ඉන්දියාවේ කන්‍යකුමාරි තුඩුවේ සිට ඇසෑමයේ කෙළවර දිබෲගර් දක්වා දිවෙන විවේක් එක්ස්ප්‍රස් නැමැති දුම්රිය ගෙවා යන මුළු දුර කිලෝමීටර 4,300කි. දින තුනකටත් වඩා ගත වන මෙම ගමන ඉන්දියාවේ දීර්ඝතම දුම්රිය ගමන වේ. චෙන්නායි සිට දිල්ලි දක්වා දුර කිලෝමීටර 2,200කි. ගුවනින් ගමන් කරන්නේ වුවද චෙන්නායි සිට දිල්ලි දක්වා ගමනට පැය තුනකට ආසන්න කාලයක් ගත වේ. ඉන්දියාව යනු කෙතරම් සුවිසාල ප්‍රදේශයක් දැයි එයින් නිමානය කරගත හැකිය.
මේ විශාලත්වය නිසාම ඉන්දියාවේ විවිධ ප්‍රදේශ අතර සැලකිය යුතු වෙනස්කම් පවතී. ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු ප්‍රදේශ අතර පවතින වෙනස්කම් පිළිබඳව මෙම ලිපිය මගින් අවධානය යොමු කෙරේ.
ඓතිහාසික වෙනස්කම
දකුණු ඉන්දීය ජනයා උතුරු ඉන්දීය ජනයාට වඩා මදක් කළු පැහැ ගනී. ශතවර්ෂ ගණනාවක් පුරා උතුරු සහ දකුණු ඉන්දියාව කොටස් දෙකක් ලෙස වෙන්ව පැවතුණි. ඉන්දියාවේ ප්‍රබලතම අධිරාජ්‍යයන් වූ මෞර්ය පෙළපතේ අශෝක, ගුප්ත පෙළපතේ චන්ද්‍රගුප්ත, කුශාන් පෙළපතේ කනිෂ්ක ආදී කිසිවෙකුට දකුණු ඉන්දියාව යටත් නොවීය. දකුණු ඉන්දියානුවන් හට ඔවුන්ටම අනන්‍ය වූ පාණඩ්‍ය, චෝල, පල්ලව, චේර ආදී වෙනමම අධිරාජ්‍යයන් විය. අවසානයේ වර්තමාන ඉන්දියාව සහ නූතන බංග්ලාදේශය සහ පාකිස්ථානයද ඇතුලත් මහා හින්දුස්ථානය බිහි කරන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි.
නිතරම බාහිරින් පැමිණෙන විවිධ අධිරාජ්‍යවරුන්ට සහ ආක්‍රමණිකයින්ට යටත් වෙමින් තිබූ උතුරු ඉන්දියාවට වඩා දකුණ වඩාත් ස්ථායී විය. බොහෝ කලක් එකම රජ පෙළපත් යටතේ සාමකාමීව පැවතීමට දකුණු ඉන්දියාවට හැකි විය. දකුණු ඉන්දීය කේරළය ශ්‍රී ලංකාව මෙන්ම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ට යටත් වූ භූමියකි.
උතුරු ඉන්දියාවේ කයිබර් දුර්ගය හරහා සහ බෙංගාලය ඔස්සේ භූමියෙන් උතුරට සතුරන් පැමිණියද දකුණු ඉන්දියාවට විදෙස් ආක්‍රමණිකයින් ප්‍රමුඛ ලෙස සැපත් වූයේ යුරෝපීය නාවුක බලය මගින් අධිරාජ්‍යය ගොඩනැගීම පටන් ගත් ක්‍රි.ව 1500 තරම් මෑත කාලයේදීය. එබැවින් සංස්කෘතික දායාද ලෙස උරුම කරගත්, සංගීතය, නර්තනය, කලාව, ගෘහනිර්මාණ, පාලන ක්‍රම, සාහිත්‍ය, ආගම පමණක් නොව භාෂාවෙන් පවා දකුණු සහ උතුරු ඉන්දියාව පැහැදිලි වෙනස්කම් රැසක් දක්නට හැකි භූමි දෙකකි.
