ලොව තිබෙන වටිනාම ඛනිජ වර්ග අතරින් දියමන්තිවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඈත අතීතයේ සිටම ලෝකය පුරා ධනවතුන් දියමන්ති පරිහරණය කළා. එදා දියමන්ති පාරාදීසය ලෙසින් හැඳින්වුණු ඉන්දියාවෙන් හමුවුණු සංස්කෘත ලිපි ලේඛනවල සඳහන් වී තිබුණේ, එකල එරට තුළ දියමන්ති වෙළඳාම සිදුවුණු බව යි. ඉන්දියාවෙන් මෙන්ම ලෝකයේ අනිත් රටවලින් ද දියමන්ති සොයන්නට පටන්ගැනුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි .පූ. 600 දී පමණ බෝර්නියෝ දූපතෙන් දියමන්ති හමුවුණා.
15 වන සියවසේ දී යුරෝපීයයන් දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවලට දේශ ගවේශනයේ යෙදුණා. එදා බ්‍රසීලයට ගිය යුරෝපා ජාතීන් 1725 වසරේ දී පමණ එරටින් දියමන්ති සොයාගත්තා. එසේම 19 වන සියවසේ මැද භාගයේ දී දකුණු අප්‍රිකාවෙන් ද දියමන්ති හමුවුණා. ඉන් පසුව දකුණු අප්‍රිකාවේ දියමන්ති කර්මාන්තය ක්‍රමයෙන් දියුණුවට පත්වුණා. අද වන විට ලෝකයේ වැඩියෙන්ම දියමන්ති නිෂ්පාදනය කරන රටවල් කිහිපය අතරට දකුණු අප්‍රිකාව අයත් වනවා.
(කියවන්න: ලොව වැඩිම නිෂ්පාදනය සහිත දියමන්ති පතල් 5ක්)
දියමන්ති සෑදෙන ආකාරය
මීට වසර බිලියන තුනකට ඉහත දී, පොළව යට පිහිටි අධික උෂ්ණත්වය සහ පීඩනය හේතුවෙන් දියමන්ති සෑදෙන්නට ඇති බව අනුමාන කරනවා. පොළොව යට ඇති මැග්මා පෘථිවි කුහර ඔස්සේ පෘථිවි මතුපිටට ගලා ඒමේ දී පෙර කී දියමන්ති සෑදී තිබූ පාෂාණ ද පොළොව මතුපිට ආසන්නයට රැගෙන ආවා. මතුපිටට ආ මැග්මා සිසිල් වී කිම්බර්ලයිට් නම් නිල්පැහැති පාෂාණ තට්ටු නිර්මාණය වුණා. දියමන්ති පිහිටා ඇත්තේ එම කිම්බර්ලයිට් පාෂාණ ස්ථරවල යි. දියමන්ති පතල් කරුවන් කිම්බර්ලයිට් පාෂාණ ස්තර ‘නිල් පස’ යනුවෙන් හඳුන්වනු ලබනවා.
දකුණු අප්‍රිකාවෙන් දියමන්ති මතුවීම
19 වන සියවසේ මැද භාගය වන විට ජාකොබ්ස් නම් පුද්ගලයෙක් ඔරේන්ජ් ගඟේ දකුණු ඉවුර ආසන්නයේ ගොවිපළක් ආරම්භ කළා. එම ගොවිපළ ආරම්භ ආරම්භ කරන විට ඔහුට එරාස්මස් නමින් කුඩා පුතෙකු සිටියා. එරාස්මස් දරුවා යොවුන් වියට පැමිණි විට සිය මිතුරන් සමග සෙල්ලම් කිරීමට පුරුදුව සිටියා. 1866 වසරේ දෙසැම්බර් මාසයේ දිනක එරාස්මස් සහ ඔහුගේ මිතුරන් ඔරේන්ජ් ගං ඉවුරේ සෙල්ලම් කරමින් විනෝද වුණා. සෙල්ලම් කිරීම නිසා විඩාවට පත්වුණු මිතුරන් පිරිස ගං ඉවුරේ කැලෑබද පෙදෙසකට වී විවේක ගත්තා. මඳ වේලාවක් විවේක ගනිමින් සිටි එරාස්මස්ට විනිවිද පෙනෙන අමුතුම ආකාරයේ පාෂාණයක් හමුවුණා.
