අද වෙනකොට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලටත් අහිතකර ලෙස බලපාන කරුණක් විදියට වැස්ස අඩුවීම හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනා කතාකරන විදියට අතීතයේ පැවතුණ වර්ෂාවේ ප්‍රමාණය වගේම වැස්ස ලැබෙන කාලයත් අද වෙනකොට වෙනස් වෙලා. ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවද, එහෙනම් එහෙම වෙන්න හේතු මොනවාද, මේ වැස්ස නිවැරදි විදියට ආයෙත් ලබාගන්න පුළුවන්ද? මේ කියන ගැටලුවලට හරි උත්තරයක් මේ ලිපිය කියවීමෙන් ඔබටත් සොයාගන්න පුළුවන්.
මොකක්ද මේ නියඟය කියන්නේ?
දිගුකාලීනව යම් ප්‍රදේශයකට ලැබෙන වර්ෂාව එහෙම නැත්තම් ජල ප්‍රමාණය සාමාන්‍ය පරිදි නොලැබී යාම නියඟය විදියට හඳුන්වන්න පුළුවන්.
නියඟයේ ප්‍රධාන ආකාර
නියඟය සාමාන්‍ය වචනයක් වුණාට එහි බලපෑම හා එය ඇතිවීමට බලපාන ලද කරුණු අනුව ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්.
- කාලගුණ විද්‍යාත්මක නියඟය – මේ නියං තත්වය තීරණය කරන්නේ වායුගෝලයේ පවතින අඩු ජලවාෂ්ප ප්‍රමාණය මතයි. මෙහිදී අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තු වනවා. ඒ වගේම වියළි සුළං හා ගෝලීය උෂ්ණත්ව තත්වයන්ද මෙය ඇතිකිරීමට මුල් වෙනවා. මේ තත්වය ඇතිවීම හා නැතිවීම කාලගුණ වෙනස්වීම් මත අඩු කාලසීමාවකදී සිදුවෙනවා.
- කෘෂිකාර්මික නියඟය – මේ තත්වය වායුගෝලීය ජල වාෂ්ප අඩුවීම දිගුකාලීනව සිදුවීම සමග පාංශු ජල ප්‍රමාණය එහෙම නැතිනම් පස වියළීම මගින් සිදුවෙනවා. ශාක හා සතුන්ට ඍජුවම මෙහිදී බලපෑම් සිදුවෙනවා. ජලය රඳවාගෙන තිබෙන වැව් ගංගා හා ලිං සිඳී යනවා.
- ජල විද්‍යාත්මක නියඟය – මේ තත්වය උදා වෙන්නේ පොළොව මතුපිට හා ඇතුලත ජලය අඩුවීම හරහායි. අඩු වර්ෂාපතනය හා අධික ජල පරිහරණය නිසා මේ තත්වය උදාවෙනවා.
- සමාජ ආර්ථික නියඟය – වැඩිවන ජනතාව හා අවශ්‍යතා නිසා නිෂ්පාදනය ඉහළ දැමීම තුලින් කාලගුණ විද්‍යාත්මක හා ජලවිද්‍යාත්මක නියඟය ඇතිවීම හරහා මේ තත්වය උදාවනවා. මෙහි ඇති බරපතල තත්වය නම් ඇතිවීමට මෙන්ම ඇතිවීමෙන් පසු එය නවතාගැනීමටත් අසීරු වීමයි.
නියඟයට බලපාන ප්‍රධාන කරුණු
නියඟය ඇතිවීමට ප්‍රධාන කරුණු කීපයක් බලපාන්න පුළුවන්. එනම්,
- වර්ෂාව අඩුවීම
- පොළොව මතුපිට ජලය අඩුවීම
- මිනිස් ක්‍රියාකාරකම්
- ගෝලීය උණුසුම ඉහළයාම
වර්ෂාව අඩුවීම
සාමාන්‍ය ලෙස ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය අඩුවී යාම සිදුවෙනවා. අද වනවිට ශ්‍රී ලංකාවේ අප මුහුණදී තිබෙන්නේ මෙවැනිම වූ තත්වයකටයි. එසේ වූ විට ජල උල්පත් සිඳී යන අතර ජල චක්‍රයට බාධා සිදුවෙනවා. පරිසරයේ සිදුවන අසමතුලිතතා මූලිකව මෙයට බලපානවා.