සංස්කෘතික වෙනස්කම්
දෙමළ සහ මලයාලම් ආදී ද්‍රවිඩ භාෂා පරම්පාරවට අයත් භාෂාවන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වී ඇත. අප රටේ බහුතරයක් කතාකරන සිංහල භාෂාව මෙන්ම හින්දි, බෙංගාලි, ගුජරාති, මරාති ආදී භාෂාවන් ඉන්දු ආර්ය හෝ ඉන්දු යුරෝපියානු භාෂාවලට අයත් වේ. භාෂාවන් අතර තවමත් භාවිත වන ලොව පැරණිතම බසක් ලෙස දෙමළ භාෂාව අග්‍රස්ථානයේ පවතී.
දක්ෂිණ ඉන්දියාවේ ජනයා සාමාන්‍යයෙන් කාල වර්ණ සමක් සහිත අය වෙති. මැදපෙරදිග වාසින්ට වඩාත් සමීපවූ විශාල නාස් සහ සුදු පැහැති සම් අැත්තෝ උතුරු ඉන්දියාවේ බහුල වශයෙන් හමු වේ. සිනමා තාරකා අතරද දකුණු ඉන්දීය සිනමා රසිකයින් මදක් තරබාරු නිළියන්ට සහ තරමක් වයසින් වැඩි නළුවන්ට වැඩි තැනක් ලබාදෙන අතර උතුරු ඉන්දියානු සිනමාව තුල කෙළිලොල් පෙනුමැති කෙසඟ යුවතියන්ට සහ ලාබාල පෙනුමැති පුරුෂයින්ට විශාල තැනක් ලැබී තිබේ. සමස්ථයක් වශයෙන් ගත්කල මනෝරාජික ප්‍රේම කතාවලට හින්දි සිනමාවේ ප්‍රමුඛව ඉඩ ලැබෙන අතර ද්‍රවිඩ සහ මලයාලම් සිනමාව ජීවන දෘෂ්ඨිය අතින් මෙන්ම තේමාවන් අතින්ද තරමක් විහිදුණු මාතෘකාවලින් යුක්ත වේ.
නර්ථන අංශය සැලකූ කල කතක් නර්ථනය උතුරේ ජනප්‍රිය සාම්ප්‍රදායික නර්ථන ක්‍රමයකි. දකුණේ භරත් නාට්‍යම්, කතකලි ආදී නැටුම් ජනප්‍රිය වී තිබේ. පන්ජාම් ඇඳුමට සමාන කලිසම සහ කමිසය ඇතුලත් නරේන්ද්‍ර මෝඩිගේ අැඳුම වැනි ඇඳුම් උතුරු ඉන්දියාවේ සාම්ප්‍රදායික ඇඳුම වෙයි. දකුණු ඉන්දීය සිනමාපටවල දකින්නා සේම දකුණේ බොහෝ ජනයා තවමත් සරම අඳිති. උතුරු මෙන්ම දකුණු ඉන්දියාවේද ස්ත්‍රීන් සාරි ඇන්දද එම සාරි වර්ග සහ අඳින ආකාරයේ පැහැදිලි වෙනස්කම් ඇත.
ප්‍රධාන සංගීත මාදිලිය ගතහොත් උත්තර භාරතීය රාගධාරි සංගීතය උතුරු ඉන්දියාවේ පවතින අතර දකුණේ කර්ණාටක සංගීතය සාම්ප්‍රදායික උරුමයක් ලෙස පවතී.
