදුවීම් රැසක් හේතුවෙන් බිහිවූ මනුෂ්‍ය ජීවය වැන්නක්, මුණගැසීමේ ස්වල්ප වූ හෝ අවස්ථාවට අප බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.