එම අරුම පුදුම පාෂාණය දැකීමෙන් විස්මයට පත්වුණු එරාස්මස් එය රැගෙන සිය පියා හමුවීමට ගියා. නමුත් ඔහුගේ පියාටත් එම පාෂාණය හඳුනාගැනීමට හැකිවුණේ නැහැ. ඔවුන්ගේ අසල්වැසියෙකු වුණු වෑන් නීකර්ක් නම් පුද්ගලයෙක් ඒ වන විට ජාකොබ්ස්ව හමුවීමට පැමිණ සිටියා. ඔහු කලක් ඉන්දියාවේ රැකියාවක් කර, වසර කිහිපයකට පෙර යළි උපන් රටට පැමිණ තිබුණා. එම අවස්ථාවේ කුඩා එරාස්මස් අත තිබුණු පාෂාණය දුටු නීකර්ක් මවිතයට පත්වුණා. ඒ, එය දියමන්තියක් යැයි ඔහු අනුමාන කළ නිසා යි. ඉන් පසුව නීකර්ක් ඒ පිළිබඳව එරාස්මස්ටත් ඔහුගේ පියාටත් පැහැදිලි කළා. ඉන් අනතුරුව පාෂාණය ආචාර්ය විලියම් ආතර්ස්ටන් නම් පුද්ගලයා වෙත යවනු ලැබුවා. එය පරීක්ෂා කර දියමන්තියක් බවට හඳුනාගැනීමෙන් පසුව යුරේකා යන නම තැබීමට ආතර්ස්ටන් තීරණය කළා.
මේ සිදුවීමෙන් පසු දකුණු අප්‍රිකාව තුළ දියමන්ති කර්මාන්තය ආරම්භ වුණා. එරට බොහෝ ප්‍රදේශවල තිබුණු පසෙහි දියමන්ති බහුලව දක්නට ලැබුණු නිසා මහා පරිමාණයෙන් දියමන්ති කැණීමට කිරීමට හැකිවුණා. සොයාගත් දියමන්ති අතරින් ඇතැම් ඒවා ලෝක ප්‍රසිද්ධ වුණා. පහත දක්වා තිබෙන්නේ එසේ ලෝක ප්‍රසිද්ධ වුණු දියමන්ති පහක්.
කලිනන් දියමන්තිය
මෙතෙක් හමුවුණු විශාලතම දියමන්තිය ලෙසින් සලකන ‘කලිනන්’ 1905 වසරේ ජනවාරි 26 වැනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිමියර් 2 නම් පතලෙන් සොයාගත්තා. කැරට් 3106ක පමණ බරකින් යුක්ත වුණු එම දියමන්තියට “කලිනන්” යන නම තැබුවේ පතලේ හිමිකරු තෝමස් කලිනන් සිහිවීම සඳහා යි. 1905 වසරේ දී කලිනන් දියමන්තිය ලන්ඩන් නුවරට ගෙනගොස් විකිණීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඉන් වසර 2කට පමණ පසුව දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වාල් ජනපද රජය විසින් දියමන්තිය මිල දී ගනු ලැබුවා. එලෙස මිලට ගත් අගනා දියමන්තිය එංගලන්තයේ එවකට රජකම් කළ 7 වන එඩ්වඩ් රජතුමාට තෑගි කළා.
එඩ්වඩ් රජතුමා එය නෙදර්ලන්තයේ ජෝශප් ඇෂර් සමාගමේ දියමන්ති කපන්නන් වෙත ලබාදුන්නේ හොඳින් ඔප දමාගැනීම සඳහා යි. විශාලත්වයෙන් වැඩි එම දියමන්තිය තරමක් අසාමාන්‍ය හැඩයකින් යුක්ත වුණු නිසා එය කොටස් 9කට වෙන් කරනු ලැබුවා. එලෙස වෙන් කරන ලද කොටස්වලින් විශාලතම දියමන්තිය කැරට් 530ක පමණ බරකින් යුක්ත වුණා. එය එකල එංගලන්ත රජතුමා භාවිතා කළ යෂ්ටියේ සවිකරනු ලැබුවා.
දෙවන විශාලතම දියමන්තිය කැරට් 317ක බරකින් යුක්ත වුණා. එය රජුගේ ඔටුන්නේ සවිකරනු ලැබුවා. ඉතිරි දියමන්ති හත මේරි රැජිණට ලබාදුන්නා.