කේරළයේ ආහාර සංස්කෘතිය ලාංකික ආහාර සංස්කෘතියට වඩාත් සමීප වේ. ආහාරවලට පොල් බෙහෙවින් යොදාගන්නා අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආප්ප, ඉදිආප්ප, පිට්ටු, බත් මාළුපිණි, ව්‍යංජන අාදිය කේරළයේද ඒ ලෙසටම පවතී. ප්‍රධාන කොටම දකුණු ඉන්දියානුවෝ සහල් පිටි හා උඳු පිටිවලින් තැනූ තෝසේ, ඉට්ලි, ඉඳි ආප්ප, වඩේ ආදී ආහාර අනුභව කරති. දකුණු ඉන්දියානුවෝ බත් ආහාරයට ගන්නේද මිරිස් යහමින් ඇති ව්‍යංජන රැසක් සමගිනි. උතුරු ඉන්දීය කෑම බොහෝවිට පුළුස්සා ගත් තිරිඟු පිටි රොටී වර්ගවලින් සමන්විත වේ. දකුණේ කේරළයේ මෙන් පොල් ආහාරයට ගැනීමක් නොමැති උතුරේ ඒ වෙනුවට තෙල් වර්ග භාවිත කරති. සමෝසා, චපාති, බුරියානි, පූරී ආදී ආහාර වර්ග සහ විවිධ මාදිලියේ චිකන් කරි වැනි ආහාර උතුරු ඉන්දියානුවන් අතර ජනප්‍රියව ඇත.
ජනගහනය සහ සමාජයීය සාධක
වර්ෂය පුරාම පවතින නිවර්තන කාලගුණය හේතුවෙන් දකුණු ඉන්දියාවට පැමිණෙන උතුරු ඉන්දියානුවන්ට දකුණ වඩාත් උණුසුම් යැයි හැඟේ. ශීත කාලයේ දී උතුරු ඉන්දියාවේ ඉහළ කෙළවරේ හිමාලය අසබඩ හිමචල් ප්‍රදේශය, උත්තරකාන්ද්, කාශ්මීර ආදී පෙදෙස් හි උස්බිම් හිමෙන් වැසී යයි. දකුණේ නිවර්තන පසුබිම තරමක් උණුසුම් වුවද එය වනාන්තර සහ ගහකොළවලට ඇතිකරන්නේ හොඳ වටපිටාවකි. උතුරු ඉන්දියාවට වඩා අලි, ඇතුන්, කොටි, ව්‍යාඝ්‍රයන් ආදී සතුන් සහිත සදාහරිත වනාන්තර දකුණු ඉන්දියාවට අයිති වේ.
මිලියන 470ක් දෙනා දිවි ගෙවන උතුරු ඉන්දියාවට ජම්මු කාශ්මීර, හිමචල්, උත්තර ප්‍රදේශ්, හර්යානා, බිහාර, උත්තරකාන්ද් යන පළාත් අයිති වේ. කර්ණාටක, කේරළ, තමිල්නාඩු, තෙළගනා යන පලාත් අයිති දකුණු ඉන්දියාවේ ජනගහනය මිලියන 250කි. ජාතික ආදායම අතින් ගත් කල උතුරු දකුණු දෙපළාතම ඩොලර් බිලියන 700කට ආසන්න ප්‍රමාණයක මුදලකින් ජාතික ආදායමට දායක වේ. දකුණේ ජනගහනය අඩකින් අඩු වුවද ඔවුන්ගේ ඉපයීමේ හැකියාව අතින් දකුණු ඉන්දියානුවෝ උතුරු ඉන්දියානුවන්ට වඩා සැබැවින්ම ඉදිරියෙන් සිටිති.
දකුණු ඉන්දියාවේ අගනුවර කුමක්දැයි ඇසුවොත් කෙලින්ම මතකයට එන්නේ තමිල්නාඩුව වුවත් වර්තමාන දකුණු ඉන්දියාවේ වාණිජ අගනුවර ලෙස බැංගලෝරය ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් පවතී. ඉන්දියාවේ පරිපාලනමය අග නගරය වන දිල්ලිය උතුරු ඉන්දියානුවන්ට ඇති ප්‍රධානතම නාගරික කලාපයකි. එහි නොයිඩා ආදී පළාත් හි වර්තමාන තාක්ෂණික දියුණුව හා සබැඳි ඉදිරිගාමී වටපිටාවක් බිහිවෙමින් පවතී.