පොළොව මතුපිට ජලය අඩුවීම
වැස්ස හරහා මතුපිට තිබෙන ගංගා හා අනෙකුත් ජල තැන්පතු පිරෙන අතර වර්ෂාව අඩුවීම තුලින් ඒවා සිඳී යනවා. මෙය නැවත වර්ෂාව ලැබෙන තෙක් එසේම පවතිනවා. මූලිකව මිනිසුන්ට භාවිතා කළ හැකි ජලය වන්නේ පොළොව මතුපිට ජලයයි. ඒවා සිඳී යාම තුලින් අවශ්‍ය ජල ප්‍රමාණය අහිමිව යනවා.
මිනිස් ක්‍රියාකාරකම්
අද වනවිට පාරිසරික අසමතුලිතතාවන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන කාරණයක් විදියට මිනිස් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන්න පුළුවන්. වනාන්තර එළිපෙහෙළි කිරීම, කර්මාන්තශාලා හා වගාවන්ට වනාන්තර ගිනිතැබීම තුලින් ජල චක්‍රයේ එක් කොටසකට හානි වෙනවා. ඒ හේතුවෙන් වැසි ප්‍රමාණය අඩුවී යනවා. වසරකට මිනිස් ක්‍රියාකාරකම් නිසා වර්ග සැතපුම් 90,000ක් එනම් ලෝක වනාන්තර ප්‍රමාණයෙන් 2%ක් අපට අහිමිවී යනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම
ගෝලීය උණුසුම ඉහළ යාම කියන්නේ වායුගෝලයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමයි. මෙයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව අැතුළු අනෙක් හරිතාගාර වායු වර්ගයි. මිනිස් ක්‍රියාකාරකම්වලින් වගේම ස්වභාවිකවත් මේ වායුන් පරිසරයට විමෝචනය වෙනවා. නමුත් මිනිසාගේ ක්‍රියා නිසා අද වන විට මේ වායු නිදහස්වීම වැඩිවෙලා තියෙනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම සමගම අයිස්කඳු දියවීම, සාගර ජල මට්ටම ඉහළ යාම සිදුවෙනවා. පරිසරය සිසිලනය වීමේ සමතුලිතතාව මූලිකව මේ අයිස්කඳු හරහා සිදුවෙනවා. උණුසුම ඉහළ යාම නිසාම ඒ ක්‍රියාව ඇනහිටිනවා. අද වෙනකොට අපට දැනෙන මේ උණුසුමට එයත් එක් කාරණාවක්. එලෙසම උෂ්ණත්වය ඉහළ යාම සමග පොළොවේ ජලය වාෂ්ප වීමත් ඉහළ යනවා. ඒ වගේම කලින් පැවති වර්ෂාව ලැබෙන ආකාරය වෙනසකට ලක්වෙනවා. එනම් සමහර කාලවලදී අධික වර්ෂාවත්, සමහර කාලවලදී අධික නියඟයත් ලෙසයි.
නියඟය නිසා සිදුවන හානි
නියඟය නිසා සිදුවන බලපෑම් පොදුවේ ප්‍රධාන කරුණු තුනක් යටතේ විස්තර කරන්න පුළුවන්. ඒවා පාරිසරික බලපෑම්, සමාජයීය බලපෑම් හා ආර්ථික බලපෑම් වනවා.
පාරිසරික බලපෑම්
නියඟය හරහා සතුන්ට, ශාකවලට මෙන්ම පසටත් විශාල බලපෑමක් සිදුවනවා. සමහර ශාකයන් නියඟයෙන් පසුව නැවත යථාතත්වයට පත්වන නමුත් සමහර ශාකයන් නියඟය නිසාම වඳ වී යනවා. නියඟය නිසා සිදුවන බලපෑම් විදියට පස මතුපිට ජල තැන්පතු විනාශවීම, පසේ ගුණාත්මකභාවය අඩුවීම, ශාක හා පාංශු ජීවින් වඳ වී යාම, ජල විදුලිය ඇණහිටීමෙන් ඇතිවන බලශක්තිය සඳහා දූෂණය අධික ඉන්ධන භාවිතය ඉහළ යාම ආදී කරුණු දක්වන්න පුළුවන්.