මේරි රැජිණගේ දියමන්ති 1952 වසරේ දී පමණ 2 වන එලිසබෙත් රැජිණට භාරදුන්නා. ඒ අනුව අදටත් කලිනන් දියමන්තියේ කොටස් 7ක් පවතින්නේ එලිසබෙත් රැජිණ සතුව යි.
එක්සෙල්සියර් දියමන්තිය
කලිනන් දියමන්තිය හමුවීමට පෙර ලෝකයේ තිබුණු විශාලතම දියමන්තිය බවට පත්ව තිබුණේ කැරට් 995ක බරකින් යුක්ත මෙම දියමන්තිය යි. 1893 වසරේ එක්තරා දිනයක ජැගර්ස්ෆොන්ටෙයින් නම් පතලේ සේවය කළ කම්කරුවෙකු බොරළු පිරවූ සවලක් පරීක්ෂා කළ අවස්ථාවේ දී මෙම අගනා දියමන්තිය හමුවුණා. හමුවුණු අවස්ථාවේ දී පැහැදිලි නිල්-සුදු ගලක් ලෙසින් දිස්වුණු මෙම දියමන්තියට තිබුණේ අක්‍රමවත් හැඩයක්. එම නිසා එය කොටස් 21කට වෙන්කරනු ලැබුවා.
සෙන්ටිනරි දියමන්තිය
1986 වසරේ ජූලි 17 වැනිදා ප්‍රිමියර් නම් පතලෙන් මෙම දියමන්තිය සොයාගනු ලැබුවා. දියමන්තිය සොයාගැනීම සඳහා X කිරණ තාක්ෂණය යොදාගත්තා. සොයාගන්නා අවස්ථාවේ දී කැරට් 599ක පමණ බරකින් යුක්ත වුණු දියමන්තිය පසුව කොටස් කිහිපයකට වෙන් කරනු ලැබුවා. එම කොටස්වලින් විශාලතම කොටස කැරට් 273.85ක් පමණ බරකින් යුක්ත යි. මෙම දියමන්තිය කපා අවසන් කිරීම සඳහා වසර 5කට ආසන්න කාලයක් ගතවුණා. මෙම දියමන්තියේ අයිතිකරුවා වන්නේ සුප්‍රකට ඩි බියර්ස් නම් සමාගම යි.
ජුබිලි දියමන්තිය
1895 වසරේ දී ජැගර්ස්ෆොන්ටෙයින් නම් පතලේ කම්කරුවන් මෙම වටිනා දියමන්තිය සොයාගත්තා. සොයාගන්නා අවස්ථාව වන විට කැරට් 680ක බරකින් යුක්ත වුණු දියමන්තිය එකල ලොව තෙවනියට විශාලතම දියමන්තිය බවට පත්වුණා. ඉතාමත් අලංකාර වර්ණයකින් සහ පැහැදිලි ගතියකින් යුක්ත වුණු දියමන්තිය මුල් යුගයේ දී “රිට්ස්” යන නමින් හඳුන්වනු ලැබුවා. වික්ටෝරියා රැජීණගේ කිරීටයේ 16 වන සංවත්සරය පැවති දින මෙම දියමන්තියේ නම “ජුබිලි දියමන්තිය” ලෙසින් වෙනස් කළා. පසුකලෙක ලන්ඩන් නගරයේ පිහිටුවා තිබුණු දියමන්ති සමාගම් එකමුතුවක් මෙම අලංකාර දියමන්තිය මිල දී ගත්තා.
ටිෆනි කහ දියමන්තිය
මෙතෙක් සොයාගෙන ඇති විශාලතම විසිතුරු කහ දියමන්ති අතරින් එකක් වන “ටිෆනි කහ දියමන්තිය”, 1878 වසරේ දී දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි පතලෙන් සොයාගත්තා. සොයාගන්නා අවස්ථාවේ කැරට් 287ක පමණ බරකින් යුක්ත වුණු මෙම දියමන්තිය පසුව ඔප දමනු ලැබුවා. ඔප දැමීමෙන් පසුව කැරට් 128ක පමණ බරකින් යුක්ත වුණා. විශාල වටිනාකමකින් සහ අලංකාර බවකින් යුක්ත වුණු මෙම දියමන්තිය පසුකලෙක ටිෆනි සමාගම විසින් මිලට ගැනුනා.