දකුණු ඉන්දියානුවෝ සමස්ථයක් ලෙස උතුරු ඉන්දියානුවන්ට වඩා ඉගෙනීම කෙරෙහි උනන්දුය. උතුරු ඉන්දියාවේ අන්ත දුගී පිරිස ජනගහනයෙන් 30%ක් වනවිට දකුණේ දුප්පතුන් ප්‍රමාණය ජනගහනයෙන් 17%ක් තරම් අඩු ප්‍රමාණයකි. ඉන්දියාවේ පිරිසිදුම නගර ලැයිස්තු අනුවත්, ඉන්දියාවට පැමිණ හතරවටේම රවුම් ගසා යන විදේශිකයින්ගේ වාර්තා අනුවත් උතුරු ඉන්දියාවට වඩා දකුණේ කේරල, තමිල්නාඩු පළාත් වඩාත් පිරිසිදුය. කඩු පොලු පිහි රැගෙන යුද්ධයට යන දකුණේ දෙමළ මිනිසුන් අපි චිත්‍රපටවල දුටුවද දකුණේ අය වඩාත් කරුණාවන්ත, මානවීය ගුණ අතින් දියුණු අය යැයි සමස්ත ඉන්දියාවේම පිළිගැනීමක් පවතී.
උතුරු දකුණු බෙදීම්
ඉන්දියාවේ පවතින බෙදීම් අනුව උතුරු ඉන්දියානුවෝ දකුණේ මිනිසුන් තරමක් පහත් කරන අයුරක් මුළු මහත් උතුරු සමාජයේම දක්නට ලැබේ. ශ්‍රී ලාංකිකයෙක් උතුරු ඉන්දියාවට ගියේ වුවද ලාංකිකයින්ගේ පැහැය දකුණු ඉන්දියානුවන්ට සම හෙයින් බොහෝවිට ලාංකික යැයි අඳුන ගන්නා තුරු අත්විඳීමට වන්නේ යම් කොන්කරන සුළු වටපිටාවකි. එහෙත් දකුණු ඉන්දියානුවෝ එසේ නොවෙති; ඔවුන් උතුරු ඉන්දියානුවන්ට වුව සුහද ලෙස හා ඔවුන්ගේම කෙනෙකු ලෙස සලකන්නට බොහෝවිට සැදී පැහැදී සිටිති.
ආර්ථික දියුණුව අතින්ද සමාජයීය කාරණා අතින්ද දකුණු ඉන්දියාව උතුරට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතී. එහෙත් ලෝකයට යන ඉන්දියාව යනු උතුරු ඉන්දියාවය. බොහෝවිට ලෝකය ඉන්දියාව දකින්නේ උතුරු ඉන්දියාවේ සංස්කෘතිය සහ සමාජ වටපිටාව අනුව වේ. උතුරු ඉන්දියානුවෝ විවේක ගන්නට දකුණේ ගෝව, තමිල්නාඩු, කේරළ පළාත් කරා ඇදෙන නමුත් විදේශිකයෝ ඉන්දියාව දැකබලා ගන්නට යන්නේ බොහෝ විට උතුරු ඉන්දියාව වෙතය.
උතුර, දකුණ, බටහිර, නැගෙනහිර විවිධ වෙනස්කම් සහිත මිලියන ගණනාවක සෙනග එක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල තබාගන්නට ඉන්දියාව සමත් වී තිබේ. ජනගහනය අතින් බැලූ විට මීළඟට විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් 4 ගුණයකට ආසන්න ජනතාවක් ඉන්දියාවේ සිටී.
ඉන්දියාව යනු විවිධත්වයෙන් ගහන මිනිසුන් රැසක් එකට වාසය කරන අරුම පුදුම දේශයකි.
කවරයේ රූපය (wallpaperup.com)