සමාජීය බලපෑම්
පිරිසිදු පානීය ජලය අඩුවීම නිසා අපිරිසිදු ජලය භාවිතා කිරීමට සිදුවීම, ආහාර අවමවීම හා ජිවිත හානි, ජනතාව ප්‍රදේශ හැරයාම ආදී බලපෑම් සමාජීය වශයෙන් නියඟය සමග සිදුවනවා.
ආර්ථික බලපෑම්
නියඟය හරහා ජනතාව හට විවිධ ආර්ථික බලපෑම් සිදුවන අතරම එලෙස සිදුවන බලපෑම් ලෙස කෘෂිකාර්මික කටයුතුවලට වියදම අධිකවීම, අස්වැන්න අඩුවීම,, වගාභුමි අඩුවීම, රෝග ව්‍යාප්තිය වැඩිවීම, ආහාර අධික මිල වීම හා බලශක්ති වියදම මූලිකව දක්වන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ පවතින නියං තත්වය
ශ්‍රී ලංකාවේ පවතින නියං තත්වය අද වන විටත් ජනජීවිතයට දරුණු ලෙස බලපා තිබෙනවා. අද වනවිට මෙරට 1,927,069 ක ජනතාවක් නියඟය නිසා පීඩා විදිනවා. ඔවුන්ට වගාවට අවශ්‍ය ජලය හා බීමට අවශ්‍ය ජලය හිගකම තදින්ම බලපා තිබෙනවා.
සමස්තයක් වශයෙන් මුළු ශ්‍රී ලංකාවේම වර්ෂාපතනයේ අඩුවීමක් මේ වසරේ පෙන්නුම් කර තිබෙනවා.
වසර 40ක කාලය තුල අඩුම වාර්ෂික වර්ෂාපතනය මේ වසරේ ලැබී තිබෙනවා. ගිය වසරේ ලංකාවේ මතුපිට ජල සංචිතය 47% පවතී අතර මේ වනවිට එය 18% පමණ වනවා. එලෙසම නියඟය සමග ආර්ථික බිඳ වැටීම් හමුවේ ජිවිත නසාගැනීම් ද වාර්තා වෙනවා. ඒ වගේම සහල් හා පොල් හිඟයත්, එ් නිසා මිල ඉහළ යාමත් අධිකව ශ්‍රී ලංකාවට බලපා තිබෙනවා. එයට හේතුව දැඩි ලෙස නියඟයෙන් පීඩාවිදින්නේ ඒවා වගාකරන ප්‍රදේශවීමයි.
මේ තත්වය නවතාගැනීමට අපට කරන්න පුළුවන් මොනවද?
මෙසේ ඇතිවන නියං තත්වය මගහරවා ගන්න හෝ එම තත්වයෙන් ඇතිවන හානි අවම කරගන්න අපි කරන්න අවශ්‍ය දේවල් කිහිපයක් පහත දැක්වෙනවා.
- වනාන්තර ආරක්ෂා කිරීම හා යලි වනාන්තර ඇති කිරීම.
- අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් පිට කරන කටයුතු අවම කිරීම.
- පවතින ජලසම්පත උපරිමයෙන් භාවිතය.
- නව වගාක්‍රම භාවිතය.
- වගාකිරීමට සුදුසු කාලය තෝරා එම කාලය තුල වගාකටයුතු සිදුකිරීම.
- අඩු ජල අවශ්‍යතා ඇති ශාක වගාකිරීම.
- පරිසර හිතකාමී කර්මාන්ත ඇතිකිරීම.
එනම් පරිසරයට හිතකාමී වන තෙක් අපට පරිසරයෙන් සිදුවන බලපෑම්වලට මුහුණදීමට සිදුවෙනවා. මිනිසා කෙසේ දියුණු වුවත් එය පරිසර හිතකාමීව සිදු විය යුතු බව නියඟය හරහාම අපට ඉගෙනගන්න පුළුවන්.
කවරයේ පින්තූරය : www.madhyamam.com
මුලාශ්‍ර :
- eschooltoday.com/natural-disasters/droughts/what-is-a-drought.html
- www.thesundayleader.lk/2017/09/24/several-suicides-attributed-to-effects-of-drought/
- www.eartheclipse.com/natural-disaster/causes-and-effects-of-drought.html
- tropicalrainforestscience10.weebly.com/human-impacts.html
- www.theguardian.com/environment/climate-consensus-97-per-cent/2013/dec/23/global-warming-intensify-droughts
- www.sciencedirect.com/science/article/pii/S167498711400036X